නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ පියවර ගණනාවක් මෙම ආණ්ඩුව විසින් ගෙන ඇති නමුත් මේ පිළිබඳව පුළුල් ජනතා සාකච්ඡාවක් තවම ඇතිවී නොමැත. මෙම ක්‍රියාවලියේ මුල් පියවර වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර එහි වාර්තාව ද පසුගිය වසරේ මැයි මස නිකුත් කරන ලදී. මින් පසුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වූ අතර එම මණ්ඩලයට පාර්ලිමේන්තු කාරක සභාවක බලය ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් සමන්විත වන අතර මෙම කමිටුවේ කාර්යභාරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත පිළියෙල කිරීමයි. මෙහෙයුම් කමිටුව විසින් නිශ්චිත විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවදුරටත් මහජන අදහස් විමසූ අතර මේවා පදනම් කරගෙන මහජන අදහස් විමසීමේ කමිටුව විසින් අතුරු වාර්තාවක් ද ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය සහ මධ්‍යම-පර්යන්ත සබඳතා යන සය වැදෑරුම් කාරණා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජනයෙන් යුත් අනු කමිටු හයක් පත්කරන ලදී. මෙම අනු කමිටු සියල්ලේම වාර්තා දැන් ඉදිරිපත් කර ඇත. තවමත් ඉදිරිපත් කර නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පතයි.
මෙහෙයුම් කමිටුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතර එහි සාමාජිකයන් වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඞ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ආර්. සම්පන්දන්, අනුර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, තුසිතා විජේමාන්න, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්ද යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතය. වර්තමාන ව්‍යවස්ථාවේ පළමු සහ දෙවන පරිච්ඡේද (එනම් ජනතාව, රාජ්‍යය, පරමාධිපත්‍යය සහ බුද්ධාගම අඩංගු කරුණු), රාජ්‍යයේ ස්වභාවය, පරමාධිපත්‍යය, ආගම, ආණ්ඩුවේ ස්වභාවය, මැතිවරණ සංශෝධන, බලය බෙදීමේ මූලධර්ම සහ ඉඩම් යන කරුණු කෙළින්ම මෙහෙයුම් කමිටුව මගින් සලකා බැලේ.
අනු කමිටුවල සැකැස්ම
අනු කමිටුව -මූලික අයිතිවාසිකම්
සභාපති මහින්ද සමරසිංහ
සාමාජිකයන්
අනුරාධ ජයරත්න, පවිත්‍රාදේවි වන්නිආරච්චි, විජිත හේරත්, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, එස්. ශ්‍රීධරන්, ඒ. අරවින්ද් කුමාර්, ජයම්පති වික්‍රමරත්න, තුසිතා විජේමාන්න, එම්.එච්.එම්. සල්මාන්
අනු කමිටුව – අධිකරණය
සභාපති – රවුෆ් හකීම්
සාමාජිකයන්
අනුර ප්‍රියදර්ශන යාපා, නවින් දිසානායක, තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි, සුජීව සේනසිංහ, ශ්‍රියානි විජේවික්‍රම, එම්.ඒ. සුමන්තිරන්, උදය ගම්මන්පිල, නලින්ද ජයතිස්ස, ශාන්ති ශ්‍රී ස්කන්දරාසා
අනු කමිටුව-නීතිය හා සාමය
සභාපති -සාගල රත්නායක
සාමාජිකයන්
ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, පලනි දිගම්බරම්, අමීර් අලි ෂිහබ්දීන්, අජිත් පී. පෙරේරා, ඩග්ලස් දේවානන්ද, අනුර දිසානායක, එම්.එස්. තවුෆීක්, මාවෛ සේනාධිරාජා, නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ
අනු කමිටුව-රාජ්‍ය මූල්‍ය
සභාපති -බන්දුල ගුණවර්ධන
සාමාජිකයන්
සරත් අමුණුගම, වී.එස්. රාධක්‍රිෂ්ණන්, අනෝමා ගමගේ, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, මුතු සිවලිංගම්, කෙහෙළිය රඹුක්වැල්ල, සුනිල් හඳුන්නෙත්ති, ඊ. සරවනපවන්, තාරක බාලසූරිය,
අනු කමිටුව-රාජ්‍ය සේවය
සභාපති -සුසිල් ප්‍රේමජයන්ත
සාමාජිකයන්
කරුණාරත්න පරණවිතාන, චන්ද්‍රසිරි ගජධීර, නිහාල් ගලප්පත්ති, ජේ.සී. අලවතුවල, අබ්දුල්ලා මහරුෆ්, රමේෂ් පතිරණ, වේලු කුමාර්, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, ඥානමුත්තු ශ්‍රී නේසන්
අනු කමිටුව- මධ්‍යම-පර්යන්ත සබඳතා
සභාපති –ධර්මලිංගම් සිද්ධාර්ථන්
සාමාජිකයන්
ඩිලාන් පෙරේරා, එච්. එම්. එම්. හරිස්, ඩලස් අලහප්පෙරුම, බිමල් රත්නායක, විදුර වික්‍රමනායක, මයිල්වාගනම් තිලකරජා, සනත් නිශාන්ත පෙරේරා, එස්. එම්. මරික්කාර්, රෝහිණී කුමාරි විජේරත්න,විජේපාල හෙට්ටිආරච්චි
මෙම අනු කමිටු වාර්තා සියල්ලේම අවසාන ඉලක්කය රාජ්‍යයේ බලය නිසි පරිදි බෙදා එමෙන්ම අවශ්‍ය තැන්වලදී බලය මධ්‍යගත කර කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමයි.
මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටුව සිවිල්, දේශපාලන (පළමු පරම්පරාව) අයිතීන් පමණක් නොව ආර්ථික, සමාජයීය, සංස්කෘතික (දෙවන පරම්පරාව) අයිතීන් සහ පාරිසරික සහ සංවර්ධනය (තෙවන පරම්පරාව) පිළිබඳ අයිතීන් ද ව්‍යවස්ථාවට ඇතුළු විය යුතු බව අදහස් කරයි. ලාල් විජේනායක කමිටුව මගින් ද මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. එමෙන්ම මෙම අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කර අධිකරණය මගින් බලාත්මක කර ගැනීම ආණ්ඩුකරණයේලා කෙතරම් දුරට ප්රශස්ත වේදැයි විවාදයක් මේ දිනවල පවතී.
අධිකරණය පිළිබඳ අනු කමිටු වාර්තාව මගින් අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරගත හැකි ක්‍රම වර්තමාන ව්‍යවස්ථාව මගින් සහතික කර නොමැති බව දක්වා ඇත. උපරිමාධිකරණ විනිසුරන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් වෙතින් ලද නාම යෝජනා අනුව ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත උපරිමාධිකරණවල විනිසුරුවරුන් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බව අනු කමිටුව නිර්දේශ කරයි. අධිකරණවල සංයුතිය ගැන කරුණු දක්වන අනු කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් යෝජනා කරයි. යෝජනාවල සමස්ත පදනම අධිකරණයේ බලය ආරක්ෂා කර ගැනීමයි.
ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා ජාතික පොලිසියෙන් සහ ශ්‍රී ලංකා පළාත්බද පොලිසියෙන් සමන්විත විය යුතු බව නීතිය හා සාමය පිළිබඳ අනු කමිටුව නිර්දේශ කරයි. සමස්ත ශ්‍රී ලංකා පොලිසියේ සහ නිලධාරීන්ගේ වගකීම් එමෙන්ම ශ්‍රී ලංකා ජාතික පොලිසියේ සහ පළාත්බද පොලිසියේ වගකීම් අනු කමිටුව නිර්දේශ කරයි. එමෙන්ම ජාතික පොලිස් කොමිෂන් සභාවක් සහ පළාත් පොලිස් කොමිෂන් සභාවක් ද ඒවායේ වගකීම් ද පොලිස්පතිගේ කාර්යභාරයන් සහ අදාළ පළාත්වල පොලිස් කොමසාරිස්වරුන්ගේ කාර්යභාරයන් ද අනු කමිටුව නිර්දේශ කර ඇත. එමෙන්ම හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමේ පටිපාටිය, ජාතික ආරක්ෂක මණ්ඩලය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව ද නිර්දේශ ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය නායකයා මුදල් විෂය භාර ඇමතිවරයා නොවිය යුතු බව නිර්දේශ කරණ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනු කමිටුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගවීම, පළාත් අරමුදල සහ අයවැය ක්‍රියාවලිය ව්‍යුහගත කිරීම ගැන නිර්දේශ ඉදිරිපත් කරයි. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය ආන්තිකරණයට ලක් කිරීම ගැන කරුණු දක්වන අනු කමිටුව ජාතික ආදායමෙන් නිසි කොටස් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට රාජ්‍යය විසින් ලබාදීම ගැන ද මූල්‍ය කොමිෂන් සභාව ගැන ද කරුණු දක්වයි. රාජ්‍ය විගණනය සහ විගණකාධිපති තවදුරටත් බලාත්මක කිරීම ගැන ද යෝජනා ඉදිරිපත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් යෝජනාකර ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කළ යුතු බව ද තමන් විසින් දෙන නියෝග සම්බන්ධයෙන් අමාත්‍යවරු වග විය යුතු බව ද ඇතුළු නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරන රාජ්‍ය සේවය පිළිබඳ අනු කමිටුව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පාලනයට නතු විය යුතු බව නිර්දේශ කරයි. එමෙන්ම විගණනයට බියෙන් ඇතැම් නිලධාරීන් අවශ්‍ය තීන්දු නොගන්නා බවත් මෙම තත්ත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා අමතර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු විගණන කොමිසමට පත්කළ යුතු බව ද අනු කමිටුව නිර්දේශ කරයි.
රටේ මූලික ප්රශ්නය වන්නේ ජාතික ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදීම බැවින් මධ්‍යම-පර්යන්ත සබඳතා පිළිබඳ අනු කමිටු වාර්තාව ඉතා වැදගත්ය. මෙම අනු කමිටුව ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතනවල බලතල, පළාත් විධායක කාරක සභා, ආණ්ඩුකාරවරයාගේ බලතල, පළාත්වල පරිපාලන ව්‍යුහ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්යභාරය, ආදායම් එකතු කිරීම හා ආදායම් බෙදීම සම්බන්ධ කරුණු සලකා බල නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර සමගාමී ලැයිස්තුව, පොලිස් හා ඉඩම් බලතල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පිළිබඳව ද කරුණු දක්වා ඇත. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්යභාරය මගින් පළාත තුළ ද්විත්ව බලයක් නිර්මාණය වන බව අනු කමිටුව පෙන්වා දේ. එබැවින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ද ග්‍රාම නිලධාරීන් ද පළාත් සභා යටතට පත්කර ඔවුන් මගින් මධ්‍යම ආණ්ඩුවේ කාර්යභාරයන් ඉටු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අනු කමිටුව යෝජනා කරයි. එමෙන්ම පළාත් සභාව තුළ තිබෙන පළාත් පාලන ආයතනවල සම්පූර්ණ වගකීම පළාත් සභාවලට පැවරිය යුතු බවත් මධ්‍යම ආණ්ඩුව මගින් කෙළින්ම පළාත් පාලන ආයතන වෙත මුදල් ලබාදීම නොකළ යුතු බවත් අනු කමිටුව යෝජනා කරයි.
මෙම වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම සකස්කර ප්‍රසිද්ධ කර ඇති අතර අන්තර්ජාලයට පහත සඳහන් ආකාරයට සම්බන්ධවීම මගින් සිංහල භාෂාවෙන් අනු කමිටු වාර්තා ඇතුළු තොරතුරු ලබා ගත හැක. මෙම ලිපියේ අරමුණ ජනතාව අතර මේ පිළිබඳ සංවාදයක් ඇති කිරීමයි.
http://sinhala.constitutionalassembly.lk/
හර්ෂ ගුණසේන
samabima 13th July 2017
No comments:
Post a Comment