Wednesday, January 2, 2019

ඉන්දියාවේ කුලය ලංකාවේ කුලය

පසුගියදා උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කොට ඊට පසුදිනම ඔහු එයින් ඉවත්කර නැවත උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයට පත් කරන ලදී. මෙයට හේතු වූයේ රෙජිනෝල්ඞ් කුරේගේ කරාව කුලය සහ ඔහු උඩරැටියකු නොවීම නිසා මහනුවර වැඩ වසන ඊනියා සංඝ රත්නය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

‘කුලය’ බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දකි. ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ එන වසල සුත්‍රය හෙවත් අග්ගික භාරද්වාජ සුත්‍රයේ බුදුන් වහන්සේ තමන්ට වසලයෙකැයි අපහාස කළ අග්ගික භාරද්වාජ බමුණාට වසලයෙක් වීමේ ක්‍රියාවන් ගණනාවක් සඳහන් කර මෙසේ වදාළහ. “ජාතියෙන් වසල නොවෙයි. ජාතියෙන් බමුණු ද නොවේ. කර්මයෙන් වසල වෙයි. කර්මයෙන් බ්‍රාහ්මණ වේ.” බුදු සමය විසින් එවකට ඉන්දියාවේ තදින් බලපැවැත්වූ කුල ක්‍රමය සහ බ්‍රාහ්මණ ආධිපත්‍යය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ලදී. විවිධ කුල සහ විවිධ ජනවර්ගවලට අයත් විවිධ පුද්ගලයෝ සියලු භේද දුරැර සමානයන් වශයෙන් බුදු සසුනේ පැවිද්ද ලදහ. 

බුදු සමය නුවර යුගයේ පිරිහීමට ලක්වූ පසුව වැලිවිට සරණංකර හිමියන්ගේ සහ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ආරාධනයෙන් සියම් දේශයේ (දැනට තායිලන්තය) උපාලි තෙරුන් විසින් 1753 වර්ෂයේදී උපසම්පදාව මෙරට ස්ථාපිත කරන ලදී. එයින් දස වසරක් ගියතැන 1764 දී මහණවූ එක්තරා කුලයක ස්ථවිර නමක් කිර්ති ශ්‍රී රාජසිංහ රජුට වැඳ වැටීම හේතුකොටගෙන පහත් කුලවල ජනයා මහණ නොකරන ලෙසට කළ රජුගේ නියෝගය පාදක කරගෙන මහණ වීම ගොවිගම කුලයේ අයට පමණක් සීමා කරන ලදී. මෙම තත්ත්වයට අභියෝග කළ සලාගම කුලයේ වැලිතොට ඥානවිමලතිස්ස ස්ථවිරයෝ 1800 වර්ෂයේදී අමරපුර නිකාය මෙරට ස්ථාපිත කරන ලද අතර 1864 දී රාමඤ්ඤ නිකාය ස්ථාපිත විය. අමරපුර නිකාය විවිධ අනුනිකායන්ගෙන් සමන්විත වන අතර ඒවා විවිධ කුලවලට බෙදී පවතී.

එබැවින් මෙරට බුදු දහමේ මූලික ව්‍යුහය බුදු දහමට පටහැනි වෙයි. මෙම තත්ත්වය නින්දා සහගත බව නොවලහා කිව යුතුය. මෙහිම දිගුවක් වශයෙන් බොහෝ බෞද්ධ භික්ෂූහු වර්ගවාදයට අනුබල දෙති. මෙම ක්‍රියාකාරකම් බුදුදහම පාවා දීමකි.

ලංකා දේශපාලනයේද මෙම තත්ත්වය විශද වේ. ශ්‍රී ලංකාවේ සිටි ජනාධිපතිවරු සහ අගමැතිවරු සියලු දෙනාම සිංහල බෞද්ධ වෙයි. ඔවුන්ගෙන් එක් අයකු එනම්, රණසිංහ ප්‍රේමදාස හැර අන් සියලු දෙනාම ගොවිගම කුලයට අයත් වෙති. මෙරට සිටි අග්‍රාණ්ඩුකාරවරු දෙදෙනාගෙන් එක් අයකු වන ඔලිවර් ගුණතිලක සිංහල ගොවිගම වූ අතර ඔහුගේ ආගම ක්‍රිස්තියානි විය. මෙරට කිසිම ස්ත්‍රියක් පවුල් සබඳතාවලින් තොරව රටේ නායකත්වයට පත්වී නැත. එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක සහ ජේ. ආර්. ජයවර්ධන උපතින් ක්‍රිස්තියානි වුවත් පසුව බුද්ධාගම වැළඳ ගත්හ. මෙය මෙරටේ පවතින සිංහල, බෞද්ධ, ගොවිගම, පුරුෂ ආධිපත්‍යයයි.

1960 දී පත්වූ ඩඞ්ලි සේනානායක ආණ්ඩුව ප්‍රථම රාජාසන කථාවේදී පරාජය වූ පසු එවකට විපක්ෂ නායක සලාගම කුලයේ සී. පී. ද සිල්වාට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා නොකර මහා මැතිවරණයක් පැවැත්වීමට එවකට අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක තීරණය කළේ සි. පී. ද සිල්වාගේ කුලය නිසා බව කියනු ලැබේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වී මහනුවර පත්තිරිප්පුවේ දී කළ කථාව මහනුවර සිටින හිස් මාන්නක්කාර අබෞද්ධ සංඝයා දණ ගැස්සවිමකි. 

ශ්‍රී ලංකාවේ 74.9% ක් සිංහලයන් වන අතර 11.1 % දෙමළද 9.3 % ක් මුස්ලිම්ද වෙයි. එමෙන්ම 70.1% ක් බෞද්ධ වන අතර 12.6% ක් හින්දු, 9.7% ක් ඉස්ලාම් සහ 7.6% ක් ක්‍රිස්තියානි වෙයි. මෙරට සිංහල බෞද්ධ ප්‍රතිශතය 70% ක් පමණ වෙයි. සිංහලයන්ගෙන් 50% ගොවිගම කුලයට අයත්යයි ගතහොත් සිංහල බෞද්ධ ගොවිගම ප්‍රතිශතය 35% කි. සිංහල බෞද්ධ ගොවිගම පුරුෂ ප්‍රතිශතය 17% කි. නියම බලය ඇත්තේ ඔවුන් අතේය.

කුල භේදය ඉතාමත් බරපතළ ලෙස පවතින ඉන්දියාවේ තත්ත්වය මෙයට සපුරා වෙනස්ය. ඔවුන්ගේ පහත් කුලවල අයට කෝවිල්වලට යාමට ඉඩක් නැත. ඔවුන් ස්පර්ශ නොකළ යුතු බවට සම්මතයක් විය. ඉන්දියානු නිදහස් අරගලයේදී එහි නායකයන් විසින් මෙම අස්පර්ශ සංකල්පය අභියෝගයට ලක් කරන ලදී. නිදහස් ඉන්දියාවේ නායකයන්ගේ පසුබිම කෙසේද?

ඉන්දියාවේ හින්දුන් 79.8% ක් ද ඉස්ලාම් භක්තිකයන් 14.22% ක් ද ක්‍රිස්තියානින් 2.3% ක් ද ශික්වරුන් 1.7% ක් ද වෙති. එරට ජනවර්ග විශාල සංඛ්‍යාවක් වන අතර හින්දි භාෂාව කථා කරන ප්‍රතිශතය 41%කි.

ඉන්දියානු අගමැතිවරු 15 දෙනා අතරින් හින්දි කථා නොකරන ප්‍රාන්තවලින් පැමිණි අගමැතිවරු හත් දෙනෙක් වෙති. එනම් මොරාජි දේසායි, ගුල්සරිලාල් නන්ද, ඉන්ද කුමාර් ගුජ්රාල්, නරසිම්හ රාඕ, දේව් ගවුඩා, මන් මෝහන් සින්ග් සහ නරේන්ද්‍ර මෝඩිය.  ජවහර්ලාල් නේරු, ලාල් බහදුර් ශාස්ත්‍රී, චරන් සින්ග්, ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි, වී. පී. සින්ග්, චන්ද්‍ර ශේකර් සහ අතල් බිහාරි වජ්පායි හින්දි කථා කරන ප්‍රාන්තවලින් පැමිණි අගමැතිවරුය.

ඉන්දියානු ජනාධිපතිවරුන් අතරින් රාජේන්ද්‍ර ප්‍රසාද්, ශංකර් දයාල් ශර්මා සහ රම්නාත් කොවින්ද් හැරුනුකොට අනෙක් සියලුම දෙනා හින්දි කථා නොකරන ප්‍රාන්තවලින් පැමිණි අයයි. ඔවුන් නම් සර්වපල්ලි රාධක්‍රිෂ්ණන්, සකිර් හුසේන්, වී.වී ගිරි, ෆක්රුදින් අලි අහමඞ්, සංජිව රෙඞ්ඩි, සයිල් සින්ග්, ආර්. වෙන්කතරාමන්, කේ. ආර්. නාරායනන්, අබ්දුල් කලාම්, ප්‍රතිභා පටිල් සහ ප්‍රනාබ් මුකර්ජි.

ඉන්දියානු ජනාධිපතිවරුන් අතරින් දෙදෙනෙක් එනම් කේ. ආර්. නාරායනන් සහ වර්තමාන ජනාධිපති රාම්නත් කොවින්ද් පහත් යයි සම්මත දලිත් කුලයට අයත්ය. ඔවුන් අතරින් තිදෙනෙක් මුස්ලිම් වෙති. එක් ස්ත්‍රියක් ද වෙයි. මහත්මා ගාන්ධි මෙසේ කියා තිබේ. රටක ශිෂ්ටාචාරය මැනිය හැක්කේ ඔවුන් එරට ආන්තික කොටස්වලට සලකන අන්දමිනි. අප ශිෂ්ටාචාරදැැයි අප අපෙන්ම විමසිය යුතුය. ඊනියා මහා සංඝරත්නය ඔවුන්ගෙන්ම විමසිය යුතුය.■

2018.05.06 වන දින සමබිම ඉරිදා සංග්‍රහයට හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි.

No comments:

Post a Comment