Wednesday, January 2, 2019

published in samabima තොරතුරු දැන ගැනීමේ පනත


හර්ෂ ගුණසේන
වසර 20 ක් පමණ භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කර ඇති ඇමරිකන් ජාතික විල් ෆෙරෝජියාරෝ සමඟ මෙරට තොරතුරු දැනගැනීමේ පනත සහ ඒ සම්බන්ධ ලොව පුරා  ඔහුගේ අත්දැකීම් ගැන සාකච්ඡා කිරීමට මෑතකදී මට අවස්ථාවක් ලැබුණි. තොරතුරු දැන ගැනීමේ අයිතිය සමබන්ධව ඉන්දියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔහු කටයුතු කර ඇත. 
ඔහු පළමුවෙන්ම සඳහන් කළේ 1966 දී සම්මත කළ එක්සත් ජනපද පනත ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වැය වන මුදලේ ඇස්තමේන්තුවට වඩා විශාල ප්‍රමාණයක් වියදම් කිරීමට සිදුවූ බවත්   එක්සත් ජනපදයේ පනත ක්‍රියාත්මක වූයේ එය සම්මත කර වසරකින් පසුව වුවත් ශ්‍රී ලංකාවේ පනත සම්මත කර මාස 6 කින් ක්‍රියාත්මක කිරීම පමණට වඩා අපේක්ෂා සහගත වීමක් බවත්ය. 
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී  තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව ජනතාවට අවශ්‍ය තොරතුරු කලට වේලාවට ලබාදීමට ආණ්ඩුවට විශාල වියදමක් දරන්නට සිදුවන බැවින් එය සාධාරණීකරණය කළ හැකිදැයි යන පැනයට පිළිතුර වශයෙන්  ඔහු කියා සිටියේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවන බවයි. ජනතාවට ආණ්ඩුවේ කටයුතු සමඟ සම්බන්ධවීමට අවස්ථාවක් සලසා දී ඇති අතර මෙම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව සිය කටයුතු පිලිබඳ සුජාත භාවයක් ලබාගනු ඇත.
පනතේ 8 වන ඡේදය අනුව සෑම ඇමැතිවරයකුම සෑම වසරකම ජුනි 30 දිනට සහ දෙසැම්බර් 31 දිනට පෙර සිය අමාත්‍යංශයේ කටයුතු, ක්‍රියාකාරකම්, වගකීම් සහ තවත් නොයෙකුත් තොරතුරු  පිලිබඳ වාර්තාවක් ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය. මේ පිළිබඳව ප්‍රසංශා කරමින් ෆෙරෝජියාරෝ පැවසුවේ මෙය  ජනතාව තොරතුරු ඉල්ලීමටත්  පෙර ඒවා ලබාදෙන ඉතාමත් ඉදිරිගාමී ක්‍රියාවක් බවය.
මෙරට ජනවාර්ගික සහ ආගමික සංහිඳියාව උදෙසා කුමන මට්ටමකින් තොරතුරු දැනගැනීමේ පනත දායක වේ දැයි ඇසූ පැනයට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ පනතේ ප්‍රතිපාදන අනුව බොහෝ තොරතුරු ජනතාවට විවෘත වන බැවින් බොහෝ අවස්ථා වලදී ජනවාර්ගික හා ආගමික සංහිඳියාව ට එරෙහිව මිථ්‍යා මත පැතිරවීමේ අවකාශය හීන වන බවයි. මෙවැනි ප්‍රශ්ණ වල සංකීර්ණ තාවයට නිදසුනක් වශයෙන් 1989 දී චීනයේ තියන් ආන් මෙන් චතුරශ්‍රයේ සිදුවූ ඝාතන වලට අවශ්‍ය පමණ විරෝධය පෑමට එක්සත් ජනපදයට නොහැකි වූයේ එවකට එක්සත් ජනපදය උතුරු කොරියාව සම්බන්ධයෙන් චීනයේ බලපෑම සහ චීනය සමඟ ඇති වෙළෙඳ සම්බන්ධතා ගැන වඩාත් සැලකිලිමත් වූ නිසා බව ඔහු කීය.  මේ තොරතුරු එක්සත් ජනපද තොරතුරු දැනගැනීමේ පනත හරහා ජනතාවට ලැබුන බවද ඔහු කීය. ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයද ඒ හා සමානව සංකීර්ණ බව මා කී විට ඒ සම්බන්ධ ජනතා විවාදයට තොරතුරු සහ දත්ත එන්නත් කිරීමට තොරතුරු දැනගැනීමේ පනතට හැකියාවක් තිබෙන බව ඔහු කීය. එක් ජනවර්ගයකට ආණ්ඩුව පක්ෂ බවට මතයක් ඇතිවිට දත්ත මගින් මෙම තත්ත්වය පැහැදිලි කරනු ඇත. මක්නිසාද යත් දත්ත එක්කෝ එම මතය සනාථ කරනු ඇත. එසේ නොමැති නම් එය නිශේධ කරනු ඇත. එබැවින් තොරතුරු දැන ගැනීමේ පනත  නොයෙක් ආකාරයෙන් පාවිච්චි කළ හැකි උපකරණයකි.
විකිලික්ස් මගින් කරණ තොරතුරු මුදා හැරීම සහ එඩ්වඩ් ස්නෝඩන් ගේ ක්‍රියා කලාපය පිලිබඳ විමසීමේදී ඒවා නීති විරෝධී මුදා හැරීම් බවත් එනමුත් ඒ මගින් එක්සත් ජනපද රජය විසින් බොහෝ තොරතුරු රහසිගතව තබාගෙන සිටින බව හෙළිවන බැවින් එය පවතින ක්‍රමයේ දුර්වලතාවයක් බවත් ඔහු කීය. සිතල යුද සමයෙන් පසුව ජාතික ආරක්ෂාවට අදාළව කවර තොරතුරු රහසිගතව තබාගත යුතුදැයි නිසි විමර්ශනයක් රජය විසින් සිදුකර නොමැති බවත් ඔහු කීය.
ඇමරිකන් සිවිල් සමාජයේ බලපෑම උඩ ක්ලින්ටන් සහ ඔබාමා යන ජනාධිපතිවරු චිලි රටේ සත්‍ය සහ සංහිඳියා කොමිසමට සහයෝගය පිණිස එරටට විශේෂයෙන් පිනෝචේ යුගයට සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික සහ මිලිටරි තොරතුරු මුදා හැරිය බව   ෆෙරෝජියාරෝ සඳහන් කළේය.  
2003 දී ඇතිවූ ඉරාක යුද්ධය ගැන සඳහන් කරමින් සි අයි ඒ සංවිධානය ජන ඝාතක අවි ඉරාකයේ තිබෙන බව කී නමුත් සැබවින්ම ඒවා නොතිබුණු බව හෙළිවූ නිසා එම සංවිධානයට තිබුණු විශ්වසනීයත්වය බිඳ වැටුණු බව කීය. දැන් එම සංවිධානය උතුරු කොරියාවේ එම අවි තිබෙන බව කියන නමුත් සැබවින්ම එය සත්‍ය විය හැකි වුවත් එය පිළිගනිම ප්‍රශ්නයක් වී ඇති බව සඳහන් කළේය. එබැවින් හැකිතරම් තොරතුරු ජනතා විවාද වලට සැපයීම ප්‍රතිඵල දායක බව ඔහුගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය රීති මත පදනම් නොවන බවත් උදාහරණයක් වශයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් ප්‍රතිපාදන තවමත් ක්‍රියාත්මක නොවන බවත් එමෙන්ම වත්කම් හෙළිකිරීමේ පනතට අනුව වත්කම් හෙළිකිරීම් සිදු නොකරන බවත් එබැවින් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක වේ දැයි සැකයක් ඇති බවත් මම කිමි.
ඊට පිළිතුරු වශයෙන් එය සංස්කෘතික ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව ඔහු කීය. නිදර්ශනයක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයන් වත්කම් හෙළිකිරීමේ චාරිත්‍රය නොසලකා ඩොනල්ඩ් ට්‍රුම්ප් සිය වත්කම් හෙළි නොකළ බවද  එබැවින් දැන් කොන්ග්‍රසය එය නීතිගත කිරීමට කටයුතු යොදන බවද කියා සිටියේය. එමෙන්ම සි අයි ඒ සංවිධානය ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම් වල වීඩියෝ පට නීති විරෝධිව විනාශ කළ බවද සඳහන් කළේය.
තොරතුරු දැනගැනීමේ පනත මගින් යමෙක් නිත්‍යානුකුලව කටයුතු නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්ණ කළ හැකි බැවින් තොරතුරු දැනගැනීමේ පනත මෙවලමක් ලෙස පාවිච්චි කරමින් ශ්‍රී ලංකාව තුළ රීති මත පදනම් වන එමෙන්ම වගවන සංස්කෘතියක් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම පනතේ ප්‍රතිලාභ ලබා ගැනීමට යම් කාලයක් ගත වනු ඇති නොවේදැයි මම ප්‍රශ්ණ කලෙමි. පිළිතුරු වශයෙන් ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් ලැබෙන බව ඔහු කීය. එය පාවිච්චි කිරීමට ජනතාවට අයිතිය ඇත. තොරතුරු බලයේ ප්‍රභවයකි. තොරතුරු ඇති තැනැත්තා ට බලය තිබේ. ආණ්ඩුව තාවකාලිකව ජනතාව වෙනුවන් රටේ පාලනය සඳහා එම තොරතුරු තබාගෙන සිටී. එනමුත් පරමාධිපත්‍යය ජනතාව සතුවන බැවින් අවසාන විග්‍රහයේදී තොරතුරු ජනතාව සතුය. එබැවින් බලයේ විතැන් වීමක් සිදුවිය යුතුය. ජනතාව විසින් ආණ්ඩුවට බලය දී ඇත්තේ විශ්වාසය පදනම්වය. ජනතාව ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් විය යුතු අතර ඒවා පාවිච්චි කළ යුතුය. එබැවින් තොරතුරු දැන ගැනීමේ පනත බලධාරීන්ගේ වගවීම ඉහළ නැංවීමේ මෙවලමකි.
ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනතට අදාලව ලෝකයෙන් හොඳ ව්‍යවහාරයන් ඉගෙන ගෙන ඒවා පනතට ඇතුළත් කර ඇත. එබැවින් ඉදිරියේදී සිය අත්දැකීම් ලෝකය සමඟ බෙදාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබෙන බව අවසාන වශයෙන් විල් ෆෙරෝජියාරෝ පෙන්වා දුන්නේය.

 



No comments:

Post a Comment