මුස්ලිම් විවාහ නීතිය වෙනස් කළ හැකියි
පසුගියදා මහනුවර මුස්ලිම්වරුන්ට එරෙහිව ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා තදබල ලෙස විවේචනය කරමින් සමබිම ඉරිදා සංග්‍රහයට සහ Daily FT පුවත්පතට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ලිපි දෙකක් මවිසින් ලියන ලදී. මෙහි අනෙක් පස කාරණා පිළිබඳවද ලිවීමේ ආශාවක් මා තුළ විය. මට අශ්ශේක් මුනීර් මුලෆ්ෆර් (නලීමි) තුමා මුණගැසුනේ මේ අතරතුරය. ජාතික සූරා සභාවේ සම්පත්දායකයකුද තිහාරියේ ඉබ්‍රාහිම් මස්ජිඩයේ ප්‍රධාන අනුශාසකද වන එතුමා, ජාතික සහ ආගමික සහජීවනය උදෙසා ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කරයි. මෙහි පළ වන්නේ එතුමා සමඟ කරන ලද සාකච්ඡාවකි.
සාකච්ඡා කලේ හර්ෂ ගුණසේන
පසුගිය කාලය පුරා ඇතිවූ ගැටුම්වලට පාදක වූ කරුණු පිළිබඳව මුස්ලිම්වරුන්ගේ මතය සමාජගත නොවුනේ ඇයි?
ලංකාවේ ජනමාධ්‍ය, ජාතික මාධ්‍ය පවා, මුස්ලිම්වරුන්ගේ අදහස් සමාජගත කිරීම ගැන එතරම් උනන්දුවක් දැක්වූවේ නැහැ. හලාල් ප්‍රශ්නය, වඳ බෙහෙත් ප්‍රශ්නය සහ මුස්ලිම්වරුන් ජනවර්ගයක් වශයෙන් සංඛ්‍යාත්මකව වැඩිවීම වැනි කරුණු පිළිබඳ බොහෝ චෝදනා මුස්ලිම්වරුන්ට එරෙහිව එල්ල වුවත් ජනමාධ්‍ය, මුස්ලිම් ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඔවුන්ගේ අදහස් ප්‍රසිද්ධ කිරීම ඉතා විරල දෙයක්. වඳ බෙහෙත් පිළිබඳ ප්‍රශ්නයේදී ජනමාධ්‍ය, වෛද්‍යවරු පවා, මේ පිළිබඳව විවෘතව කතා කළේ අම්පාරේදී විනාශයක් වීමෙන් පසුවයි. මේ පිළිබඳව අපේ අදහස් ජනමාධ්‍යයට ලබා දීමට අවස්ථාවක් නොලැබීම කනස්සල්ලට කරුණක්.
මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් තිබෙන බවට ඇතමුන්ගේ මතයක් තිබෙනවා. මුස්ලිම් ජනගහනය වැඩිකිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් තිබෙනවද?
මුස්‌ලිම් සමාජය නියෝජනය කරන සහ ඒ සමඟ ඉන්න කෙනෙක් වශයෙන් මගේ අවංක අදහස, මුස්ලිම් ජනගහනය වැඩි කළ යුතුයි යන්න, සංවිධානාත්මකව ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් මා දන්නා තරමින් නැහැ. මුස්ලිම් ජනගහනය වැඩිවීමට හේතුවූ කරුණු පිළිබඳව අපි ප්‍රකාශන ඉදිරිපත් කර තිබෙනවා. පවුල් සංවිධාන සංගමය ඉදිරියට ගෙන ආ පුංචි පවුල රත්තරන් වැඩසටහන මුස්ලිම්වරුන්ට වඩා අනෙක් ජනවර්ග අතර ප්‍රචලිත වුණා. අනෙක් කාරණය මුස්ලිම් සමාජය බොහෝවිට තරුණ වියේදී විවාහ වන විට මුස්ලිම් නොවන සමාජවල විවාහා බොහෝ කල් ගතවී සිද්ධවන ප්‍රවණතාවයක් තිබෙනවා. ඒවගේම මුස්ලිම් කාන්තාව රැකියාවල යෙදීමේ ප්‍රවණතාව අනෙක් ජනවර්ගවල කාන්තාවන් රැකියාවල යෙදීමේ ප්‍රවණතාවයට වඩා අඩුයි. මේ ප්‍රවණතාවයන් මුස්ලිම් සමාජයේ ජනගහන වර්ධනයට හේතුවුනා වන්නට පුළුවන්. මේ පිළිබඳව චෝදනා කරන විට මේ ගැන පරීක්ෂණයක් කර සැබෑ කරුණු ඉදිරිපත් කිරීම හුදු චෝදනා කිරීමකට වඩා සුදුසු යැයි මා සිතනවා.
රටේ පොදු නීතිය අනුව කාන්තාවක විවාහා විය හැකි වයස අවුරුදු 18ක් වුවත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ මුස්ලිම් දැරියකගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 12 ක අඩු වයසක්. මේ වයස් සීමාව මුස්ලිම් ආගමෙන් පැමිණි දෙයක්ද? මුස්ලිම් සංස්කෘතියෙන් පැමිණි දෙයක්ද?
විවාහයේදී මුස්ලිම් ආගම සඳහන් කරන්නේ කාන්තාවක් විවාහවන විට පවුල් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මානසික සහ ශාරීරික ශක්තීන් ඇය තුළ තිබිය යුතු බව. සමහර විට නබිතුමාගේ කාලයේදී එය අඩු වයස් සීමාවක් වන්නට පුළුවන්. නමුත් අද තත්ත්වය අනුව ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණය කළ හැකියි. දැනටමත් මුස්ලිම් සමාජයේ විද්වතුන් අතර මේ පිළිබඳව කතිකාවක් තිබෙනවා. දැනට මුස්ලිම් සමාජයෙත් වයස 18 ට අඩු විවාහ 1% ක් වත් ඇතැයි මා සිතන්නේ නැහැ. මම පියෙක්. මගේ දියණිය වයස 18 ට අඩුවෙන් විවාහ කර දීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මුස්ලිම් ආගමේ විශ්වාසයන් සහ නීතිරීතීන් තිබෙනවා. විවාහ වයස් සීමාව අයිතිවන්නේ මෙම නීතිරීතීන්වලටයි. මෙම නීතිරීතීන් කලින් කලට සාකච්ඡා කර වෙනස් කරගන්නට පුළුවන්.
මෙම කාරණයේ මූලික පසුබිම ආගම නේද?
ඔව්. නමුත් ආගම අවබෝධ කර ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. අපි බොහෝ දෙනෙක් ආගම පරම්පරාවෙන් උරුම කරගත් අය. ඒ නිසා ආගමේ ඉලක්කයන් පිළිබඳව ඔවුන්ට හරි වැටහීමක් නැහැ. බෞද්ධ සමාජය ගත්තොත් අද ආමිසය ඉදිරියට දාලා ප්‍රතිපත්තිය පසුපසට දමා තිබෙනවා. මුස්ලිම් සමාජයටත් එය අදාළයි. මතුපිට තිබෙන දෙයයි අපි බලන්නේ. එසේ නොමැතිව ඒ දේ කිව්වේ ඇයි කියන එක සොයා බැලිය යුතුයි.
මුළු ශරීරයම ආවරණය වන බුර්කාව අද බොහෝ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමයි. නමුත් අවුරුදු 50කට පමණ පෙර මුස්ලිම් කාන්තාවන් සාරියෙන් හිස පමණක් වසාගෙන සිටියා. මේ වෙනසට ආගමේ සම්බන්ධයක් තිබෙනවද?
මතයක් තිබෙනවා දැනට අවුරුදු 40කට පමණ පෙර තිබූ මුස්ලිම් සමාජය නොවෙයි දැන් තිබෙන්නේ කියා. 1977 විවෘත ආර්ථිකය පැමිණීමට පෙර මෙරට මුස්ලිම් සමාජය අභාසය ලැබුවේ දකුණු ඉන්දියාවෙන්. අපේ අම්මලා ඇන්දේ සාරිය. තරුණියන් ඇන්දේ සල්වාරිය. 1977න් පස්සේ බොහෝ තරුණියන් රැකියා සඳහා මැද පෙරදිගට ගියා. එහිදී විශේෂයෙන්ම නබිතුමා උපන් රට වන සෞදි අරාබියේ කාන්තාවන් අඳින ඇඳුම නියම ඇඳුම විය යුතු යයි ඔවුන් කල්පනා කළා වන්නට පුළුවන්. ඔවුන් මෙරටට රැගෙන එන ඒ ඇඳුම ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතියන් අතර ප්‍රචලිත වෙනවා. ඒ අතර ව්‍යාපාරිකයන් මේ ඇඳුම ප්‍රචලිත කර ව්‍යාපාරික අවස්ථාවක් ලබාගන්නට කල්පනා කරනවා. ඒ වගේම මෙහි තවත් පැත්තක් තිබෙනවා. පසුගිය අවුරුදු 40 තුළ වෙනස් වුනේ මුස්ලිම් සමාජය පමණක් නොවෙයි. බෞද්ධ සමාජයත් මුස්ලිම් නොවන සමාජත් වෙනස් වී තිබෙනවා. එම සමාජවල කාන්තාවන් ශරීරය නිරාවරණය වන බටහිර පන්නයේ ඇඳුම් ඇඳීමට පෙළඹී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සදාචාරයට වඩාත් යෝග්‍ය වන්නේ ශරීරය නිරාවරණය වන ඇඳුමද එසේ නැතහොත් ශරීරය සම්පුර්ණයෙන් ආවරණය වන ඇඳුමද? මේ ප්‍රශ්නය මම අසන්නේ මේ ඇඳුම ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත් කිරීමට උත්සාහ දරණ අයගෙන්. මා පුද්ගලිකව බුර්කාවට කැමැත්තක් නැහැ. මගේ බිරිඳ එම ඇඳුම අඳින්නේ නැහැ. රටේ ආරක්ෂාව සම්බන්ධව යම් සෝදිසි කිරීම්වලදී ඇඳුමක් බාධාවක් වනවා නම් ඒ පිළිබඳව අප සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම අපේ ආගම සම්බන්ධව නීති රීති තිබෙන්නේ. පිරිමියෙක් නම් පෙකනියේ සිට දණහිස දක්වා ආවරණය වී තිබිය යුතුයි. කාන්තාවක් නම් මුහුණ සහ අත්වල මැණික් කටුවෙන් පහළ හැර අනෙක් කොටස් ආවරණය විය යුතුයි. එසේ ආවරණය කළ යුත්තේ කුමන ඇඳුමෙන් ද යන්න ඔවුන්ට තීරණය කළ හැකියි. ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ කාන්තාවන් ඔවුන්ගේ රටේ ඇඳුම් අඳිනවා.
අපේ රටේ මුස්ලිම්වරුන් නුවර පළාතේ පදිංචි වන්නේ ඔවුන් බටහිර ජාතීන් සමඟ විරසක වීම නිසා සිංහල බෞද්ධ රජවරුන්ගෙන් සහ ජනතාවගෙන් ලැබෙන ආරක්ෂාව නිසා බවට මතයක් තිබෙනවා. ප්‍රථම සිංහල මුස්ලිම් අරගලය ඇතිවන්නේ 1915දී. ඊට පසුව මෑත කාලයේදී අරගල ගණනාවක් ඇතිවුනා. මේ තත්ත්වය සමනය කර ගන්නේ කෙසේද?
අප අවට තිබුණ රටවල් ඉදිරියට යන්නත් අප පසුපසට යන්නත් ප්‍රධාන හේතුව වුනේ අපේ රටේ සිටි විවිධ ජනවර්ග සහ විවිධ ආගමිකයන් එකිනෙක හඳුනා නොගැනීමයි. එකිනෙකාට ගෞරව කරන්නට අප ඉගෙන ගත්තේ නැහැ. එකිනෙකාගේ සංස්කෘතිය අප හඳුනා ගත්තේ නැහැ. ඒ දේවල් අනෙකාව පාගන තැනකට පත් කරන්නට අප පෙළඹුණා. නිදහස ලැබෙන විට අපි ආසියාවේ දෙවැනි වුනේ ජපානයට පමණයි. ඒ වගේම සෞඛ්‍යය සහ අධ්‍යාපනය අතින් අපි ඉහළ තැනක ඉන්නවා. නමුත් අපිට පසුපසින් සිටි ජාතීන් අපට වඩා ඉදිරියට ගොස් තිබෙනවා. මම මැලේසියාවට ගිය විට දැක්කා එහි විවිධ ජනවර්ග සිටියත් ඔවුන් සියලුදෙනාම එකම මැලේසියානු ජාතිය ලෙස පෙනී සිටිනවා. අපේ රටේ සියලුම ආගම්වලට සහ සියලුම ජනවර්ගවලට අයත් දේශපාලනඥයන් ආගම සහ ජනවර්ගය පාවිච්චි කරන්නේ ඔවුන්ගේ බලය තහවුරු කරගන්නයි. විවිධ ජනවර්ග සහ විවිධ ආගමිකයන් සිටීම රටකට සම්පතක්. අපි සියලුදෙනාටම එකතුවී එක් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගාගැනීමට හැකිනම් ඉදිරියට යා හැකියි. මේ පිළිබඳව රටේ සිටින සියලුම ජනකොටස් එකතුකරගෙන ඉදිරියට යාමේ මූලික වගකීම තිබෙන්නේ රටේ බහුතරයක් වන සිංහලයන් සහ බෞද්ධයන් අතෙයි. ■
2018.05.20 දින සමබිම ඉරිදා සංග්‍රහයට හර්ෂ ගුණසේන විසින් සාකච්ඡා කර සකස් කරන ලද ලිපියකි.
No comments:
Post a Comment