Wednesday, January 2, 2019

Translation of the fifth chapter of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


බලය පාවිච්චි කිරීම
ඒකාධිපතිත්වයන්ට එරෙහි සන්නද්ධ අරගල බොහෝවිට ඇතිවන්නේ ඒකාධිපතිත්වයන් දුර්වල අවස්ථාවලදී නොව ඒවා ඉතා ප්‍රබල අවස්ථාවලදී බව අපි පළමුවන පරිච්ඡේදයේදී සාකච්ඡා කළෙමු. සන්නද්ධ බලය, පතරොම් සහ බෝම්බ ආදී ප්‍රහාරයන්ට යොදාගන්නා ද්‍රව්‍ය වල සැපයුම, ආයුධ තාක්‍ෂණය යනාදී ක්ෂේත්‍රවල  ඒකාධිපතිත්වයන් සමඟ තරඟ කිරීම තෝරා ගැනීමේදී අරගලකාරී ව්‍යාපාර විසින් තමන් ඉතාමත් අවාසිසහගත තත්ත්වයකට ඇදහෙලනු ලැබේ. මෙම ක්ෂේත්‍ර වලදී ඒකාධිපතියන්ට සෑම විටකම ඉස්තරම් වර්ගයේ සම්පත් වල දායකත්වය ලබාගැනීමට හැකි වනු ඇත. විමුක්තිය සඳහා විදේශ බලවේග වල පිහිට පැතීමේ අනතුර ද අප විසින් අවධාරනය කර ඇත. ඒකාධිපතිත්වයන් ඉවත්කර දැමීමේ ක්‍රමවේදයක් ලෙස සාකච්ඡා මත රඳා පැවතීමෙන් ඇතිවන ගැටළු දෙවන පරිච්ඡේදයේදී අප විසින් විමර්ශනය කර ඇත.
එසේනම් ප්‍රජාතාන්ත්‍රික අරගලයන්ට නිශ්චිත වාසි ලබාගැනීමට සහ ඒකාධිපතිත්වයන්ගේ හඳුනාගත් දුර්වලතා උත්සන්න කිරීමට උපකාරී වන උපක්‍රම මොනවාද? තුන්වන පරිච්ඡේදයේදී සාකච්ඡා කල දේශපාලන බලය පිලිබඳ න්‍යාය ප්‍රයෝජනයට ගත හැක්කේ ක්‍රියාත්මක කළහැකි  කුමන ශිල්ප ක්‍රමය මගින්ද? විකල්ප තෝරාගැනීම නම්  දේශපාලන විරෝධතා ව්‍යාපාරයන් ය.
දේශපාලන විරෝධතා ව්‍යාපාරයකට පහත දැක්වෙන අංග ලක්ෂණ තිබේ.
·         ප්‍රතිඵලය තීරණය කරනු ලබන්නේ ඒකාධිපතිත්වය විසින් තෝරාගනු ලබන සටන් කිරීමේ ක්‍රමය මගින් බව එය නොපිළිගනී.
·         එය පරාජය කිරීම පාලන තන්ත්‍රයට අපහසු වේ.
·         එයටම විශේෂ වූ ආකාරයෙන් ඒකාධිපතිත්වයේ දුර්වලතා උත්සන්න කිරීමටද එහි බලයේ ප්‍රභවයන් සිඳ දැමීමටද එයට හැකියාව තිබේ.
·         ක්‍රියාත්මක වීමේදී විහිදුනු ස්වරූපයක් ගැනීමටද නිශ්චිත අරමුණකට යොමු වීමටද එයට හැකියාව තිබේ.
·         එය වැරදි තීරණ වලටද වැරදි ක්‍රියා මාර්ගයන්ටද ඒකාධිපතියන් යොමු කරවයි.
·         ටික දෙනෙකුගේ කෘර අධිපත්‍යය අවසන් කිරීමේ අරගලය සඳහා සමස්ත ජනතාව ද සමාජයේ විවිධ කණ්ඩායම් සහ ආයතනද ඵලදායි ලෙස යොදාගැනීමට එයට හැකියාව තිබේ.
·         ප්‍රජාතාන්ත්‍රික සමාජයක පැවැත්මට  සහ තහවුරුවීම ට ඇති හැකියාව වැඩි කරමින් ඵලදායි ලෙස බලය සමාජය තුල  විසිරී යාමට එය උපකාර කරයි.

ප්‍රචණ්ඩකාරී නොවන අරගලයක් ක්‍රියාත්මක වීම  
විරුද්ධවාදීන්ට නොයෙකුත් කාර්යයන් කිරීමට බලපෑම් කිරීමේ සිට ගැටුමේ සාමකාමී අවසානයක් සඳහා පරිසරය සකස් කිරීම හෝ විරුද්ධවාදීන්ගේ පාලන තන්ත්‍රය බිඳ දැමීම දක්වා හෝ වන  බහුවිධ කාර්යයන් සඳහා හමුදාමය හැකියාවන් මෙන්ම දේශපාලන විරෝධතා ව්‍යාපාර ද යොදාගත හැකිය. කෙසේ නමුත් දේශපාලන විරෝධතා ව්‍යාපාර  ප්‍රචණ්ඩ කාරිත්වය ක්‍රියාත්මක වනවාට වඩා හාත්පසින්ම වෙනස් අන්දමකින් ක්‍රියාත්මක වේ. මෙම ශිල්පක්‍රම දෙකම අරගලය ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග වන අතර එම ශිල්පක්‍රම දෙකට එකිනෙකට වෙනස් උපාය මාර්ග සහ ඒවාට අනුරූප ප්‍රතිවිපාක ඇත. ප්‍රචණ්ඩකාරී ගැටුම් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ ප්‍රතිඵල සියල්ලෝම දනිති. බිය ගැන්වීමට, තුවාල කිරීමට, මරා දැමීමට සහ විනාශ කර දැමීමට සැබෑ ආයුධ පාවිච්චි කරනු ලැබේ.
ප්‍රචණ්ඩකාරී නොවන අරගලය ප්‍රචණ්ඩකාරිත්වයට වඩා බොහෝ සෙයින් සංකීර්ණ මෙන්ම විවිධ උපාය මාර්ග වලින් සමන්විතවේ. මෙම අරගලයේ දී සටන් කරනු ලබන්නේ ජනතාව ආයතන සහ පොදු සමාජය විසින් යොදවනු ලබන මානසික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන ආයුධ මගිනි. විරෝධතා, වර්ජන, සහයෝගය නොදීම, සියළු සම්බන්ධතා අතහැරීම, වෙන්වීම සහ ජනතා බලය යනාදී විවිධ නම් වලින් මේවා හැඳින්වේ. කලින් අවධාරණය කළ පරිදි සියළු ආණ්ඩු වලට පාලනය පවත්වා ගෙන යා හැක්කේ ජනතාවගෙන් සහ සමාජයේ පවතින ආයතන වලින් ලැබෙන සහයෝගීතාවය, අවනතවීම, කීකරුකම යන ඔවුන්ගේ බලයේ ප්‍රභවයන්ගේ ප්‍රති පූරණය මගිනි. ප්‍රචණ්ඩත්වය මෙන් නොව දේශපාලන විරෝධතා ව්‍යාපාර මෙම බලයේ ප්‍රභවයන් අසමසම ලෙස මුලිනුපුටා දැමීමට සුදුසු වේ.
ප්‍රචණ්ඩකාරී නොවන ආයුධ සහ සංයමය
අතීතයේදී ක්ෂණිකව ඇතිවුණු දේශපාලන විරෝධතා ව්‍යාපාර වල පොදු දුර්වලතාව වූයේ වර්ජන හෝ මහා පරිමාණ පෙළපාලි වැනි ක්‍රමවේදයන් එකක් හෝ දෙකක් මත රඳා පැවතීමයි. ඇත්ත වශයෙන්ම විරෝධතා ව්‍යාපාර උපායශීලි ලෙස නිර්මාණය කරන්නන්ට ඒවා තමන්ට අවශ්‍ය ලෙස එල්ල කර සකස් කිරීමටත් අරගලය පැතිර යැවීමටත් හැකි ආකාරයේ ක්‍රමවේදයන් විශාල සංඛ්‍යාවක් තිබේ.
නිශ්චිත ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාවන් දෙසියයක් පමණ හඳුනාගෙන ඇති අතර මෙම ගණන බොහෝ විට මෙයට වඩා වැඩි වේ.මෙම ක්‍රමවේදයන් පුළුල් ප්‍රභේද තුනකට වර්ගීකරණය කළ හැක: විරෝධය සහ පෙළඹවීම, සහයෝගය නොදැක්වීම සහ මැදහත්වීම. පුළුල් වශයෙන් ගත් විට ප්‍රචණ්ඩකාරී නොවන විරෝධය පෑමේ සහ පෙළඹවීමේ ක්‍රමවේදයන් වන්නේ පෙළපාලි ද ඇතුළු සංකේත විරෝධතා, පාද යාත්‍රා සහ අඛණ්ඩ සත්‍යග්‍රහවේ (ක්‍රමවේද 54). සහයෝගය නොදැක්වීම අනු ප්‍රභේද තුනකට බෙදා දැක්විය හැක: (a) සමාජයීය වශයෙන් සහයෝගය නොදැක්වීම (ක්‍රමවේද 16), (b) ආර්ථික වශයෙන් සහයෝගය නොදැක්වීම, සියළු සම්බන්ධතා අතහැරීම ඇතුළුව  (ක්‍රමවේද 26), සහ  (c)  දේශපාලනිකව සහයෝගය නොදැක්වීම  (ක්‍රමවේද 38). අවසාන කාණ්ඩය වන්නේ උපවාසය, ප්‍රචණ්ඩකාරී නොවන අත්පත්කර ගැනීම සහ සමාන්තර ආණ්ඩුවක් ඇතිකර ගැනීම  (ක්‍රමවේද 41) වැනි  මානසික, ශාරීරික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන උපක්‍රම මගින් ප්‍රචණ්ඩකාරී නොවන මැදහත්වීමක් කිරීමයි. මෙම ප්‍රකාශනයේ උප ග්‍රන්ථයට මෙවැනි ක්‍රමවේද 198 ක් ඇතුළත් කර තිබේ.
පුහුණු වූ සිවිල් ජනයා විසින් ප්‍රඥාවන්ත උපායමාර්ග සහ අදාල උපක්‍රම වලින් සමන්විත පරිශ්‍රයේ පරික්ෂාකාරීව තෝරාගෙන නොනවත්වා මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කළ හැකි  සැලකිය යුතු ප්‍රමාණයක් වන මෙවැනි ක්‍රමවේද දැඩිසේ ක්‍රියාත්මක කිරීම මගින් ඒවාට ඕනෑම නිති විරෝධී පාලන තන්ත්‍රයක්  බරපතල ප්‍රශ්න වලට අද දැමීමේ හැකියාවක් තිබේ. මෙය සෑම ඒකාධිපතිත්වයකටම වලංගුය.
හමුදාමය ක්‍රියාමාර්ග මෙන් නොව ප්‍රචණ්ඩකාරී අරගලයේ මෙම ක්‍රමවේද කෙලින්ම පවතින ප්‍රශ්න වෙත ඉලක්ක කළ හැක. උදාහරණයක් වශයෙන් ඒකාධිපතිත්වය මූලික වශයෙන් දේශපාලන  ප්‍රශ්නයක් වන නිසා ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ දේශපාලන ප්‍රභේදය තීරණාත්මක වනු ඇත. ඒකාධිපතියන්ට මොනම ආකාරයේ නිත්‍යානුකුල භාවයක් ප්‍රදානය නොකිරීමද ඔවුන්ගේ පාලන තන්ත්‍රය සමඟ මොනම ආකාරයේ  සම්බන්ධතාවයක්  නොපැවැත්විමද මේවාට ඇතුළත් වේ. සහයෝගය නොදීම නිශ්චිත ප්‍රතිපත්ති වලට එරෙහිවද පාවිච්චි කල හැක. සමහර අවස්ථා වලදී ඇණහිටවිම සහ ප්‍රමාද කරවීම නිසොල්මනේ සහ රහසිගතව පවා කළ හැකි අතර අනෙක් අවස්ථා වලදී විවෘත අකීකරුවිම්, මහජන විරෝධතා සහ වර්ජන සියල්ලන්ටම දෘශ්‍යමාන වනු ඇත.
අනෙක් අතට ඒකාධිපත්ත්වය ආර්ථික පීඩනයන්ට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිනම් හෝ එයට එරෙහි මහජන දුක් ගැනවිලි බොහෝ ප්‍රමාණයක පදනම ආර්ථික හේතු නම් සියළු සම්බන්ධතා අතහැරීම හෝ වර්ජනය වැනි ආර්ථික ක්‍රියාකාර කම් වඩාත් ගැලපෙන අරගල ක්‍රමවේදයන්  විය හැක. ඒකාධිපතියන්ගේ වෑයම ආර්ථික ක්‍රමයෙන් බොහෝ ප්‍රයෝජන ගැනීම නම් සීමිත මහා වඩා වර්ජන, සෙමෙන් වැඩ කිරීම සහ  අත්හළ නොහැකි විශේෂඥයන්ගේ සහයෝගය ලබා නොදීම හෝ ඔවුන් ප්‍රධාන ප්‍රවාහයෙන් ඉවත් කිරීම මගින් එයට අභියෝග කළ හැක.  නිෂ්පාදනය, ප්‍රවාහනය, අමුද්‍රව්‍ය සැපයීම සහ නිෂ්පාදිත භාණ්ඩ බෙදා හැරීම වැනි  වැදගත් සන්ධිස්ථාන වල තෝරාගත් විවිධ වර්ගයේ වර්ජන ක්‍රියාත්මක කළ හැකිය.
සමහර ප්‍රචණ්ඩකාරී නොවන අරගලයට අදාල ක්‍රමවේදයන් මගින් ජනතාවට ඔවුන්ගේ එදිනෙදා ජිවිතයට අදාල නොවන ක්‍රියාකාරකම් වල දීමට සිදුවේ. උදාහරණ වශයෙන් පත්‍රිකා බෙදාහැරීම, රහසිගත මුද්‍රණාලයක් පවත්වාගෙන යාම, ඉල්ලීම් ලබාගැනීම සඳහා උපවාස කිරීම, හෝ මාර්ග හරහා වාඩිවී සිටීම වැනි දෑ දැක්විය හැක. සමහර ජනයාට සීමාන්තික අවස්ථාවන්හිදී හැර  මෙම ක්‍රමවේදයන් අනුගමනය කිරීම අපහසු වනු ඇත.


ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ අනෙකුත් ක්‍රමවේදයන් මගින් වෙනස් මාර්ගයන් හරහා වුවත් ජනතාවට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය  ආසන්න වශයෙන් පවත්වා ගෙන යා  හැක. උදාහරණයක් වශයෙන් ජනතාව වර්ජනයේ නොයෙදී සේවයට වාර්තා කරනු ඇති නමුත් ඔවුන් චේතනාන්විතව  සාමාන්‍ය තත්ත්වයන්ට වඩා සෙමෙන් හෝ අකාර්යක්ෂම ලෙස වැඩ කරනු ඇත. සචේතනික ‘අත් වැරදීම්’ නිතොරවම සිදුවනු ඇත. සමහර අවස්ථා වලදී කෙනෙකුට ‘අසනීප’ බැවින් සේවයට වාර්තා කිරීමට ‘අපහසු’ වනු ඇත. එසේ නොමැති නම් කෙනෙකු පැහැදිලිවම වැඩෙහි යෙදීම ප්‍රතික්ෂේප කරනු ඇත. යමෙකු ආගමික කටයුත්තක යෙදිය හැකි අතර එම කටයුත්ත  තුල ආගමික පමණක් නොව දේශපාලන අවබෝධයද නිරූපණය විය හැක. යමෙකු  දරුවන් ප්‍රහාරකයන්ගේ ප්‍රචාරාත්මක ක්‍රියා වලින් ආරක්ෂා කිරීම සඳහා නිවසේදී හෝ නීති විරෝධී පන්ති වලදී  ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙනු ඇත. මෙයට පෙර නිදහස් ලෙස සම්බන්ධ වී නැති ‘නිර්දේශිත’ හෝ අවශ්‍ය ආයතන වලට සම්බන්ධ වීම යමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. මෙවැනි ක්‍රියාකාරකම් වල සහ සිය දෛනික කටයුතු වල ඇති සමානතාවය නිසාද   මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදීම නිසා ඔවුන්ගේ එදිනෙදා කටයුතු වලින් ඈත්වීමේ ප්‍රමාණය සීමිත නිසාද  බොහෝ ජනයා ට මෙවැනි ක්‍රියාකාරකම් මගින් ජාතික නිදහස් අරගලයට සහභාගී වීම වඩාත් පහසු වනු ඇත.
ප්‍රචණ්ඩකාරී නොවන අරගලය සහ ප්‍රචණ්ඩත්වය මූලික වශයෙන් වෙනස් මාර්ග දෙකක ක්‍රියාත්මක වන බැවින් දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් තුළදී සීමිත ප්‍රචණ්ඩකාරී අරගලයක් වුවද ක්‍රියාත්මක කිරීම අපේක්ෂිත ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ගෙනදේ. මක්නිසාද යත් එය ඒකාධිපතින්ට අති විශාල වාසි සහගත තත්ත්වයක් ඇති සන්නද්ධ ගැටුමේ මාවතට අරගලය විස්ථාපනය කරන බැවිනි. ප්‍රචණ්ඩකාරී නොවීමට ඇති ශික්ෂණය ජයග්‍රහණය වෙත ඇති මාර්ගය වේ. ඒකාධිපතියන් සහ ඔවුන්ගේ ඒජන්තයන් විසින් කරනු ලබන කුපිත කිරීම් සහ කෘර ක්‍රියා තිබියදීත් එම ශික්ෂණය පවත්වා ගත යුතු වේ.
ප්‍රචණ්ඩකාරී විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී නොවන ශික්ෂණය පවත්වාගෙන යාම මගින් පසුව  සාකච්ඡා කරන ප්‍රචණ්ඩකාරී නොවන අරගලය මගින් කෙරෙන සතර ආකාර වෙනස්වීමේ යාන්ත්‍රණ  වල ක්‍රියාකාරීත්වයට පහසුකම් සලසනු ලැබේ. දේශපාලන ජුජුට්සු ක්‍රියා දාමයේ දීද ප්‍රචණ්ඩකාරී නොවන ශික්ෂණය ඉතාමත් වැදගත් වේ. මෙම ක්‍රියා දාමයේදී පැහැදිලිවම ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාවන්ට එරෙහි පාලන තන්ත්‍රයේ දරදඬු කෘරත්වයම  දේශපාලන වශයෙන් ඒකාධිපතියන්ගේ ස්ථාවරයට පටහැනි ලෙස දෘශ්‍යමාන වේ. මෙය ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් අතර ඔවුන්ගේ ක්‍රියාවන්ට අප්‍රසාදය ඇතිවීමටත් පොදු මහජනතාව අතරද පාලන තන්ත්‍රයට සහයෝගය දෙන්නන් අතරද තෙවන පාර්ශ්වයන් අතරද අරගල කරුවන් වෙත සහයෝගය දැක්වීමේ ප්‍රවනතාවයක් ඇතිවීමට හේතුවේ.
කෙසේ නමුත් සමහර අවස්ථා වලදී ඒකාධිපතිත්වයන්ට එරෙහිව සීමිත ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම වැලැක්විය නොහැකි වනු ඇත. ඉච්ඡා භංගත්වය සහ පාලන තන්ත්‍රය කෙරෙහි වන වෛරය ප්‍රචණ්ඩත්වය ලෙස පුපුරා යා හැක. එසේනොමැතිනම් සමහර කණ්ඩායම් ප්‍රචණ්ඩකාරී නොවන අරගලය මගින් කරනු ලබන වැදගත් කාර්යභාරය අවබෝධ කරගෙන ඇති නමුත් ප්‍රචණ්ඩකාරී මාවත අතහැරීමට අකමැති වීමට පුළුවන. මෙම අවස්ථා වලදී දේශපාලන විරෝධතා ව්‍යාපාර අතහැර නොදැමිය යුතුය. කෙසේ නමුත් මෙවැනි අවස්ථා වලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියා වලින් හැකිතාක් දුරට වෙන් කිරීම අවශ්‍ය වේ. මෙම වෙන් කිරීම  භූගෝලීය කලාප, විවිධ ජනතා කොටස්, කාලය සහ වාද විෂයයන් අනුව කල යුතු වේ. එසේ නොකළ හොත් බොහෝවිට වඩාත් ප්‍රබල සහ ජයග්‍රාහී ලෙස භාවිතා කල හැකි දේශපාලන විරෝධතා ව්‍යාපාර කෙරෙහි විනාශ දායක ප්‍රතිඵල ඇති කිරීමට ප්‍රචණ්ඩත්වය හේතු විය හැක.
ඉතිහාසගත තොරතුරු අනුව දේශපාලන විරෝධතා ව්‍යාපාරයන්හි  යෙදෙන්නන් මරණයට පත්විය හැකි හෝ ඔවුන්ට තුවාල විය හැකි හෝ නමුත් මෙම සංඛ්‍යාව ප්‍රචණ්ඩකාරී අරගලයකදී සිදුවන මරණ හෝ තුවාලකරුවන්ගේ සංඛ්‍යාවට වඩා විශාල වශයෙන් අඩුය. තවදුරටත් කිවහොත් මෙවැනි අරගලයක් අවසානයක් නොමැති මිනීමැරුම් සහ කෘරත්වයෙන් යුතු චක්‍රයකට දායක වන්නේ නැත.
ප්‍රචණ්ඩකාරී නොවන අරගලයක් මගින් අපේක්ෂා කරන්නේ සහ එය ආධාර කරන්නේ ආණ්ඩුව කෙරෙහි ඇති බිය සහ ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරී මැඩපැවැත්වීම නැතිකිරීමට හෝ එම කාරණා පාලනය කිරීමට හැකි බලයක් ඇතිකර ගැනීමටයි. එම බිය නැතිකර දැමීම හෝ පාලනය කිරීම බහු ජනතාව කෙරෙහි ඒකාධිපතියන් දක්වන අධිකාරිත්වය බිඳ දැමීමේ මූලික අංගයක් වනු ඇත.
විවෘත භාවය රහසිගත භාවය සහ උසස් ප්‍රමිතීන්
ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියා වල යෙදී සිටින සංවිධානයකට  රහසිගත භාවය, වංචාව සහ යටිබිම්ගත  කුමන්ත්‍රණ හේතුවෙන් ඉතා අසීරු ප්‍රශ්ණ වලට මුහුණදීමට සිදුවේ. සිය අභිලාෂයන් සහ සැලසුම් දේශපාලන පොලිසියෙන් සහ බුද්ධි අංශ වලින් සඟවා තැබීම බොහෝවිට නොකලහැක්කකි. ව්‍යාපාරයේ දෘෂ්ටිකෝණයෙන් බලන විට රහස්‍යභාවය බිය මත පදනම්ව ඇත්තක් පමණක් නොවේ. එය බිය ඇතිකිරීමට හේතුවක්ද වේ. බිය මගින් විරෝධතාවයේ ජීව ගුණය බාල කරන අතර එක් නිශ්චිත ක්‍රියාවකට දායක විය හැකි  පුද්ගලයන්ගේ ගණන සිමා කරයි. එමතුද නොවේ. රහස්‍යභාවය නිසා යමකු විරුද්ධවාදීන්ගේ ඔත්තුකරුවකු හෝ ඒජන්තයකු වශයෙන්  ව්‍යාපාරය තුල සාධාරණීකරණය කල නොහැකි සැකකිරීම් සහ චෝදනාවන් ඇතිවිය හැක. ව්‍යාපාරයකට ප්‍රචණ්ඩකාරී නොවී සිටීමේ හැකියාවටද රහස්‍යභාවය නිසා බලපෑමක් ඇතිවිය හැක. මෙයට මුළුමනින් වෙනස්ව බලාපොරොත්තු සහ සැලසුම් වල විවෘත භාවය ඇතිකිරීම මගින් මෙයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබෙනු පමණක් නොවේ. එමගින් විරෝධතා ව්‍යාපාරය අත්‍යන්තයෙන්ම ප්‍රබල බවට වන ප්‍රතිරූපයට දායකත්වයක් ද ලබාදෙනු ඇත. ප්‍රශ්නය මෙයින් පෙන්නුම් කරන ප්‍රමාණයට වඩා බොහෝ සංකීර්ණ වන අතර  විරෝධතා ක්‍රියාවන්හි රහස්‍යභාවය අවශ්‍ය කරන සුවිශේෂ අංගයන්ද තිබේ. දැනුමැති අය විසින් ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ ගතිකත්වය සහ නිශ්චිත අවස්ථාවකදී ඒකාධිපතිත්වයේ අවේක්ෂණ ක්‍රමවේද පිළිබඳව සියළු තොරතුරු ලබාගෙන මනා තක්සේරුවක් කළ යුතුය.
ඉහළ මට්ටමේ රහස්‍යභාවයක් අවශ්‍ය කරන සීමිත විශේෂ කාර්යයන් අතර යටිබිම්ගත ප්‍රකාශන සංස්කරණය මුද්‍රණය හා බෙදාහැරීම, රට තුල කෙරෙන නීති විරෝධී ගුවන් විදුලි ප්‍රකාශන සහ ව්‍යාපාරයේ බුද්ධි අංශ මගින් ඒකාධිපතිත්වයේ ක්‍රියාකාරීත්වය පිලිබඳ තොරතුරු රැස් කිරීම ද වේ.
අරගලයේ සෑම අවස්ථාවකදීම ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාවල ඉතා ඉහල මට්ටමේ චර්යාවක් පවත්වාගෙන යාම අවශ්‍යවේ. නිර්භීතභාවය සහ ප්‍රචණ්ඩකාරී නොවීමට හික්මීම වැනි සාධක සෑම විටම අවශ්‍යවේ. සමහර නිශ්චිත වෙනස්කම් කිරීම සඳහා බොහෝ පිරිස් නිතොරවම අවශ්‍ය වන බව මතක තබා ගැනීම වැදගත්ය.
බල සම්බන්ධතා විතැන් කිරීම
දේශපාලන විරෝධතා ව්‍යාපාරයට මුලික වූ ගැටුම, දිගටම පවතින ක්‍රියා සහ ප්‍රතික්‍රියාවන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන අතොරක් නැතිව  වෙනස්වන අරගල භූමියක් බව උපායශීලි සැලසුම්කරුවන් විසින් මතක තබාගත යුතුය. කිසිවක් ස්ථායි නොවේ. ස්ථාවර සහ සාපේක්ෂ බල සම්බන්ධතා නිතොරවම සහ සීග්‍ර ලෙස සිදුවන වෙනස්කම් වලට යටත්ය. විරෝධතාකරුවන් විසින් මෙය කල හැකි දෙයක් බවට පත්කර ඇත්තේ මර්දනයට එරෙහිව ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ පැවැත්ම  මගිනි.
ප්‍රචණ්ඩකාරී ගැටුමකට වඩා මෙවැනි ගැටුමක විරුද්ධ පාර්ශ්වයන් අතර ඇති බල තුලනයේ වෙනස්වීම් වඩා සීමාන්තික ලෙසද ඉතා ඉක්මන් ලෙසද නානාප්‍රකාර සහ දේශපාලන වශයෙන් වැදගත් ප්‍රතිවිපාක ඇතිවන ලෙසද සිදුවිය හැක. මෙම වෙනස්කම් නිසා අරගලකරුවන්ගේ නිශ්චිත ක්‍රියා ඒවා සිදුවන කාලය සහ ස්ථානයට බොහෝ ඔබ්බට යන ප්‍රතිවිපාක ඇතිකළ හැක. මෙම ප්‍රතිඵල එක් කණ්ඩායමක් හෝ අනෙක ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට නැවත පරාවර්තනය වී පැමිණෙනු ඇත.
මෙයට අමතරව ප්‍රචණ්ඩකාරී නොවන කණ්ඩායම විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මගින් විරුද්ධ කණ්ඩායමේ සාපේක්ෂ බලය විශාල ප්‍රමාණයකින් වැඩි කිරීමට හෝ අඩු කිරීමට බලපෑම් කරනු ඇත. උදාහරණයක් වශයෙන් ඒකාධිපතියන්ගේ කෘරකම් ඉදිරියේ විනය ගරුක සහ ධෛර්ය සම්පන්න ප්‍රචණ්ඩකාරී නොවන අරගලයක් විසින් ඒකාධිපතියන්ගේ සොල්දාදුවන් සහ ජනතාව සන්තාපයට , බලවත් කලකිරීමට , අවිශ්වාසයට  සහ සීමාන්තික අවස්ථාවන්හිදී කැරලි ගැසීමට පෙළඹවිය හැක. මෙම අරගලයේදී යටත් නොවන ස්වභාවය ඒකාධිපතිත්වය ජාත්‍යන්තරව හෙළාදැකීම උත්සන්න වන තත්ත්වයකට ද හේතුවිය හැක. මෙයට අමතරව දක්ෂ ලෙස විනය ගරුකව සහ අත නොහැර භාවිතාවේ යොදනු ලබන දේශපාලන විරෝධතා ව්‍යාපාර මගින්  සාමාන්‍යයෙන් ඒකාධිපතියන් වෙත නිශ්ශබ්ද සහයෝගය දක්වන හෝ ගැටුමේදී කිසිම පැත්තක් නොගෙන සිටින ජන කොටස්   අරගලයට ආකර්ෂණය කර ගැනීමට හැකිවේ.  

වෙනස ඇතිකරන සතර ආකාර යාන්ත්‍රණ
ප්‍රචණ්ඩකාරී නොවන අරගලය යාන්ත්‍රණ සතරකින් වෙනසක් ඇති කරයි. පළමුවන යාන්ත්‍රණය   ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අල්ප නමුත් එය ක්‍රියාත්මක වී තිබේ. ධෛර්ය සම්පන්න ප්‍රචණ්ඩකාරී නොවන විරෝධතා කරුවන් වෙත මුදාහරිනු ලබන මර්දනයේ දුක් පීඩාවන් පිළිබඳව හැඟුම් බර වන හෝ විරෝධතා කරුවන්ගේ අරගලයට හේතුව සාධාරණ යයි තර්කානුකූල නිගමනයකට ඒමට බලකෙරුන හෝ විරුද්ධ කණ්ඩායමේ සාමාජිකයන් විසින් අරගල කරුවන්ගේ ඉලක්කයන් සමඟ එකඟ වීමට ඉඩ තිබේ. මෙම යාන්ත්‍රණය  දැඩි ස්ථාවරය ලිහිල් වීම ලෙස හඳුන්වනු ලැබේ. සමහර අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියා වල දැඩි ස්ථාවරය ලිහිල් වීමක් ඇතිවිය හැකි නමුත් එය විරල වේ. බොහෝ ගැටුම් වලදී මෙය කිසිසේත්ම ඇති නොවේ. එසේ නොමැතිනම් යටත් පිරිසෙයින් මහා පරිමාණයෙන් ඇති නොවේ.
බොහෝවිට ප්‍රචණ්ඩකාරී නොවන අරගලය ක්‍රියාත්මක වන්නේ අරගල තත්ත්වය සහ සමාජය වෙනස් කරමිනි. එබැවින් විරුද්ධවාදීන්ට තමන් කැමති ආකාරයකට කටයුතු කළ නොහැක. අනෙකුත් යාන්ත්‍රණ තුන එනම් ඉල්ලීම් සලකා බැලීමට එකඟ වීම,  ප්‍රචණ්ඩකාරී නොවන බලපෑම, සහ බිඳවැටීම  උත්පාදනය කරනු ලබන්නේ මෙම වෙනස්වීම මගිනි. මෙම යාන්ත්‍රණ ඇතිවීම රඳා පවතින්නේ සාපේක්ෂ සහ නියත බල සම්බන්ධතා ප්‍රජාතන්ත්‍රවාදීන්ට වාසි වනසේ විතැන් වීමේ ප්‍රමාණය මතය. 
මතභේදයට ලක්වී ඇති කරුණු මූලික ඒවා නොවන්නේ නම්,  සීමාසහිත සටන් ව්‍යාපාරය තුල කෙරෙන විපක්ෂයේ ඉල්ලීම් තර්ජනකාරී නොවන්නේනම් සහ විවිධ බලයන්ගේ ගැටීම මගින් බල සම්බන්ධතා එක්තරා ප්‍රමාණයකට වෙනස් වී ඇත් නම් ආසන්න ගැටුම එකඟතාවයකට එළඹීම හෝ වෙනස්කම් සමනය කර ගැනීම හෝ යමක් කැපකර එකඟතාවයකට පැමිණීම හෝ  මගින්, විසඳා ගත හැක. මෙම යාන්ත්‍රනය ඉල්ලීම් සලකා බැලීමට එකඟවීම ලෙස හැඳින්විය හැක. බොහෝ වැඩ වර්ජන මේ ආකාරයට විසඳා ඇත. උදාහරණයක් වශයෙන් දෙපාර්ශ්වයම සිය අරමුණු සමහරක් සාක්ෂාත් ක‍ර ගන්නා අතර කිසිම පාර්ශවයක් සිය අරමුණු මුළුමනින්ම සාක්ෂාත් කර නොගනී. ආණ්ඩුවක් මෙවැනි නිරාකරණයක් මගින් නොඉවසුම් ගතියක් නිෂ්ක්‍රිය කිරීම, ‘සාධාරණත්වය’ පිලිබඳ හැඟීමක් ඇතිකරලීම, හෝ පාලන තන්ත්‍රය පිළිබඳව ඇති ජාත්‍යන්තර ප්‍රතිරූපය පිම්බීම වැනි ධනාත්මක ප්‍රතිලාභයක් ඇති කරනු ඇතැයි හඟිනු ඇත. එබැවින් ඉල්ලීම් සලකා බැලීමට එකඟවීම මගින්   නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තුවන විෂයයන් තෝරාගැනීමේදී බොහෝ පරිස්සම් සහගත විය යුතුය. ඒකාධිපතිත්වයක් බිමට ඇද දැමීම සඳහා කෙරෙන අරගලය මේවායින් එකක් නොවේ.
දැඩි ස්ථාවරය ලිහිල් වීම හෝ ඉල්ලීම් සලකා බැලීමට එකඟවීම යන යාන්ත්‍රණ මගින් පෙන්නුම් කරන තත්ත්වයට වඩා ප්‍රචණ්ඩකාරී නොවන අරගලය බොහෝ බලවත් වේ. සහයෝගය නොදීමේ ජනතා ව්‍යාපාරයක් සහ විරෝධතා ව්‍යාපාරයක් මගින් පවතින සමාජයීය සහ දේශපාලනික තත්ත්වය විශේෂයෙන්ම ආණ්ඩුවේ ආර්ථික සමාජයීය සහ දේශපාලනික ක්‍රියාදාමයන් පාලනය කිරීමේ ඒකාධිපතියන්ගේ හැකියාව උපස්තම්භනය කරන ඔවුන්ගේ බල සම්බන්ධතා වෙනස් කරන අතර පවතින සමාජය මුලිනුපුටා දමයි. විරුද්ධ වාදීන්ගේ හමුදාවෝ විරෝධතා කරුවන් මර්දනය කිරීමට දෙනු ලබන නියෝගයන්ට  ඒ ආකාරයෙන්ම අවනත නොවීමට තරම් විශ්වාසවන්ත භාවයෙන් පහළට ඇද වැටෙති.   විරුද්ධවාදීන්ගේ නායකයන් ඔවුන්ගේ තනතුරු වල රැඳෙමින් ඔවුන්ගේ මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටියත් ඵලදායි ලෙස වැඩ කිරීමේ හැකියාව ඔවුන්ගෙන් උදුරා ගනු ලැබේ.මෙය ප්‍රචණ්ඩකාරී නොවන බලහත්කාරකම ලෙස හැඳින්වේ.
ප්‍රචණ්ඩකාරී නොවන බලහත්කාරකමට හේතුවන තත්ත්වයන් සමහර සීමාන්තික අවස්ථාවන්හිදී තවත් ඔබ්බට ගමන් කරයි. විරුද්ධවාදීන්ගේ නායකත්වයට ක්‍රියාත්මක වීම සඳහා ඇති සියළු හැකියාවන් ව්‍යවර්ත  වන අතර ඔවුන්ගේ බල ව්‍යුහය බිඳ වැටේ.  අරගල කරුවන්ගේ තමන් විසින්ම ක්‍රියාත්මක වන ස්වභාවය, සහයෝගය නොදැක්වීම සහ විරෝධතා ව්‍යාපාර කෙතරම් සංකීර්ණ වන්නේද යත් විරුද්ධවාදීන්ට ඒවා කෙරෙහි ඡායා මාත්‍රයක වත් පාලනයක් පවත්වා ගත නොහැකි වේ. විරුද්ධවාදීන්ගේ නිලධාරී තන්ත්‍රය ඔවුන්ගේම නායකත්වයට අවනතවීම ප්‍රතිෂේප කරයි. විරුද්ධවාදීන්ගේ හමුදාව සහ පොලිසිය කැරලි ගසති. විරුද්ධවාදීන්ගේ සාමාන්‍ය ආධාරකරුවන් සහ ජනතාව ඔවුන්ගේ පෙර නායකත්වයට පාලනය තව දුරටත් පවත්වාගෙන යාමට අල්පමාත්‍ර හෝ අයිතියක් නැති බව හඟවමින් එම නායකත්වය ප්‍රතික්ෂේප කරති. ඒ මගින් ඔවුන්ගේ කලින් තිබූ  අනුග්‍රහය සහ අවනත භාවය ඉවත්වී යයි. වෙනස ඇතිකරන සතරවන යාන්ත්‍රනය හෙවත් විරුද්ධවාදීන්ගේ සමස්ත පද්ධතිය බිඳවැටීම  කෙතරම් සම්පුර්ණ වන්නේද යත් ඔවුන්ට යටත් වීමටවත් තරම් සරිලන බලයක් ඉතිරි නොවේ. පාලන තන්ත්‍රය කැබලි වලට කැඩී විසිරී යයි.
උපායශීලි විමුක්ති අරගල සැලසුම් කිරීමේදී මේ සතර ආකාර යාන්ත්‍රණ සිත්හි තබා ගත යුතුය. මේවා සමහර විට අහම්බයක් සේ ක්‍රියාත්මක වේ. කෙසේ නමුත් මෙම යාන්ත්‍රණ වලින්  එකක් හෝ කිහිපයක් ගැටුමක දී වෙනස ඇති කිරීම සඳහා පාවිච්චි කිරීමට අදහස්  කරන්නේ නම් ඒ මගින් නිශ්චිත සහ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක ශක්තිමත් කරන උපායමාර්ග ඇතිකිරීමට මඟ පෑදේ. කුමන යාන්ත්‍රණය ( හෝ යාන්ත්‍රණ) තෝරාගන්නේද යන බව පදනම් වන්නේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වල නියත හා  සාපේක්ෂ බලය සහ ප්‍රචණ්ඩකාරී නොවන අරගල කාරී කණ්ඩායම් වල ආකල්ප හා අරමුණු ඇතුළු බොහෝ කරුණු මතය.

දේශපාලන විරෝධතා ව්‍යාපාර වල ප්‍රජාතන්ත්‍රකරණ ප්‍රතිඵල 
ප්‍රචණ්ඩකාරී සම්බාධක වල ඇති මධ්‍යගත කිරීමේ ප්‍රවණතාවයට ප්‍රතිවිරුද්ධව ප්‍රචණ්ඩකාරී නොවන අරගල ක්‍රමවේදය, දේශපාලන සමාජය කිහිප ආකාරයකින් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට දායක වේ.
ප්‍රජාතන්ත්‍රකරණ ප්‍රතිඵල වල එක් කොටසක් නිෂේධනීය වේ. මෙම ශිල්ප ක්‍රමය හමුදාමය උපක්‍රමයකට ප්‍රතිවිරුද්ධව යම් විශේෂ වූ නායකයන් පිරිසකට ජනතාවට එරෙහිව මර්දනයක් ක්‍රියාත්මක කරමින් ඒකාධිපතිවාදයක් ඇතිකිරීමට හෝ පවත්වාගෙන යාමට කිසිම රුකුලක් නොදෙයි. දේශපාලන විරෝධතා ව්‍යාපාරයක නායකයන් විසින් සිය අනුගාමිකයන් වෙත යම්කිසි බලපෑමක් හෝ පීඩනයක් ඇති කළ හැකි නමුත් නායකයන්ට  සිය අනුගාමිකයන් තමන් අතහැර යාමට හෝ වෙනත් නායකයකු තෝරාගැනීමට හෝ තීරණය කළ හොත් ඔවුන් සිරකර දැමීමට හෝ මරා දැමීමට හෝ නොහැක.  
ප්‍රජාතන්ත්‍රකරණ ප්‍රතිඵල වල තවත් කොටසක් සාධනීය වේ. එනම් ප්‍රචණ්ඩකාරී නොවන අරගලය, පවතින හෝ ඇතිවියහැකි ඒකාධිපතිත්වයකට එරෙහිව සිය පුද්ගල ස්වාධිපත්‍යය ඇතිකර ගැනීම හෝ ආරක්ෂාකර ගැනීම හෝ සඳහා ජනතාවට අරගලයේදී යටත් නොවන ස්වභාවය දායාද කරයි.  ප්‍රචණ්ඩකාරී නොවන අරගලය මගින් ඇතිකරනු ලැබිය හැකි සාධනීය ප්‍රජාතන්ත්‍රකරණ ප්‍රතිඵල සමහරක් පහත දැක්වේ.
·         ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ යෙදීම මගින් ඇතිවන අත්දැකීම්, පාලන තන්ත්‍රයේ තර්ජන වලට සහ ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී මර්දනයට ඇති හැකියාවට අභියෝග කිරීම සඳහා  ජනතාවට ඉහළ ආත්ම විශ්වාසයක්  ඇතිවීමට හේතුවේ.
·         ඒකාධිපතිත්වයක් විසින් තමන් වෙත පනවනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකට එරෙහි වීම සඳහා වන සහයෝගය නොදැක්වීමේ හෝ විරෝධතාවයක යෙදීමේ ක්‍රියාවලියක් සඳහා ප්‍රචණ්ඩකාරී නොවන අරගලය ජනතාව වෙත මාර්ගය විවෘත කරයි.
·          මර්දනකාරී පාලනයන්ට එරෙහිව භාෂණයේ නිදහස, ජන මාධ්‍ය නිදහස , නිදහස් ආයතන, රැස්වීමේ නිදහස වැනි  අංග වලින් ප්‍රකාශවන ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයේ යෙදීම තිරසාරව ප්‍රකාශ කිරීම සඳහා ප්‍රචණ්ඩකාරී නොවන අරගලය භාවිතා කළ හැක.
·         ඉහත සාකච්ඡා කළ පරිදි සමාජයේ තිබෙන ස්වාධින කණ්ඩායම් සහ ආයතන වල පැවැත්ම,  ප්‍රතිස්ථාපනය සහ බල ගැන්වීම සඳහා ප්‍රචණ්ඩකාරී නොවන අරගලය බලවත් ලෙස දායක වෙයි. මේවා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වැදගත් වේ. මක්නිසාද යත් ජනතා බලයේ හැකියාව එක්රැස් කිරීමටත් ඇතිවිය හැකි ඒකාධිපතියන්ගේ ක්‍රියාකාරී බලයට සීමා පැනවීමටත්  ඒවායේ ඇති හැකියාව නිසාය.
·         ඒකාධිපති ආණ්ඩු වල මර්දනකාරී පොලිසියේ සහ හමුදා ක්‍රියාන්විත වල බලයට එරෙහිව ජනතාවට පාවිච්චි කළ හැකි ක්‍රමවේදයක් ප්‍රචණ්ඩකාරී නොවන අරගලය මගින් සපයනු ලබයි.
·         ප්‍රජාතන්ත්‍රවාදයේ අභිවෘධිය තකා ජනතාවට  සහ ස්වාධින ආයතනයන්ට,  පාලක පන්තියේ බල ප්‍රභවයන් සිමා කිරීමට හෝ මුලිනුපුටා දැමීමට සහ එමගින් ඔවුන්ගේ අධිකාරිය පවත්වාගෙන යාමට ඇති හැකියාවට  අභියෝග කිරීමට ප්‍රචණ්ඩකාරී නොවන අරගලය විසින් ක්‍රමවේදයන් සපයා දෙනු ලැබේ.

ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ සංකීර්ණ ස්වභාවය
මෙම සාකච්ඡාවෙන් පෙන්නුම් කරන පරිදි ප්‍රචණ්ඩකාරී නොවන අරගලය යනු ක්‍රමවේදයන් විශාල ගණනාවක්ද වෙනස ඇතිකරණ යාන්ත්‍රණ ගණනාවක්ද නිශ්චිත හැසිරීම් රටා වල අවශ්‍යතාවයන් ද සහිත සමාජ ක්‍රියා දාමයක් සඳහා වන සංකීර්ණ ශිල්ප ක්‍රමයකි. විශේෂයෙන්ම ඒකාධිපතිත්වයකට එරෙහිව ඵලදායි වීම සඳහා පරෙස්සම් සහගත සැලසුම් කිරීමක් සහ සූදානම් වීමක් දේශපාලන විරෝධතා ව්‍යාපාරයකට අවශ්‍යය. අනාගතයේදී මෙයට සහභාගී වන්නන් තමන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අවබෝධ කර ගත යුතුය. අවශ්‍ය කරන සම්පත් සපයා තැබිය යුතුය. ප්‍රචණ්ඩකාරී නොවන අරගලය වඩාත් ප්‍රතිඵල දායක ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි උපායශීලීන් විසින් විශ්ලේෂණය කළ යුතුය. දැන් අපි මෙම තීරණාත්මක සාධකය එනම් උපායශීලි සැලසුම්කරණය දෙසට අපේ අවධානය යොමු කරමු.


No comments:

Post a Comment