Wednesday, January 2, 2019

Published in samabima- ආර්ථික අර්බුදය සහ අපනයන


හර්ෂ ගුණසේන
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණපා ඇතැයි කියනු ලැබේ. මෑතකදී ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තවමත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නොමැති නමුත් ඒකාන්තයෙන්ම ශ්‍රී ලංකාව රෝහල් ගත කර ඇති බවයි. මෙම ආර්ථික අර්බුදය එකවර පහල වූ එකක් නොව කාලාන්තරයක් තිස්සේ අනුක්‍රමයෙන් වැඩිවෙමින් පැවති එකකි.
මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට දර්ශක දෙකක් භාවිතා කළ හැක. එනම් අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟයි. අයවැය හිඟය යනු ආණ්ඩුවේ අදායම සහ වියදම අතර පරතරයයි. එනම් ආණ්ඩුවේ වියදම අදායමට වඩා වැඩි වන ප්‍රමාණයයි. ජංගම ගිණුම් හිඟය යනු මෙරටට ගෙන එන ආනයන වෙනුවෙන් පිටරටට යන මුදල මෙරටින්  අපනයනය කෙරෙන භාණ්ඩ වෙනුවෙන් මෙරටට ලැබෙන මුදල, මෙරට ශ්‍රමිකයන් පිටරටට ගොස් උපයන අදායමෙන් මෙරටට එවන ප්‍රමාණය සහ වෙනත් ලැබීම් වල එකතුවට වඩා  වැඩිවන ප්‍රමාණයයි.
මේ දර්ශක දෙකම බොහෝ කාලයක් තිස්සේ පැවතියේ අපට අවාසි වන අන්දමටය. මේ සමඟ ඇති වගුවෙන් එය පැහැදිලි වේ. එහි දක්වා ඇත්තේ අදාළ හිඟයයන් රටේ මුළු වාර්ෂික නිෂ්පාදනයේ එනම් දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් දැක්වීමයි. දශක පහක සහ අර්ධ දශකයක සංඛ්‍යා වල සාමාන්‍ය අගය එහි දක්වා ඇත.
දල දේශීය නිෂ්පාදිතයේ %
1960-1969
1970-1979
1980-1989
1990-1999
2000-2009
2010-2015
අයවැය හිඟය
-6.00
-7.10
-11.30
-7.90
-8.10
-6.20
ජංගම ගිණුමේ හිඟය
-2.80
-2.00
-7.70
-4.80
-3.50
-4.20

පුද්ගලික මට්ටමෙන් මෙවැනි තත්ත්වයක් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යාම දුෂ්කර බව අප සියළු දෙනාම දනිමු.නමුත් දේශපාලනඥයන් සිය ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම උදෙසා ජනතාවට සහන දීම මගින් අයවැය හිඟය වැඩි කර ගනිති. ඉහළ සාක්ෂරතාවයක් ඇතැයි කියන ජනතාවද හඳෙන් හෝ හාල් ගෙනැත් දෙනවා යයි කියන යට ඡන්දය දෙති.
මෙම දර්ශක දෙක අතර අන්‍යොනය  සබඳතාවයක් ද  තිබේ.බොහෝ කාලයක් තිස්සේ මෙරට ආණ්ඩුවේ වියදම අදායමට වඩා වැඩි විය. ආණ්ඩුව මේ අමතර වියදම පියවා ගනු ලබන්නේ දේශීය සහ විදේශිය ණය ගැනීම මගිනි. දේශීය වෙළෙඳපොළෙන් ආණ්ඩුව විශාල වශයෙන් ණය ගත් විට දේශීය වෙළෙඳපොලේ පොලී අනුපාත ඉහළ යයි. ආණ්ඩුව ලබා ගන්නා විදේශ ණය හේතුවෙන් හා දේශීය පොලී අනුපාත ඉහළ යාම නිසා වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් ලැබෙන විදේශීය මුදල් හේතුවෙන් විදේශ මුදල් ඒකකයකට  ලැබෙන රුපියල් ප්‍රමාණය ( විනිමය අනුපාතය) අඩුවේ. එසේ නොමැතිනම් ආණ්ඩුවට විනිමය අනුපාතය ස්ථාවරව තබාගැනීමට එය උපකාරී වේ. මේ නිසා භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමේදී අපනයන කරුවන්ට විදේශ මුදල් ඒකකයකට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩුවේ.  නැතහොත් එය ස්ථාවරව තිබේ. ඉහළ ගිය පොලි අනුපාත සහ මේ අනුසාරයෙන් ඉහළ ගිය උද්ධමනය  නිසා අපනයන කරුවන්ට  භාණ්ඩ වල මිල ඉහළ දැමීමට සිදුවේ. ජාත්‍යන්තර වෙළෙඳ පොළට භාණ්ඩ සපයන අනෙකුත් රටවල අභ්‍යන්තර තත්ත්වය අපනයන කරුවන්ට වාසි දායක නම් ඔවුන්ගේ භාණ්ඩ වල මිල ස්ථාවරව තබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත. එවිට මෙරට භාණ්ඩ වලට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉල්ලුමක් නැතිවේ.     
පසුගිය වසර 15 ක පමණ කාලය තුළ මෙරට අපනයන දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක සිට 20% කට ආසන්න ප්‍රමාණයකට පහත වැටී තිබේ. මෙරට ප්‍රධානම සමාගම් 25න් 50% ක් බැංකු සහ මුල්‍ය සමාගම් වන අතර අපනයන සමාගම් ඇත්තේ කීපයකි. තත්ත්වයේ බලපතල කම සෑම පැත්තකින්ම පෙන්නුම් කෙරේ.
අපනයන පහත වැටීමට ඉහත සඳහන් කළ කාරණයට අමතරව තවත් හේතු ද තිබේ. පසුගිය කාලයේ GSP + සහනය මෙරටට අහිමි වීම එයට එක් හේතුවකි. GSP + සහනය යනු මෙරට ජනතාවගේ මානව හිමිකම් රැකීම වෙනුවෙන් යුරෝපා සංගමයට මෙරටින් යවන භාණ්ඩ වලට අදාළ තීරුබදු සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමයි. එවිට අපේ භාණ්ඩ අඩු තරඟකාරී මිලකට යුරෝපා සංගමයේ රටවල විකිනිමටද එමෙන්ම අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් සුරැකීමටද අපට අවස්ථාව ලැබේ.






No comments:

Post a Comment