රුපියලේ අවප්‍රමාණය
හර්ෂ ගුණසේන
පසුගිය සතියෙහි විවිධ ආර්ථික මොඩල ගැන අපි සාකච්ඡා කළෙමු. ඇත්තවශයෙන්ම ඇත්තේ විවෘත සහ සංවෘත ආර්ථික මොඩල වේ.
භාවිතාවේදී විවෘත ආර්ථික මොඩලය යම් යම් වෙනස්කම් වලට භාජනය වී ඇත. අද ලෝකයේ බොහෝ
රටවල භාවිතා වන්නේ විවෘත ආර්ථික මොඩලයයි.
ගිය සතියේ වියත් මග සම්මන්ත්‍රණයේදී නාලක ගොඩහේවා විසින් මතු කරණ ලද යම් අදහස්
පිළිබඳව සාකච්ඡා කළෙමු. එහිදී ඔහු විසින් දක්වන ලද එක් අදහසක් වූයේ මෙම ආණ්ඩුව
බලයට පත්වීමෙන් පසුව රුපියල 19% කින් අවප්‍රමානය වී ඇති බවත් මේ හේතුවෙන් විදේශ ණය
රුපියල් බිලියන 886 කින් ඉහළ ගොස් ඇති බවත් ය. ඔහු මෙම තත්ත්වය විවේචනය කළේය. මිට
පෙරද මෙම විවේචනයම මහා බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ද කරණ
ලදී. එබැවින් මෙම කාරනය දීර්ඝ වශයෙන් සලකා බැලීම උචිත වේ.
1977 ට පෙර ශ්‍රී ලංකා රුපියල ට
ඇමරිකන් ඩොලරය හෝ බ්‍රිතාන්‍ය පවුම හෝ වැනි විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව නිශ්චිත අගයයන් තිබුණි. එම යුගයේදී මෙරටට භාණ්ඩ
ආනයනය කරණ විට යම් විදේශ මුදල් ඒකකයකින් ගෙවීමට සිදු වන්නේ නම් එම විදේශ මුදල්
ඒකකයේ නිල අගය අනුව ගෙවීමට සිදුවන මුදලට 65% ක් එකතුකර එම අමතර මුදල රාජ්‍යය
විසින් තබාගන්නා ප්‍රතිපත්තියක් තිබුණි. මෙය අදාල වූයේ තෝරාගත් ආනයන වලටයි. එහි
අරමුණ රාජ්‍යය විසින් අත්‍යවශ්‍ය නොවන සේ සලකන භාණ්ඩ ආනයනය අධෛර්යමත්
කිරීමයි. එමෙන්ම අපනයන ධෛර්යමත් කිරීම සඳහා විදේශ මුදල් අපනයන වෙනුවෙන් මෙරටට
ලැබෙන විට එම මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට හරවනු ලැබුවේ අදාල විදේශ මුදල් ඒකකයේ නිල
අගයට 65% ක් එකතුකර ලැබෙන අගයෙනි. එම අමතර මුදල අපනයන ව්‍යාපාරිකයන්ට දිරියක් විය.
මෙම තත්ත්වය විදේශ විනිමය කළු කඩයක් ඇති කිරීමට හේතුවිය. 1977 දී ඇතිකළ විවෘත
ආර්ථික ක්‍රමය යටතේ විදේශ විනිමය වෙළෙඳපොළ විවෘත කරණ ලද අතර එක් දිනකින් රුපියල
100% කින් පමණ අවප්‍රමාණය විය. එනම් කලින් ඇමරිකන් ඩොලරයක අගය ශ්‍රී ලංකා රුපියල්
8 ක් පමණ වූ අතර එක් දිනකින් එය රුපියල් 15 පමණ විය. එදා සිට රුපියල විදේශ මුදල්
ඒකක වලට සාපේක්ෂව එදිනෙදා වෙළෙඳ පොළ ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන අගයක් ගනී. මෙය
තව දුරටත් මෙසේ පැහැදිලි කළ හැක. මෙරටට භාණ්ඩ හෝ සේවා ආනයනය කෙරෙන විට ඒ සඳහා මෙරට විසින් විදේශ මුදල් වලින්
ගෙවිය යුතු වන අතර මෙරටින් භාණ්ඩ හෝ සේවා අපනයනය කරණ විට මෙරටට විදේශ මුදල් ලැබේ.
ඒ අනුව ආනයන වැඩි වන විට මෙරට ඇති විදේශ මුදල් වල හිඟයක් ඇතිවන අතර අපනයන වැඩිවන
විට මෙරට විදේශ මුදල් වල අතිරික්තයක් ඇති විය හැක. යම්කිසි භාණ්ඩයක හිඟයක් ඇතිවන
විට එහි මිල ඉහළ යන අතර එහි අතිරික්තයක් ඇතිවිට මිල පහල යයි. ඒ අනුව විදේශ මුදල්
හිඟ වන විට විදේශ මුදල් ඒකකයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩිවේ. එනම් රුපියල
අව ප්‍රමාණය වේ. මේ අනුව ආනයන අගය අපනයන අගයට වඩා වැඩි වන විට රුපියල අව ප්‍රමාණය
විය යුතුය. එය අනෙක් අතට යන විට රුපියල අධි ප්‍රමාණය විය යුතුය. මෙහි සමස්ත
තත්ත්වය මෙතරම් සරල නැත. රටේ ආනයන වැඩි වුනත් රටට විදේශ මුදල් වලින් ණය හෝ ආධාර හෝ
ලැබෙන විට මෙරට වෙළෙඳපොලේ විදේශ මුදල් තිබෙන බැවින් රුපියල බලාපොරොත්තු වූ ප්‍රමාණයට
අව ප්‍රමාණය නොවිය හැක. මක්නිසාද යත් වෙනත් ආකාරයක සැපයුමක් ඇති බැවිනි. එමෙන්ම
විදේශයන්හි රැකියාව කරණ මෙරට පුරවැසියන් විසින්
එවන මුදල් නිසාද විදේශ මුදල් වල ඉල්ලුම සහ සැපයුමට බලපෑම් ඇතිවේ.
රුපියල අවප්‍රමාණය වන තරමට අපනයන ව්‍යාපාරිකයා
දිරිමත් වේ. අපනයන ව්‍යාපාරිකයා විදේශ
වෙළෙඳ පොළේ සිය භාණ්ඩ වල මිල නියම කිරීමේදී වෙළෙඳපොළ බලවේග පිළිබඳව සැලකිලිමත් විය
යුතුය. එම වෙළෙඳ පොලටම තරඟකාරී රටවල් වලින් භාණ්ඩ සපයන විට එම රටවල් වල දේශීය
මුදල් ඒකක ලංකාවේ රුපියලට වඩා වැඩියෙන් අවප්‍රමාණය වී ඇත්නම් ඔවුන්ට එම වෙළෙඳපොලේ
තරඟකාරී මිලකට භාණ්ඩ සැපයිය හැක. එමෙන්ම අපනයන ව්‍යාපාරිකයන් මෙරටින් සිය ව්‍යාපාරය
සඳහා මිලදී ගත යුතු භාන්ඩ හා සේවා වල මිල
මට්ටම් ඉහළ යන්නේ නම් එය සමනය කර ගැනීම සඳහා රුපියල අවප්‍රමානයෙන් ලැබෙන අතිරික්ත
මුදල යෙදවිය හැක.
පසුගිය ආණ්ඩුව කාලයේ සිටි මහා බැංකු
අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යටතේ සිදුවූයේ නයට ගන්නා ලද විදේශ මුදල් අතිරික්ත
යොදාගෙන කෘත්‍රිම ලෙස රුපියල ස්ථාවරව පවත්වාගෙන යාමට උත්සාහ කිරීමයි. මෙයින් ලැබුන
වාසි වූයේ ගොඩහේවා සඳහන් කළ ආකාරයට විදේශ ණය වල රුපියල් අගය පහත මට්ටමකට තබා
ගැනීමට හැකිවීමයි. එමෙන්ම මෙරටට ආනයනය කරණ භාණ්ඩ වල මිල ස්ථාවරව පවත්වාගෙන යාමට
හැකිවීම නිසා එම භාණ්ඩ පරිභෝජනය කරණ ජනතාවට සෙත සැලසේ. එනමුත් අපට අත්‍යවශ්‍ය විදේශ මුදල් සපයාදෙන රටේ
අපනයන අංශය අධෛර්යමත් වීම එයින් ඇතිවන ප්‍රධාන තම
අවාසියයි.
අපේ රට අද පවතින තත්ත්වය අනුව අපනයන
වැඩි කිරීමකින් තොරව රටට පැවැත්මක් නොමැත. ආර්ථික විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ලත්
ලංකාවේ එකම මුදල් ඇමති වරයා වූ ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමතිව සිටි යුගයේ මෙම
කාරණයට නිතොරවම අවධානය යොමු කළේය.
2006-2014 අතර කාලය තුළ රුපියල අවප්‍රමාණය
වූයේ අඩුවෙනි. එසේ කලේ කෘත්‍රිම උපක්‍රම මාර්ගයෙනි. එනමුත් අවස්ථා දෙකකදී ඔවුන්ට
තත්ත්වය පාලනය කර ගත නොහැකි විය. 2006
සැප්තැම්බර් සිට 2006 දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල 5% පමණ අවප්‍රමාණය වූ අතර
2012 ජනවාරි සිට 2012 මාර්තු දක්වා කාලය තුළ රුපියල 12% කින් පමණ අවප්‍රමාණය විය.
රටක අපනයන ප්‍රමාණය මනින එක් ක්‍රමයක් වන්නේ රටේ
මුළු අපනයන ප්‍රමාණය එරට දල දේශීය නිෂ්පාදිතයේ එනම් මුළු රටේ සමස්ත
නිෂ්පාදන වල එකතුවේ ප්‍රතිශතයක් ලෙස ගැනීමයි. මෙම දර්ශකය 2004 දී 30.13% ක් වූ අතර
2014 දී 21.09% ක් විය. රටක අපනයන වර්ධනය තනිකරම රඳා පවතින්නේ විදේශ විනිමය
අනුපාතය මත නොවේ. වෙනත් සාධක ද ඒ සඳහා බලපායි. එනමුත් විදේශ විනිමය අනුපාතය අපනයන
වර්ධනය සඳහා තීරණාත්මක සාධකයකි. 1991 සිට 2017 දක්වා රුපියලේ අවප්‍රමානයත් රටේ
අපනයන දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසත් මෙහි ඇති වගුවේ දක්වා ඇත. රුපියලේ
අවප්‍රමාණය රටේ අපනයන වලට බලපා ඇති අන්දම මෙයින් වටහා ගත හැක.
රටක ආර්ථිකයක් පාලනය කිරීම ඉතා සුක්ෂ්ම
තුලන ක්‍රියාවලියකි. මක්නිසාද යත් අදාල සියළුම සාධක විදේශ විනිමය අනුපාතය, පොලි අනුපාතය, ආනයන, අපනයන, හිඟ අයවැය, රාජ්‍ය ණය යනාදී මෙකි නොකී සියළු දේ එකිනෙකට සම්බන්ධ නිසාය. සියළු
තුලනය කිරීම් වල පදනම දීම සහ ගැනීමයි. රැවුල සහ කැඳ දෙකම බේරා ගැනීම ඉතා අසීරු
කාරණයකි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇති ඉතා අවාසනාවන්ත කාරණය වන්නේ ඊලග මැතිවරණයෙන්
ජය ගැනීමේ අවශ්‍යතාවයද ඉහත සඳහන් කළ ආර්ථික සාධක අතර තවත් එක් සාධකයක් වීමයි. එනම්
රට පාලනය කරණ දේශපාලන පක්ෂයේ කෙටි කාලීන අවශ්‍යතා රටේ දීර්ඝ කාලීන අවශ්‍යතා වලට
වඩා ඉහළින් තැබීමයි.
වගුව -රුපියලේ අවප්‍රමාණය සහ අපනයන අතර
සම්බන්ධය
වර්ෂය
|
වසර අවසානයේ ඩොලරය හා රුපියල අතර
අනුපාතය
|
රුපියලේ අවප්‍රමාණය %
|
භාණ්ඩ සහ සේවා අපනයනය ද.දේ.නි. යේ %
ලෙස
|
1991
|
42.52
|
5.67
|
28.74
|
1992
|
46.09
|
8.40
|
31.77
|
1993
|
49.29
|
6.94
|
33.80
|
1994
|
49.61
|
0.65
|
33.81
|
1995
|
53.52
|
7.88
|
35.60
|
1996
|
56.70
|
5.94
|
34.97
|
1997
|
61.79
|
8.98
|
36.54
|
1998
|
68.45
|
10.78
|
36.24
|
1999
|
71.75
|
4.82
|
35.48
|
2000
|
82.59
|
15.11
|
39.02
|
2001
|
92.65
|
12.18
|
37.33
|
2002
|
96.60
|
4.26
|
34.91
|
2003
|
96.19
|
-0.42
|
34.65
|
2004
|
104.40
|
8.54
|
35.33
|
2005
|
102.09
|
-2.21
|
32.34
|
2006
|
107.45
|
5.25
|
30.13
|
2007
|
108.65
|
1.12
|
29.11
|
2008
|
113.42
|
4.39
|
24.84
|
2009
|
114.04
|
0.55
|
21.33
|
2010
|
111.00
|
-2.67
|
19.55
|
2011
|
113.90
|
2.61
|
20.90
|
2012
|
127.00
|
11.50
|
19.82
|
2013
|
130.82
|
3.01
|
20.32
|
2014
|
131.25
|
0.33
|
21.09
|
2015
|
144.15
|
9.83
|
21.01
|
2016
|
150.30
|
4.27
|
21.44
|
2017
|
153.27
|
1.98
|
21.90
|
2018 ජුනි අවසානය
|
158.31
|
3.29
|
නැත.
|
No comments:
Post a Comment