පසුගියදා සමබිම පුවත්පත මගින් පවත්වනලද සමබිම ලේඛක හමුව
මගින් ඉතා වැඩදායක සාකච්ඡාවකට මග පාදන ලදී. සමබිම තවදුරටත් පවත්වාගෙන යා යුතු ද යන
අපගේ මූලික පැනයට අමතරව පුවත්පතේ ආකෘතිය, ආමන්ත්‍රණය කළ යුතු විෂය ක්ෂේස්ත්‍ර සහ
පුවත්පතේ අලෙවිය යන කාරනා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරණ ලදී. මවිසින් සමබිම
කාර්යාලය තුලදීද මෙම සාකච්ඡාව තුලදීද මතුකරන ලද කාරණයක් වූයේ සමබිම කියවීමට කැමති
පාඨක සංඛ්‍යාවක් සිටිත් නම් ඔවුන් පුවත්පත සඳහා මුදල් ගෙවීමට මැලි වන්නේ කවර
හෙයින්ද යන්නයි. සමබිමට පවත්වාගෙන යාම සඳහාද අපගේ වෙනත් ව්‍යාපෘති සඳහාද ආධාර ලබා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ආධාර දෙනු
ලබන සංවිධාන විසිනි.ඔවුන් එසේ ආධාර දෙනු ලබන්නේ මෙරට තුළ ප්රජාතන්ත්රවාදය මානව හිමිකම්
සුරක්ෂිත කිරීම සඳහාය. එසේ ආධාර දෙන්නේ ඔවුන් අගය කරණ සාර ධර්මයන් අප වැනි රටවල් වලද
ක්‍රියාත්මක වනවා දැකීමට ඔවුන්ට ඇති කැමැත්ත නිසාය. එසේ නොමැතිව අපගේ ආණ්ඩු පෙරලීම
ඔවුන්ගේ අභිලාෂය නිසා නොවේ. අප එම ආධාර ලබා ගෙන මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්නේද
එම සාර ධර්මයන් අප විසින්ද අගයන නිසාය. විවිධ රටවල ආණ්ඩු පෙරලීමේ අපේක්ෂාවෙන් කටයුතු කරණ සි අයි ඒ
සහ කේ ජි බී වැනි සංවිධාන සමඟ අපගේ සම්බන්ධයක් නොමැත. එමෙන්ම අපගේ ජනතාව අනුක්රමයෙන් ගෝත්‍රික
වාදයෙන් මිදෙන විට එවැනි සාර ධර්මයන් මගින් ඔවුන්ගේ ජිවිත වල ගුණාත්මක භාවය ඉහළ යන
නිසාය.
සමබිම පුවත්පතට ආධාර දෙන ආයතන වලට ඇති ප්‍රශ්නයක් නම්
පුවත්පතේ පළවන අදහස් වලට ඉල්ලුමක් පවතින්නේ නම් පාඨකයන් පුවත්පතට මුදල් ගෙවන්නේ
නැත්තේ ඇයිද යන්නයි. එමෙන්ම පුවත්පත විකිණීමෙන් වියදම් පියවාගත නොහැක්කේ ඇයිද
යන්නයි.
මගේ පුද්ගලික අදහස නම් පාඨකයන් පුවත්පත කියවීමට කැමැති
නම් ඔවුන් ඒ සඳහා මුදල් ගෙවිය යුතු බවයි. අද ජිවන තත්ත්වය අනුව පුවත් පත සඳහා අය
කරණ මුදල ඉහළ මුදලක් නොවේ. ඔවුන් පිනට පුවත්පත කියවීමට අපේක්ෂා කරන්නේ නම් එහි
තේරුම ගෙවිය යුතු මුදලට සරිලන දැනුම් සම්භාරයක් පුවත් පත හරහා ඔවුන්ට නොලැබෙන
බවයි. එසේනම් පුවත් පත නවතා දැමිය යුතුය.
එනමුත් පුවත්පත විකිණීමේ අපගේ ක්‍රමවේදයේ අඩුපාඩු පවතින
බවද දනිමි. ගෙදරට පුවත්පත් ගෙන එන පුද්ගලයට මාසික මුදලක් ගෙවීම හෝ දිනපතා යන එන
විට පුවත්පත මිලදී ගැනීම හෝ නොව පුවත්පතේ වාර්ෂික ගාස්තුව මුදල් ඇනවුමක් හරහා හෝ
චෙක් පතකින් හෝ ගෙවීම යම් ප්‍රමාණයක කරදරකාරී ක්‍රියාවකි. එමෙන්ම යමෙක් එන් ජි ඕ
කාරයන්ට මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් නැතැයි සිතන්නේ නම් එම සිතුවිල්ලට මම විරුද්ධ
වෙමි. මේ පිළිබඳව අප විසින් තව දුරටත් සාකච්ඡා කළ යුතු බව සිතමි.
අප ලියන ලිපි දුරවබෝධ දැයි මා ඇසු පැනයට ක්ෂණිකව ලැබුන පිළිතුර වූයේ තේරෙන
සිංහලෙන් ප්රශ්නය අහන්න කියාය. අපගේ ලිපි පිළිබඳව වරෙක මගේ මිතුරෙක් කීවේ අප ලියන
සමහර ලිපි තේරුම් ගැනීමට දෙතුන් වරක් කියවිය යුතු බවය. එබැවින් ලියන භාෂාව සරල
කිරීමද වැදගත්ය.
කෙසේ නමුත් මා විසින් ලියන ලිපි වල අන්තර්ගතය සරලය. එය ජාතිවාදයට, වඩාත් නිශ්චිතව කිවහොත් වර්ග වාදයට
සහ ඒකාධිපති වාදයට විරුද්ධ, එමෙන්ම ප්රජාතන්ත්රවාදයට
සහ මානව හිමිකම් වලට පක්ෂ කරුණු වලින් සමන්විතය. වර්ගවාදයට සහ ඒකාධිපති වාදයට
විරුද්ධවීම තවදුරටත් කරගෙන යායුතු යයි
සිතමි. මක්නිසාදයත් මෙම මතවාදයන් ආගමක් ලෙස අදහන මනුෂ්‍යත්වයට දෙවන තැන දෙන විශාල
පිරිසක් තවමත් අප අතර සිටින නිසාය. මේවා දේශපාලන මතවාදයක් ලෙස ඉදිරියට ගෙන යාමට
උත්සාහ කරණ විශාල පිරිසක් තවමත් අප අතර සිටින නිසාය.
No comments:
Post a Comment