Wednesday, January 2, 2019

Translation of the first chapter of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


යථාර්ථවාදී ලෙස ඒකාධිපතිත්වයන්ට මුහුණ දීම
මෑත කාලයේදී අභ්‍යන්තර හා බාහිර සම්භවයන්ගෙන් යුතු වූ විවිධ ඒකාධිපතිත්වයන් සංවිධානාත්මක විරෝධතා ව්‍යාපාර වල යෙදුනු ජනයාගේ අභියෝග වල ප්‍රතිඵලයක් ලෙස ඇදවැටීමට හෝ කඩාවැටීමට ලක්විය. ජනතා සහයෝගීතාවයෙන්  ක්‍රියාත්මක කළ දේශපාලන ආර්ථික සහ සමාජ විරෝධතා ව්‍යාපාර හමුවේ යටත් නොවී සිටීමට නොහැකි බව ප්‍රබල ආරක්ෂක වළල්ලකින් යුක්ත වූ  සහ විනාශ කළ නොහැකි ලෙස පෙනෙන මෙවැනි සමහර ඒකාධිපතිත්වයන් විසින් ඔප්පු කර ඇත.
1980 සිට එස්ටෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, චෙකොස්ලෝවකියාව සහ ස්ලෝවේනියාව, මැඩගස්කරය, මාලි, බොලිවියාව, සහ පිලිපයින් යන රටවල ඒකාධිපතිත්වයන් ප්‍රමුඛ වශයෙන් ප්‍රචණ්ඩකාරී නොවන විරෝධයන්හි  යෙදුනු ජනයා ඉදිරියේ කඩා වැටුණි. නේපාලය, සැම්බියාව,දකුණු කොරියාව,චිලී, ආර්ජෙන්ටිනාව, හයිටි, බ්‍රසීලය, උරුගුවේ, මලාවි, තායිලන්තය, බල්ගේරියාව, හංගේරියාව, සයරේ, නයිජීරියාව, සහ කලින් සෝවියට් දේශයේ විවිධ කොටස් වල  (1991 අගෝස්තු මස දැඩි මතධාරීන්ගේ කුමන්ත්‍රණය පරාජය කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින්) ප්‍රචණ්ඩකාරී නොවන විරෝධයන් මගින් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන ලදී.
මෙයට අමතරව චීනය, බුරුමය, සහ තිබ්බතයේ මහා දේශපාලන විරෝධතා ව්‍යාපාර1  මෑත කාලයේදී ඇතිවී ඇත. මෙම අරගල මගින් අදාල ඒකාධිපතිත්වයන්  හෝ බලහත්කාරයෙන් භුමියෙහි රැඳී සිටීම හෝ අවසන් නොවූ නමුත් එමගින් අදාල මර්දනකාරී පාලනතන්ත්‍රවල කුරිරු ස්වභාවය ජාත්‍යන්තර ප්‍රජාව වෙත නිරාවරණය කරන ලද අතර ජනතාව වෙත අරගලයන්ගේ වටිනා අත්දැකීම් තිළිණ කරන ලදී.
 -----------------------------------------------------------------------------------------------------------------------------
1දේශපාලන විරෝධතා ව්‍යාපාර (political defiance) රොබට් හෙල්බි විසින් මෙම පදය මෙම පසුබිම තුල යෙදීම හඳුන්වාදෙන ලදී. දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් යනු විප්ලවකාරී සහ සක්‍රිය ලෙස දේශපාලන පරමාර්ථයන් උදෙසා ප්‍රචණ්ඩකාරී නොවන අරගල ( විරුද්ධත්වය පෑම , සහයෝගය නොදීම සහ මැදහත්විම) වල යෙදීමයි. මම පදය ඇතිවීමට හේතුවූයේ ප්‍රචණ්ඩකාරී නොවන අරගල ෆැසිස්ට්වාදය සහ සුචරිතවාදී හෝ ආගමික හෝ අවිහිංසාවාදය සමඟ සමාන කිරීමෙන් ඇතිවූ ව්‍යකුලත්වය සහ විකෘතිය හේතුවෙනි. විරෝධතා ව්‍යාපාරයක් යනුවෙන් හැඟවෙන්නේ යටත්වීමට කිසිම ඉඩක් නොතබා අකිකරුවිම මගින් බල අධිකාරියට විරුද්ධව චේතනාන්විත අභියෝගයක් කිරීමයි. දේශපාලන විරෝධතා ව්‍යාපාරය යන පදයෙන් විස්තර වන්නේ අරගලය ක්‍රියාත්මකවන පසුබිම (දේශපාලන) සහ අරගලයේ අභිප්‍රාය (දේශපාලන බලය ) යි. ප්‍රධාන වශයෙන් මෙම පදය පාවිච්චි වන්නේ නිර්දය ලෙස ඒකාධිපතිත්වයන්ගේ බල ප්‍රභවයන් වෙත පහරදීමෙන් සහ ඒ සඳහා චේතනාන්විතව උපායමාර්ගික සැලසුම්කරණයන් සහ ක්‍රියාන්විතයන් යොදාගැනීමෙන් රාජ්‍ය ආයතනවල පාලනය ඒකාධිපතිත්වයන්ගෙන් නැවත අත්පත්කර ගැනීම උදෙසාවන ජනතා ක්‍රියාන්විතයන් විස්තර කිරීම සඳහාය. දේශපාලන විරෝධතා ව්‍යාපාර, ප්‍රචණ්ඩකාරී නොවන විරෝධය, ප්‍රචණ්ඩකාරී නොවන අරගල යන පද වලින් අවසාන පද දෙක සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ වඩාත් පළල් අරමුණු ( සමාජ, ආර්ථික, මානසික යනාදී) සඳහා වුවත් එම පද මෙම කෘතිය තුල අර්ථ එකිනෙක අතර මාරුවනසේ යොදා ඇත.
-------------------------------------------------------------------------------------------------------------------------------
ඉහත සඳහන් කළ රටවල්වල ඒකාධිපතිත්වයන්ගේ කඩාවැටීම මගින් සමාජයන්හි සියලු ප්‍රශ්න අවසන්වී නොමැත. දුප්පත්කම, අපරාධ, ‍‌‍‍‌‍නිලධාරීතන්ත්‍රයේ අකාර්යක්ෂමතා සහ පරිසරය විනාශකිරීම් බොහෝවිට කෘර පාලනතන්ත්‍රයන්ගෙන් උරුමවන දෙය වේ. කෙසේනමුත් මෙම ඒකාධිපතිත්වයන්ගේ වැටීම හිංසාකාරීලෙස පීඩනයට   පත්කරනු ලැබූවන්ගේ දුක්ඛ දෝමනස්සයන් ඉවත්කිරීමට හේතුවී ඇත්තේ ඉතා අඩු මට්ටමකිනි. එනමුත් එය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස, සහ සමාජ සාධාරණත්වය යන අංග වඩාත් ප්‍රබල ලෙස යොදාගනිමින් එම සමාජ නැවත ගොඩනැංවීමට මාවත විවෘතකර දී ඇත.
නොනවතින ප්‍රශ්නය    
පසුගිය දශක ගණනාව තුළ නිශ්චිත වශයෙන්ම ලෝකය පුරා වඩාත් පුළුල් ප්‍රජාතන්ත්‍රකරණයක් සහ නිදහසක් උදෙසා වන පෙළගැස්මක් ඇතිවිය. දේශපාලන හිමිකම් සහ සිවිල් නිදහස පිළිබඳව අවුරුදුපතා ජාත්‍යන්තර සමාලෝචනයක් කරන ෆ්‍රීඩම් හවුස් ආයතනයට අනුව ‘නිදහස්’ ලෙස වර්ගීකරණය කර ඇති රටවල් වල  සංඛ්‍යාව පසුගිය දශකය තුළ සැලකියයුතු අන්දමින් ඉහළ ගොස් ඇත. 2
                                    නිදහස්               සම්පුර්ණයෙන් නිදහස් නැති         නිදහස් නැති
1983                            55                    76                                            64
1993                            75                    73                                            38
කෙසේනමුත් මර්දනකාරී පාලනයන් යටතේ තවමත් ජිවත්වන කෝටි සංඛ්‍යාත ජනතාව නිසා මෙම ඉදිරිගාමී පෙළගැස්මේ ජවය බාලවී ඇත. 1993 ජනවාරි වන විට ලෝක ජනගහනය වන බිලියන 5.45 න් 31% ක් ජිවත්වි ඇත්තේ ‘නිදහස් නැති’ 3 වශයෙන් වර්ගීකරණය කරන ලද දේශපාලන හිමිකම් සහ සිවිල් නිදහස බරපතල ලෙස සීමාකර ඇති රටවල හෝ ප්‍රදේශවලය. ‘නිදහස් නැති වශයෙන් වර්ගීකරණය කර ඇති රටවල් 38ක් සහ ප්‍රදේශ 12ක් පාලනය වන්නේ හමුදා ඒකාධිපතිත්වයන් (බුරුමයේ සහ සුඩානයේ මෙන් ) පාරම්පරික මර්දනකාරී රාජාණ්ඩු (සවුදි අරාබියේ සහ භූතානයේ මෙන් ) අධිපතිවාදී දේශපාලන පක්ෂ (චීනයේ, ඉරාකයේ සහ උතුරු කොරියාවේ මෙන්) විදෙස් ආක්‍රමණිකයන්  හෝ (තිබ්බතයේ සහ නැගෙනහිර ටිමෝරයේ මෙන් ) මගිනි. එසේ නැතිනම් ඒවායේ පාලනය සංක්‍රමණ අවස්ථාවක ඇත.
බොහෝ රටවල් වර්තමානයේ පවතින්නේ නිතර වෙනස්වන සුළු ආර්ථික, දේශපාලන සහ සමාජ තත්ත්වයන් යටතේය. ‘නිදහස්’ රටවල් වල සංඛ්‍යාව පසුගිය දශකය තුළ වැඩිවූ නමුත් බොහෝ රටවල් ඉහත දැක්වූ නිතර වන මූලික වෙනස්කම් යටතේ වැරදි දිශාවට ගොස් නව ඒකාධිපතිත්වයන් නිර්මාණය කිරීමේ බරපතල අවදානමක් පවතී. හමුදා කල්ලි, සිය අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුත් පුද්ගලයන්, තෝරා  පත්කරගන්නා ලද බලධාරීන්, සහ ආගම්වාදී දේශපාලන පක්ෂ සිය අධිකාරය පැවැත්වීමට නොනැවතී උත්සහ කරනු ඇත. දේශපාලන කුමන්ත්‍රණ නිතර සිදුවනු ඇත. බොහෝ ජනයාට දිගින් දිගටම මූලික මානව සහ  දේශපාලන හිම්කම් අහිමි වනු ඇත.
-----------------------------------------------------------------------------------------------------------------------------
2. ෆ්‍රීඩම් හවුස්, ලෝකය තුළ නිදහස: දේශපාලනික අයිතීන් සහ සිවිල් නිදහස පිලිබඳ වාර්ෂික සමාලෝචනය 1992-1993 ( නිව්යෝක්, ෆ්‍රීඩම් හවුස්, 1993)P66 (1993 සංඛ්‍යා 1993 ජනවාරි සිට) ෆ්‍රීඩම් හවුස්හි  ‘නිදහස්’ ‘සම්පුර්ණයෙන් නිදහස් නැති සහ ‘නිදහස් නැති’ වර්ගයන් සඳහා 79-80 පිටු බලන්න.
3. ෆ්‍රීඩම් හවුස්, ලෝකය තුළ නිදහස 4 පිටුව
අවාසනාවන්ත ලෙස අතීතය අප සමගම සිටී. ඒකාධිපතිත්වයන්ගේ ගැටළුව මුල්බැසගෙන ඇත. බොහෝ රටවල ජනයා දේශීය හෝ විදේශීය ප්‍රභවයන්ගෙන් යුතු මර්දනකාරී පාලනයන් දශක හෝ සියවස් ගණනාවක් මුළුල්ලේ අත්විඳ ඇත. බල අධිකාරියට සහ පාලකයන්ට ප්‍රශ්න කිරීමකින් තොරව යටත් වීමට බොහෝවිට උගන්වනු ලැබේ. සීමාන්තික අවස්ථා වලදී සමාජය පාලනය කිරීම සඳහා රාජ්‍ය පාලනයෙන් බැහැරව ක්‍රියාත්මකවන සමාජ, දේශපාලන සහ ආර්ථික සංවිධාන පමණක් නොව ආගමික සංවිධාන පවා දුර්වලකර, පහතට ඇදදමා හෝ එසේ නොමැතිනම් රාජ්‍යය හෝ ආණ්ඩුපක්ෂය හෝ විසින් හසුරුවනු ලබන දැඩි පාලනයකට යටත්වූ ආයතන මගින් ප්‍රතිෂ්ඨාපනය කර ඇත. නිදහස ලබා ගැනීම සඳහාද එකිනෙකා කෙරෙහි විශ්වාසය රඳවාගැනීම සඳහාද තමන්ගේ මුල පිරීම මගින් යම් දෙයක් ඉදිරියට කරගෙන යාම සඳහාද  එකාවන්ව වැඩකිරීමට නොහැකිවනසේ ජනගහනය එකලාව වැඩ කරන සමූහයක්  බවට පරිවර්තනය කර ඇත.
කල්තබාම කිව හැකි ප්‍රතිඵලය නම්  දුර්වල, ආත්ම විශ්වාසයෙන් තොර, විරෝධයක් පෑමට අසමත් ජනගහනයකි. ජනතාව බොහෝවිට ඒකාධිපතිත්වයන් කෙරෙහි වන තමන්ගේ  ද්වේශය සහ නිදහස කෙරෙහි වන තමන්ගේ දැඩි අවශ්‍යතාව සිය පවුලේ අය සමග හෝ සිය මිතුරන් සමග හෝ සාකච්ඡා කිරීමට බිය වෙති. මහජන විරෝධයක් ගැන බරපතල ලෙස කල්පනා කිරීම භයානක දෙයක් බවද එහි ප්‍රතිඵලයක් නොමැති බවද ජනතාවගේ හැඟීමයි. එවැන්නකට මුහුණනොදී ඔවුහු කිසිම අරමුණක් නොමැතිව දුක්ඛ දෝමනස්සයන්ටද කිසිම බලාපොරොත්තුවක් නොමැතිව අනාගතයටද මුහුණ දෙති.
අද තිබෙන ඒකාධිපතිත්වයන්ගේ වර්තමාන ස්වභාවය පෙරට වඩා බොහෝ සෙයින් නරක් විය හැක. අතීතයේදී සමහර ජනයා අරගලයේදී යටත් නොවීමට උත්සාහ කරන්නට ඇත. කෙටිකාලින ජනතා විරෝධය පෑම් සහ පෙළපාලි ඇතිවන්නට ඇත. සමහරවිට තාවකාලිකව ධීර භාවය හීනවන්නට ඇත. වෙනත් අවස්ථා වලදී පුද්ගලයන් සහ කුඩා කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රතිපත්ති හෝ විරෝධතා ව්‍යාපාරයන් තිරසාරව ප්‍රකාශ කරමින් නිර්භීත එනමුත් බලරහිත ප්‍රකාශනයන්හි යෙදෙන්නට ඇත. මෙම  අභිලාෂයන් කෙතරම් උදාර වුවත් මෙම අරගලයන්හිදී යටත් නොවීමේ පසුගිය ක්‍රියා, ඒකාධිපතිත්වයන් විනාශ කිරීමට අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් වන ජනතාවගේ භීතිය සහ කීකරු වීමේ පුරුද්ද නැතිකිරීමට නිතොරවම ප්‍රමාණවත්  වී නොමැත. කණගාටුදායක ලෙස එම ක්‍රියා මගින් ඔවුන් වෙත රැගෙන එනු ලැබ  ඇත්තේ උත්සන්නවූ දුක්ඛ දෝමනස්සයන් සහ මරණය පමණකි, ජයග්‍රහණ සහ බලාපොරොත්තු නොවේ.

ප්‍රචණ්ඩත්වය මගින් නිදහස
මෙවැනි තත්ත්වයන් යටතේ කුමක් කල යුතුද? පැහැදිලි ලෙස පෙනෙන කළ හැකි දේ නිෂ්ඵල බව පෙනීයයි. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාපිත සහ නෛතික බාධක, අධිකරණ තීරණ සහ මහජන මතය  ඒකාධිපතීන් විසින් නොසලකා හරිනු ලැබේ. මහජනයා බොහෝවිට කෘරත්වය, වදහිංසා පැමිණවීම, අතුරුදහන් කරවීම සහ මරා දැමීමට ප්‍රතික්‍රියා දැක්වීම මගින්  ඒකාධිපතිත්වයක්  අවසාන කල හැක්කේ ප්‍රචණ්ඩත්වය මගින් පමණක් බව නිගමනය කර ඇති බව පෙනෙන්නට තිබේ.
කිපුණු විපතට පත්වූවන් විසින් සමහර අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව ඇති විෂම තත්ත්වයන් නොසලකා ඒකාධිපතින්ට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ට ඒකරාශී කරගත හැකි කුමන හෝ ප්‍රචණ්ඩකාරී සහ හමුදාමය ශක්තීන් සංවිධානය කර ඇත. තමන්ට අහිමිවන ජිවිත සහ ඉතිරිවන දුක් ගැහැට දරාගනිමින් මෙම මිනිසුන් බොහෝවිට නිර්භීතව සටන් කර ඇත. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ජයග්‍රහණ විශිෂ්ට වන නමුත් ඔවුන් නිදහස ලබා ගෙන ඇත්තේ කලාතුරකිනි. ප්‍රචණ්ඩකාරී කැරලි නිතොරවම මහජනයා පෙරට වඩා අසරණ තත්ත්වයකට පත්කලහැකි දරුණු මර්දනයකට හේතුවේ.
ප්‍රචණ්ඩකාරී විකල්පයට ලැබිය හැකි කුමන හෝ සුදුසුකමක් තිබුනත් එක් කරුණක් පැහැදිලිය. ප්‍රචණ්ඩකාරී උපක්‍රම කෙරෙහි විශ්වාසය තැබීම මගින් අයෙක් තම පිඩකයාට වඩාත් හැකියාවක් ඇති අරගල මාර්ගය තෝරා ගනී.    ප්‍රචණ්ඩත්වය විනාශකාරී ලෙස යොදාගැනීම සඳහා ඒකාධිපතීන් සන්නද්ධ වී ඇත. මෙම ප්‍රජාතන්ත්‍රවාදීන්ට දීර්ඝ කාලයක් හෝ කෙටි කාලයක් හෝ අරගල කිරීමට හැකිවුවත් අවසානයේදී හමුදා බලයේ යථාර්ථයෙන් ගැලවිය නොහැක. ඒකාධිපතීහු  නිතොරවම පාහේ යුද්ධෝපකරණ, පතරොම් සහ බෝම්බ, ප්‍රවාහන පහසුකම් සහ හමුදා බලයේ ප්‍රමාණය අතින් අරගල කරුවන්ට වඩා ඉදිරියෙන් සිටිති.  නිර්භීතභාවය සහිත වුවත් නිතොරවම පාහේ ප්‍රජාතන්ත්‍රවාදීහු ඒකාධිපතින්ට සමාන නොවෙති.
සම්ප්‍රදායික සන්නද්ධ කැරලි ක්‍රියාත්මක කල නොහැකි බව පෙනෙන විට සමහර විරුද්ධ මත දරන්නන් විසින් ගරිල්ලා සටන් වලට අනුග්‍රහය දක්වනු ලැබේ.කෙසේනමුත් ගරිල්ලා සටන් මගින් මර්දනය කරනු ලැබූ ජනතාවට හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අන්තේවාසිකයන්ට හෝ ප්‍රතිඵලයක් ලබාදෙනවානම් ලබාදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. තමන්ගේම ජනතාවට බරපතල ජිවිත හානි සහ තුවාල ඇති කිරීමේ බලවත් ප්‍රවණතාවය සැලකිල්ලට ගත් විට ගරිල්ලා සටන් මගින් පැහැදිලි විසඳුමක් ලබා ගත නොහැක.   මෙම ක්‍රමවේදයට ඇති න්‍යායික අනුග්‍රහය හා උපායමාර්ගික විශ්ලේෂණය සහ සමහරවිට ජ්‍යාත්‍යන්තර අනුබලය තිබියදීත් මෙම ක්‍රමවේදය අවසානයේදී  විනාශයක් නොවන බවට සහතිකයක් ලබා නොදේ. ගරිල්ලා සටන් බොහෝවිට බොහෝ කාලයක් තිස්සේ පවතී. එවිට ජනතාවට බොහෝ දුක් ගැහැට සහ සාමාජික විතැන්විම උරුමකර දෙමින් පවතින ආණ්ඩු මගින් සිවිල් ජනතාව බොහෝ විට අවතැන් කරනු ලැබේ.
ජයග්‍රාහී වුවත් ගරිල්ලා අරගල මගින් බොහෝ විට සැලකියයුතු, දිර්ඝකාලීන, සමාජයීය වශයෙන් නිශේධාත්මක ව්‍යුහාත්මක ප්‍රතිවිපාක ඇති කරනු ලැබේ. වහාම සිදුවන දෙය නම් පහර දෙනු ලැබූ පාලන තන්ත්‍රය ප්‍රතිපහරදීම් මගින් වඩාත් ඒකාධිපති වීමයි. ගරිල්ලන් අවසානයේදී ජයග්‍රහණය කළත් අවසානයේදී ඇතිවන නව පාලන තන්ත්‍රය කලින් තිබු පාලනයට වඩා ඒකාධිපති වෙයි. මක්නිසාද යත් පුළුල් කරනු ලැබූ හමුදා බලය සංකේන්ද්‍රණය වීමත් අරගල කාලය තුලදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකිරීමට සහ පවත්වාගෙනයාමට අත්‍යවශ්‍ය වන සමාජයේ ස්වාධින කණ්ඩායම් සහ ආයතන දුර්වල වීම හෝ විනාශ වීමත් නිසාය. ඒකාධිපතිත්වයන්ට විරුද්ධ වන්නන් විසින් වෙනත් විකල්පයක් සොයාගත යුතුව තිබේ.

කුමන්ත්‍රණ, මැතිවරණ, විදේශීය ගැලවුම්කරුවන්
හමුදා කුමන්ත්‍රණයක් මගින් ඒකාධිපතිත්වයක් පෙරලා දැමීම විශේෂයෙන්ම එම පාලනය අතිශයින්ම අප්‍රිය වූ විට ඉතා පහසු සහ ඉක්මන් ක්‍රියා මාර්ගයක් ලෙස පෙනී යා හැකිය. එනමුත් එම ක්‍රියා මාර්ගය මගින් බරපතල ප්‍රශ්න ඇතිකරවයි. වඩාත් වැදගත් කාරණය වන්නේ ඒ මගින් එක් පසෙකින් ජනතාව සහ අනෙක් පසින් ආණ්ඩු බලය මෙහෙයවන වරප්‍රසාදිත කොටස් හා ආණ්ඩුවේ හමුදා අතර වන බලයේ අසමාන බෙදීයාම ඒ අයුරින්ම තිබෙන්නට හැරීමයි. බොහෝ විට යම් විශේෂිත පුද්ගලයන් සහ කල්ලි රාජ්‍යයේ නිල තනතුරු වලින් ඉවත් කිරීම හුදෙක් වෙනත් කණ්ඩායමකට එම තනතුරු අත්පත් කර ගැනීමට උපකාරී වනු ඇත. තර්කානුකුලව මෙම කණ්ඩායම ඔවුන්ගේ හැසිරීම අතින් වඩා මෘදු වීමට සහ සීමිත වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ වලට විවෘත වීමට ඉඩ තිබේ. එනමුත් වඩාත් විය හැක්කේ මෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි.
සිය බලය තහවුරු කර ගැනීමෙන් පසු නව  කල්ලිය පැරණි කල්ලියට වඩා අනුකම්පාවිරහිත සහ තණ්හාධික වීමට ඉඩ තිබේ.ප්‍රතිඵලය ලෙස බොහෝ ජනතා පැතුම් කැටිකර ගත්තාවූ නව කල්ලිය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගැන කිසිම තැකීමක් නොමැතිව තමන්ට අවශ්‍ය කුමන හෝ දෙයක් කිරීමට ඉඩ සලසා ගනු ඇත. මෙය ඒකාධිපතිත්වය පිලිබඳ ගැටලුවට පිළිගතහැකි විසඳුමක් නොවේ.
ඒකාධිපතිත්වයන් යටතේ සුවිශේෂ දේශපාලන වෙනසක් සඳහා මෙවලමක් වශයෙන් මැතිවරණ පාවිච්චි කල නොහැක. කලින් සෝවියට් අධිකාරියේ පැවති නැගෙනහිර යුරෝපීය රටවල් කළාක් මෙන් සමහර ඒකාධිපති පාලන තන්ත්‍රයන් තමන් ප්‍රජාතන්ත්‍රවාදී බව මවාපෑම සඳහා මෙම ක්‍රියාවලිය භාවිතා කර තිබේ. මෙම මැතිවරණ හුදෙක් ඒකාධිපතීන් විසින් කල්තබාම තෝරාගන්නා ලද නියෝජිතයන් සඳහා මහජන අනුමැතිය ලබා ගැනීම පිණිස පවත්වන ලද දැඩි පාලනයකින් යුතු ජනමත විචාරණ විය. ඒකාධිපතීන් සමහරවිට පීඩනයක් යටතේ මැතිවරණ පැවැත්වීමට එකඟ විය හැකි නමුත් පසුව ඔවුහු මැතිවරණ දුෂණ මගින් සිවිල් රූකඩ ආණ්ඩුවේ නිලතල වලට පත් කර ගනිති.  විපක්ෂ නියෝජිතයන්ට තරඟ කිරීමට ඉඩදී ඔවුන් තේරී පත් වුවහොත් 1990 දී බුරුමයේ සහ 1993 දී නයිජීරියාවේ සිදුවුනාක් මෙන් ප්‍රතිඵල නිතැතින්ම නොසලකා හැරිය හැකි අතර “ජයග්‍රාහකයන්” බිය ගැන්වීම අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීමට ඉඩ තිබේ. ඒකාධිපතීන් තමන්ගේ ඔටුනු තමන්ට අහිමි කිරීමට හේතුවන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්නේ නැත.
කෲර  ඒකාධිපතිත්වයන් යටතේ දැනට දුක් ගැහැට වලට මුහුණදෙන හෝ ඒවායේ ආසන්න ග්‍රහණයෙන් මිදීම සඳහා විදේශගතව සිටින හෝ බොහෝ ජනයා පීඩිතයන්ට තමන් විසින්ම විමුක්තිය ලඟා කර ගත හැකි බව විශ්වාස කරන්නේ නැත. ඔවුන්ගේ සහෝදර ජනතාව බේරා ගත හැකි වන්නේ   අන් අයගේ ක්‍රියාකාරකම් වලින් පමණක් යයි ඔවුහු කල්පනා කරති. ඔවුහු බාහිර බලවේග කෙරෙහි බලාපොරොත්තු තබති. ඒකාධිපතීන් බලයෙන් පහ කිරීමට හැකි වන්නේ ජාත්‍යන්තර සහායෙන්   පමණක් බව ඔවුහු විශ්වාස කරති.
පීඩිතයන්ට ඵලදායි ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් නොමැති බවට වන දෘෂ්ටිය සමහර අවස්ථා වලදී නිශ්චිත කාල සීමාවන්ට අදාලව නිවැරදි වේ. ඉහත අවධානයට ලක් කල පරිදි බොහෝවිට පීඩිත ජනයා අනුකම්පා විරහිත ඒකාධිපතිත්වයන්ට මුහුණ දීමට ඔවුන්ගේ ඇති හැකියාව ගැන කිසිම විශ්වාසයක් නොමැති වීමත් තමන්ගේ විමුක්තිය සඳහා කිසිම දැනුවත් ක්‍රියා මාර්ගයක් නොමැති වීමත් නිසා අරගලයක් කිරීමට අකමැති සහ ඒ සඳහා තාවකාලිකව අසමත් වන තත්ත්වයක සිටිති. එබැවින් බොහෝ ජනයා තම විමුක්තිය සඳහා අන් අය කෙරෙහි බලාපොරොත්තු තැබීම තේරුම් ගත හැක. මෙම බාහිර බලවේගය “ජනමතය”, එක්සත් ජාතින්, යම් විශේෂිත රාජ්‍යයක්, හෝ ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන සම්බාධක විය හැක.
මෙවැනි වටපිටාවක් අස්වැසිල්ලක් ලබාදිය හැකි වුවද බාහිර විමුක්තිදායකයකු කෙරෙහි වන මෙම රඳා පැවතීම බරපතල ප්‍රශ්න ඇති කරවයි. මෙම විශ්වාසය මුළුමනින්ම අහෝසි විය හැක. සාමාන්‍යයෙන් විදේශ විමුක්තිදායකයන් පැමිණෙන්නේ නැත. විදේශ රාජ්‍යයක් මැදහත් වන්නේ නම් එරට කෙරෙහි විශ්වාසය තැබිය යුතු නැත.
විදේශ මැදහත් වීම කෙරෙහි රඳා පැවතීම පිළිබඳව කටුක සත්‍යයන් මෙහිදී අවධාරණය කිරීම අවශ්‍යය.
·         විදේශ රාජ්‍යයන් තමන්ගේ ආර්ථික සහ දේශපාලන ශුභ සිද්ධිය තකා නිතොරවම ඒකාධිපතිත්වයක් ඉවසා සිටින සහ සමහරවිට එයට නිශ්චිත ලෙස ආධාර කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනු ඇත.
·         විදේශ රාජ්‍යයක්  වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීම උදෙසා පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන්  උපකාර කරන බවට වූ පොරොන්දු කැප කිරීමට ඉඩ ඇත.
·         සමහර විදේශ රාජ්‍යයන් ඒකාධිපතිත්වයකට විරුද්ධව කටයුතු කරනු ඇත්තේ සිය ආර්ථික දේශපාලන හෝ හමුදාමය අධිපත්‍යය එම රට තුල පවත්වාගෙන යාම උදෙසාය.  
·         විදේශ රාජ්‍යයන් සක්‍රිය ලෙස හිතකර  අභිප්‍රායයන් වෙත යොමුවනු ඇත්තේ ඒකාධිපතිත්වය දුර්වල කරමින් දේශීයව යටත් නොවීමේ අරගලයක් ආරම්භ කර ඇති විට සහ එමගින් පාලන තන්ත්‍රයේ කෲර ස්වභාවය වෙත ජාත්‍යන්තර අවධානය යොමු කර ඇති විට පමණකි.
ඒකාධිපතිත්වයන් මුලිකවම පවතින්නේ රටක අභ්‍යන්තර බලයේ ව්‍යාප්තිය මතය. ධනය සහ බලය කිහිපදෙනෙකු අත පමණක් රඳා පවතින බැවින් ඒකාධිපතිත්වය කෙරෙහි බරපතල ප්‍රශ්න ඇති කිරීම සඳහා ජනතාව සහ සමාජය  දුර්වල වැඩිය. ජාත්‍යන්තර ක්‍රියාකාරකම් මගින් ඒකාධිපතිත්වයන්ට වාසි සහගත තත්ත්වයන්ට හෝ දුර්වල කරනු ලැබීමකට මුහුණ දීමට සිදුවුවත් එම තත්ත්වයන් දිගටම පවත්වාගෙනයාමට හේතුවන්නේ අභ්‍යන්තර සාධකයි.
ජාත්‍යන්තර බලපෑම් මගින් බලවත් අභ්‍යන්තරික යටත් නොවීමේ අරගලයකට සහයෝගය දිය හැකිනම් එම බලපෑම් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. එවිට උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර ආර්ථික වර්ජනයන්, වෙළෙඳ ගනුදෙනු තාවකාලිකව අත්හිටවීම්, තානාපති සබඳතා බිඳ දැමීම්, ජාත්‍යන්තර සංවිධාන වලින් නෙරපා හැරීම්, එක්සත් ජාතීන්ගේ ආශ්‍රිත සංවිධාන මගින් හෙලාදැකීම් සහ එවැනි දෑ බොහෝ සෙයින් උපකාරී වේ. එනමුත් ප්‍රබල  යටත් නොවීමේ අරගලයක් නොමැති විට අන්‍යයන් විසින් එවැනි දේ කිරීමට ඇති හැකියාව අල්පය.

අප්‍රසන්න සත්‍යයට මුහුණ දීම
නිගමනය දරා ගැනීමට අපහසු එකකි. වඩාත් ඵලදායි ලෙස සහ අවම වියදමකින් යුතුව ඒකාධිපතිත්වයක් බිඳ දැමීමට කෙනෙකුට අවශ්‍ය වේනම් ඒ සඳහා වහාම සිවු වැදෑරුම් කාර්ය භාරයක් ඉටු කළ යුතුය.
·         කෙනෙකු  විසින් අධිෂ්ඨාන ශක්තිය, ආත්ම විශ්වාසය සහ අරගලයේදී යටත් නොවීම යන ගුණාංග පීඩිත ජනතාව තුල වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය.
·         කෙනෙකු විසින් පීඩිත ජනතාවගේ ස්වාධින සමාජ කණ්ඩායම් සහ ආයතන ශක්තිමත් කළ යුතුය.
·         කෙනෙකු විසින් අරගලයේදී යටත් නොවන ආකාරයේ බලවේගයක් නිර්මාණය කළ යුතුය.
·         කෙනෙකු විසින් නිදහස සඳහා මහා පරිමාණ උපාය මාර්ගික සැලසුමක් ගොඩනංවා එය විචක්ෂණ ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුය.
නිදහස සඳහා වන අරගලයක් අරගල කණ්ඩායම අභ්‍යන්තරික වශයෙන් ශක්තිමත් වීම සහ තමන් කෙරෙහි රඳාපැවතීම සඳහා අවකාශය සලසා දෙයි. චාල්ස් ස්ටේවට් පර්නෙල් විසින් 1879 සිට 1880 දක්වාවූ අයර්ලන්ත ගෙවල් කුලී වර්ජන ව්‍යාපාරයේදී  මෙසේ කියා ඇත:
ආණ්ඩුව කෙරෙහි රඳාපැවතීමේ ප්‍රතිඵලයක් නැත..... ඔබ රඳාපැවතිය යුත්තේ ඔබගේම අධිෂ්ඨානය මතය.... එක්ව නැගීසිටීමට උපස්ථම්භකයක් වන්න.... ඔබ අතර සිටින දුර්වලයන්ට ශක්තිය දෙන්න....ඔබ සියලුදෙනාම එකම බැම්මකින් බැඳෙන්න, සංවිධානය වන්න....ජයග්‍රහණය නියතයි.
ඔබ විසින් මෙම ප්‍රශ්නය විසඳුමක් කරා ලංවන පමණට උත්සන්න කලේ නම් සහ එසේ කලේ නම් පමණක් විසඳුමක් ලැබෙනු ඇත.4
ප්‍රඥාවන්ත උපාය මාර්ගයන්ගෙන්ද සංයමයෙන් යුතු එඩිතර ක්‍රියා වන්ගෙන්ද අව්‍යජවූ ශක්තියකින්ද හෙබියාවූ  තමන් කෙරෙහි රඳාපවතින ප්‍රබල බලවේගයකට එරෙහිව ඒකාධිපතිත්වයක් ක්‍රමයෙන් ඉරිතැලී කුඩුවී යනු ඇත. එයට අවම වශයෙන් ඉහත සඳහන් කළ සිවු වැදෑරුම් අවශ්‍යතාවයන් සම්පුර්ණ කල යුතුය.
ඉහත සාකච්ඡාව පෙන්වා දෙන පරිදි ඒකාධිපතිත්වයන්ගෙන් නිදහස ලැබීම අවසාන වශයෙන් රඳා පවතින්නේ නිදහස් වීමට ජනතාවට ඇති හැකියාව මතය. ඉහත සඳහන් කළ ජයග්‍රාහී දේශපාලන විරෝධතා ව්‍යාපාර වල උදාහරණ -එසේ නොමැති නම් දේශපාලන අරමුණු සඳහා වන ප්‍රචණ්ඩකාරී නොවන අරගල- මගින් පෙන්නුම් කරන්නේ ජනතාවට ඒකාධිපතිත්වයන්ගෙන් නිදහස් වීමට ක්‍රම සහ විධි තිබෙන නමුත් ඒවා අපරිණත මට්ටමක පවතින බවයි.මෙම අවස්ථාවන් මතු පරිච්ඡේද වලදී පිරික්සා බලනු ඇත. කෙසේනමුත් ඒකාධිපතිත්වයන් බිඳ දැමීම සඳහා සාකච්ඡාව අවියක් ලෙස යොදාගැනීමට අප පළමුවෙන්ම උත්සාහ කළ යුතුය.
..........................................................................................................................................................................
4 පැට්‍රික් සාස්ෆිල්ඩ් ඔ’හෙගටි, ඒකාබද්ධ රාජ්‍යය යටතේ අයර්ලන්තයේ ඉතිහාසය, 1880-1922 (ලන්ඩන්:මෙතුන්,1952), පිටුව 490-491.
...................................................................................................................................................................... 









No comments:

Post a Comment