Wednesday, January 2, 2019

රටේ ආර්ථිකය 3 ඒකාධිපති වෙළෙඳපොළ ආර්ථිකය


ඒකාධිපති වෙළෙඳපොළ ආර්ථිකය
හර්ෂ ගුණසේන
පසුගිය සති දෙකෙහි අප සාකච්ඡා කලේ රටක ආර්ථිකයට බලපාන සංස්කෘතිය සහ මහජන ආකල්ප පිලිබඳ කරුණුයි. පසුගියදා ෂන්ග්‍රීල්ලා හෝටලයේ පැවැත්වුන වියත් මග සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ සහ නාලක ගොඩහේවා කළ දේශන ඇසුරෙන් මතුවූ විවිධ ආර්ථික මොඩල පිළිබඳව මෙම සතියේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ කළ කථාව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර එය බොහෝසෙයින් විවේචනයටද ලක්විය. රටේ ආර්ථිකය ගැන ඔහුද නාලක ගොඩහේවා ද ඉදිරිපත් කළ කරුණු අතර සාධනීය අදහස් ද  පරස්පර විරෝධී අදහස් ද තිබුණි. රාජපක්ෂ සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් මෙරට ඇති කරණ බව සඳහන් කළේය. ගොඩහේවා එක රටක ආර්ථික ක්‍රමයක් තව රටකට නොගැලපෙන බවත් මෙරටට දේශීය ආර්ථික ක්‍රමයක් අවශ්‍ය බවත්  කීය. රාජපක්ෂ රාජ්‍යය විසින් ව්‍යාපාර වල කරණ ආයෝජන වලින්ද ලාභ ලැබිය යුතු බව කී අතර ගොඩහේවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විවේචනය කරමින් ඔවුන් පාඩු ලබන රාජ්‍ය ආයතන වසා  දැමීමට කියන බවත් ඔවුන් කියන ආකාරයට රටවල් දියුණු කළ නොහැකි බවත් කීය. එයට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයේ ආදායම වැඩිකරගෙන වියදම අඩුකිරීමටත්  අයවැය පරතරය අඩුකිරීමටත් බදු වැඩිකිරීමටත් විනිමය අනුපාතය පාවීමට ඉඩහැරීමටත් යෝජනා කරණ බවත් ඒ අනුව දියුණු වූ රටවල් නොමැති බවත් කීය. අග්නිදිග ආසියාවේ රටවල් ගණනාවක් සඳහන් කළ ඔහු ඒවා දියුණු වුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව නොවන බවත් කීය.
රාජපක්ෂ සඳහන් කළ සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකය යනු  ඩෙන්ග් ෂියාඕ පින්ග් විසින් චීනයේ ඇති කරණ ලද ආර්ථික ප්‍රතිසංස්කරණ විග්‍රහ කිරීම සඳහා යොදන  යෙදුමයි. චීනයේ තිබෙන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ වෙළෙඳපොළ ආර්ථිකයක් තුලය.   කොමියුනිස්ට් ආණ්ඩුව යටතේ රටේ තිබුණ සියළුම ආයතන රාජ්‍ය ආයතන විය. පළමුවෙන් චීනයට වෙළෙඳපොළ ආර්ථිකය හඳුන්වාදෙන ලද අතර මෙම රාජ්‍ය ආයතන රාජ්‍යයේ  බලපෑමකින් තොරව වෙළෙඳපොළ අනුව හැසිරෙන්නට විය. ලාභ එම ආයතන වෙතම රැඳුනි. දැන්  චීනය අනුක්‍රමයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරමින් සිටී. මෙම පෞද්ගලීකරණයට විරුද්ධ මතවාදයක්ද චීනයේ තිබේ. ඔවුන්ගේ මතය අනුව රාජ්‍ය ආයතන කොමියුනිස්ට් පක්ෂය යටතේ තවදුරටත් තිබිය යුතු බවය. චීනය පිලිබඳ එක් විශේෂඥයකු ගේ (Yukon Huang- https://www.youtube.com/watch?v=XepCi0I_g6I) අදහස නම් චීනයේ දූෂණය එරට ආර්ථිකයට ප්‍රයෝජනවත් බවයි. මක්නිසාද යත් රාජ්‍ය නිලධාරීන් දුෂණයට යොමු වන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයේදී යි. ආයතන පෞද්ගලිකරණය රටේ ආර්ථිකයේ ප්‍රගමනයට හේතුවන දෙයකි.  දුෂණය වැඩි වන විට බොහෝ ආයතන පෞද්ගලිකරනයවී ආර්ථික වර්ධනය ඉහළ යයි. මෙයට ප්‍රතිවිරුද්ධව ඉන්දියාවේ දූෂණය ඇතිවන්නේ පෞද්ගලික අංශය විසින් රජයෙන් කරගත යුතු කාර්යයන් කර ගැනීම වෙනුවෙනි. ඒවා දුෂණයෙන් තොරව සිදුවුවහොත් එම ක්‍රියාවන් රටේ ආර්ථිකයේ ප්‍රගමනයට හේතුවකි. එබැවින් ඉන්දියාවේ දූෂණය රටේ ආර්ථික අවගමනයට හේතුවේ.මෙය ඉන්දියාවේ පමණක් නොව චීනය හැර වෙනත් රටකද විය හැකිය. එබැවින් චීන ආර්ථික ආකෘතිය වෙනත් රටවල පාවිච්චි කළ නොහැක.
මෙම තත්ත්වය චීනයට විශේෂිත වූ තත්ත්වයක් බැවින් එය ලංකාවට ආදේශ කළ හැක්කක් නොවේ. රාජපක්ෂට හිතැති දේශපාලනඥයන් ගණනාවක් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයන්ට පිළිතුරු දෙමින්,  රාජපක්ෂ සඳහන් කලේ සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකය බවත් එය එජාප ය අනුදත් සමාජ වෙළෙඳපොළ ආර්ථිකය නොවන බවත් අවධාරණය කළහ. චීනයට අවනත පුද්ගලයකු වන රාජපක්ෂ මෙම යෙදුම පාවිච්චි කලේ ආර්ථිකය පිළිබඳවම අදහස් කරගෙන නම් එයින් ඔහුගේ ආර්ථිකය පිලිබඳ වන නොගැඹුර ප්‍රකාශයට වේ. ඔහු අදහස් කලේ වඩාත් ශක්තිමත් රාජ්‍ය අංශයක් නම් චීනය ආපසු හරවන්නට උත්සාහ කරන්නේ එයයි. ශ්‍රී ලංකාවේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් බදු ගෙවන්නන් ගෙන් යැපෙන රාජ්‍ය  ව්‍යවසාය ඇත.  එනමුත් ඔහුගේ අරමුණ හුදු ආර්ථිකයම නොවිය හැකිය. බොහෝ විට ඔහුගේ අරමුණ විය හැක්කේ චීනයේ මෙන් තනි පක්ෂයක් සහ තනි නායකයෙක් සහිතව නොවූවත් පවතින ක්‍රමය තුළ  අධිකාරිවාදී පාලන තන්ත්‍රයක් සමඟ  පවතින නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ඉදිරියට ගෙනයාම විය හැකිය. එය රාජපක්ෂ නියෝජනය කරණ බලවේග වල අභිප්‍රාය ද වේ. කෙසේවෙතත් එය සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් නොවිය හැක. එය ඒකාධිපති වෙළෙඳපොළ ආර්ථිකයකි.
මෙහිදී ගොඩහේවා ඉදිරිපත් කළ අදහස එනම් එක රටක ආර්ථික ක්‍රමයක් තව රටකට නොගැලපෙන බව අර්ධ සත්‍යයකි. චීනය සම්බන්ධයෙන් නම් එය සම්පුර්ණ සත්‍යයකි. එකම ආර්ථික ක්‍රමය යම් යම් වෙනස්කම් සහිතව විවිධ රටවල ක්‍රියාත්මකවේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳව ගොඩහේවා ගේ මතය සාවද්‍යය. මෙවැනි දේශපාලන කථා අප කොතෙකුත් අසා ඇත. වරෙක විමල් විරවංශ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්ලග් එක ගලවන බව කීය. වියත් මග අපට යෝජනා කරන්නේ එය වියතුන්ගේ සභාවක් බවත් ගොඩහේවා ද ආර්ථිකය පිලිබඳ වියතකු බවත්ය. නමුත් එය පිළිගත නොහැකි බව ඔහුගේ කතාවෙන් ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිලිබඳ ප්‍රශ්නය මෙයයි. ඔවුන් ඉදිරිපත් කරණ යෝජනා වල කිසිම ප්‍රශ්නයක් නැත. ආර්ථික විද්‍යාඥයකුට එම යෝජනා වලට විශේෂයෙන් ගොඩහේවා සඳහන් කළ යෝජනා වලට විරුද්ධ වීමට කිසිම හේතුවක් නොමැත. ඒ පිළිබඳව ඉදිරි ලිපි වල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නය ඇත්තේ ඔවුන් යෝජනා කරණ දේ ස්වෛරී රටකට බලපාන ආකාරයයි. ඔවුන් ණය දීමට නම් රජයක අයවැය හිඟය අඩු කළ යුතු බව කියති. මෙය ඉදිරිපත් වන්නේ කොන්දේසියක් ආකාරයටයි. යම් පුද්ගලයෙක් සිය ආදායමට වඩා වියදම් කරන්නේ නම් ඔහුට/ඇයට ණය දීමට පෙර බැංකුවක් දෙවරක් සිතා නොබලන්නේද? මක්නිසාද යත් දෙන ණය ආපසු අය කරගත යුතු බැවිනි. රටක් ආර්ථික වශයෙන් බංකොලොත් වනවාට වෙනත් රටවල් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ කැමති නැත. හේතුව එහි බලපෑම සියල්ලන්ටම දැනෙන බැවිනි. මෙම කොන්දේසි දීර්ඝ කාලීනව රටකට යහපත්  වුවත්  කෙටි කාලීන අරමුණු ඇති දේශපාලනඥයෝ ඒවාට අකමැති වෙති. දියුණු වී ඇති බොහෝ රටවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ ස්වේච්ඡා වෙන්ම අනුගමනය කළෝ වෙති. 1997 දී ඇතිවූ ආසියානු මුල්‍ය අර්බුදයේදී මැලේසියාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය නොපිළිගත්තේ ඔවුන් ඉදිරිපත් කළ මැලේසියාවේ මුල්‍ය වෙළෙඳපොළ තවත් විවෘත කරණ ලෙස කළ ඉල්ලීම නිසායි. මැලේසියාව එය පිළිගත්තේ නම් ඔවුන්ගේ භූමිපුත්‍ර සංකල්පය අර්බුදයකට යනු ඇත. මෙම අර්බුදයේදී දකුණු කොරියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන අර්බුදයෙන් වඩාත් බැට කෑ රටවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගත්හ.
මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ 1977 දී එක්සත් ජාතික පක්ෂයයි.එයට පෙර පැවති 1970 සිට 1977 දක්වා කාලය සංවෘත ආර්ථිකයේත් සමස්ත ආර්ථිකයට රාජ්‍ය මැදහත් වීමේත් උච්චතම අවස්ථාව සනිටුහන් කළේය. එක්සත් ජාතික පක්ෂ පාලන යුග වලින් පසුව චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන බව ප්‍රකාශ කරමිනි. ඉන් පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ විවෘත ආර්ථිකයට ජාතික මුහුණුවරක් දීමට උත්සාහ කළේය. එක්සත් ජාතික පක්ෂය මෙවර බලයට පත්වීමට පෙර සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කථා කළේය. සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය ප්‍රථම වතාවට භාවිතාවේ යෙදුවේ 1949 දී බටහිර ජර්මනිය විසින් එහි චාන්සලර් කොන්රඩ් ඇඩිනෝර් යටතේය.
මෙම ආර්ථික ක්‍රමය නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයටත් සමාජවාදී එනම් මධ්‍යගතව පාලනය වන ආර්ථික ක්‍රමයටත් අතරමැද විකල්ප ක්‍රමයක් ලෙස හඳුන්වාදෙන ලදී. සමාජයේ ජිවත්වන පුරවැසියන්ගේ සමාජ සහ ආර්ථික සුබසාධනය තහවුරු කිරීම මෙම ආර්ථික ක්‍රමයේ මූලික අරමුණයි. මෙහි සමාජ යන වචනයේ තේරුම චීන ආර්ථික ක්‍රමයේ එන සමාජවාදී යන වචනයේ අරුතට සපුරා වෙනස්ය. මෙයින් අදහස් කරන්නේ සමාජයේ ජිවත්වන සියළු ආන්තික කොටස් වලට සමාන අවස්ථා සලසාදෙන විවෘත ආර්ථික ක්‍රමයකි. සරල උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැක. මේරටේ බදු අදායමෙන් 80% ක් පමණ වක්‍ර බදු වලින් එනම් එකතු කළ අගය මත බද්ද (වැට්) වැනි බදු වලින්ද 20% ඍජු  බදු වලින් එනම් අදායම් බද්ද වැනි බදු වලින් අය කරගනු ලබයි. වැට් වැනි බදු සියළුම භාණ්ඩ වලට අදාල වන බැවින් දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියල්ලන් විසින් එම බදු ගෙවිය යුතුය. අදායම් බදු ගෙවන්නේ පොහොසතුන් එනම් ගෙවීමට හැකියාව ඇති අය විසිනි. බොහෝ රටවල  වක්‍ර බදු / ඍජු බදු අනුපාතය 60% /40%   මට්ටමේ පවතී. වර්තමාන ආණ්ඩුවේ අරමුණ එම තත්ත්වයට ලඟා වීමයි. එනම් බදු ගෙවිය හැක්කන් ගෙන් බදු අයකර ගැනීමයි. මෑතකදී සම්මත කළ අදායම් බදු පනතේ එක් ප්‍රධාන අරමුණක් එයයි. මෙය සමාජ වෙළෙඳපොළ ආර්ථිකයයි.




No comments:

Post a Comment