Thursday, January 17, 2019

පුරවැසියන්ට නැති අයිතියක් මාධ්‍යය ට තිබෙනවාද ?



(සමබිම අතිරේකය- අනිද්දා පුවත්පත 20.1.2019)
සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් පසුගිය 10 වන දින මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට “අපගේ සටන ජඩ මාධ්‍ය කරණයට එරෙහිවයි” යන බැනරය යටතේ විරෝධතා ව්‍යාපාර  පවත්වා එම මාධ්‍ය ආයතන වෙතට සිය විරෝධතාවයට හේතුවූ කරුණු ඇතුළත් ලිපියක් භාරදෙන ලදී. මෙම ලිපිය භාර ගැනීමට සිරස, මවුබිම සහ හිරු යන මාධ්‍ය ආයතන ප්‍රතික්ෂේප කළ අතර දෙරණ, නෙත්, සියත, ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව, ITN, TNL සහ විජය ප්‍රවෘත්ති පත්‍ර සහ ස්වර්ණවාහිනිය  යන මාධ්‍ය ආයතන එම ලිපිය භාරගන්නා ලදී. දිවයින සහ ලක්බිම යන පුවත්පත් ආයතන වලට යාමට ඔවුන්ට කල් වේලා මඳ වූ බව දැනගන්නට ඇති අතර සියළුම ආයතන වෙතට විරෝධතා ලිපිය තැපැල් කර යැවීමට කටයුතු යොදා ඇති බවද දැනගන්නට ලැබුණි.මේ සිද්ධිය අනුසාරයෙන් මාධ්‍ය නිදහස පිළිබඳව කතිකාවක් ඇතිවී තිබේ. මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට ද චෝදනාවක් එල්ල කෙරුණ අතර එම චෝදනාව එම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම විරෝධතාවය දැක්වූ ආයතන සිය අනන්‍යතාවය ඔවුන්ගේ ලිපියේ පැහැදිලිව දක්වා තිබුණි. කළු පටි වලින් මුඛ ප්‍රදේශය ආවරණය කරගෙන තිබුනේ විරෝධතාවයේ සංකේතයක් වශයෙනි. අනන්‍යතාවය සඟවා ගැනීමට වෙස් මුහුණක් වශයෙන් නොවේ. මෙවැනි මාධ්‍ය කරුවන්ඉදිරියට යාමට වෙස්මුහුණු අවශ්‍ය නැත.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය නිදහස බොහෝ සෙයින් අගය කරනු ලැබේ. එමතුද නොව ව්‍යවස්ථාපිත ආයතන වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන වලට අමතර ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ ලා මාධ්‍යයේ කාර්ය භාරය ජනතාව ආරක්ෂා කරණ මුර බල්ලකු ගේ කාර්ය භාරයට සම කර  දක්වා තිබේ. විශේෂයෙන්ම අත්තනෝමතික ආණ්ඩු වලට එරෙහි ජනතා විරෝධය ලොවපුරා මාධ්‍ය සිය භාවිතාව තුලින් කුළු ගන්වා තිබේ.
එසේ නමුත් මාධ්‍ය භාවිතාව පිළිබඳවද විවේචන තිබේ. 1964 දී පුවත්පත් පනත පරාජය වූ අවස්ථාවේදී දවස ආයතනයෙන් එලියට පැමිණි සිරිලාල් කොඩිකාර ධනපති පත්තර කලාව පිලිබඳ ලිපියක් ලියමින් පුවත් මැවීම සහ පුවත් විකෘති කිරීම පිළිබඳව දවස ආයතනයටත් ඩි බී ධනපාලටත් චෝදනා කළේය. එම චෝදනා උදාහරණ සහිතව කරණ ලද චෝදනා විය. මාධ්‍යයක්  කිසියම්ම ආණ්ඩුවක වන්දිභට්ටයකු  වියයුතු නොවේ. එමෙන්ම විපක්ෂයකද වන්දිභට්ටයකු විය යුතු නොවේ. මාධ්‍යයේ වගකීම පවතින ආණ්ඩුවේ අකටයුතු නොපැකිලව හෙළිදරවු කරමින් ඔවුන්  බරපතල ලෙස විවේචනය කිරීමයි. නමුත් එම විවේචනය ස්වාර්ථය පිණිස නොවිය යුතුය. එම විවේචනය අගතිගාමී නොවිය යුතුය. පුවත් විකෘති නොකළ යුතුය. පුවත් නොමැවිය යුතුය.
අපගේ ව්‍යවස්ථාව අනුව මාධ්‍ය වෙතට විශේෂ නිදහසක් ප්‍රදානය කර නොමැත. ඉන්දියානු ව්‍යවස්ථාවේද මේ තත්ත්වය එසේමයි. ව්‍යවස්ථාව සාදන අවස්ථාවේදී මේගැන ප්‍රශ්ණ කළ විට බී ආර් අම්බෙඩ්කාර් මෙසේ පිළිතුරු දී තිබේ. “ පුවත්පතක් යනු පුද්ගලයෙක් හෝ පුරවැසියෙක් හෝ හඳුන්වන තවත් ආකාරයකි. පුරවැසියකුට පුද්ගලිකව පාවිච්චි කළ නොහැකි විශේෂ අයිතිවාසිකමක් පුවත් පතකට දිය නොහැක. පුවත්පතක කර්තෘ හෝ පාලකයා පුරවැසියෝ වෙති. පුවත්පතකට ලියන විට ඔවුන් පාව්ච්චි කරන්නේ පුරවැසියකු සතු භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසයි.” අපගේ ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය අනුව සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට සහ සමාගමයේ නිදහසට අවකාශ තිබේ. පුවත්පත්ද පුරවැසියන්ද පාවිච්චි කරන්නේ මේ නිදහසයි.
එබැවින් පුරවැසියන් පිරිසක් මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවයක් දක්වන විටදී එම පුරවැසියන් පාවිච්චි කරන්නේද තමන් පාවිච්චි කරණ ව්‍යවස්ථාපිත අයිතියම බවත් ඔවුන්ට අපහාස කිරීමට තමන්ට කිසිම ව්‍යවස්ථාපිත හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් සිරස, මවුබිම සහ හිරු යන මාධ්‍ය ආයතන වටහා ගත යුතුය
විරෝධතාවේ යෙදුන සංවිධාන සිය විරෝධතාවයට මුඛ්‍ය හේතුව සිය ලිපියේ ආරම්භයේ මෙසේ සඳහන් කර ඇත.
“සදාචාරය හා සමාජ වටිනාකම් පිළිබඳව , නැවතත් ඔබට සිහි කැඳවන්නට සිදුව ඇත්තේ ඔබ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදුවූ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රනයේම කොටස් කරුවෙක් ලෙස, අමු අමුවේම මාධ්‍යකරණයේ අවම සමාජ වටිනාකම් පවා බිඳ දමමින් සාහසික මාධ්‍ය කරණයක යෙදුන නිසාය.මෙම සාහසික මාධ්‍ය කරණය අද ඊයෙක වූවක් නොවේ.”
වෙනත් රටක් මෙවැනි කුමන්ත්‍රණයක් සිදු වූයේ නම් එරට මාධ්‍ය කටයුතු කරනු ඇත්තේ එම ක්‍රියාවලියට සම්පුර්ණයෙන්ම විරුද්ධවය.ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී මොවුහු එයට පක්ෂපාත වූහ. මෙය මාධ්‍යයේ ඉතාමත්ම අධම සහ නීච භාවිතාවකී. මෙය ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ගේ උත්තුංග මාධ්‍ය භාවිතාවේ ප්‍රතිලෝමයයි. මෙය අත්‍යන්තයෙන්ම ජනතා විරෝධී ක්‍රියාවකි. එය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සනාථ විය.
එම ලිපියේ  මෙසේද සඳහන් වේ.
“මෑතකදී එක්තරා මාධ්‍යයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගත පියවර ව්‍යවස්ථා විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව වාර්තා කොට තිබුනේ ‘ජනපති ප්‍රකාශයට පත් කළ මහා ඡන්දය ශ්‍රේෂ්ඨාධිකරණය ඇත හිටවයි ‘ යනුවෙනි. මෙය නඩු තීන්දුව වාර්තා කිරීමක් නොව මුළුමනින්ම කරුණු විකෘති කිරීමකි.”
මෙසේ වාර්තා කලේ මවුබිම පුවත් පතයි. සිරිලාල් කොඩිකාර ගේ විවේචනය එල්ල වූයේ මෙවැන්නන් ටය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු නිරන්තර මැතිවරණ පැවැත්වීම නොවේ. පසුගිය අනිද්දා කලාපයේ තුර්කි-බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන ඉලිෆ් ශෆක් මෙසේ සඳහන් කර තිබුණි. (පරිවර්තනය වින්ධ්‍යා ගම්ලත්) – “නමුත් මේ දේවල් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය විදහා දැක්වෙන පද්ධතියක් තිබෙනවද? නීතියේ අධිපත්‍යය, බලය බෙදීම, නිදහස් සහ විවිධත්වයෙන් යුත් මාධ්‍ය, ස්වාධින ශාස්ත්‍රාල, කාන්තා අයිතීන්, LGBT ප්‍රජාවේ අයිතීන්, සුළුතර අයිතීන්, මේ කිසිදෙයක් නැතිව රටක් ජනමත විචාරණ පවත්වනවානම් මේ කිසිදෙයක් නැතිව මැතිවරණ ප්‍රතිඵල මත පමණක් රැඳී සිටිනවා නම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.එතැන තිබෙන්නේ බහුතර කැමැත්තට ඉඩදීමක් පමණයි. ඒ බහුතර කැමැත්ත ඒකාධිපතිවාදය බවට පත්වෙන්න තියෙන්නේ තවත් පියවර කිහිපයක් පමණක් බවත් සිහිපත් කළ යුතුමයි”
ප්‍රජාතන්ත්‍රවාදයේ මේ සීමාවන්  මාධ්‍යය ටත් අදාලයි. අපගේ ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය යටතේ ඇති නිදහස ලැබෙන්නේ ව්‍යවස්ථාවේ 14 (2), (3),සහ  (4) යන අනු ව්‍යවස්ථා වල දක්වා ඇති ආකාරයට අනෙක් සිමා කිරීම වලට අමතරව වාර්ගික සහ ආගමික සහයෝගිතාව තහවුරු කිරීමේ සිමාවටද යටත්වය. එනමුත් මාධ්‍ය වෙත භාරදුන් ලිපියේද සඳහන් වන පරිදි වාර්ගික සහ ආගමික සහයෝගීතාවයට විරුද්ධව ජාතිවාදය පෝෂණය කරණ ආකාරයේ වාර්තාවන් ඉතා සුලබ ලෙස මෙම මාධ්‍ය මගින් ප්‍රචාරය කර හරිනු ලැබේ.
එබැවින් මේ සංවාදය අතිශයින්ම යෝග්‍යය. මේ හරහා  රාජ්‍යය මාධ්‍ය නියාමනයකට කෙසේවත් යා යුතු නොවේ. සිරිලාල් කොඩිකාර අදාල අවස්ථාවේදී රාජ්‍ය නියාමනයකට පක්ෂ වූහයි මම සිතමි. අපි  එවැන්නකට සපුරා විරුද්ධ වමු. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් කහ කබා විරෝධතාකරුවන් සමඟ දීර්ඝ විවාදයකට සූදානම් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. සිය පෞද්ගලික අභිමතාර්ථ උදෙසා පොදුජන සංඛ්‍යාත පාවිච්චි කරමින් විරුද්ධවාදීන්ට අපහාස කිරීම නොවේ. සංවාදයකට අප සුදානම්ය. මේ අවස්ථාවේදී අප සියල්ලන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාවිච්චි කරමින් මෙම සංවාදය හෝ විරෝධතාවය හෝ ඉදිරියට ගෙන යාම මගින් පුරවැසියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකෙනු ඇත.





No comments:

Post a Comment