Wednesday, January 2, 2019

ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාව - Sinhala published in samabima


හර්ෂ ගුණසේන
පවතින දේශපාලන වාතාවරණය තුළ රටට  අළුත් මාවතකට අවතීර්ණ වීමට ඉඩ ප්‍රස්ථාව තිබේ. ඒ සඳහා රටේ පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දේශපාලන වශයෙන් නොව ජාතික වශයෙන් අවධානය යොමු කිරීම සුදුසු යයි සිතමි.
රට ණය උගුලක හිරවී සිටින අතර එයට ප්‍රධාන හේතුව වන්නේ පැවති ආණ්ඩු දිගින් දිගටම පවත්වාගෙන ආ ආදායමට වැඩියෙන් වියදම් කිරීමේ ප්‍රතිපත්තිය හෙවත් හිඟ අයවැය යි. මෙය බරපතල තත්ත්වයකට පත්වූයේ ආර්ථික වශයෙන් ලාබදායි නොවන ව්‍යාපෘති සඳහා චීන රජයෙන් ලබාගත් වැඩි පොලී ණය නිසාය. ආණ්ඩුවේ බදු ආදායම පසුගිය යුගයේ අනුක්‍රමයෙන් අඩුවූයේ විශාල වශයෙන් ලබාදුන් බදු සහන නිසාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රිජු බදු වලට සාපේක්ෂව වක්‍ර බදු වල ප්‍රමාණය ඉහළ ගියේය. මෙම බදු සහන ලබාගත් පුද්ගලික අංශය රටේ සංවර්ධනය සඳහා ප්‍රමාණාත්මක දායකත්වයක් ලබා නොදුනි. අවසානයේ පොහොසතුන්ට වඩා දුප්පතුන් බදු ගෙවන තත්ත්වයක් ඇතිවිය. අපනයන අදායම විශාල වශයෙන් අඩුවූ අතර ආණ්ඩු වඩාත් බර තැබුවේ ආනයන ආදේශනය ටයි. පැවති ආණ්ඩු  රාජ්‍ය අංශය ප්‍රසාරණය කිරීමට උත්සාහ කළේ ඔවුන්ගේ ආධාරකරුවන්ට සහ  රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා දීම සඳහායි. ලාභ නොලබන පොදු ව්‍යාපාර පවත්වාගෙන යන්නේ දේශපාලන ජනප්‍රියතාවය උදෙසාය.  
වර්තමාන සභාග ආණ්ඩුව බලයට පැමිණියේ ජාතික සංහිඳියාව ඇති කිරීමට, නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට සහ රාජ්‍යය සඳහා කල් පවත්නා ප්‍රතිපත්ති ඇති කර ගැනීම සඳහා යි. ආණ්ඩුව එම මාවතේ සෙමෙන් ගමන් කලත් එම අරමුණු කිසිවත් සාක්ෂාත් කර ගැනීමට සමත් වූයේ නැත. එනමුත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් නැවත ඇති කිරීමේ පොරොන්දුව ඉෂ්ට කරණ ලදී. එනමුත් අධිකාරිවාදී ආණ්ඩුවක් යටතේ සිටි ජනතාවට මෙම ප්‍රජාත්නත්‍රවාදී වටපිටාව දැනුනේ අරාජිකත්වයක් ලෙසය. ආණ්ඩුව ඇත්ත වශයෙන්ම අරාජිකත්වයක් කරා ගමන් කිරීම ද සත්‍යයකි. දේශපාලනඥයන් සමඟ එකතුවී   ආණ්ඩුවේ නීති නිහීන ලෙස උල්ලංඝනය කළ රාජ්‍ය අංශය තමන්ට විරුද්ධව ආරම්භ කළ පරීක්ෂණ වලට බියෙන් හෝ විරුද්ධව හෝ අකර්මන්‍ය විය. බොහෝ බලාපොරොත්තු තැබූ විදේශ ආයෝජන  නොපැමිණිමට  ආණ්ඩුවේ ප්‍රතිපත්ති  අස්ථාවර වීමද හේතුවක්  විය.
එබැවින් මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුය.
පළමුවෙන් මෙරට ජාතික සංහිඳියාව ඇතිකර එක් ශ්‍රී ලාංකික ජාතියක් ඇති කිරීමට පියවර ගත යුතුය. ජනතාව විසින් තෝරාගත් ආණ්ඩු වලට එරෙහි  සන්නද්ධ අරගල තුනකට අප මුහුණපා තිබේ. ඒවාට හේතු සොයා පිළියම් යෙදිය යුතුය. උතුරේ සන්නද්ධ හමුදා අත්පත් කරගත් ඉඩම් සහ අත්අඩංගුවට ගත්  පුද්ගලයන් පිළිබඳව සාධාරණ ලෙස කටයුතු කිරීමට ව්‍යවස්ථාවක් සම්මත වන තුරු සිටිය යුතු නැත. එමෙන්ම අන්ත ජාතිවාදී කොටස් වලට ආණ්ඩුව බිය විය යුතුද නැත. සාධාරනය ඒත්තු ගැන්විය හැකි   බොහෝ පිරිසක් අප අතර ජිවත් වෙති.
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ඇමතිවරු පළාත් සභා සඳහා වැඩි බලතල ඉල්ලාසිටි අතර ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරණ ලෙසද ඉල්ලා සිටියහ. මෙය පළාත් සඳහා වැඩි බලයක් ඉල්ලන්නේ උතුරේ දෙමළ ජනතාව පමණක් බවට වූ මිථ්‍යා මතය නිශේදනය වීමකි.
දෙවනුව අප විසින් ආර්ථිකය හසුරුවන්නේ කෙසේදැයි නිගමනය කළ යුතුය. ආණ්ඩුවේ ආදායම ඉහළ නැංවිය යුතු වන අතර නව අදායම් බදු පනත එයට ඉඩ ප්‍රස්ථා සලසයි. වක්‍ර බදු වලට සාපේක්ෂ රිජු බදු ප්‍රමාණය එමගින් ඉහළ යයි. පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ නොහැකි  නම් දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර වීම සඳහා වෙනම අධිකාරියක් යටතට පත්කර ඒවා ලාභ ලබන මාවතට ගෙන ආ යුතුය. මේ දෙකම නොක‍ර රටට පැවතිය නොහැක. රටේ විශාලතම බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව ලාභ ලැබුවත් ඒවා ප්‍රතිසංවිධානය කළ යුත්තේ පුද්ගලික අංශයේ බැංකු මෙම ආයතන දෙකට මුවාවී සුපිරි ලාභ ලබන බැවිනි. මෙරටේ සුපිරි ලාභ ලැබිය යුත්තේ අපනයන ව්‍යාපාරිකයෝය, බැංකු නොවේ.  පවතින පුද්ගලික අංශයට අපනයන ඉහළ නැංවිය නොහැකි නම් ඒ සඳහා විදේශ ආයෝජකයන්ට ආරාධනය කළ යුතුය. මේ සඳහා උපාය මාර්ගික පාර්ශ්ව කරුවන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළඹිය යුතුය. 1977 දී ආර්ථිකය නිදහස් කළ විට සමහර ව්‍යාපාර නැතිවී ගියේය. එනමුත් සමස්ත ආර්ථිකයට එයින් වාසියක් විය. එම දෙයම නිදහස් වෙළෙඳ ගිවිසුම් වලින්ද සිදුවිය හැක. අපගේ අරමුණ විය යුත්තේ සමස්ත ආර්ථිකයේ අපනයන අදායම ඉහළ නැංවීමයි. යම් යම් කර්මාන්ත ආරක්ෂා කිරීම නොවේ. අප කුඩා වෙළෙඳ පොලක් සහිත රටකි. එබැවින් අපේ ව්‍යාපාරිකයන් අරමුණු කළ යුත්තේ සමස්ත ලෝක වෙළෙඳ පොළයි. රජයේ හිඟ අය වැය ප්‍රතිපත්තිය හළ යුතුය.
තෙවනුව අපගේ විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කළ යුතුය. මෙහිදී අපගේ අපනයන වෙළෙඳ පොළ ඇත්තේ ඉන්දියාවේ හෝ චීනයේ හෝ නොව යුරෝපයේ සහ ඇමෙරිකාවේ බව මතක තබා ගත යුතුය. එනමුත් අප නොබැඳි විය යුතුය, දීන විය යුතු නොවේ. අපගේ භූගෝලීය ස්ථානය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගත යුතුය. ඉන්දියන් සාගර සාම කලාප යෝජනාව අළුත් කරගත හොත් චීනය සහ ඉන්දියාව තුලනය කරගත හැක.
සිව්වෙනුව නැවත ඇති කරණ ලද ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් ස්ථාපිත කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය අප විසින් ඉල්ලා ලබා ගත් දෙයක් නොවේ, දෙන ලද දෙයකි. අධිකාරිවාදයට හුරුවී සිටි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය දකින්නේ අරාජිකත්වයක් ලෙසිනි. ජනතාවට ඒකාධිපතිත්වයක් අවශ්‍ය නම් ඔවුන් විසින් එහි ප්‍රතිවිපාක විඳිය යුතුය. 1970 දී ඇති කරණ ලද දේශපාලන අධිකාරිය සම්පුර්ණ වටයක්  කැරකී  ස්වාධීන කොමිෂන් හරහා නිලධාරීන්ට බලයක් ලැබී තිබේ. මෙම කොමිෂන් සභා සඳහා වගවීමේ ක්‍රියාවක් ඇතිකළ යුතුය. ජනතාව විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ද පාවිච්චි කිරීමට උගත යුතුය.
පස්වෙනුව රාජ්‍ය අංශයේ ප්‍රමාණය අඩුකර ගුණාත්මක භාවය වැඩි කළ යුතුය. මේ සඳහා ඔවුන්ට සාධාරණ වැටුපක් ගෙවිය යුතුය. බද්දෙන් නිදහස් වාහන බලපත්‍ර වැනි අල්ලස් දිය යුතු නොවේ. අඩු වැටුප් අල්ලස් ගැනීම සඳහා ඔවුන් පොළඹවයි. නිදහසෙන් පසු අනුක්‍රමයෙන් රාජ්‍ය අංශයේ මූර්ත වැටුප ( වෙළෙඳ පොළ අනුව සාපේක්ෂ වැටුප) පහල ගොස් තිබේ.
මෙම ප්‍රතිසංස්කරණ කරණ දේශපාලන නායකයන්ට බලය නැවත ලබා ගැනීම අසීරුවේ. මක්නිසාද යත් ලොව පුරා උගත් හෝ නූගත් හෝ ජනතාව ඡන්දය දෙන්නේ කෙටිකාලීන ප්‍රතිලාභ සඳහා මිස දීර්ඝ කාලීන ප්‍රතිලාභ සහ ස්ථාවරත්වය සඳහා නොවන බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ උභතෝකෝටිකය එයයි. ජනප්‍රිය වැඩ වලට වඩා ප්‍රතිසංස්කරණ ඇති කිරීම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යය. එබැවින් රට අගාධයට යාම පිළිබඳව දේශපාලනඥයන්ට දොස් කීම බෝලය පාස් කිරීමකි. එහි වගකීම නියම බලය ඇති ජනතාව විසින් බාර ගත යුතුය.



No comments:

Post a Comment