Wednesday, January 2, 2019

Translation of the eighth chapter of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


දේශපාලන විරෝධතාවයන් ක්‍රියාත්මක කිරීම
ජනතාව තමන්ට කිසිම බලයක්  නොමැති යයි සිතන විට සහ ඔවුන් බියෙන් සිටින විට ජනතාව උදෙසා ප්‍රථමයෙන්ම සංවිධානය කෙරෙන කාර්යයන් අඩු අවදානමකින් යුක්ත සහ විශ්වාසය දිනාගන්නා සුළු ඒවා විය යුතුය. කෙනෙක් සිය ඇඳුම් අසාමාන්‍ය ආකාරයෙන් ඇඳ ගැනීම වැනි මේ ආකාරයේ ක්‍රියා විසම්මුතික අදහස් ජනතාව තුළ මුල් බැස්සවිමට කටයුතු කරන අතර  ජනතාවට විසම්මුතික ක්‍රියා වලට බොහෝ සෙයින් සහභාගී වීමට ඉඩ ප්‍රස්ථා සලසා දෙයි. වෙනත් අවස්ථා වලදී සංසන්දනාත්මක වශයෙන් නොවැදගත්, නොගැඹුරු එමෙන්ම   සැමට පිරිසිදු ජලය ලැබීම සහතිකකිරිම වැනි අදේශපාලනික කටයුත්තකට සමූහ ක්‍රියාකාරකම් නාභිගත කල හැකිය. ප්‍රතිලාභ පුළුල් වශයෙන් පිළිගැනීමට ලක්වන සහ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විරෝධතා විෂයයන්  උපාය සැලසුම් කරුවන් විසින් තෝරාගත යුතුය. මෙවැනි සිමා සහිත විරෝධතාවයන් මගින් යම් නිශ්චිත දුක් ගැනවිලි සමහන් කරනවා පමණක් නොව තමන්ට විශාල බලයක් උත්පාදනය කල හැකි බව ජනතාවට ඒත්තු ගන්වනු ලැබේ.
දීර්ඝ කාලින අරගලය තුල වන විරෝධතාවන්හි උපාය මාර්ග, ඒකාධිපතිත්වයේ වහාම සිදුවන සම්පුර්ණ බිඳ වැටීමක් ඉලක්ක කල නොගත යුතු අතර සීමාසහිත අරමුණු පමණක් ඉලක්ක කර ගත යුතුය.   එමෙන්ම සැම විරෝධතාවයකටම සියළුම ජනතා කොටස් සහභාගී වීම අවශ්‍ය නොවේ.
ප්‍රධාන උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත විරෝධතාවයන් පෙළක් සංවිධානය කිරීමේදී දීර්ඝ කාලින අරගලයේ  ආරම්භයේ මධ්‍යයේ සහ අවසානයට ආසන්නව සැලසුම් කළ ව්රෝධතාවයන් එකිනෙකින් වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව විරෝධතා ව්‍යාපාර සැලසුම් කරුවන් විසින් සැලකිලිමත් විය යුතුය.
තෝරාගත් විරෝධතා
අරගලයේ මුල් අවස්ථා වලදී විවිධ නිශ්චිත අරමුණු උදෙසා වන එකිනෙකින් වෙන්වූ විරෝධතාවයන් බොහෝ ප්‍රයෝජනවත් විය හැක. මෙම තෝරාගත් විරෝධතාවයන් අනු පිළිවෙලින් ක්‍රියාත්මක කල හැක. සමහරවිට මේවායින් කිහිපයක් එකවිට ක්‍රියාත්මක විය හැක.
තෝරාගත් විරෝධතා සැලසුම් කිරීමේදී ඒකාධිපතිත්වයේ සාමාන්‍ය මර්දනකාරී පිළිවෙත සංකේතවත් වන ආකාරයේ විරෝධතා විෂයයන් සහ දුක් ගැනවිලි හඳුනාගත යුතුය. ප්‍රධාන සමස්ත උපාය මාර්ගය තුළ අන්තර් කාලින උපාය මාර්ගික අරමුණු ළඟා කර ගැනීම සඳහා  වන විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුණු එම විරෝධතා විෂයයන් විය හැක.
ප්‍රජාතාන්ත්‍රික බලවේගයන්ගේ දැනට පවතින හෝ බලාපොරොත්තුවන බල ශක්‍යතාවය මගින් මෙම අන්තර් කාලීන උපාය මාර්ගික අරමුණු ළඟා කර ගත හැකි විය යුතුය. චිත්ත ධෛර්ය නැංවීම සඳහා ප්‍රයෝජනවත් වන ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීම සහතික කිරීමට මෙය උපකාරී වේ. එමෙන්ම එය දීර්ඝ කාලින අරගලය සඳහා බල සඹඳතාවයන්හි වාසිදායක එමෙන්ම අනුක්‍රමික විතැන්වීමක් සඳහා දායක වේ.
තෝරාගත් විරෝධතා සඳහා වන උපාය මාර්ග මූලික වශයෙන් අවධානය යොමු කළ යුත්තේ නිශ්චිත සමාජයීය, ආර්ථික සහ දේශපාලන විරෝධතා විෂයයන් කෙරෙහිය. මෙම විරෝධතා විෂයයන් තෝරාගත යුත්තේ සමාජයීය සහ දේශපාලන යාන්ත්‍රණයේ යම් කොටසක් ඒකාධිපතින්ගේ පාලනයෙන් ඉවත් කර තැබීමට හෝ දැනට එකධිපතින් විසින් පාලනය කරනු ලබන එම යාන්ත්‍රණයේ යම් කොටසක අධිකාරිත්වය නැවත ලබා ගැනීමට හෝ ඒකාධිපතින් යම් නිශ්චිත අරමුණක් ලබා ගැනීම වැළැක්වීමට හෝ විය හැක. දැනටමත් සාකච්ඡා කල ආකාරයට   හැකිනම් තෝරාගත් විරෝධතා ව්‍යාපාර ඒකාධිපතින්ගේ එක දුර්වලතාවයකට හෝ දුර්වලතා කිහිපයකට එල්ලකර මෙහෙයවිය යුතුය. ඒමගින් ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඔවුන්ගේ පවතින බල ශක්‍යතාවය මගින් කළ හැකි ප්‍රබලතම බලපෑම කළ හැකි වනු ඇත.
උපායශිලින් විසින් අවම වශයෙන්  පළමුවන විරෝධතාවය සඳහා වන උපායමාර්ගය වත් කල්තබා සැලසුම් කළ යුතුය. එහි සීමාසහිත අරමුණු කවරේද? තෝරාගත් ප්‍රධාන උපායමාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා එය උපකාරී වන්නේ කෙසේද? හැකිනම්  අවම වශයෙන් දෙවන සහ තුන්වන විරෝධතාවයන් සඳහා වන උපාය මාර්ගයන්හි දළ සටහන වත් නිම කිරීම ප්‍රඥා වන්ත වේ. මෙම සියළු උපායමාර්ගයන් තෝරාගත් ප්‍රධාන උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා විය යුතු අතර ප්‍රධාන උපාය මාර්ගයේ සාමාන්‍ය නිර්දේශයන් තුළ ක්‍රියාත්මක විය යුතුය.
සංකේතාත්මක අභියෝගය
ඒකාධිපතිත්වයක් බිඳ දැමීම සඳහා වන ව්‍යාපාරයක  ආරම්භයේදී පළමු නිශ්චිත දේශපාලන ක්‍රියාවන් ගේ විෂයපථය සීමාසහිත විය යුතුය. ඒවා සැලසුම් කල යුත්තේ ජනතාවගේ මනෝභාවය හඳුනා ගැනීමට, එයට බලපෑම් කිරීමට සහ සහයෝගය නොදැක්වීම හා දේශපාලන විරෝධතා ව්‍යාපාර හරහා වන දීර්ඝ කාලින අරගලයකට ජනතාව සුදානම් කිරීමටත් ය.
පළමු ක්‍රියාව සංකේතාත්මක විරෝධතාවයක් එසේ නොමැතිනම්  තාවකාලික හෝ සීමාසහිත සහයෝගය නොදැක්වීමේ සංකේතාත්මක ක්‍රියාවක් විය හැක.  සහභාගී වීමට කැමති පිරිස කුඩා නම් ප්‍රථම ක්‍රියාව සංකේතාත්මක වැදගත් කමක් ඇති ස්ථානයකට කෙරෙන පුෂ්පෝපහාරයක් විය හැක. අනෙක් අතට සහභාගී වීමට කැමති පිරිස විශාල නම් විනාඩි පහකට සියළු ක්‍රියාවන් නැවැත්වීම හෝ විනාඩි ගණනාවක නිශ්ශබ්ද තාවයක් ඇතිකිරීම හෝ කළ හැක. අනෙක් අවස්ථා වලදී කිහිප දෙනෙකු විසින් උපවාසයක් කිරීම, සංකේතාත්මක වැදගත් කමක් ඇති ස්ථානයක් රාත්‍රී මුර කිරීම, සිසුන්ගේ කෙටි පන්ති වර්ජන හෝ වැදගත් කාර්යාලයක තාවකාලිකව පිරිස් වශයෙන් රැස්ව හිඳ විරෝධතාවය දැක්වීම කළ හැක. මෙම වඩාත් ආක්‍රමණශීලි ක්‍රියාවන්ට ඒකාධිපතිත්වයක් යටතේ බොහෝ විට රළු මැඩපැවැත්වීම් වලට මුහුණ දීමට සිදුවිය හැක. 
ඒකාධිපතියාගේ මාළිගය හෝ දේශපාලන පොලීසියේ මූලස්ථානය ඉදිරිපිට වාඩිලා ගෙන සිටීම වැනි සංකේතාත්මක ක්‍රියා වඩාත් අනතුරුදායක බැවින් විරෝධතාවයක් ආරම්භ කිරීමට යෝග්‍ය නොවේ.
බුරුමයේ 1988 දී ඇතිවූ මහා විදි පෙළපාලි හෝ 1989 දී බිජිං හි තියන් ආන් මෙන් චතුරශ්‍රය සිසුන් විසින් අත්පත් කර ගෙන උපවාස කිරීම වැනි  පළමු සංකේතාත්මක විරෝධතාවයන් මගින් සමහර අවස්ථා වලදී මහා පරිමාණයේ ජාතික සහ ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබේ. අතිවිශාල චිත්ත ධෛර්යයක් සහ මානසික බලපෑමක් ඇතිකිරීමට සමත් වුවද තනිකරම මෙම ක්‍රියාවන් මගින් ඒකාධිපතිත්වයක් බිඳ දැමීම පහසු නොවේ. මක්නිසාද යත් ඒවා සංකේතාත්මක ක්‍රියාවන් වශයෙන්ම පවතින අතර ඒකාධිපතින්ගේ බලයේ ස්වරූපය ඒ මගින් වෙනස් නොවන බැවිනි.
අරගලය ආරම්භයේ දීම ඒකාධිපතින්ට ඔවුන්ගේ බලයේ මූලයන් ගේ ප්‍රයෝජනය ලැබීම වැළැක්වීම සාමාන්‍යයෙන් කළ නොහැක. ඒ සඳහා සමස්ත රෙජිමයම ප්‍රතික්ෂේප කිරීමටද   මහා පරිමාණ සහ ප්‍රබල සහයෝගය නොදීමේ ව්‍යාපාර මගින් ඒකාධිපතිත්වය තර්ජනයට ලක් කිරීමට ද මිට පෙර ඒකාධිපතින්ට බොහෝ සෙයින් අවනත වූ සමස්ත ජනගහනයේ සහ සමාජයේ ඇති සියළුම ආයතන වල පාහේ  සහයෝගය අවශ්‍ය වේ. එය තවමත් ඇතිවී නොමැති අතර එය සාක්ෂාත් කර ගැනීම වඩාත් අපහසු වේ. එබැවින් බොහෝ අවස්ථා වලදී    සහයෝගය නොදීමේ සමස්ත එමෙන්ම ක්ෂණික විරෝධතා ව්‍යාපාරයක යෙදීම ඒකාධිපතිත්වයකට එරෙහි පළමු විරෝධතාවයක්  වශයෙන් ඉටුකර ගත නොහැකි උපාය මාර්ගයක් වේ.

වගකීම විහිදුවා හැරීම
තෝරාගත් අරගල ව්‍යාපාරයකදී අරගලයේ බර සාමාන්‍යයෙන් දරාගනු ලබන්නේ ජනතාවගෙන් එක් කොටසක් හෝ කොටස් කිහිපයකි. වෙනත් අරමුණක් උදෙසා පසුව කෙරෙන අරගල ව්‍යාපාරයක බර ජනතාවගේ තවත්  කොටසක් වෙත පවරනු ලැබිය හැකිය. උදාහරණයක් වශයෙන් ශිෂ්‍යයන් අධ්‍යාපනික අරමුණක් උදෙසා වර්ජනයක් කරනු ඇත; ආගමික නායකයන් සහ බැතිමතුන් ආගමික ආරවුලකින් නිදහස්වීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත; දුම්රිය කම්කරුවන් දුම්රිය ප්‍රවාහනය මන්දගාමී කිරීමේ අරමුණින් ආරක්ෂක විධිවිධාන කෙරෙහි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සැලකිලිමත් වනු ඇත; වාරණය කරනු ලැබූ ප්‍රවෘත්ති පළවිය යුතුව තිබූ ස්ථාන හිස්ව තැබීම මගින් පුවත්පත් කලාවේදීන් විසින් නිසි බලධාරීන් වෙත අභියෝගයක් එල්ල කරනු ඇත; එසේ නොමැති නම් අවශ්‍ය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයේ සාමාජිකයන් සිටින තැන් දැනගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම අසමත් වනු ඇත. විවිධ ප්‍රස්තුත ගැටළු සහ ජනතා කොටස් මත අරගල ව්‍යාපාර විවිධ අදියර වලට බෙදීම මගින් අරගලය දිගටම ඉදිරියට යන අතරතුර සමහර ජනතා කොටස් වලට විවේක ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.
මිට ඉහතදී කෙටියෙන් සාකච්ඡා කළ පරිදි ඒකාධිපතින්ගේ පාලනයෙන් පිටත සිටින ස්වාධින සමාජයීය ආර්ථික සහ දේශපාලන කණ්ඩායම් සහ ආයතන වල පැවැත්ම සහ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා තෝරාගත් අරගල වල දීම බොහෝසෙයින්ම වැදගත් වේ. මෙම බල මධ්‍යස්ථාන මගින් ඒකාධිපති පාලනයකට බලපෑම් කිරීම සහ ඊට එරෙහි වීම සඳහා ජනතාවට ආයතනික පදනමක් සපයනු ලැබේ. අරගලයේදී ඔවුන් ඒකාධිපතින්ගේ පළමු ඉලක්ක වීමට ඉඩ තිබේ.
ඒකාධිපතින්ගේ බලය ඉලක්ක කිරීම
දීර්ඝ කාලින අරගලය මූලික උපායමාර්ග වලින් ඔබ්බට ගොස් වඩාත් අපේක්ෂා සහිත ඉහළ මට්ටමේ අදියර වලට ප්‍රවේශ වන විට ඒකාධිපතින්ගේ බලයේ ප්‍රභවයන් තව දුරටත් සිමා කළ හැක්කේ කෙසේදැයි උපාය මාර්ගික සැලසුම්කරුවන් විසින් ගණනය කළ යුතුය. ඉලක්කය විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට වඩාත් වාසි සහගත වන උපායමාර්ගික තත්ත්වයක් ඇති කිරීම සඳහා සහයෝගය නොදීමේ ජනප්‍රිය ක්‍රියාමාර්ගයන් යොදා ගැනීමයි.  
ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා බලවේගයන් අනුක්‍රමයෙන් ප්‍රබල වන විට වැඩිවන දේශපාලන අක්‍රියතාවයක් ඇතිකිරීම සහ අවසානයේදී ඒකාධිපතිත්වය බිඳ දැමීම අරමුණු කරගෙන උපායමාර්ගික සැලසුම් කරුවන් විසින් ඒකාධිපතින්ගේ බලයේ ප්‍රභවයන් සිඳී යනසේ වඩාත් අපේක්ෂා සහිත සහයෝගය නොදීම් සහ විරෝධතාවයන් සැලසුම් කළ යුතුය.
ජනතාව සහ විවිධ කණ්ඩායම් මිට කලින් ඒකාධිපතින් වෙත දක්වන ලද සහයෝගය ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් දුර්වල කළ හැක්කේ කෙසේදැයි සුපරික්ෂාකාරිව සැලසුම් කිරීම අවශ්‍ය වේ. ඔවුන්ගේ සහයෝගය දුර්වල කළ හැක්කේ පාලන රෙජීමය විසින් කර ඇති කෘර කම් හෙළිදරවු කිරීමෙන්ද;  ඒකාධිපතින්ගේ ප්‍රතිපත්ති මගින් ඇතිවන විනාශකාරී ආර්ථික ප්‍රතිවිපාක අනාවරණය කිරීමෙන්ද; එසේ නැතහොත් ඒකාධිපතිත්වය අවසන් කළ හැකැයි වන නව අවබෝධය හේතුවෙන්ද?  ඒකාධිපතින්ගේ ආධාරකරුවන් යටත් පිරිසෙයින් ක්‍රියාකාරී වශයෙන්  මධ්‍යස්ථ තත්ත්වයෙන් (වැට උඩ  සිටින්නන්) තබා ගත යුතුය. නැතහොත් වඩාත් ප්‍රශස්ත වන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ක්‍රියාශීලි ආධාරකරුවන් බවට පත් කිරීමයි.
දේශපාලන විරෝධතා ව්‍යාපාර සහ සහයෝගය නොදීමේ ව්‍යාපාර සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඒකාධිපතින්ගේ ප්‍රධාන ආධාරකරුවන් සහ පුද්ගලික සහායකයන් කෙරෙහි මනා අවධානයක් තබා ගැනීම ඉතාමත් වැදගත් වේ. මොවුන්ට ඒකාධිපතින්ගේ අභ්‍යන්තර කල්ලි, දේශපාලන පක්ෂය, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් සහ විශේෂයෙන්ම යුද්ධ හමුදාව ඇතුළත් වේ.
සන්නද්ධ හමුදාවන්ගේ එනම් නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ ඒකාධිපතිත්වය වෙත වන අවනත භාවයේ මට්ටම සුපරික්ෂාකාරිව තක්සේරු කළ යුතුය. එමෙන්ම සන්නද්ධ හමුදාවන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ බලපෑමට විවෘත ද යන්නද  තීරණය කළ යුතුය. බොහෝ සාමාන්‍ය සොල්දාදුවන් අසතුටෙන් සිටින, බිය ගන්වන ලද, බලයෙන් හමුදාවට බඳවා ගනු ලැබූ අය විය හැක? බොහෝ සොල්දාදුවන් සහ නිලධාරීන් පුද්ගලික, සිය වර්ගය හෝ පවුල සම්බන්ධ නැතහොත් දේශපාලනික හේතු මත පාලන රෙජීමයෙන් ඈත් වූ අය විය හැක? සොල්දාදුවන් සහ නිලධාරීන් ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියකට නැඹුරු කළ හැකි වෙනත් සාධක කවරේද?
ඒකාධිපතින්ගේ හමුදාවන් සහ අන්තේවාසිකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ විශේෂ උපාය මාර්ගයක් විමුක්ති අරගලය ආරම්භයේදීම ගොඩ නගා ගත යුතුය. වචන, සංකේත සහ ක්‍රියාවන් මගින් මෙය ශක්තිමත්, අධිෂ්ඨාන සහගත සහ නොනැවතී ඉදිරියට යන විමුක්ති අරගලයක් බව ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් ඒකාධිපතින්ගේ හමුදාවන් වෙත දැනුම් දිය හැක. අරගලය ඒකාධිපතිත්වය බිඳ දැමීම අරමුණු කරගත් විශේෂ ගුණාංගයන්ගෙන් යුතු වුවක් විනා සිය ජිවිත වලට තර්ජනය කරන්නක් නොවන බව හමුදාවන් විසින් අවබෝධ කර ගත යුතුය. එවැනි උත්සාහයන් අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ ඒකාධිපතින්ගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්ය බිඳ දැමීම සහ ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහ අවනතභාවය ප්‍රජාතන්තවාදී ව්‍යාපාරය වෙත දිනා ගැනීමයි. මෙවැනි උපාය මාර්ග පොලිසිය සහ සිවිල් නිලධාරීන් වෙතද ඉලක්ක කල හැක.
ඒකාධිපතින්ගේ හමුදාවන්ගේ අනුකම්පාව ලබාගැනීමට සහ අවසානයේදී ඔවුන් ඒකාධිපතින් වෙත පක්ෂපාති නොවීම සඳහා පෙළඹවීමට කෙරෙන උත්සාහයන් මිලිටරි ක්‍රියාන්විතයක් හරහා පවතින ඒකාධිපතිත්වයේ ඉක්මන් අවසානයක් දැකීමට ඒකාධිපතින්ගේ හමුදාවන් දිරිමත් කිරීමක් ලෙස වරදවා අර්ථ නිරුපනය නොකළ යුතුය. මෙවැනි තත්ත්වයක් බොහෝවිට ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත නොකරයි. මක්නිසාද යත් අප විසින් සාකච්ඡා කළ පරිදි පාලකයන් සහ ජනතාව අතර වන බල සම්බන්ධතාවයන්ගේ අසමතුලිත තාවයට  කුමන්ත්‍රණයක් මගින් කළ හැකි පිළියම ඉතාමත්  සීමාසහිත වන බැවිනි. එබැවින් ඒකාධිපතින්ට එරෙහි හමුදා කුමන්ත්‍රණයක් හෝ සිවිල් යුද්ධයක් අනවශ්‍ය බව සහ අභිමත නොවන බව අනුකම්පා සහගත හමුදා නිලධාරීන්ට ඒත්තු ගන්වන්නේ කෙසේදැයි සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ.
අනුකම්පා සහගත හමුදා නිලධාරීන්ට ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේදී වටිනා කාර්ය භාරයක් ඉටු කළ හැක. උදාහරණයක් වශයෙන් හමුදාව තුළ විසම්බන්ධය සහ සහයෝගය නොදැක්වීම පතුරුවා හරිම ද , ඕනෑකමින් ඇති කෙරෙන අකාර්යක්ෂමතාවයන් ද  හමුදා නියෝග නිසොල්මනේ නොතකා හැරීම් ද  දිරිමත් කිරීම සහ මර්දනය ප්‍රතික්ෂේප කිරීමට සහයෝගය දැක්වීම ද  සඳහන් කළ හැක. හමුදාවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය වෙත  ප්‍රචණ්ඩකාරී නොවන අනුග්‍රහයන් ද පිරිනැමිය හැක. උදාහරණ වශයෙන් ආරක්ෂාකාරී ලෙස ඉවත්ව යාම, තොරතුරු, ආහාර , වෛද්‍ය ආධාර ලබාදීම දැක්විය හැක.
හමුදාව යනු ඒකාධිපතින්ගේ වඩාත්ම වැදගත් බලයේ ප්‍රභවයන්ගෙන් එකකි. එසේ වන්නේ තමන්ට අවනත නොවන ජනතාවට දඬුවම් කිරීමට සහ පහර දීමට ඔවුන්ගේ හික්මවනු ලැබූ  හමුදා ඛණ්ඩ සහ ආයුධ හමුදාව විසින් පාවිච්චි කරනු ලැබිය හැකි බැවිනි. පොලිසිය, නිලධාරී තන්ත්‍රය සහ හමුදාව ඒකාධිපතිත්වයට සම්පූර්ණ සහයෝගය දක්වන්නේ නම් සහ ඒකාධිපතිත්වයේ නියෝග නොවළහා ඉටු කරන්නේ නම් ඒකාධිපතිත්වය බිඳ දැමීම අසාමාන්‍ය ලෙස අපහසු හෝ කළ නොහැකි දෙයක් වන බව ආරක්ෂක උපායමාර්ග සැලසුම්කරුවන් විසින් මතක තබාගත යුතුය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ග සැලසුම්කරුවන් විසින් ඒකාධිපතින්ගේ හමුදාවන්ගේ අවනත භාවය පැහැර ගැනීමේ උපාය මාර්ග කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතුය.
හමුදාවන් සහ පොලිසිය තුළ විසම්බන්ධය සහ අවනත නොවීම ඇතිවීම ඒවායේ සාමාජිකයන්ට බලවත් සේ අනතුරුදායක බව ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් විසින් මතක තබාගත යුතුය. අවනත නොවීම හෝ කැරලි ගැසීම හෝ සම්බන්ධ මොනයම් ක්‍රියාවක් මගින් බරපතල දඬුවම් සොල්දාදුවන්ට හෝ පොලිස් නිලධාරීන්ට බලාපොරොත්තු විය හැක. ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් සොල්දාදුවන් සහ ඔවුන්ගේ නිලධාරීන්ගෙන්  ඉක්මන් කැරලි ගැසීමක් ඉල්ලා නොසිටිය යුතුය. එසේ නොමැතිව, අදහස් හුවමාරුවට ඉඩ තිබේ නම්, මුල් අවස්ථාවේදී පාවිච්චි කළ හැකි සාපේක්ෂව ආරක්ෂාකාරී “වෙස්වළා ගත් අවනත නොවීමේ”  ක්‍රමවේද විශාල සංඛ්‍යාවක් තිබෙන බව ඔවුන්ට පැහැදිලි කළ යුතුය. උදාහරණයක් වශයෙන් පොලිසිය සහ හමුදාව විසින් මර්දනය සඳහා වන උපදෙස් අකාර්යක්ෂම ලෙසින් ක්‍රියාත්මක කළ හැක; අවශ්‍ය පුද්ගලයන් අල්ලා ගැනීම අතපසු කළ හැක; අරගලකරුවන්ට ඉදිරියේදී එන මර්දනය, අත් අඩංගුවට ගැනීම් සහ පිටුවල් කිරීම් ගැන අනතුරු හැඟවිය හැක; අත්‍යවශ්‍ය තොරතුරු ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට අසමත් විය හැක.   අනතුරුව කලකිරුණු නිලධාරීන් විසින් බල අධිකාරියේ පහළට එන මර්දනය සඳහා වන නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ඇත. සොල්දාදුවන් විසින් පෙළපාළි කරුවන්ගේ හිස් වලට ඉහළින් වෙඩි තබනු ඇත. එමෙන්ම සිවිල් සේවකයන්ගේ ලිපිගොනු සහ උපදෙස් අස්ථාන ගත වනු ඇති අතර ඔවුන් අකාර්යක්ෂම ලෙස රාජකාරි කරනු ඇත. ඔවුන් “අසනීප” වනු ඇත. එවිට තමන් නැවත  “සනීප” වන තෙක් නිවෙස් වල සිටීමට ඔවුන්ට හැකි වනු ඇත.
උපාය මාර්ගය වෙනස් වීම
දේශපාලන විරෝධතා ව්‍යාපාරවල උපායමාර්ග සැලසුම් කරුවන් විසින් ප්‍රධාන උපාය මාර්ගය සහ නිශ්චිත අරගල ව්‍යාපාර උපායමාර්ග ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි නිරන්තරයෙන්ම තක්සේරු කළ යුතුය. උදාහරණයක් වශයෙන් අරගලය බලාපොරොත්තු වූ ලෙස ඉදිරියට නොයාමට ඉඩ තිබේ. එවිට උපාය මාර්ගයේ කවර වෙනසක්  කළ යුතුදැයි ගණනය කිරීම අවශ්‍යවේ.  ව්‍යාපාරයේ ශක්තිය වැඩි කිරීමට සහ ක්‍රියාවන් ආරම්භ කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීමට කුමක් කළ යුතුද? එවැනි අවස්ථා වලදී ප්‍රශ්ණය හඳුනාගැනීම ද,  උපාය මාර්ගිකව නැවත තක්සේරුවක්  කිරීමද අරගලයේ වගකීම සමහර විට වෙනත් කණ්ඩායමක් වෙත පැවරීමද, අමතර බල ප්‍රභවයන් ඒකරාශී කිරීමද, විකල්ප ක්‍රියාමාර්ග ඇති කිරීමද   අවශ්‍ය වේ. එය අවසන්වූ පසුව නව සැලසුම වහාම ක්‍රියාත්මක කළ යුතුය.
එයට ප්‍රතිවිරුද්ධව අරගලය බලාපොරොත්තු වූවා ට වඩා ඉදිරියට ගොස් ඇත්නම් සහ ඒකාධිපතිත්වය බලාපොරොත්තු වූවා ට වඩා ඉක්මනින් බිඳ වැටෙමින් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් අනපේක්ෂිත ප්‍රතිලාභයන්ගේ වාසි ලබාගෙන ඒකාධිපතිත්වය අකර්මන්‍ය කරන්නේ කෙසේද? මෙම ප්‍රශ්ණයට පිළිතුරු ඊළඟ පරිච්ඡේදයේ දී  සාකච්ඡා කරමු.

No comments:

Post a Comment