Wednesday, January 2, 2019

ශිෂ්ටාචාර අතර ගැටුම published in samabima


The Clash of Civilizations-An inquiry whether this is applicable to Sinhalese and Tamils in Sri Lanka

හර්ෂ ගුණසේන

ඇමෙරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු වූද ජනාධිපති ජිමී කාටර් ගේ සමයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ආරක්ෂක සැලසුම් පිලිබඳ අධ්‍යක්ෂ වරයා වූද සැමුවෙල් හන්ටින්ටන් විසින් 1993 දී විදේශ කටයුතු පිලිබඳ සඟරාවට ශිෂ්ටාචාර වල ගැටුම නමින් ලියන ලද ලිපියක් ඉමහත් ආන්දෝලනයකට හේතුවිය. ඉන් පසුව ඔහු ශිෂ්ටාචාර වල ගැටුම සහ ලෝක බල තුලනය නැවත සකස් කිරීම නැමැති වඩාත් විස්තරාත්මක පොතක් පළ කළේය. සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමඟ සීතල යුද්ධය අවසන් වූ පසු විවිධ ජාතීන් ගේ ජාතිකත්වයේ නැගීමත් ජාතීන් අතර යුද්ධ ඇතිවූ විට සමාන ආගමික පසුබිමකින් යුක්ත රටවල් වල සහයෝගය අදාළ රට වලට ලැබීමත් හන්ටින්ටන් විසින් නිරීක්ෂණය කරණ ලදී. එමෙන්ම මෙම සංසිද්ධිය ලොව පුරා පැතිර ඇති බව නිරීක්ෂණය කළ ඔහු ලොව ප්‍රධාන සංස්කෘතීන් හඳුනාගෙන ඒවා ශිෂ්ටාචාර වශයෙන් නම් කළේය. ඔහුට අනුව ලොව ප්‍රධාන ශිෂ්ටාචාරයන් වන්නේ බටහිර, ඉස්ලාමිය, කොන්ෆියුසියස්, ජපන්, හින්දු, බෞද්ධ සහ සත්‍ය ලබ්ධික (රුසියාවේ ඇති ආගමික නිකාය) ශිෂ්ටාචාරයන් වේ. නව ලෝක බල තුලනය ඇතිවන්නේ මෙම ශිෂ්ටාචාර අතර ගැටුම මගිනි.
“ශිෂ්ටාචාර වල ගැටුම මට්ටම් දෙකකින් ඇතිවේ. පහල මට්ටමේදී ශිෂ්ටාචාර වල බෙදුම් රේඛාව ආසන්නයේ සිටින කණ්ඩායම් බොහෝ විට ප්‍රචණ්ඩකාරී ලෙස අරගල කරන්නේ භුමියේ සහ එකිනෙක කෙරෙහි අධිපත්‍යය පිහිටුවීමේ අපේක්ෂාවෙනි. ඉහළ මට්ටමේදී විවිධ ශිෂ්ටාචාර වලට අයත් රාජ්‍යයන් සාපේක්ෂ යුධමය සහ ආර්ථිකමය බලය උදෙසා තරඟයක යෙදෙමින්ද තුන්වන පාර්ශ්වයන් සහ ජාත්‍යන්තර ආයතන වල අධිපත්‍යය උදෙසා අරගල කරමින්ද ඔවුන්ගේ දේශපාලන සහ ආගමික හැර පද්ධතීන් තරඟකාරී ලෙස ප්‍රවර්ධනය කරමින්ද සිටිති.”
ඔහුගේ නිබන්ධය බලවත් ලෙස විවේචනය වූ අතර එයට ප්‍රබල සහයෝගයක්ද ලැබිණ. නිබන්ධයට එරෙහිව මතුවූ එක් තර්කයක් වූයේ ඊනියා ශිෂ්ටාචාර බෙදුම් රේඛා අතික්‍රමණය කරමින් පැතිර පවත්නා බහුවිධ මානයන්ගෙන් යුතු අනන්‍යතාවයන් මේ මගින් නොසලකා හැර ඇති බවයි. ඕලන්ද  ජාතික සමාජ මනෝවිද්‍යාඥයකු වූ ගර්ට් හොෆ්ශේඩ් මූලික වශයෙන් ලෝකය පුරා පැතිර පවත්නා සංස්කෘතික මාන හතරක් හඳුනා ගත්තේය. ඒවා නම් පුද්ගලවාදය- කණ්ඩායම් වාදය හෝ ගෝත්‍ර වාදය, බල පරතරය,
පුරුෂ හෝ ස්ත්‍රී සමාජ භාවය, සහ අවිනිශ්චිතතාව මඟ හැරීම යන මානයන්ය. මේවා සියළු ජාතීන් තුළ අඩු වැඩි වශයෙන් පවත්නා පොදු ගති ලක්ෂණයන් වේ. නිදර්ශනයක් වශයෙන් හින්දු ඉන්දියාවේ හෝ කොන්ෆුසියස් චීනයේ හෝ ජපානයේ හෝ සංස්කෘතීන් බොහෝවිට කණ්ඩායම් වාදී වන අතර බටහිර සංස්කෘතීන් පුද්ගල වාදී වේ.
බටහිර හර පද්ධතීන් වෙනත් සංස්කෘතීන් වල හර පද්ධතීන්ට වඩා වෙනස් වන අතර ගැටුමට ප්‍රධාන හේතුව මෙය බව හන්ටින්ටන් හඳුනා ගත්තේය. “ පුද්ගලවාදය, ලිබරල්වාදය, ව්‍යවස්ථානුකුල භාවය, මානව හිමිකම්, සමානාත්මතාවය, පුද්ගල ස්වාධිපත්‍යය, නීතියේ අධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් වෙළෙඳාම, පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීම වැනි බටහිර හරයයන් ඉස්ලාමික, කොන්ෆියුසියානු, ජපන්, හින්දු, බෞද්ධ හෝ සත්‍ය ලබ්ධික සංස්කෘතීන් තුළ කිසිම දෝංකාරය ක් නොනංවයි. මෙවැනි මතවාදයන් ප්‍රවර්ධනය සඳහා වන බටහිර උත්සාහයන් මානව හිමිකම් අධිපතිවාදය ලෙස ප්‍රතික්‍රියාවක් ජනිත කරණ අතර බටහිර නොවන සංස්කෘතීන් තුළ මෙය දේශීය හරයයන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉවහල් වන සේම තරුණ පරම්පරාව තුළ ආගමික අන්තවාදය ඇති කිරීමටද ඉවහල් වේ.”

 ඔහුගේ නිබන්ධය තුළ ශ්‍රී ලංකාවේ සිංහලයන් සහ ද්‍රවිඩයන් අතර තිබූ අරගලය ශිෂ්ටාචාර අතර ගැටුමක් ලෙස ඔහු හඳුන්වාදී තිබුණි. එසේ නම් ඔහුගේ නිර්වචනය අනුව එය නොනවතින අරගලයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ අද දවසේ සිදුවන දේ සහ නිදහස ලැබීමෙන් පසුව අද දක්වා සිදුවුන දේ අනුව ඔහුගේ නිගමනය නිවැරදි යයි සිතේ. එනමුත් මෙම ලිපියේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය සැකෙවින් විමසා බලා එවැනි ශිෂ්ටාචාර ගැටුමක් ලංකා ඉතිහාසයේ තිබුණේදැයි නිගමනය කිරීමයි.
මහාවංසය යනු ක්‍රි.ව. පස්වන සියවසේ දී මහානාම හිමියන් විසින් මෙරට රාජාවලිය පිළිබඳව ලියන ලද දුටුගැමුණු රජු ප්‍රධාන චරිතය කොටගත් වීර කාව්‍යයකි. එහි පරිච්ඡේද 37න් 11 ක්ම  වෙන් කොට ඇත්තේ දුටුගැමුණු සඳහාය. මහාවංසය එළාර ගේ පාලනය ගැන මෙසේ කියා ඇත.  “නිතිය පිලිබඳ ප්‍රශ්ණ වලදී සතුරන්ටද මිතුරන්ටද එකසේ සාධාරණය ඉෂ්ට කොට ඇත.” එළාර නිතිය ක්‍රියාත්මක කර ඇති අද දවසේ නිර්ණායක අනුව පවා අද්විතීය වේ. එමෙන්ම ඔහු භික්ෂූන් සමඟ මනා සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර ඔහුගේ සේනාවේ බොහෝ සිංහලයෝද වූහ. මෙරට ඉතිහාසය උගන්වන්නේ දුටුගැමුණු-එළාර යුද්ධයට අසමාන බරක් තබාය. මෙම අසමාන අවධාරණය නිසා දුටුගැමුණු  තත්ත්වය පාලනය කළ අන්දමද සම්පුර්ණ චිත්‍රයට ලැබිය යුතු අවධානයද  ගිලිහි ගොස් ඇත. තමන් විසින් අල්ලා ගත් ප්‍රදේශ වල යුද භටයන් නොනවත්වා එම ප්‍රදේශ වල රැඳවීමට භික්ෂුන් රැගෙන ගියේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමද පෙරමුණට අවශ්‍ය යුද භටයන් මුදා ගැනීමද සඳහාය. දෙපසේම යුද භටයන්ගේ ජිවිත හානි වැළැක්වීම සඳහා යුද්ධයේ ජයග්‍රහණය ද්වන්ද සටනකින් තීරණය කිරීමට එවකට තරුණ වියේ සිටි ඔහු එළාරට අභියෝග කළ විට එවකට සැට වියද ඉක්මවා සිටි එළාර එම අහියෝගය පිළිගත්තේය. එළාර සටනින් මියගිය පසු එතැන එළාර සඳහා ස්මාරකයක් ඉදි කොට එය පසුකර යන සියළු දෙනා පා ගමනින් ස්මාරකය පසුකර යා යුතු බවට ඔහු නියෝගයක් කළේය. මෙම මිනිසුන් දෙදෙනාගේ විශිෂ්ඨත්වය අපගේ ඉතිහාස කරුවන් විසින් අවධාරණය කර නොමැත. බොහෝ සිංහලයන් සිතන්නේ කාලිංග මාඝ ට වඩා වැඩි විනාශයක් එළාර විසින් සිංහල ශිෂ්ටාචාරයට කර ඇති බවය. සොලී ජාතිකයකු නොවන මාඝ විජය පැමිණි කාලිංග දේශයෙන්ම 13 වන සියවසේදී මෙරටට පැමිණ අපගේ ශිෂ්ටාචාරය විනාශ කර දැමීය.  උතුරේ වෙනම රාජධානියක් ඇතිකිරීමට මඟ පාදමින් පොළොන්නරුවෙන් දකුණට මෙරට අගනුවර රැගෙන ඒමට සිංහල රජවරුන්ට සිදුවූයේ මාඝ ගේ ආක්‍රමණය නිසාය. විවිධ කාල වලදී රටේ විවිධ රාජධානි ඇතිවී තිබුණි.

මෙරට ඉතිහාසය මුළුල්ලේම රජ කුමාරවරු සහ රජවරු අතර සටන් ඇතිවී තිබේ. දකුණු ඉන්දියාවේද තත්ත්වය එසේමය. සිංහල රජ කුමාරවරු අතරද සමහර අවස්ථා වලදී සිංහල සහ දෙමළ රජ කුමාරවරු අතරද සටන් ඇතිවිය. සමහර අවස්ථාවලදී සිය ඥාති වරුන්වූ සිංහල රජකුමරුන් සමඟ සටන් කිරීමට සිංහල රජ කුමරුන් විසින්ම ද්‍රවිඩ සේනා රැගෙන එන ලදී. විටෙක සිංහල රජවරු දකුණු ඉන්දියාවේ පඬි රජවරු සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති කරගෙන ඔවුන් සමඟ සොලී රජවරුන්ට එරෙහිව සටන් කරණ ලදී. සමහර සිංහල රජවරු දකුණු ඉන්දියාව ආක්‍රමණය කළහ. ද්‍රවිඩ රජවරු සිංහල රාජධානිය පාලනය කර තිබේ. පිටරට සම්භවයක් සහිත නිශ්ශන්කමල්ල වැනි රජවරු ද වූහ. සිංහල සහ දකුණු ඉන්දීය රජ පවුල්  අතර විවාහ සම්බන්ධතාද විය.
පොලොන්නරුව යුගයේදී හින්දු දෙවිවරු බෞද්ධ පන්සල් වලට පැමිණියහ. එමෙන්ම එම යුගයේදී හින්දූන් දේවත්වයෙන් සලකන ගවයා සඳකඩ පහනින් අතුරුදහන් විය. අදද බොහෝ බෞද්ධයන් බුදුන්ට වඩා හින්දු දෙවිවරු අදහති. එකොලොස්වන සියවසේදී සොලී ආක්‍රමණිකයන්ට එරෙහිව තීරණාත්මක සටනක් කළ පළමුවන විජයබාහුට සොළින්ට එරෙහිව සටන් කළ සිය ද්‍රවිඩ වේලෙක්කාර සේනාවගේ ප්‍රයෝජනය සඳහා දෙමළ භාෂාවෙන් සෙල්ලිපි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සිදුවිය. එබැවින් සටන පැවතියේ රජවරුන් අතර බලය උදෙසා මිස ජාතීන් අතර නොවේ. ජාතීන් අතර විරසකයක් නොතිබුණි. කෙසේ නමුත් 13 වන සියවසේ මාඝ ගේ ආක්‍රමණයෙන් පසුව සිංහලයන් හා ද්‍රවිඩයන් අතර දුරස් වීමක් ඇතිවිය.


බ්‍රිතාන්‍ය පාලනය යටතේ ජාතික පුනර්ජීවන ව්‍යාපාර දෙකක් අනගාරික ධර්මපාල ගේ මෙහෙයවීමෙන් දකුණේද අරුමුග නාවලර් ගේ මෙහෙයවීමෙන් උතුරේද ඇතිවිය. ඉන්දියාවේ නිදහස් අරගලය සමඟ සසඳා බලනවිට මෙම ව්‍යාපාර දෙකෙහිම දර්ශනය අතින් බරපතල සීමාසහිත කම් තිබිණ. ඔවුන් දෙදෙනාම සම්පුර්ණ අවධානය යොමු කළේ සිය ජනවර්ග වෙත පමණි. අනගාරික ධර්මපාල මූලික වශයෙන් සිංහලයන්ගේ සානුකම්පිත තත්ත්වය සහ ඔවුන්ගේ දුර්වල ආර්ථික බලය ගැන දුක් විය. ව්‍යාපාරික පවුලකින් පැවත එන ඔහු රටේ ආර්ථික බලය අන්‍ය ජාතිකයන්ගෙන් සිංහලයන් අතට පත්වනු දැකීමට රුචි විය. එබැවින් ඔහු අන්‍ය ජාතිකයන් විශේෂයෙන්ම මුස්ලිම්වරුන් විවේචනය කළේය. සිංහල බෞද්ධ අනන්‍යතාවය ඔහු අවධාරණය කළේය. සිංහලයන්ගේ පසුගාමී චර්යාවන් ඔහු අතින් විවේචනයට ලක්විය. ඉන්දීය නිදහස් අරගලයේ ආරම්භක යුගයේදී සරෝජිනී නායිදු මුලසුන හෙබවූ එක් රැස්වීමකදී පාරේ කෙළ ගැසීම වැනි ඉන්දියානුවන් පුරුදුව සිටි චර්යාවන් ගාන්ධි දීර්ඝ වශයෙන් විවේචනය කරණ විට කථාව නවත්වන ලෙස ඔහුට අණ ලැබිණ.
1911 නොවැ  4 වන දින  සිංහල බෞද්ධයා පුවත්පතට ඔහු මෙසේ ලිවීය. “පසුගිය විසි වර්ෂය තුළ යුරෝපිය පණ්ඩිත ශාස්ත්‍රඥයෝ අභිනව ශිල්ප විද්‍යා කර්මාන්ත ස්වකිය ඥානයෙන් උපදවා ගත්තෝය. ගද්‍රභ ඥාන ඇති මිථ්‍යාදෘෂ්ටි පවුකාරයන් සිංහලයන්ට ඉගැන්නුවේ අධම චාරිත්‍ර යි. රෙදි වියමන ආදී ප්‍රයෝජනවත් එකම ශිල්පයක් වත් පර ජාතිකයන් සිංහලයන්ට නුගැන්වුයේ උන්ට වෙන අලාභ නිසයි.”
“තේ රබර් වැවීම ඉංග්‍රීසින් අතට වී තිබේ. වෙළෙඳාම මරක්කල දෙමළ ජාතීන් අතට පත්ව තිබේ. අප නැති කරණ මත්පැන් වෙළෙඳාම පමණක් සිංහලයන් විසින් කරනු ලබන්නේ මන්ද?” (1911 දෙසැ 30 සිංහල බෞද්ධයා)
මෙම යුගයේදී වඩාත් වැදගත් වූයේ කුලය මිස ජාතිය නොවේ. මෙරට සොලිසිටර් ජෙනරාල් ලෙස සේවය කොට 1906 දී විශ්‍රාම ලත් ද්‍රවිඩ ජාතික වෙල්ලාල කුලයට අයත් පොන්නම්බලම් රාමනාදන්, සිංහල ජාතික කරාව කුලයට අයත් දොස්තර මාකස් ප්‍රනාන්දුට එරෙහිව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ  උගත් ලාංකිකයන්ට වෙන්වූ ආසනයට තරඟ කිරීමට 1911 දී රැගෙන ආවේ සිංහල ජාතික ගොවිගම කුලයට අයත් නායකයන් විසිනි. සිංහල ගොවිගම සහ ද්‍රවිඩ වෙල්ලාල ප්‍රභූන්ගේ සහයෝගයෙන් රාමනාදන් ජයගත්තේය.
ධර්මපාල විසින් හඳුන්වාදෙන ලද සිංහල බුද්ධාගම බෞද්ධ භික්ෂුන් විසින් පසුකලෙක ඉතා භයානක මට්ටමකට රැගෙන යන ලදී. අද පවා කිසිම ආකාරයක සංහිඳියා  යාන්ත්‍රණයක් සඳහා ප්‍රමුඛ තම බාධකය බෞද්ධ භික්ෂූන්ය. බණ්ඩාරනායක විසින් 1956 දී සිංහල බුද්ධාගම බලයට ඒම සඳහා පාවිච්චි කරණ ලදී. ගුණදාස අමරසේකර විසින් මෙය ජාතික චින්තනය ලෙස හඳුනාගන්නා ලද අතර මෙම ඊනියා චින්තනය ජාතිය භේද කිරීමට මිස ශ්‍රී ලංකික ජාතිය එකතු කිරීමට හේතු නොවීය. ඉන්දීය නිදහස් අරගලයේදී එහි නායකයන් විසින් ලංකාවට වඩා භේද භින්න වී තිබුණු විවිධ ජන වර්ග සහ ආගම් වලට අයත් ඉන්දීය ජනතාව එක් සේසත් කිරීමට නිදහස් අරගලය පාවිච්චි කරණ ලදී. කුලවාදී අස්පර්ශ සංකල්පයට එරෙහිව ඔවුන් ක්‍රියා කළ අතර ජින්නා විසින් පකිස්ථානය ඇති කිරීමෙන් පසුව විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්දියාවේ ඉතිරි විය.

කෙසේ නමුත් ධර්මපාලට ජාතිවාදී නොවන වෙනත්  අභිප්‍රායයන් තිබිණ.  එංගලන්තයෙන් රජතුමා වෙනුවෙන් එවනු ලබන මන්ත්‍රීතුමා යුවරජ හැටියට  භාර ගැනීමද ලංකාවේ යුද්ධ සේනාධිපතිකමට ඉංග්‍රීසි උතුමකු පත් කර ගැනීමද සිංහල නීතියේ හැටියට අධිකරණය ලාංකිකයන්ට දීමද කළ යුතුයි. මහලේකම් කම, මහා භාණ්ඩාගාරික කම, පළාත්වල දිසපතිකම්,කොරල නිල ආදී ලංකාවේ සියළුම නිල ලංකාවේ උපන් ස්වදේශීන්  වන සිංහල, දෙමල බර්ගර්,ඉංග්‍රීසි අදින්ට ඒ බල ප්‍රමාණයේ හැටියට ප්‍රදානය කළ යුතුයි. ලංකාවේ අදායම් ලංකා වාසීන්ගේ අභිවෘද්ධිය සඳහා ශිල්ප ශාස්ත්‍ර කෘෂි  වාණිජ කර්මාන්තශාලා පිහිටුවීමට වියදම් කට යුතුයි. සිංහල  දෙමළ බර්ගර් ඉංග්‍රීසින් ගෙන් යුත් යුද්ධ හමුදාවක් ඇති කරගත යුතුයි. දුම් යාත්‍රා ලංකාවේ හැදීම කට යුතුයි. ස්වරාජ්‍ය ධර්මයේ පිහිටීමට සිංහලයන් විසින් ප්‍රර්ථනා කට යුතුයි.”  (1911 සැප් 30 සිංහල බෞද්ධයා) මෙහිදී මුස්ලිම් වරුන් ගැන සඳහන් නොකිරීම හිතා මතා කළ දෙයක් බව පෙනේ. ඔහු විසින් සඳහන් කරණ ලද යුද්ධ හමුදාවට සියළු ජාතීන් බඳවා ගැනීම  සිංහල ආණ්ඩු විසින් ප්‍රමාණාත්මකව නොකරන ලදී.
සිංහල සහ දෙමළ  ජනවර්ග අතර සමගිය නොමැතිවීම සහ නිදහස සඳහා පොදු ඉලක්ක නොමැතිවීමෙන් ජනවර්ග පදනම් කොටගෙන විවිධ සංවිධාන ඇතිවිය. පසුව ජි ජි පොන්නම්බලම් විසින් අවශ්‍යයෙන්ම කුලවාදී උතුරේ දෙමළ සමාජයට ජාතිවාදය එන්නත් කරණ ලදී. මෙම ජාතිවාදය සිංහල සහ දෙමළ අන්තවාදීන් විසින් පෝෂණය කරණ ලදී.
එබැවින් ශිෂ්ටාචාර අතර ගැටුමක් මෙහි නොමැත. මෙය වැරදි ලෙස ඉලක්ක ගත කරණ ලද දේශපාලන ව්‍යාපාරයකි. ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු සහ කොන්ෆියුසියන් ආගම් මෙන් බුද්ධාගම ප්‍රධාන ශිෂ්ටාචාරයක් සමඟ අනන්‍ය වී නොමැතිබව හන්ටින්ටන් සිය පොතේ 48 වන පිටුවේ සඳහන් කරයි. එයට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නේ ථෙරවාද සහ මහායාන වශයෙන් බෙදුණු බුද්ධාගම විවිධ සංස්කෘතීන්ට අනුව හැඩගැසුණු බවයි.
“ ථෙරවාද බෞද්ධ ශිෂ්ටාචාරය වශයෙන් යුක්ති සහගත ලෙස විස්තර කළහැකි ශිෂ්ටාචාරයන් ශ්‍රී ලංකාවේ, බුරුමයේ, තායිලන්තයේ, ලාවෝස් හි, සහ කාම්බෝජයේ තිබේ. එයට අමතරව ටිබැටයේ, මොන්ගෝලියාවේ සහ භූතානයේ ජනතාව මහායාන බුද්ධාගමෙන් බිදී ආ  ලාමා වරුන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරණ අතර මෙම සමාජ බෞද්ධ ශිෂ්ටාචාරයේ දෙවන කලාපය නියෝජනය කරයි. කෙසේනමුත් සමස්තයක් වශයෙන් බුද්ධාගම ඉන්දියාවෙන් සම්පුර්ණයෙන්ම පාහේ තුරන්ව යාම සහ එය චීනයේ සහ ජපානයේ එවකට ස්ථාපිතව තිබුණු ශිෂ්ටාචාර වලට අනුගත වීම මගින් පෙන්නුම් කරන්නේ බුද්ධාගම ප්‍රධාන ආගමක් වුවත් එය ප්‍රධාන ශිෂ්ටාචාරයක පදනම නොවන බවයි.” 

එවකට මුස්ලිම් වරුන් සමඟ වෙළෙඳ තරඟයක සහ එම හේතුවෙන්  ප්‍රචණ්ඩ අරගලයක යෙදුනු යුරෝපා ජාතීන්ගෙන් මුස්ලිම් වරුන් ආරක්ෂා කරගෙන ඔවුන්ට රට අභ්‍යන්තරයේ ඉඩම් දුන්නේ සිංහල බෞද්ධයන් සහ ඔවුන්ගේ රජවරුන් විසිනි. අද මුස්ලිම් වරුන් නුවර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී ඇත්තේ ඒ නිසාය. රෝමානු කතෝලිකයන් ලන්දේසි ප්‍රොතෙස්තන්ත ආගමිකයන් ගෙන් ආරක්ෂා කරණ ලද්දේ සිංහල බෞද්ධයන් විසිනි. ප්‍රැන්සිස් පාප් වහන්සේට ජෝසප් වාස් පියතුමා ශුද්ධත්වයට පත්කිරීමට හැකි වූයේ ඒ නිසාය.

එබැවින් මෙම වැරදි ලෙස ඉලක්ක ගත කරණ ලද දේශපාලන ව්‍යාපාරය අවසානයට පැමිණිය යුතුය. සත්‍ය වශයෙන්ම මෙහි ශිෂ්ටාචාර අතර ගැටුමක් නොමැත. අපට ලැබුණ බොහෝ අවස්ථා අප විසින් අහිමි කරගෙන ඇත. තිස් අවුරුදු යුද්ධයක් මෙරට නොතිබුණා නම් දල ජාතික  නිශ්පාදිතය අතින් ඈත පෙරදිග රටවල් සමඟ සම තත්ත්වයේ සිටින්නට අපට හැකියාව තිබිය හැකිව තිබුණි. දල ජාතික නිශ්පාදිතයේ හෝ දල ජාතික සන්තුෂ්ටියේ හෝ සැලකියයුතු දියුණුවක් අපට නොමැත. 
රතු ඉන්දියානු ජන නායක ක්‍රෝෆුට් ජීවිතය මෙසේ අර්ථ දක්වා තිබේ. “ජීවිතය යනු කුමක්ද? එය රාත්‍රියේ පෙනෙන කලාමැදිරි එළිය මෙනි. එය ශිත සමයේ හෙලන මී හරකකු ගේ හුස්ම මෙනි. එය තණකොළ හරහා වැටෙමින් හිරු බැස යාමත් සමඟ අතුරුදහන් වන කෙටි සෙවනැල්ල මෙනි.”  බෞද්ධ භික්ෂුන් බුදුන් ගෙන් ඉගෙන ගැනීමට නොහැකි නම් ක්‍රෝෆුට් ගෙන්  ඉගෙන ගත යුතුය.  


No comments:

Post a Comment