හර්ෂ ගුණසේන
ජාතිවාදී ගැටුම් නැවතත් මතුවී තිබේ. එමෙන්ම එය
නැවත නැවතත් මතුවීමට ඉඩ තිබේ. මක්නිසාද යත් අප, පාලකයෝද පාලිතයෝද, සිදුවූ වැරදි
වලින් පාඩම් ඉගෙන නොගන්නා පිරිසක් බව නැවත නැවතත් පෙන්නුම් කරමින් සිටින නිසාය.
ජාතිවාදී ගැටුම් පිළිබඳව මගේ ප්‍රථම අත්දැකීම 1983 කළු ජුලියයි.
එම ගැටුම් වල ප්‍රථම දිනයේ මා එවකට සේවය කළ කාර්යාලය පිහිටි කොළඹ කොටුවේ සිට
දුම්රිය ස්ථානය වෙත ඇවිදයමින් සිටියදී අඩක් නිරුවතින් තුවාල සහිතව පාරේ වැටී එතෙක් මිය නොගොස් තදින් හුස්ම ගනිමින්
සිටි පුද්ගලයාට උපකාර කිරීමට නොහැකි වීම
පිළිබඳ මතකය මා තුළ දිගටම පවතිනු ඇත. එම
අවස්ථාවේදී මා පසුකරමින් ජය ඝෝෂා මැද හමුදා භටයෝ රථවාහන වල නැගී ගමන් ගත්හ.
එවකට තිබූ පාලනය ඇඳිරි නිතිය පැනවීම අනවශ්‍ය ලෙස
පමා කළ අතර ජනාධිපති ජයවර්ධන ජාතිය ඇමතුවේ දින කිහිපයකට පසුවය. එම කථාවේදී ඔහු ද්‍රවිඩ
දේශපාලනඥයන්ට චෝදනා කළේය. වින්දිතයාට චෝදනා කළේය. එම කථාව නින්දා සහගත බව මට හැඟුනි. එම කථාව පාලකයකු විසින් එවැනි
අවස්ථාවක නොකළ යුතු කථාවකි. ඔහුට එවකට තිබුණු සිංහල මතවාදය සමඟ සිටීමට අවශ්‍ය විය.
ඔහු බියවී සිටියේ යයි මට සිතුනි. එනමුත් එවකට
පුර්ණ ජනාධිපති බලතල ද පාර්ලිමේන්තුවේ 5/6ක බලයද
ඔහුගේ පක්ෂයේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිද ඔහු සන්තකයේ තිබුණි.
මෙවැනි අවස්ථාවල ශ්‍රී ලාංකික නායකයන්ගේ ක්‍රියා කලාපය මෙබඳුය. 1958 දී එස්. ඩබ්.
ආර්. ඩි. බණ්ඩාරනායක ක්‍රියා කළේද පසුගිය ආණ්ඩු කාලයේදී මහින්ද රාජපක්ෂ ක්‍රියා
කළේද පසුගියදා ඇතිවූ ගැටුම් වලදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රියා කළේද අශ්වයා
පැන ගිය පසු ඉස්තාලය වැසීමේ ක්‍රම වේදයට
අනුවයි.
මෙරට පොලිසිය සහ හමුදාව ක්‍රියාකර ඇත්තේද බෞද්ධ
භික්ෂූන් ක්‍රියාකර ඇත්තේද සිංහල බෞද්ධ ජන මතය ක්‍රියා කර ඇත්තේද බොහෝ ව්‍යතිරේක
සහිතව ඒ ආකාරයටමයි.
වාර්ගික
අසමගිය ඇතිවන ආකාරයේ කථා පැවැත්වීම නිතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. පසුගිය
ආණ්ඩු කාලයේ වාර්ගික අසමගිය ඇතිවන ලෙස කටයුතු කළ බවට වූ චෝදනාවක් මත අසාත් සාලි
අත් අඩංගුවට පත්විය. මෙම නිතිය වලංගු වන්නේ සුළු ජාතිකයන්ට පමණක් විය හැක. බෞද්ධ
භික්ෂුන් මේ ආකාරයේ කථා පවත්වන ලද අවස්ථා වලදී ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක
වූයේ මන්දගාමීවය.
මහත්මා ගාන්ධි සිය අවසන් සත්‍යග්‍රහය පවත්වන
ලද්දේ 1947 වාර්ගික
අරගල නවත්වන ලෙස එනම් හින්දුන් විසින් මුස්ලිම් වරුන්ට කරණ ලද හිරිහැර නවත්වන ලෙස
බල කරමින්ය. මුල් අවස්ථාවේදී ඔහුට එරෙහිව විරුද්ධතා නැගුන නමුත් පසුව සමස්ත
ඉන්දියාව සාමකාමී විය. ජනතාවගේ අභිප්රායයන්ට පටහැනිව වර්ගවාදයට එරෙහිව මෙවැනි
තීරණ ගත් බොහෝ නායකයෝ වෙති. නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකානු ජාතික සංගමයේ මතවාදයට
එරෙහිව කලින් බලයේ සිටි සුදු අප්‍රිකානු ජාතිකයන්ද සිය පාලනයට හවුල් කරගත්තේය.
ලෝකය වෙනස් වන්නේ ජනතාවට ඉදිරියෙන් යන මෙවැනි මිනිසුන් නිසාය. ජනතාවට පසුපසින් යන
නායකයන් නිසා නොවේ.
ඉංග්‍රීසින්ගෙන් මෙරට නිදහස් කරගැනීම සඳහා ප්රමුඛ තම කාර්යයක් කළා වූද ගුණදාස අමරසේකරට
අනුව මෙරට ජාතික චින්තනයේ නිර්මාතෘ වරයා
වූද මෙරට ජාතිවාදය ඇතිකිරීමේ පුරෝගාමියා වූ ද අනගාරික ධර්මපාල 1911 සැප් 30 සිංහල බෞද්ධයා
පත්‍රයේ මෙසේ කියා තිබේ.
“එංගලන්තයෙන් රජතුමා වෙනුවෙන් එවනු ලබන මන්ත්‍රීතුමා යුවරජ හැටියට
භාර ගැනීමද ලංකාවේ යුද්ධ සේනාධිපතිකමට ඉංග්‍රීසි උතුමකු පත් කර ගැනීමද සිංහල නීතියේ හැටියට අධිකරණය ලාංකිකයන්ට දීමද කළ යුතුයි. මහලේකම් කම, මහා භාණ්ඩාගාරික කම, පළාත්වල දිසාපතිකම්, කෝරල නිල ආදී ලංකාවේ සියළුම නිල ලංකාවේ උපන් ස්වදේශීන්
වන සිංහල, දෙමල බර්ගර්,ඉංග්‍රීසි අදින්ට ඒ බල ප්‍රමාණයේ හැටියට ප්රදානය කළ යුතුයි. ලංකාවේ අදායම් ලංකා වාසීන්ගේ අභිවෘද්ධිය සඳහා ශිල්ප ශාස්ත්‍ර කෘෂි
වාණිජ කර්මාන්තශාලා පිහිටුවීමට වියදම් කට යුතුයි. සිංහල
දෙමළ බර්ගර් ඉංග්‍රීසින් ගෙන් යුත් යුද්ධ හමුදාවක් ඇති කරගත යුතුයි. දුම් යාත්‍රා ලංකාවේ හැදීම කට යුතුයි. ස්වරාජ්‍ය ධර්මයේ පිහිටීමට සිංහලයන් විසින් ප්‍රර්ථනා කට යුතුයි.”
මෙහිදී මුස්ලිම් වරුන් ගැන සඳහන් නොකිරීම හිතා මතා කළ දෙයක් බව පෙනේ. එනමුත් ඔහු විසින් සඳහන් කරණ ලද යුද්ධ හමුදාවට එමෙන්ම සියළු හමුදාවන්ට සහ පොලිසියට සියළු ජාතීන් බඳවා ගැනීම
මෙරට
ආණ්ඩු විසින් ප්‍රමාණාත්මකව නොකරන ලදී.
හමුදාවල සහ පොලිසියේ ඇති සිංහල වාර්ගික මතවාදයට මෙම කාරණයද ප්‍රබල හේතුවක් වී
තිබේ.
මෑත කාලයේ වාර්ගික අරගල වල ප්රමුඛ ස්ථානය ගන්නා
ලද්දේ බෞද්ධ භික්ෂුන් ය. යම් භික්ෂුවක් වාර්ගික අරගල සඳහා අනුබල දෙන්නේද හේ
නීචයෙකි,
අධමයෙකි, මුග්ධයෙකි. මක්නිසාද යත් ඔහු බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට සපුරා
පටහැනි ක්‍රියාවක නිරත වන හෙයිනි. ඒ අනුසාරයෙන් බුදු දහම විනාශ කරණ බැවිනි. බුදු
දහම පිලිබඳ වැරදි චිත්‍රයක් ලෝකයාට ඉදිරිපත් කරණ බැවිනි. තමුන්ට ආහාර, සිවුරු,
සේනාසන සහ බෙහෙත් ලබාදීම සහතික කරණ සම්ප්‍රදායට ද්‍රෝහී වන බැවිනි.
පුරාණයේ භික්ෂුන්ද මෙවැනි අකැප ක්‍රියා කළ නමුත්
ඒවා මතුවී නොපෙනුනේ ඔවුන් ඒ අවස්ථාවලදී සිටියේ පීඩිතයා ගේ පැත්තේ බැවිනි. දැන්
භික්ෂුන් පීඩකයා ගේ භූමිකාවට අවතීර්ණ වී ඇත. එබැවින් ඔවුන්ගේ අධම ක්‍රියා මතුවී
පෙනේ.
අනගාරික
ධර්මපාල විසින් මෙරට සිංහල බෞද්ධ ජන විඥාණය වර්ගවාදී කරණ ලද අතර නිදහස් අරගලය
සමයේදීම විවිධ ජාතීන් සඳහා වෙනම සංගම් ඇතිවිය. ධර්මපාල විසින් ඇති කරණ ලද වර්ගවාදී
චින්තනය ගුණදාස අමරසේකර විසින් ජාතික චින්තනය ලෙස හඳුනාගන්නා ලද අතර මෙම ඊනියා
චින්තනය ජාතිය භේද කිරීමට මිස ශ්‍රී ලංකික ජාතිය එකතු කිරීමට හේතු නොවීය. ඉන්දීය
නිදහස් අරගලයේදී එහි නායකයන් විසින් ලංකාවට වඩා භේද භින්න වී තිබුණු විවිධ ජන වර්ග
සහ ආගම් වලට අයත් ඉන්දීය ජනතාව එක් සේසත් කිරීමට නිදහස් අරගලය පාවිච්චි කරණ ලදී.
කුලවාදී අස්පර්ශ සංකල්පයට එරෙහිව ඔවුන් ක්‍රියා කළ අතර ජින්නා විසින් පකිස්ථානය
ඇති කිරීමෙන් පසුවද විශාල මුස්ලිම්
ජනගහනයක් ඉන්දියාවේ ඉතිරි විය.
අනගාරික
ධර්මපාලට පෙර සිංහල බෞද්ධයෝ වර්ගවාදී ආකල්ප නොදැරූහ. යටත් විජිත සමයේ මුස්ලිම් වරුන් සමඟ වෙළෙඳ තරඟයක සහ එම
හේතුවෙන් ප්රචණ්ඩ අරගලයක යෙදුනු යුරෝපා
ජාතීන්ගෙන් මුස්ලිම් වරුන් ආරක්ෂා කරගෙන ඔවුන්ට රට අභ්‍යන්තරයේ ඉඩම් දුන්නේ සිංහල
බෞද්ධයන් සහ ඔවුන්ගේ රජවරුන් විසිනි. අද මුස්ලිම් වරුන් නුවර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය
වී ඇත්තේ ඒ නිසාය. රෝමානු කතෝලිකයන් ලන්දේසි ප්‍රොතෙස්තන්ත ආගමිකයන් ගෙන් ආරක්ෂා
කරණ ලද්දේ සිංහල බෞද්ධයන් සහ ඔවුන්ගේ රජවරුන් විසිනි. ප්‍රැන්සිස් පාප් වහන්සේට
ජෝසප් වාස් පියතුමා ශුද්ධත්වයට පත්කිරීමට හැකි වූයේ ඒ නිසාය.
අප ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගැයිය යුතු
දැයි විවාද කරමින් සිටින විට ඉංග්‍රීසියෙන් සහ ප්රංස භාෂා වලින් ගයන කැනඩා ජාතික
ගීයේ ‘ඔබගේ පුතුන්’ යන කොටස ‘අප සියලුදෙනා’ වශයෙන් මෑතකදී වෙනස් කර ඇත්තේ ස්ත්රීන්ට
ද සමානයන් ලෙස සැලකීම ඔවුන්ගේ වර්තමාන ප්‍රතිපත්තිය නිසාය. කැනඩා අගමැති ජස්ටින් ට්රූඩෝ මෙම ප්‍රතිපත්තිය
ඉදිරියට ගෙන යයි. ලෝකය යන්නේ ඒ දෙසටය. අපි ආපසු ගමන් කරමු.
සිංහල
බෞද්ධයෝ සිංහල බුද්ධාගම ආගමක් බවට පත්කරගෙන බහුතරයේ බෙදුම්වාදය ක්‍රියාත්මක කරති. ඔවුන්ගෙන් සමහරුන්
සිය මුල් ආගම වන බුද්ධාගම අතහැර ඇත. සමහරු හින්දු දෙවිවරුන් අදහති. එබැවින් ඔවුන් වෙනුවෙන් අප මෙසේ යාඥා කරමු.
අහෝ දෙවියනි, ඔවුන්ට සමාව දෙනු මැනව. මක්නිසාද යත් කළයුත්තේ
කුමක්දැයි ඔවුන් නොදන්නා බැවිනි. තමන්ගේ මුග්ධ භාවය නිසා තමන්ගේ අනාගතයද තම දරුවන්ගේ අනාගතයද ඉදිරියට එන පරම්පරා ගණනාවක අනාගතයද සිය ආදරණිය ජාතියේ අනාගතයද විනාශ වන බව ඔවුහු නොදනිති.
ඔවුන්ට වර්තමාන මොහොත සතිමත්ව නිවැරදිව දැකීමට සහාය වනු මැනව.
No comments:
Post a Comment