Wednesday, January 2, 2019

ගලගොඩ අත්තේ ඥානසාර හිමි


හර්ෂ ගුණසේන
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් යුක්තිය ඉටුවීම බොහෝ පමා විය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අධිකරණයට සහ නීතියට ඉහළින් මේ භික්ෂුව සිටින සෙයක් දක්නට ලැබුණි. එසේ නොමැති බව අපට දැන් පසක් වී තිබේ. එනමුත් නිතිය ඉටු වුනේ පමා වීය. පමාවී හෝ නිතිය ඉටුවීම පිළිබඳව අප සතුටුවන අතර යුද අපරාධ සම්බන්ධව නඩු ඇසීම ගැන අපේ අධිකරණයට ඇති හැකියාව සහ ශක්තිය ගැන අපි උදම් අනමු. විදේශ විනිසුරන් අපට අවශ්‍ය නැතැයි අපි එකහෙලා කියා සිටිමු. මෙම ක්‍රියාව සහ අපගේ කථාව සම්බන්ධව යම් පරස්පරයක් ඇති බව අපට වැටහිය යුතුය. මක්නිසාද යත් අපගේ සාක්ෂරතාව ඉතා ඉහළ බැවිනි.
එනමුත් මෙම ඉහළ සාක්ෂරතාවයක් සහිත ජනතා කොටස් කාරනා දෙකක් පිළිබඳව මත පළකරමින් සිටිති.  උක්ත භික්ෂුව බන්ධනාගාරයේදීද සිවුර හැඳ   ජම්පරය නොහැඳ සිටිය යුතු බව එකකි. අනෙක මෙම කාරනාව සමථ මණ්ඩලයේදී විසඳා ගත නොහැකි වුනේ සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ විරුද්ධත්වය නිසා බැවින් ඇයට චෝදනා කිරීමයි.
පළමු කාරණාව මෙසේ පැහැදිලි කළ හැක. මේරටේ ජනාධිපති වරයා හැර වෙනත් කිසිම කෙනෙකු භික්ෂුන් වහන්සේ හෝ වේවා ගණින්නාන්සේ හෝ වේවා රටේ පවතින නීතියට ඉහළින් නොමැත. යම්කිසි භික්ෂුවක් රටේ පවතින නීතියට අනුව සිරගත කිරීම භික්ෂුත්වයට නිගාවකි. මෙම භික්ෂුවද අයිති සියම් නිකාය මෙරටට ගෙන ආ තායිලන්තයේ යම් භික්ෂුවක් සිරගත වීමක් හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් හෝ සිදුවුවහොත් එම භික්ෂුවගේ භික්ෂුත්වය අහිමිවේ. සම්ප්‍රදාය මෙය විය යුතුය. බන්ධනාගාරය තුලද සිවුර හැඳීමට ඉඩ දීම නොවේ. එය රටේ නීතියට ඉහළින් යාමකි. සිවුර දරමින් භික්ෂුත්වයට නිගා දෙන ආකාරයේ හැසිරීම් වල යෙදෙන භික්ෂුන්ට බෞද්ධයන් එරෙහි විය යුතුය. ඔවුන් බුද්ධාගම ඇතුලතින් විනාශ කරණ බව මේ සාක්ෂරතාව ඉහළ පුද්ගලයන්ට වැටහී යා යුතුය. මෙවැනි භික්ෂුන් විසින් අනුක්‍රමයෙන් විනාශ කරමින් යන බුදු සසුන රැක ගැනීම සඳහා භික්ෂු කතිකාවතක් ඇතිවිය යුතුය. පැරණි යුගවල භික්ෂු කතිකාවත් ඇතිවුයේ බුදු සසුන පරිහානිය කරා ඇදගෙන යන මෙවැනි භික්ෂුන් නිසාය.
බුදුන් වහන්සේ රටේ නීතියට ගරු කළහ. පසේනදී කොසොල් රජුට අංගුලිමාල අත් අඩංගුවට ගැනීමට නොහැකි විය. බුදුහු අංගුලිමාල දමනය කළහ.  පසේනදී කොසොල් රජු බුදුන් දැකීමට පැමිණි අවස්ථාවකදී රජුට අල්ලා ගැනීමට නොහැකිවූ අංගුලිමාල තමන් වහන්සේ විසින් මහණ කළහොත් කුමක් කරන්නේදැයි බුදුහු කොසොල් රජු ගෙන් විචාළහ. ඔහුට වන්දනා කරණ බව රජු කියා සිටියේය. මෙය සමාව දීමකි. රජු පාවිච්චි කලේ ඔහුගේ බලයයි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මෙසේ සමාව දීමේ බලය තිබේ. මේ අනුව බුදුන් වහන්සේ විසින් අංගුලිමාල වෙනුවෙන් රජු ගෙන් මෙම සමාව ලබා ගෙන ඇත. එසේ නොමැති වුව හොත් කෙනෙක් අපරාධයක් කර භික්ෂුත්වයට ඇතුල් විය හැක. භික්ෂුව නීතියට ඉහළින් නම් රටක් පාලනය කළ නොහැක. බුදුන් වහන්සේ මේ අවස්ථාවේදී රටේ පැවතුන නීතියට සුක්ෂ්ම ලෙස අනුගත වී තිබේ. ඉහළ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයන් මේ කරුණු පිළිබඳව දැනුවත් විය යුතුය.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ. ආර්. ද සිල්වා පසුගියදා ප්‍රකාශ කලේ දැනට භික්ෂුන් 15 දෙනෙක් සහ වෙනත් ආගමික පුජකවරු 3 දෙනෙක් බන්ධනාගාර ගතවී ජම්පරය හඳිමින් සිටින බවයි. එබැවින් අදාල භික්ෂුවට පමණක් ජම්පරය හැඳීමේ ප්‍රශ්නයක්  නැත.
භික්ෂු විනයේ සිවුර නොහැඳිම සතර පාරාජිකාවට හෝ සංඝාදිශේෂ ශික්ෂාපද 13 ට හෝ ඇතුළත් නොවේ. නිස්සග්ගිය -පාසිත්‍ය ශික්ෂා පද තිහකි. ඒවා කඩ කළහොත් ඒවාට මුල්වූ පාත්‍ර සිවුරු සංඝයා මැදදී අනෙකකුට පවරා ඇවැත් දෙසා පිරිසිදු වියයුතුය. සිවුරු හැඳිම අදාල වන්නේ බොහෝවිට මෙම ශික්ෂා පද වලටය.
පාචිත්ති ශික්ෂා පද 92 කි. ඒවා කඩ කළ හොත් අන්‍ය භික්ෂු නමක් ඉදිරියට ගොස් ඒ සිද්ධිය දන්වා නැවත එය නොකරන බවට පොරොන්දුවී ශුද්ධිය ලැබිය යුතුය.  51 වන පාචිත්තිය අනුව භික්ෂුවක් මත්පැන් පානයෙන් වැළකිය යුතුය. යම් භික්ෂුවක් බිමත්ව රිය පැදවා ඇත්නම් එය එම ශික්ෂා පදය කඩ කිරීමකි.
අනෙක් කරුණ ද ප්‍රලාපයකි. සන්ධ්‍යා එක්නැලිගොඩ සමථ මණ්ඩලයට ගියාය. එහිදී සමථ මණ්ඩල සාමාජිකයෝ මෙම විත්තිකාර භික්ෂුවට වැඳ වැටුනහ. එබැවින් එම රැස්වීම එක පාක්ෂික විය. එහි සමථයක් නොතිබුණි. මෙම විත්තිකාර භික්ෂුව සන්ධ්‍යා එක්නැලිගොඩ ගෙන් සමාව ගත්තා නම් ප්‍රශ්නයක් නොමැත. මෙම භික්ෂුවගේ කල් ක්‍රියාවත් සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ කල් ක්‍රියාවත් ගතහොත් ඇය වන්දනීය වේ. ඇයට සහ ඇයගේ ධෛර්යයට සමස්ත ජාතියම හිස නමා ආචාර කළ යුතුය.
එබැවින් අපගේ සාක්ෂරතාව ඉහළ වුවත් අප මතවාදී වශයෙන් අන්ධ වී ඇති දැයි අප විසින් විමසා බැලිය යුතුය. එසේ නම් එය සිංහල බෞද්ධ කමට නිගාවකි.


No comments:

Post a Comment