හර්ෂ ගුණසේන
ශ්‍රී ලංකාව ව්‍යවස්ථාපිත, ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාපිත
නොවන, බල මාරුවකට හෙවත් බලය පැහැර ගැනීමකට ලක්ව තිබේ. වර්ෂ 2003 දී රනිල් වික්‍රමසිංහ
අගමැතිවරයා වශයෙන් සිටියදී මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නේය. චන්ද්‍රිකා කුමාරතුංග
ජනාධිපතිවරිය විසින් ඒ අවස්ථාවේදී අමාත්‍යංශ තුනක් පවරා ගන්නා ලද අතර ඇය ක්‍රියා
කළේ ව්‍යවස්ථාවට අනුකූලවය. 19 වන ව්‍යවස්ථා
සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව වර්තමාන ජනාධිපති වරයාගේ ක්‍රියා කලාපය ඒ ආකාරයෙන්
වලංගු නොවේ.
42(4) ව්‍යවස්ථාව
අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය වරයා ලෙස පත්කරනු
ලැබිය යුත්තේය.
46(2) ව්‍යවස්ථාවේ
මෙසේ සඳහන් වේ. “අග්‍රාමාත්‍ය වරයා (අ) ස්වකිය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන
ලිපියක් මගින් ස්වකිය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් හෝ (ආ) තවදුරටත් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ
තාක් කල් ස්වකිය ධුරය දරන්නේය.”
අගමැතිවරයා ට යොමු කරණ ලද ලිපියේ ඔහු අගමැති ලෙස
පත් කරණ ලද්දේ 42(4) ව්‍යවස්ථාව
අනුව බව සඳහන් කරණ ජනාධිපතිවරයා ඔහු ඉවත් කරන්නේ
තමාට ලැබී ඇති බලතල අනුව බව සඳහන් කරයි. අගමැතිවරයා ඉවත් කරණ ලිපියේ ඔහු
පත්කළේ කවර ව්‍යවස්ථාවක් යටතේ දැයි සඳහන් කිරීමට උත්සුක වන ජනාධිපතිවරයා ඔහු ඉවත්
කලේ කවර ව්‍යවස්ථාවක් යටතේදැයි කීම සුක්ෂ්මව මග හරියි. මෙයට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා
ජනාධිපතිවරයාට යැවු ලිපියෙන් තමා ව්‍යවස්ථාපිතව පත්වූ අගමැතිවරයා බවත් 42(4)ව්‍යවස්ථාවේ
සඳහන් කර ඇති පරිදි පාර්ලිමේන්තුවේ විශ්වාසය තමා වෙත ඇති බවත් සඳහන් කරයි.
42(4) ව්‍යවස්ථාවේ දැක්වෙන ජනාධිපතිවරයාගේ මතය අර්ථකථනය කිරීමේදී එයට ව්‍යවස්ථාපිත අර්ථකතනයක්
දිය යුතුය. එම මතය ඔහුගේ හුදු හිතලුවක් පමණක් නොවිය යුතුය. එය ද්වේශ සහගත ලෙස
යමකුගෙන් බලය පැහැර ගැනීමක් නොවිය යුතුය. එනම් ඔහු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක්
හිමි පක්ෂයේ නායකයා වියයුතුය.
ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පිල් මාරු කරතැයි
විශ්වාසයක් තිබුණි නම් ව්‍යවස්ථාපිත ක්‍රමය අනුගමනය කළ හැකිව තිබිණි. එනම් එක්සත්
ජනතා සන්ධානය සභාග රජයෙන් ඉවත්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක්
මගින් අගමැතිවරයා පරාජය කිරීමෙන් පසුව නව අගමැතිවරයෙක් පත් කිරීමයි. මෙය ව්‍යවස්ථාවේ
එලෙසම සඳහන් නොවුනත් එය නම්බුකාර ක්‍රියාවකි. කුමන්ත්‍රණ කාරී ක්‍රියාවක් නොවේ.
ඔහු එම ක්‍රියා මාර්ගය නොගෙන අගමැතිවරයා ධුරයෙන්
පහකර පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා
කල් තැබීය. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ධුරයේ සිටින අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු කිරීම ජනාධිපති වරයා විසින් වලක්වන ලදී. 42(4) ව්‍යවස්ථාව
අනුව අගමැති විය යුත්තේ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය “ඇති “ පුද්ගලයාය. විශ්වාසය
තිබිය යුත්තේ වර්තමානයේය, අනාගතයේ නොවේ. අනාගතයේදී ඔහුගේ විශ්වාසය පාර්ලිමේන්තුවේ
දී තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එය ව්‍යවස්ථාපිත නොවේ.
2015 ජනාධිපති
වරණයෙන් පසුව එක්සත් ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණට පැමිණීමට
සූදානම් වූහ. මෙතෙක් කල් පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී සම්ප්‍රදාය අහෝසි කොට ඔවුන්
තමන් සිටි පක්ෂයේම සිටීමට සලස්වා එම පක්ෂය සමඟ සභාග ආණ්ඩුවක් පිහිටුවන ලදී. මෙය
සිදු කරන ලද්දේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවයි. මෙහි පදනම වූයේ රටේ
පවතින ජන වාර්ගික ප්‍රශ්නයට සියල්ලන්ටම එකඟ විය හැකි කල් පවත්නා විසඳුමක් ලබා
ගැනීමයි. පැවති ආණ්ඩුව විසින් එම කර්තව්‍යය පැහැර හරින ලදී. දැන් එක්සත් ජාතික
පක්ෂයේ මන්ත්‍රීවරු නිදහස් සන්ධානයට මාරු වීමේ අවකාශයක් තිබේ. පැරණි වෙළෙඳ පොළ
සම්ප්‍රදාය නැවතත් ඉස් මතුවී ඇත.
සේනානායක
සහ අලුත්ගමගේ මන්ත්‍රීවරුන්ගේ නව ස්ථාවරයන් සහ ඊ පී ඩි පී මන්ත්‍රීවරයා නිදහස්
සන්ධානයට සහාය පළ කිරීමත් සමඟ තවත් මන්ත්‍රීවරු 15 ක් නිදහස් සන්ධානයට අවශ්‍ය වේ. ජනතා
විමුක්ති පෙරමුණ කිසිම පක්ෂයකට සහාය නොදක්වන බව ප්‍රකාශ කර ඇති අතර දෙමළ ජාතික
සන්ධානය නිදහස් පෙරමුණට සහාය නොදක්වනු ඇත. මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂ දෙකම එක්සත්
ජාතික සන්ධානයේ රැඳී සිටින බව ප්‍රකාශ කර ඇත. එබැවින් ජනාධිපති වරයාගේ අපේක්ෂාව
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තමාගේ පක්ෂයට ගැනීමයි. නව ආණ්ඩුවේ සම්පුර්ණ බලය ඒ
සඳහා යොදවනු ඇත.
නව ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත
නොහැකි නම් එය ජනාධිපතිවරයා බරපතල අර්බුදයකට තල්ලු කරනු ඇත. එමෙන්ම එය ඔහු
චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට සහතිකයක් වනු ඇත. ඔහුට එරෙහිව
දෝෂාභියෝගයක් ගෙන ඒමට එය ප්‍රමාණවත් වනු ඇත. මුල් වටයේදී දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය
දක්වා ගෙන යාමට පවතින බහුතරය අනුව එක්සත් ජාතික පෙරමුණට හැකියාව තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවට පාදක වන්නේ පසුගිය
පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රකාශිත වූ ප්‍රතිඵලයයි. සමගි ආණ්ඩුව විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය
නැවත ස්ථාපිත කිරීමෙහිලා සෑහෙන වැඩ කොටසක් ඉටු කර ඇත. එම ගමන් මගේ ක්ෂණික ආපසු
හැරවීම නව අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසුව රූපවාහිනී සංස්ථාවේ සහ ඊට පසුව අනෙකුත්
රාජ්‍ය මාධ්‍ය ආයතන වල සිදුවූ දේ මගින් පැහැදිලිවේ.
2003 සහ 2018 දී දේශපාලනික
වශයෙන් සිදුවූයේ පැවති ආණ්ඩු වල ලිබරල් ප්‍රතිපත්ති වලට එරෙහි වීමකි. රටේ දැන්
පවතින තත්ත්වය අනුව විශේෂයෙන්ම ආර්ථික තලයේ විවිධ රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්
ඇතිකර ගැනීම වැනි ලිබරල් ප්‍රතිපත්ති වලින් තොර පැවැත්මක් නැත. බොහෝ දෙනා රටට
හිතකර දේශීය ප්‍රතිපත්ති වන්නේ ආරක්ෂණ වාදී ප්‍රතිපත්ති යයි කියති. එය ප්‍රලාපයකි. එනමුත් ඔවුන්
බොහෝ දෙනා ජාතික මුහුණුවරකින් යුතුව ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පක්ෂ වෙති.
රටේ ඉඩම් චීනයට විකිනීමට පියවර ගත් විට
එයට විරුද්ධ නොවුනේ ද කොළඹ මහා පරිමාණයෙන් කැසිනෝ ඇති කිරීමට විරුද්ධ නොවුනේද ඒ
නිසාය.
එක්සත්
ජාතික පෙරමුණ සභාග ආණ්ඩුවෙන් ඉවත්වූ පසුව ජනාධිපතිවරයාට නව අගමැතිවරයෙක් පත්
කිරීමේ හැකියාව ඇතැයි මතයක් පවතී. ජනාධිපතිවරයා අනුගමනය කරන්නේද ඒ ක්‍රියාමාර්ගය
බව පෙනෙන්නට තිබේ. එනමුත් ඔහු ක්‍රියා කළ යුත්තේ මේ සඳහා නිශ්චිතව දක්වා ඇති අප
විසින් සාකච්ඡා කළ ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුවය.
මෙම ක්‍රියාවලිය පිටුපස ඇති දේශපාලනය කිසිවකුට
රහසක් නොවේ. බොහෝ කලක සිට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මත ගැටුම් තිබිණ. මෑතකදී
ඉන්දියාව සම්බන්ධ සිදුවීම් වලදී ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර ගැටුමක් ඇති කිරීමට
එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇතැයි ජනාධිපතිවරයා සිතන බව වාර්තා විය. තමාට සහ සිය
සමීපතමයන්ට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ග නවතා ගැනීමට හැකි නම් නව අගමැතිවරයා
බෙහෙවින් සතුටු වනු ඇත. මෙම අවශ්‍යතා දෙකෙහි ප්‍රතිඵලය නව දේශපාලන තත්ත්වයයි.
දේශපාලනයට සදාචාරය අදාල නැති නමුත් මේ කාරණාව කිව
යුතුය. පසුගිය මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පෙරමුණට බලය ලැබුන නමුත් හිටපු
නිදහස් පෙරමුණේ පාක්ෂිකයෝ ආණ්ඩුවට සම්බන්ධ වීම මගින් දිගටම බලය අභ්‍යාස කළහ. දැන්
සම්පුර්ණ ආණ්ඩුවම අතට ගෙන ඔවුහු දිගටම බලය අභ්‍යාස කිරීමට සැරසෙති. මේ සඳහා
ඡන්දයෙන් දායක වූ පිරිස් ඉවතට විසිවී ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යයි
සපථ කල පුද්ගලයා දැන් එම බලතල අත්තනෝමතික ලෙස පාවිච්චි කරයි.
No comments:
Post a Comment