Wednesday, January 2, 2019

Translation of the third chapter of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


බලයේ මූලය කොතැනද ?  
නිදහස සහ සාමය යන දෙකම ඇති සමාජයක් ඇති කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එයට උපරිම මට්ටමේ උපායමාර්ගික නිපුණතාවන්, සංවිධානයේ සහ සැලසුම්කරණයේ හැකියාවන් අවශ්‍ය වේ. ඒ සියල්ලටම වඩා ඒ සඳහා බලය අවශ්‍ය වේ. සිය බලය සාධනීය ලෙස යොදාගැනීමේ හැකියාවක් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඒකාධිපතිත්වයක් අවසන්කර දේශපාලන නිදහස තහවුරු කිරීමේ බලාපොරොත්තු තබාගත නොහැක.
එනමුත් මෙය කළ හැක්කේ කෙසේද? ඒකාධිපතිත්වය සහ එහි අති විශාල වූ සන්නද්ධ හමුදා සහ පොලිස් ජාලය විනාශ කිරීමට තරම් ප්‍රමාණවත්  කවර ආකාරයේ බලයක් ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඒකරාශී කළ හැකිද? උත්තරය ඇත්තේ නිතොරවම නොසලකා හරිනු ලබන දේශපාලන බලය වටහා ගැනීම මතය. මෙම සුක්ෂ්ම දෘෂ්ටිය අවබෝධ කර ගැනීම එතරම් අසීරු කාර්යයක් නොවේ. ඇතැම් මූලික සත්‍යයන් ඉතා සරලය.
‘වඳුරු හිමියා’ සම්බන්ධ උපමා කථාව
නිදර්ශනයක් වශයෙන් හතරවන ශත වර්ෂයේ විසූ ලියු ජි විසින් රචිත පහත දැක්වෙන චීන උපමා කථාව මගින් නොසලකා හරිනු ලබන දේශපාලන බලය මනාව හකුළුවා දක්වයි.7
7 ‘ප්‍රයෝග මගින් පාලනය’ නම්වූ මෙම කථාව උපුටා ගන්නා ලද්දේ  ලියු ජි (1311-1375) විසින් රචිත සිඩ්නි තායි විසින් පරිවර්තිත යු ලී සි නැමැති ග්‍රන්ථයෙනි. ( සියළු හිමිකම් ඇවිරිණි) එමෙන්ම යු ලී සි යනු ලියු ජි ගේ අන්වර්ථ නාමයද වේ. මෙම පරිවර්තනය පළමුවෙන් පළ කරන ලද්දේ Nonviolent Sanctions: News from the Albert Einstein Institution (Cambridge Mass.) Vol. IV, No. 3 (Winter 1992-1993), P3
චු නැමැති වැඩවසම් දේශයේ සිටී එක්තරා මහළු මිනිසකු විසින් සිය ජීවිතය පවත්වා ගත්තේ වඳුරන් සේවයේ යොදවා ගැනීම මගිනි. චු දේශයේ මිනිසුන් විසින් ඔහු හඳුන්වන ලද්දේ ජු ගොන්ග් හෙවත් වඳුරු හිමියා යන නමිනි.
දිනපතා උදයේ මහළු මිනිසා වඳුරන් සිය අංගණයට එක්රැස් කරවා වඩාත්ම වැඩිමහළු වඳුරා බණවා අනෙක් වඳුරන් ද සමඟ කඳුකරයට ගොස් එහි ඇති ගස් සහ පඳුරු වලින් පළතුරු කඩා ගෙන එන ලෙස  විධාන කරයි. නිතිය වන්නේසියළුම වඳුරන් විසින් ඔවුන් එක්රැස් කරගත් පළතුරු වලින් දහයෙන් එකක් මහළු මිනිසාට දිය යුතු වීමයි.එසේ කිරීමට අසමත් වන වඳුරන් ට ඉතා නිර්දය ලෙස  පහර දෙනු ලැබේ. සියළුම වඳුරන් ඉතා කණගාටුදායක ලෙස පෙළනු ලැබූ අතර කිසිවකු පැමිණිලි කිරීමට තරම් වත් නිර්භීත වූයේ නැත.
එක් දිනෙක කුඩා වඳුරෙක් අනෙකුත් වඳුරන් ගෙන් මෙසේ ඇසීය. “සියළුම පළතුරු ගස් සහ පඳුරු පැල කරන ලද්දේ මහළු මිනිසා විසින්ද? අනෙකුත් වඳුරෝ “නැත. ඒවා ඉබේ පැලවී ඇත.” යනුවෙන් පිළිතුරු දුන්හ. කුඩා වඳුරා නැවත මෙසේ ඇසීය. “ අපට මහළු මිනිසාගේ අවසරය නොමැතිව පළතුරු කඩා ගත නොහැකිද?”  “ අප සියළු දෙනාටම එය කළ හැක.” යනුවෙන් අනෙක් වඳුරෝ පිළිතුරු දුන්හ. කුඩා වඳුරා තවදුරටත් මෙසේ ඇසීය. “ එසේනම් අප මහළු මිනිසාගේ අණට යටත්ව ඔහුට සේවය කරන්නේ ඇයි?”
කුඩා වඳුරා සිය ප්‍රකාශය අවසන් කිරීමටත්  ප්‍රථම සියළුම වඳුරෝ එක්වරම ඥානය ලබා පවතින තත්ත්වය අවබෝධ කළහ.
එදින රාත්‍රියේ මහළු මිනිසා නින්දට වැටෙන තුරු බලාසිට සියළුම බාධක සහ තමන් සිරකර තිබූ දඬුවැට කඩා දැමූ වඳුරෝ එය සම්පුර්ණයෙන්ම විනාශ කළහ. මහළු මිනිසා ගබඩා කර තැබූ සියළුම පළතුරු පැහැර ගත් වඳුරෝ ඒ සියල්ලම රැගෙන වනාන්තරයට පළා ගිය අතර නැවත නොපැමිණියහ. අවසානයේදී මහළු මිනිසා කුසගින්නේ මියගියේය.
යු ලී සි මෙසේ සඳහන් කරයි. “ ලෝකයේ සිටින සමහර මිනිසුන් සිය ජනයා පාලනය කරන්නේ ප්‍රයෝග මගිනි, යහපත් ප්‍රතිපත්ති මත නොවේ. ඔවුහු වඳුරු හිමියා වැන්නන් නොවන්නහුද? ඔවුහු සිය හිස් වල ඇති අවුල්වූ ස්වභාවය නොදනිති. ඔවුන්ගේ ජනයා සත්‍යය අවබෝධ කළ විට ඔවුන්ගේ ප්‍රයෝග තවදුරටත් වලංගු නොවේ.”
දේශපාලන බලයේ අත්‍යවශ්‍ය ප්‍රභවයන්
මූලධර්මය සරලය. ඒකාධිපතින්ට තමන් විසින් පාලනය කරනු ලබන ජනයාගේ සහයෝගය අවශ්‍යය. එම සහයෝගය නොමැතිව ඔවුන්ට බලයේ ප්‍රභවයන්  තහවුරු කර ගැනීමටත් පවත්වා ගැනීමටත් අසීරුය. දේශපාලන බලයේ ප්‍රභවයන්ට ඇතුළත් වන්නේ පහත සඳහන් කරුණුය.
අධිකාරිත්වය- පාලන තන්ත්‍රය නිත්‍යානුකුල වන බව සහ එයට අවනත වීමේ සදාචාරාත්මක යුතුකම පිළිබඳව ජනයා අතර ඇති විශ්වාසය
පිරිස් බලය-  අවනත වන, සහයෝගයෙන් වැඩ කරන සහ සහාය වන පුද්ගලයන් සහ කණ්ඩායම්වල  ප්‍රමාණාත්මක භාවය සහ වැදගත්කම
නිපුණතා සහ දැනුම- පාලන තන්ත්‍රයට නිශ්චිත කාර්යයන් සපුරාලීම සඳහා අවශ්‍ය වන සහ සහයෝගයෙන් වැඩ කරන පුද්ගලයන් සහ කණ්ඩායම් මගින් සපයනු ලබන නිපුණතා සහ දැනුම
ස්පර්ශ කළ නොහැකි සාධක- පාලකයන්ට අවනත වීමට සහ සහාය දීමට ජනයා පොළඹවනු ලබන මනෝවිද්‍යාත්මක සහ දෘෂ්ටිමය සාධක
ද්‍රව්‍යමය සම්පත්-  ඉඩකඩම්, ස්වභාවික සම්පත්, මුල්‍යමය සම්පත්, ආර්ථිකය සහ සන්නිවේදනයේ හා ප්‍රවාහනයේ ක්‍රමවේදයන්  පාලකයන්ට පාලනය කිරීමට හැකි ප්‍රමාණය
සම්බාධක - පාලන තන්ත්‍රයේ පැවැත්මට සහ එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන අවනත බව සහ සහයෝගය සහතික කිරීම සඳහා අවනත නොවීමට සහ සහයෝගය නොදැක්වීමට එරෙහිව පණවනු ලැබූ හෝ පණවන බවට තර්ජනය කළ සම්බාධක සහ දඬුවම්
කෙසේ නමුත් මේ සියළුම ප්‍රභවයන් රඳා පවතින්නේ ජනතාවගේ අවනතවීම සහ යටහත් ස්වභාවය ද සමාජයේ සිටින නොගිනිය හැකි ජනයා ගේ සහ බොහෝ ආයතන වල සහයෝගයද හරහා පාලන තන්ත්‍රය ජනතාව විසින් පිළිගැනීම මතය. එබැවින් මේවා සහතික කළ නොහැක.
සම්පුර්ණ සහයෝගය, යටහත් ස්වභාවය සහ අනුබලය මගින් බලය සඳහා අවශ්‍ය ප්‍රභවයන් වර්ධනය වන අතර ඒ මගින් ඕනෑම රාජ්‍යයක බලය පැතිරවීමේ හැකියාව වැඩිවේ.
අනෙක් අතට ඒකාධිපතින් සහ ආක්‍රමණිකයන් සමඟ ජනතාවගේ සහ ආයතනවල සහයෝගිතාව නවත්වා දැමුවහොත්  සියළුම පාලකයන් විසින් රඳා පවතිනු ලබන බලයේ ප්‍රභවයන් අඩුවී හෝ නැතිවී හෝ යනු ඇත. මෙම ප්‍රභවයන් නොමැතිව පාලකයන්ගේ බලය දුර්වල වී සහ අවසානයේ අතුරුදහන් වී යනු ඇත.
තමන්ට අභිමත ලෙස කටයුතු කිරීමේ හැකියාවට තර්ජනයක් වන අන්දමේ අදහස් වලට සහ ක්‍රියාමාර්ග වලට ඒකාධිපතිහු ස්වාභාවිකවම සංවේදී වෙති. එබැවින් ඒකාධිපතින් තමන්ට අවනත නොවන්නන්ට, වර්ජනය කරන්නන්ට සහ සහයෝගය නොදෙන්නන්ට තර්ජනය කිරීමට හෝ දඬුවම් කිරීමට බොහෝවිට ඉඩතිබේ. කෙසේනමුත් එය අවසානය නොවේ. පාලකයන් විසින් කරනු ලබන මැඩපැවැත්වීම සහ ඇතැම්විට කෘරත්වය පවා  පාලන තන්ත්‍රයේ පැවැත්ම සහතික කිරීම සඳහා අවශ්‍ය වන මට්ටමට අවනතභාවයේ සහ සහයෝගිතාවයේ ආරම්භය සනිටුහන් කිරීමට සෑමවිටම සමත් වන්නේ නැත.
පාලකයන් විසින් කරනු ලබන මැඩපැවැත්වීම නොතකා සැහෙන කාලයකට බලයේ ප්‍රභවයන් අවහිර කිරීමට හෝ ඉවත් කිරීමට හැකිනම් ආරම්භක ප්‍රතිඵලය වනු ඇත්තේ ඒකාධිපතිත්වය තුළ අවිනිශ්චිත තාවයක් සහ ව්‍යාකුල තාවයක් ඇතිවීමයි. මෙයට පසු බොහෝවිට ඒකාධිපතිත්වයේ බලය නිශ්චිත ලෙස දුර්වල වීමක් ඇතිවනු ඇත. කාලයාගේ ඇවෑමෙන් බලයේ ප්‍රභවයන් අත්හිටවීම මගින් පාලන තන්ත්‍රයේ ක්‍රියා ශක්තිය නැතිවීම සහ බෙලහීනත්වය ඇතිවන අතර දැඩි අවස්ථාවන්හිදී පාලන තන්ත්‍රය බිඳ වැටෙනු ඇත. දේශපාලන නිරාහාරත්වය හේතුවෙන් සෙමෙන් හෝ ඉක්මනින් ඒකාධිපතින්ගේ බලය අභාවයට යනු ඇත.
ඕනෑම රාජ්‍යයක පුද්ගල ස්වාධිපත්‍යයේ හෝ ප්‍රජා පීඩනයේ මට්ටම, එම රාජ්‍යයේ යටත් වැසියන්ගේ නිදහසට ඇති අධිෂ්ඨානයේ සහ ඔවුන් දාස භාවයේ තබාගැනීමේ ප්‍රයත්නයන්ට එරෙහිවීමට ඇති කැමැත්තේ  සහ හැකියාවේ  මට්ටමේ ප්‍රතිබිම්බයකි.
ජනප්‍රිය මතවාදයට එරෙහිව සමස්තතාවාදී ඒකාධිපතිත්වයන් පවා තමන් විසින් පාලනය කරනු ලබන ජනතාව සහ සමාජ මත රඳා පවතී. දේශපාලන විද්‍යාඥයකු වූ  කාල්  ඩබ්ලියු. ඩොයිෂ් 1953 දී මෙසේ කියා ඇත.
සමස්තතාවාදී බලය වඩාත් ප්‍රබල වන්නේ එය නිතොරවම පාවිච්චි කිරීමට අවශ්‍ය නොවන්නේ නම් පමණි. සමස්තතාවාදී බලය සෑමවිටම රටේ සමස්ත ජනතාවට එරෙහිව පාවිච්චි කිරීමට සිදුවන්නේ නම් එය ශක්තිමත් ලෙස බොහෝ කාලයක් නොපවතිනු ඇත. වෙනත් ආණ්ඩු වලට වඩා සමස්තතාවාදී  පාලන තන්ත්‍රයන් සිය යටත් වැසියන් සමඟ ගනුදෙනු කිරීමේදී බලය වඩාත් අවශ්‍ය වන බැවින් එවැනි පාලන තන්ත්‍රයන්ට වඩාත් පැතිරුණු සහ විශ්වාස කල හැකි ලෙස පාලන තන්ත්‍රයට අනුකුල වීමේ පුරුද්ද ජනතාව අතර තිබීමේ දැඩි අවශ්‍යතාවයක් තිබේ. එයටත් වඩා ජනතාවගෙන් සෑහෙන පිරිසකගේ සක්‍රිය සහයෝගය අවශ්‍ය අවස්ථාවකදී ලැබීමේ සහතිකය ඔවුන්ට අවශ්‍ය වේ.8
------------------------------------------------------------------------------------------------------------------------------
8. Karl. W. Deutsch “Cracks in the Monolith” in Carl J. Friedrich, ed., Totalitarianism (Cambridge, Mass.: Harvard University   Press, 1954) pp 313-314.
---------------------------------------------------------------------------------------------------------------------------------------
දහනවවන ශතවර්ෂයේ විසූ ඉංග්‍රීසි ජාතික නීතිය පිලිබඳ න්‍යායවාදියකු වූ ජෝන් ඔස්ටින් විසින් මහත්සේ කලකිරුණු ජනතාවක් ඉදිරියේ ඒකාධිපතිත්වයක් මුහුණදෙන තත්ත්වය විස්තර කර තිබේ. ජනතාවගෙන් වැඩි පිරිසක් පවතින රජය පෙරළා දැමීමට අධිෂ්ඨාන කරගෙන ඇත්තේ නම් සහ ඒ සඳහා ඇතිවිය හැකි මර්දනයට ඔරොත්තු දීමට ඔවුන් සුදානම් නම් පවතින රජයේ බලය සහ ශක්තිය, ඔවුන්ට සහයෝගය දෙන්නන් ද ඇතුළුව, ජනතාවගේ වෛරයට පාත්‍ර වූ එම රජය ආරක්ෂා කිරීමට, විදේශ ආධාර ලැබුනේ වුවද,  ප්‍රමාණවත් නොවනු ඇති බවට ජෝන් ඔස්ටින් විසින් පෙන්වා දී ඇත. ඔස්ටින් සිය කරුණු දැක්වීම සමාප්ත කරන්නේ විරෝධතා දක්වන ජනතාව නැවත ස්ථිර ලෙස යටහත් පහත් තත්ත්වයේ තබාගැනීම කල නොහැකි කාර්යයක් බවයි.9
----------------------------------------------------------------------------------------------------------------------------
9. John Austin, Lectures on Jurisprudence or the Philosophy of Positive Law ( Fifth edition revised and edited by Robert Campbell, 2 Vol.,London, John Murray, 1911 (1861), Vol. I p.296
බොහෝ කලකට පෙර නිකොලෝ මැකියවෙල්ලි මෙසේ කරුණු ගෙනහැර දක්වා ඇත. “.... සමස්ත මහජනතාව සිය සතුරන් ලෙස සලකන කුමාරයකුට කිසිසේත්ම තමන් ආරක්ෂා කරගත නොහැකි අතර ඔහුගේ කෘර කම වැඩිවත්ම ඔහුගේ රාජ්‍යය වඩාත් දුර්වල වේ.” 10
-------------------------------------------------------------------------------------------------------------------------------
10. Niccolo Machiavelli, “The discourses on the First Ten Books of Livy,” In the discourses of Niccolo Machiavelli (London; Routledge and Kegan Paul, 1950), Vol. I p.254.
මෙම සූක්ෂ්ම දෘෂ්ටීන් වල ප්‍රයෝගික දේශපාලන භාවිතය, නාසි ආක්‍රමණිකයන්ට එරෙහිව අරගලයේදී යටත් නොවුණු වීර නෝවීජියානුවන් විසින් ද පළමුවන පරිච්ඡේදයේ දැක්වුණු පරිදි කොමියුනිස්ට් ප්‍රචණ්ඩත්වයට සහ ඒකාධිපතිත්වයට එරෙහි වූද අවසානයේදී යුරෝපයේ කොමියුනිස්ට් පාලනය පෙරළා දැමීමට උපකාරී වූද  නිර්භීත පෝලන්ත, ජර්මන්, චෙක්, ස්ලොවැක් සහ වෙනත් ජාතීන් විසින්ද ඔප්පු කර තිබේ.
මෙය කිසිසේත්ම නව සංසිද්ධියක් නොවේ. ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ උදාහරණ සඳහා යටත් පිරිසෙයින් ක්‍රි. පූ. 494 දී ප්ලේබියන් වරු තමන්ගේ රෝමන් වංශාධිපති පාලකයන්ට සහයෝගය නොදැක්වීම දක්වා අතීතයට ගිය හැක.11  ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියා වේ , පැසිෆික් දූපත් වල සහ යුරෝපයේ ජනතාව විසින් ප්‍රචණ්ඩකාරී නොවන අරගලය බොහෝ අවස්ථා වලදී ක්‍රියාවට නංවා ඇත.
11. see Gene Sharp, The Politics of Nonviolent Action (Boston: Porter Sargent, 1973) p 75 and passim for their historical examples.
------------------------------------------------------------------------------------------------------------------------------------------
එබැවින් ආණ්ඩුවක  බලය පාලනය කල හැකි සහ නොහැකි  මට්ටම තීරණය කෙරෙන ඉතා වැදගත් සාධක නම්: (1) ආණ්ඩුවක බලයට සීමා පැනවීමට එරට මහජනතාවට සාපේක්ෂ වශයෙන් ඇති අභිප්‍රාය (2) යටත් වැසියන්ගේ ස්වාධින සංවිධාන සහ ආයතන වලට ආණ්ඩුවට ඇති බලයේ ප්‍රභවයන් සාමුහිකව ඉවත් කරගැනීමට සාපේක්ෂ වශයෙන් ඇති ශක්තිය    (3) සිය අනුමැතිය සහ සහයෝගය රඳවා තබා ගැනීමට ජනතාවට සාපේක්ෂ වශයෙන් ඇති හැකියාව
ප්‍රජාතන්ත්‍රවාදී බලයේ මධ්‍යස්ථාන
ප්‍රජාතාන්ත්‍රික සමාජයක ආවේනික ලක්ෂණයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධාන සහ ආයතන රාශියකගේ නිදහස් පැවැත්මක් ඇතිවීමයි. උදාහරණයක් වශයෙන් පවුල්, ආගමික සංවිධාන, සංස්කෘතික සමිති, ක්‍රීඩා සමාජ,  ආර්ථික ආයතන, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, ග්‍රාමීය සමිති, අසල්වාසීන්ගේ සමිති, ගෙවතු සමාජ,  මානව හිමිකම් සංවිධාන, සංගීත කණ්ඩායම්, සාහිත්‍ය සමිති සහ වෙනත් සංවිධාන මේවාට අයත්වේ. මේවායේ පැවැත්ම එක් එක් සංවිධානයේ අරමුණු ළඟා කර ගැනීම සඳහාද සමාජ අවශ්‍යතා මුදුන් පත් කරගැනීම සඳහාද  ප්‍රයෝජනවත් වේ.
මෙයට අමතර වශයෙන් මෙම සමිති සහ සංවිධාන වලට බලවත් දේශපාලන වැදගත්කමක් ඇත. ජනතාවට සිය සමාජ ගමන් කරන දිශාව පිලිබඳ බලපෑමක් කිරීමටද  ආණ්ඩුව හෝ වෙනත් කණ්ඩායම් හෝ සිය අභිරුචීන්, කාර්යයන් සහ අරමුණු සමඟ ගැටෙන විට එයට විරුද්ධ වීමට ද මෙම සමිති සහ සංවිධාන විසින් කණ්ඩායම් සහ ආයතනික පදනමක් සපයනු ලැබේ. මෙවැනි කණ්ඩායමක සාමාජිකයන් වීමෙන් තොරව තනි පුද්ගලයන් විසින් බාහිර සමාජය වෙත සුවිශේෂ බලපෑමක් කිරීම සාමාන්‍යයෙන් අසීරු වේ. ආණ්ඩුවක් සම්බන්ධයෙන් මෙය වඩාත් අසීරු වන අතර ඒකාධිපතිත්වයක් සම්බන්ධයෙන් මෙය කිසිසේත්ම කල නොහැක.  
ප්‍රතික්‍රියා වශයෙන් ඒකාධිපතින් විසින් මෙම ආයතන වල ස්වාධිනත්වය සහ නිදහස ඉවත් කර ගන්නේ නම් ජනතාව සාපේක්ෂ වශයෙන් අසරණ වේ. එමෙන්ම ප්‍රධාන පාලන තන්ත්‍රය විසින් මෙම ආයතන, සර්වාධිකාරී ලෙස හසුරුවන්නේ නම් හෝ තමන්ගේ අණසක යටතේ පවතින වෙනත් ආයතන  මගින් ප්‍රතිස්ථාපනය කරන්නේ නම් හෝ මෙම ආයතන ඒවායේ සාමාජිකයන් සහ එම සමාජයේ අදාල අංශ වෙත බලපෑම් කිරීමට යොදාගත හැක.
කෙසේවෙතත් මෙම ස්වාධින සිවිල් ආයතන වල ( ආණ්ඩුවේ පරිපාලනයෙන් පිටත ඇති) ස්වතන්ත්‍රතාව සහ නිදහස පවත්වා ගත හැකි නම් හෝ ඒවා නැතිවී ගිය පසු නැවත ඇති කල හැකි නම් හෝ දේශපාලන විරෝධතා ව්‍යාපාර වල භාවිතය සඳහා ඒවා බොහෝ සෙයින් උපකාරී වේ. උපුටා දක්වන ලද ඒකාධිපතිත්වයන් බිඳවැටුණු හෝ දුර්වල වුනු උදාහරණ වල පොදු ලක්ෂණය වූයේ ජනතාව විසින් සහ ඔවුන්ගේ ආයතන විසින් සංවිධානය කෙරුණු  දේශපාලන විරෝධතා ව්‍යාපාර වල ධෛර්ය සම්පන්න බහුජන භාවිතයයි.
ඉහත සඳහන් කල පරිදි මෙම බල මධ්‍යස්ථාන මගින් ජනතාවට ඒකාධිපති පාලනය කට බලපෑම් කිරීමට හෝ එයට විරුද්ධවීමට හෝ පහසු වන පරිදි ආයතනික පදනමක් සපයනු ලැබේ. අනාගතයේදී මේවා නිදහස් සමාජයක් ඇතිකිරීම සඳහා අත්හල නොහැකි ව්‍යුහාත්මක පදනමක අංගයන් වනු ඇත. එමනිසා මේවායේ ස්වාධිනත්වයේ සහ වර්ධනයේ පැවැත්ම බොහෝවිට නිදහස් අරගලයේ ජයග්‍රහණය සඳහා පූර්ව කොන්දේසියක් වනු ඇත.
සමාජයේ ස්වාධින ආයතන බිඳ දැමීමට හෝ තමන්ට අභිමත පරිදි හැසිරවීමට හෝ ඒකාධිපතිත්වය බොහෝ දුරට සමත් වේ නම් අරගල කරුවන්ට නව ස්වාධින සමාජයීය කණ්ඩායම් සහ ආයතන ඇතිකිරීම හෝ ඉතිරිවී ඇති එසේ නොමැති නම් අර්ධ වශයෙන් පාලනය කරනු ලබන ආයතනවල ප්‍රජාතාන්ත්‍රික පාලනය නැවත තහවුරු කිරීම හෝ වැදගත් වනු ඇත.    1956-1957 කාලයේදී ඇතිවූ හංගේරියානු විප්ලවයේදී  සති කිහිපයකට වත් ආණ්ඩුකරණය සහ ආයතන සඳහා පුර්ණ සන්ධිය ක්‍රමයකට බද්ධ වීමට තරම් හැකියාවක් ඇති වූ ඍජු ප්‍රජාතාන්ත්‍රික මණ්ඩල රාශි වශයෙන් ඇතිවිය.  පෝලන්තයේ 1980 දී සේවකයන් විසින් නිත්‍යානුකුල නොවන සහයෝගිතා සමිති පවත්වාගෙන යන ලද අතර සමහර අවස්ථා වලදී කොමියුනිස්ට් පාලනය අතෙහි තිබූ නිත්‍යානුකුල වෘත්තීය සමිති වල පාලනය සියතට ගැනීමට ද ඔවුහු සමත් වූහ. මෙවැනි ආයතනික විකාශනයන් මගින් වඩාත් වැදගත් දේශපාලන ප්‍රතිඵල ඇති විය හැක.
ඇත්ත වශයෙන්ම මේ කිසිවකින් ඒකාධිපතිත්වයන් දුර්වල කිරීම සහ බිඳ දැමීම පහසු බව හෝ එම සියළු උත්සාහයන් සාර්ථක වන බව හෝ ගම්‍ය නොවේ. අරගලය තුවාල කරුවන්ගෙන් තොර වන බව එයින් කිසිසේත්ම අදහස් නොවේ. මන්ද යත් ඒකාධිපතියන්ට තවමත් සේවය කරන්නන් ජනතාවගෙන් නැවතත් සහයෝගය සහ කීකරුකම ලබාගැනීම උදෙසා සටන් කිරීමට පෙළඹිය හැකි බැවිනි.
කෙසේවෙතත් බලය පිලිබඳ සංකල්පය විනිවිද දකිමින් කරන ලද ඉහත කරුණු දැක්වීමේ තේරුම වන්නේ   චේතනාන්විතව  ඒකාධිපතිත්වයන් බිඳ දැමීම  කළහැකි බවයි. දක්ෂ ලෙස ක්‍රියාත්මක කරන ලද දේශපාලන විරෝධතා ව්‍යාපාර මගින් අනතුරට භාජනය වීමේ නිශ්චිත ලක්ෂණයක් විශේෂයෙන්ම ඒකාධිපතිත්වයන්ට ඇත. මෙම ලක්ෂණයන් ඉදිරියේදී දීර්ඝ වශයෙන් පරික්ෂා කර බලමු.



No comments:

Post a Comment