රාජ්‍යයේ ස්වෛරීත්වය ආණ්ඩුවේ ස්වෛරීත්වය සහ ජනතා ස්වෛරීත්වය
මේ දිනවල ශ්‍රී ලංකා රජය විසින් ජී. එස්. පී. ප්ලස් සහනය ලබා ගැනීමට අයදුම් කිරීම සහ යුරෝපා සංගමය විසින් එය අනුමත කර යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත්වේ. ඒවායින් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය මේ මගින් අභියෝගයට ලක්වන බවයි. යුරෝපා සංගමය ජී. එස්. පී. ප්ලස් සහනය එනම් තීරුබදු වලින් තොරව මෙරට නිපදවන භාණ්ඩ යුරෝපා සංගමයේ රටවලට යැවීමේ සහනය නැවතත් මෙරටට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් 27ක් බලගැන්වීම අපේක්ෂා කරයි. මෙම සම්මුතීන් මගින් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, යහපාලනය, පරිසරය සහ ධරණීය සංවර්ධනය යන කරුණු ආවරණය වේ. දකුණු ආසියාවේ මේ සහනය ලබාගන්නේ පාකිස්ථානය පමණි. මෙම සම්මුතීන් ක්‍රියාත්මක කිරීම මගින් ආණ්ඩුව කරන්නේ ජනතාවගේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමයි.
යුරෝපා සංගමය 2005 දී ලංකාවට ජී. එස්. පී. ප්ලස් සහනය ලබාදුන් අතර 2010 දී එකඟ වූ සම්මුතීන් තුනක් කඩ කිරීම මත එම සහනය ඉවත් කරන ලදී.
ඔක්ස්ෆෝඞ් ශබ්ද කෝෂයේ පරමාධිපත්‍යය හෙවත් ස්වෛරීත්වය මෙසේ නිර්වචනය වේ. “රාජ්‍යයකට තම රාජ්‍යය හෝ වෙනත් රාජ්‍යයක් ආණ්ඩු කිරීමට ඇති බලයයි”
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ඡේදයේ මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. ඒ පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන ඡේදයේ ජනතාව විසින් මෙම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන පස් ආකාරයක් මෙසේ සඳහන් වේ. එනම් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින්ද විධායක බලය ජනාධිපතිවරයා මගින්ද අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා අධිකරණ ආයතන මගින්ද මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඡේදය මගින්ද ඡන්ද බලය විවිධ මැතිවරණ, ජනාධිපතිවරණ සහ ජනමත විචාරණ මගින්ද ක්‍රියාත්මක වේ.
එනම් පරමාධිපත්‍යය හෙවත් ස්වෛරීත්වය ජනතාවගේ වන අතර ආණ්ඩුව එහි තාවකාලික භාරකාරයෙකි. යුරෝපා සංගමය ශ්‍රී ලංකා ආණ්ඩුවට තමන් විසින් අත්සන් කළ සම්මුතීන් වලට ගරු කරන ලෙස කියා සිටින විට එය භාරකරුගේ ස්වෛරීත්වයට බලපෑමක් වන බව පෙනෙන්නට තිබේ. එනමුත් මෙම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේදී ස්වෛරිත්වයේ මූලික හිමිකරුවන් වන ජනතාවගේ ස්වෛරීත්වය ප්‍රතිෂ්ඨාපනය වේ. ජනතාවගේ ස්වෛරීත්වයේ භාරකාරීත්වය පවරාගත් ශ්‍රී ලංකික ආණ්ඩු විසින් දිගින් දිගටම ජනතාවගේ ස්වෛරීත්වය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇත. එබැවින් යුරෝපා සංගමය මෙම ක්‍රියාව මගින් ජනතාවගේ ස්වෛරීත්වය එම ස්වෛරීත්වයේ භාරකරුවන් වන ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ආරක්ෂා කර ගැනීමට උත්සහා දරමින් සිටී.
ජනතාවගේ ස්වෛරීත්වය රාජ්‍යයේ ස්වෛරීත්වයයි, ආණ්ඩුවේ ස්වෛරීත්වය නොවේ. මෙම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බලපෑම් කිරීම මගින් යුරෝපා සංගමය රාජ්‍යයේ මෙන්ම ජනතාවගේ ස්වෛරීත්වය ආරක්ෂා කරයි. මෙම ක්‍රියාවලියේදී ආණ්ඩුවේ ඇත්ත වශයෙන්ම නැති ස්වෛරීත්වයකට බාධා පැමිණෙන බව පෙනෙන්නට තිබේ. මෙම ක්‍රියාවලිය මගින් ජනතාවගේ ස්වෛරීත්වයේ භාරකරු වන ආණ්ඩුවට එම ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට බල කෙරෙන බැවින් මෙම ක්‍රියාවලියේදී ආණ්ඩුවට ස්වෛරීත්වය පිළිබඳ කිසිම හිමිකාරකමක් නොමැත. ආණ්ඩුව විසින් ජනතාවගේ ස්වෛරීත්වයට බාධා කිරීම ද්‍රෝහී ක්‍රියාවකි.යම්හෙයකින් යුරෝපා සංගමය ජී. එස්. පී. ප්ලස් සහනය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපෑමක් කළේ නම් එය ශ්‍රී ලංකා රාජ්‍යයේද ජනතාවගේද ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමකි.
මෙම කාරණයේ තවත් පැත්තක් තිබේ. මෙරට ව්‍යවස්ථාවේ ඇති සංවරණ සහ තුලන මගින් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික ආයතන එකිනෙකට එරෙහිව සමබර කර ඇත. එනම් වැඩි බලයක් එක් ආයතනයකට නොලැබීමට කටයුතු සලස්වා ඇත. යුරෝපා සංගමයේ මෙම ක්‍රියාව මගින් ව්‍යවස්ථාවට පිටතින් ජනතාවට වාසි සහගත වන සංවරණයක් හා තුලනයක් ක්‍රියාත්මක වේ.එබැවින් ජී. එස්. පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය කෙලෙසෙන්නේයැයි යමකු චෝදනා කරන්නේ නම් එය අසත්‍යයකි. ඇත්ත වශයෙන්ම ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සුරක්ෂිත වේ. මෙම ප්‍රකාශය සත්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ස්වකැමැත්තෙන් වහලුන් වී සිටින පිරිසක් නොමැති නම් පමණි.
වරලත් ගණකාධිකාරි හර්ෂ ගුණසේන මහතා විසින් 2017.01.29 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි.
No comments:
Post a Comment