Wednesday, January 2, 2019

රටේ ආර්ථිකය 6 වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය


වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය 

හර්ෂ ගුණසේන
රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ සමයේදීම ඇමෙරිකාවේ වෙළෙඳ ශේෂයේ හිඟය ගැන කරුණු දක්වා තිබිණ. ඇමෙරිකාවේ වෙළෙඳ ශේෂයේ හිඟයට වඩාත්ම දායක වන්නේ චීනයයි. එය 50% ක පමණ ප්‍රමාණයකි. 2016 වර්ෂයේ ඇමෙරිකාවේ වෙළෙඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 504 ක් වූ අතර එම වර්ෂයේදී චීනයේ වෙළෙඳ ශේෂයේ අතිරික්තය ඩොලර් බිලියන 249 ක් විය.
ඇමෙරිකාවේ අදහස චීන නිෂ්පාදන තම රටට අපනයනය කිරීම මගින් චීනය සිය ආර්ථික වෘද්ධියට දායකත්වයක් ලබා ගන්නා බවයි. හිටපු ජනාධිපති බරක් ඔබාමා ට්‍රාන්ස් අත්ලාන්තික් නිදහස් වෙළෙඳ සම්මුතිය ඉදිරියට ගෙන ආවේ මෙම තත්ත්වයටද අදාලවය.  මේ අනුව චීනය හැර අත්ලාන්තික් සාගරය දෙපස තිබෙන රටවල් අතර යම් කොන්දේසි වලට යටත්ව නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමයි. මෙහි යටි අරමුණ විය හැක්කේ අත්ලාන්තික් සාගරය දෙපස තිබෙන රටවලට ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමේදී වඩාත් වාසි ප්‍රදානය කිරීම මගින් චීනයෙන් එන ආනයන වල ප්‍රමාණය අඩු කිරීමයි. එමෙන්ම එම රටවලට කෙරෙන ඇමරිකන් අපනයන මගින් වැඩි අදායමක් ලබා ගැනීමයි. මේ මගින් ඇමරිකන් වෙළෙඳ ශේෂයේ සමස්ත චිත්‍රය කෙසේ වේදැයි කිව නොහැකි අතර ඒකාන්තයෙන්ම චීනයට සාපේක්ෂව ඇමෙරිකාවේ ඇති වෙළෙඳ හිඟය අඩු වනු ඇත.
වර්තමාන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ක්‍රියා කලාපය මෙවැනි සුක්ෂ්ම එකක් නොවේ. ඔහු මෙම යෝජිත වෙළෙඳ සම්මුතිය අතහැර දැමූ අතර පසුගියදා චීනයට එරෙහිව වෙළෙඳ සම්බාධක ඇති කළේය. චීනයද එයට ප්‍රතික්‍රියා  දැක්වූ අතර මෙම තත්ත්වය දුර දිග යන ලකුණු තිබේ. මිට අමතරව ඇමරිකන් ජනාධිපතිවරයා සිය රටේ වෙළෙඳ හිඟය හේතුවෙන් සිය මිත්‍ර රටවල් වූ කැනඩාව යුරෝපා සංගමය සහ මෙක්සිකෝව සමඟද ආරවුල් ඇති කරගෙන තිබේ.
මෙහි දැක්වෙන වගුව අනුව ඇමෙරිකානු වෙළෙඳ අතිරික්තය වෙළෙඳ හිඟය කට පරිවර්තනය වන්නේ 1975 දී පමණය. 1994 දී ඇමෙරිකාව කැනඩාව සහ මෙක්සිකෝව සමඟ උතුරු අත්ලාන්තික් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළේය.  වර්ෂ 2001 දී චීනය ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේය. මේ සමඟ චීන අපනයන වැඩිවිය. ට්‍රුම්ප් වාදීන්ගේ තර්කය නම් මෙම ක්‍රියාකාරකම් දෙක සමඟ ඇමෙරිකාවේ වෙළෙඳ ශේෂයේ හිඟය වර්ධනය වූ බවයි.
වෙළෙඳ හිඟය සම්බන්ධව ඇමෙරිකාව නොකියන පැත්ත නම් ලාභදායි චීන භාණ්ඩ හෝ කැනේඩියන් භාණ්ඩ හෝ මෙක්සිකන් භාණ්ඩ හෝ ඇමෙරිකන් වෙළෙඳපොලේ තිබීම, ඇමරිකන් පාරිභෝගිකයාගේ ජිවන වියදම අඩුකිරීමට හේතුවී ඇති බවයි. ඇමෙරිකාවේ අපනයන වර්ෂ 2016 දී ද. දේ. නි යේ ප්‍රතිශතයක් වශයෙන් 11.89 %  ක් විය. එය අනුක්‍රමයෙන් වර්ධනය වේ. චීනයේ එය එම වර්ෂයේදී 19.64% ක් විය. එය 1980 දී 5% ක පමණ අගයක තිබී  2006 දී පමණ 40% ට ආසන්නයට පැමිණ දැන් අනුක්‍රමයෙන් අඩු වෙමින් පවතී. ඉහළ ජිවන මට්ටමක් තිබෙන ඇමෙරිකාව වැනි රටකට නිදහස් වෙළෙඳ ගිවිසුමක් මගින් වැඩි වාසි අත්කරගත හැක්කේ ඉහත සඳහන් කළ පරිදි අඩු මිලට භාණ්ඩ ගෙන්වා ගැනීමෙන් සහ පරිභෝජනයේ ඉහළ මට්ටමේ ඇති සිය භාණ්ඩ ගිවිසුම් ගත අනෙක් රටවලට අපනයනය කිරීමෙනි. නිදහස් තීරු බදු රහිත වෙළෙඳාම නිසා තරඟකාරී මිලට අපනයනය කළ හැකිවේ.
දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්  ලෙස චීනයේ සහ ඇමෙරිකාවේ ආනයන වර්ෂ 2016 දී පිළිවෙලින් 17.42%  සහ  14.69% ක් විය. වඩා විශාල වෙළෙඳ පොළවල් සහිත මෙම රටවල් සිය දල දේශීය නිශ්පාදිතය සඳහා අභ්‍යන්තර වෙළෙඳපොළ කෙරෙහි වැඩි බරක් තබා ක්‍රියා කරති. චීනයේ පසුගිය කාලයේ එය ප්‍රසාරණය විය.  (දත්ත සඳහා මුලාශ්‍රය : https://www.theglobaleconomy.com)
කුඩා වෙළෙඳපොළක් සහිත ලංකාව වැනි කුඩා රටකට  වෙළෙඳාමෙන් තොරව ඉක්මන් සංවර්ධනයකට යාම අපහසු කටයුත්තකි. ලංකාවේ භූගෝලීය පිහිටීම අනුවද ලංකාවට වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කළ හැක. මෙරට ඉතිහාසය පුරා සිදුවී ඇත්තේ එයයි. මෙරට ව්‍යාපාරිකයන් ප්‍රමාණයෙන් කුඩා ලංකාවේ වෙළෙඳපොළ අරමුණු කර නොගෙන සමස්ත ලෝක වෙළෙඳපොළ අරමුණු කර ගතහොත් රටට වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා කළ හැක.
විශාල රටක් සමඟ හෝ වඩාත් දියුණු රටක් සමඟ හෝ කුඩා රටක් නැතහොත් දියුණුවෙන් අඩු රටක් නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙන විට කුඩා හෝ දියුණුවෙන් අඩු රටට වැඩි වාසි තිබේ. මක්නිසාද යත් විශාල රටේ විශාල වෙළෙඳපොළක් ඇති නිසා කුඩා රටේ ව්‍යාපාරිකයන්ට විශාල වෙළෙඳපොළක් නිර්මාණය වීමයි. එමෙන්ම  දියුණුවෙන් අඩු රටේ නිෂ්පාදන වියදම අඩු බැවින් අඩු මිලට භාණ්ඩ නිෂ්පාදනය කර දියුණුවෙන් වැඩි රටට යැවීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබීමයි. සාකච්ඡා ආරම්භයේදීම ලැබෙන මෙම වාසිය ප්‍රශස්ත ලෙස සාකච්ඡාවේදී ප්‍රයෝජනයට ගැනීමට කුඩා රට දක්ෂ විය යුතුය. එමෙන්ම විශාල සහ දියුණු රටවල්  කුඩා සහ නොදියුණු රටවලට කිසිවක් බන්දේසියක තබා පිළිගන්වන්නේ නැත.
එබැවින් ඇමෙරිකාව වැනි රටකට වඩා වැඩි වාසියක් නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් අපනයන වැඩි කර ගැනීම හරහා ලංකාව වැනි රටකට ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂයේ හිඟය මෙහි ඇති වගුවෙන් දැක්වේ. මෙම සතියේ නිකුත්වූ ප්‍රවෘත්ති අනුව 2018 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන වල වර්ධනය ආනයන වල වර්ධනයට වඩා වැඩිය. එය මෙතෙක්  පැවති නැඹුරුව වෙනස් වීමකි. එනමුත් මෙම වසරේ මුල් පස් මාසයේ වෙළෙඳ හිඟය රු. බිලියන 4.9 ක් වූ අතර පසුගිය වසරේ මුල් පස් මාසයේ එය රු. බිලියන 4.2 ක් විය. මේ අනුව වෙළෙඳ හිඟය වැඩිවී ඇත. වර්තමාන ආණ්ඩුවේ අපනයන සංවර්ධන උත්සාහය එක්කෝ ප්‍රමාණවත් නැත. නැතහොත් ක්‍රියා වල ප්‍රතිඵල ලැබීමට කාලයක් ගතවනු ඇත.
ඇමෙරිකාව සිය වෙළෙඳ ශේෂයේ හිඟය පියවා ගන්නේ විවිධ ආයෝජන සඳහා එරටට එන මුදල් වලිනි. ලංකාව සිය වෙළෙඳ ශේෂයේ හිඟය අඩු කර ගන්නේ මෙරටින් සංක්‍රමණය වූ ශ්‍රමිකයන් පිටරට සිට එවන මුදල් වලිනි. මැද පෙරදිග තෙල් මිල පහල යාම සමඟ මෙම මුදල් ලැබීම පසුගිය වර්ෂ වල තරමක් අඩාල විය.
ලංකාවට සිය වෙළෙඳ ශේෂය අඩුකර ගැනීම සඳහා පියවර දෙකක් ගත හැකිය. එකක් ආනයන අඩු  කිරීමයි. අනෙක අපනයන වැඩි  කිරීමයි. ආනයන අඩු කිරීම සඳහා ක්‍රියා කිරීම ආරක්ෂනවාදී ප්‍රතිපත්තියක් වන අතර අපනයන වැඩි කිරීම සඳහා ක්‍රියාකිරීම ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකාව විසින් මේ අවස්ථාවේදී තෝරාගත යුත්තේ අරක්ෂනවාදී ප්‍රතිපත්තියක් නොවේ. ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියකි.
රටකට කෙරෙන ආනයන එම රටෙහිම නිපදවාගත හැකිනම් එය වටිනා දෙයකි. එහි කිසි වැරැද්දක් නොමැත. එනමුත් රජයකට සිය ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේ දෙකම එකවර කිරීමේ අපහසුතාවයක් පවතී. යම් හෙයකින් දෙකම කළ හැකිනම් වඩාත් හොඳය. දෙකින් එකක් තෝරාගත යුතු නම් තෝරාගත යුතු වන්නේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියයි.
ඒ මේ නිසාය. අපනයන වර්ධනයට සීමාවක් නැත. ආනයන ආදේශනයට සීමාවක් තිබේ. එනම් මෙරට වෙළෙඳපොළ ප්‍රමාණයයි. මේ සඳහා මෙරට සිටින අපනයන ව්‍යාපාරිකයන් ද රාජ්‍යයද සූදානම් විය යුතුය. එමෙන්ම අපනයන වර්ධනය සඳහා රාජ්‍යය සහ ව්‍යාපාරිකයන් මතුනොව රටේ සියළු ආයතන සහ විපක්ෂයද ඇතුළු සියළු පුරවැසියන්ගේ සහාය ලැබිය යුතුය. මේ සඳහා රටට වැඩි ශක්තියක් ඇති කර්මාන්ත හඳුනා ගත යුතුය. තොරතුරු තාක්ෂනය මේ සඳහා නිදසුනකි. ඒ සඳහා මිනිස් බලය පුහුණු කළ යුතුය. ආයතන ඇති කළ යුතුය. සමුළුවක් කැඳවා ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් සියල්ල සිදු නොවේ. ඒවා ක්‍රියාත්මක කළ යුතුය. මෙවැනි රටක ප්‍රතිපත්ති ඉබේ ක්‍රියාත්මක නොවේ.













ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂය ද.දේ.නි යේ % ලෙස

No comments:

Post a Comment