Wednesday, January 2, 2019

Translation of the sevanth chapter of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


සැලසුම් කිරීමේ උපායමාර්ගය
ජයග්‍රහණයට ඇති අවස්ථාවන් වැඩි කර ගැනීම සඳහා අරගල නායකයන් විසින් පිඩාවට පත් ජනතාව ශක්තිමත් කිරීම සඳහාද ඒකාධිපතිත්වය දුර්වල කර විනාශ කිරීම සඳහාද කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැංවීම සඳහාද හැකියාවක් සහිත ක්‍රියාන්විතයක විස්තීර්ණ සැලසුමක්  සූත්‍රගත කිරීම අවශ්‍ය වේ. එවැනි ක්‍රියාන්විතයක සැලසුමක් සාර්ථක කර ගැනීම සඳහා පවතින තත්ත්වයේද  ඵලදායි ක්‍රියාන්විතයක් සඳහා වන විකල්පවලද   පරිස්සම් සහගත තක්සේරුවක් කිරීම අවශ්‍යවේ. එවැනි පරිස්සම් සහගත තක්ක්සේරුවක ප්‍රතිඵලය ලෙස ප්‍රධාන උපාය මාර්ගයද නිදහස ලබා ගැනීම උදෙසා වන අරගල ක්‍රියාදාමය සඳහා නිශ්චිත උපාය මාර්ගද ගොඩනැංවිය හැක. ප්‍රධාන උපාය මාර්ගය ගොඩනැංවීම සහ අරගල ක්‍රියාදාමය සඳහා උපාය මාර්ග ගොඩනැංවීම එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් ක්‍රියාවලි දෙකකි. අරගල ක්‍රියාදාමය සඳහා නිශ්චිත උපාය මාර්ග ගොඩනැංවීම සම්පුර්ණයෙන් අවසන් කළ හැක්කේ ප්‍රධාන උපාය මාර්ගය ගොඩනැංවීම අවසන් කළ පසුව පමණි. අරගල ක්‍රියාදාමය සඳහා උපායමාර්ග නිර්මාණය කළ යුත්තේ ප්‍රධාන උපාය මාර්ගයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ ශක්තිමත්වීම වන අයුරිනි.
අරගල උපායමාර්ගය ගොඩනැංවීම සඳහා බොහෝ ප්‍රශ්න සහ දුෂ්කර කර්තව්‍යයන්ට අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. ප්‍රධාන උපාය මාර්ග මට්ටම සහ අරගල ක්‍රියාදාමය සඳහා උපාය මාර්ග මට්ටම යන දෙකෙහිදීම සැලකිල්ලට ගත යුතු වැදගත් සාධක අප විසින් මෙහිදී හඳුනාගත යුතුය. කෙසේවෙතත් සියළු ආකාරයේ උපාය මාර්ගික සැලසුම් සඳහා අරගලකරුවන්ට භෞතික, ඉතිහාසමය, ආණ්ඩුමය, හමුදාමය, සංස්කෘතික, සමාජයීය, දේශපාලනික, මනෝවිද්‍යාත්මක, ආර්ථික සහ ජාත්‍යන්තර සාධක  ඇතුළු සමස්ත ගැටුමේ ස්වභාවය පිලිබඳ ගැඹුරු අවබෝධයක් තිබීම අවශ්‍යය. උපායමාර්ග ගොඩනැංවිය හැක්කේ නිශ්චිත අරගලයක් සහ එහි පසුබිමද ඇතුළු  සන්දර්භය තුළය.
ප්‍රාථමිකව වැදගත් කරුණක් වශයෙන් ප්‍රජාතාන්ත්‍රික නායකයන්ට සහ උපායමාර්ග සැලසුම් කරුවන්ට අරගලයේ  අරමුණු සහ ඒවායේ වැදගත්කම පිළිබඳව තක්සේරු කිරීම අවශ්‍ය වනු ඇත. එම අරමුණු මගින් මහා පරිමාණ අරගලයක් කිරීම සාධාරණිකරණය වේද එසේනම් මන්ද?  අරගලයේ නියම අරමුණ නිශ්චය කිරීම තීරණාත්මකවේ. ඒකාධිපතිත්වයක් බිඳ හෙලීම හෝ දැනට සිටින ඒකාධිපතියන් බලයෙන් පහ කිරීම හෝ ප්‍රමාණවත් නොවන බවට  අප විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත. මෙම ගැටුම් වල අරමුණ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් සහිත ආණ්ඩුවක් සමඟ නිවහල් සමාජයක් ස්ථාපනය කිරීමයි. මෙම කරුණ පිළිබඳව පැහැදිලි බව ප්‍රධාන උපායමාර්ගය ගොඩනැංවීම සහ පසුව එන නිශ්චිත උපායමාර්ග ගොඩනැංවීම කෙරෙහි බලපායි.
උපායමාර්ග පහත සඳහන් ඒවා වැනි මුලික ප්‍රශ්ණ වලට පිළිතුරු විශේෂයෙන්ම සැපයිය යුතුය.
·         නිදහස ලබාගැනීමට ඇති ප්‍රධාන බාධක කවරේද?
·         නිදහස ලබා ගැනීමට උපකාරිවන්නේ කවර සාධකද?
·         ඒකාධිපතිත්වයක ප්‍රධාන ප්‍රබලතාවයන් මොනවාද?
·         ඒකාධිපතිත්වයක විවිධ දුර්වලතා මොනවාද?
·         ඒකාධිපතිත්වයක බලයේ ප්‍රභවයන් අනතුරට භාජනය විය හැක්කේ කවර මට්ටමකටද?
·         ප්‍රජාතන්ත්‍රවාදී බලකායන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රබලතාවයන් මොනවාද?
·          ප්‍රජාතන්ත්‍රවාදී බලකායන්ගේ දුර්වලතා මොනවාද සහ ඒවා නිවැරදි කර ගන්නේ කෙසේද?
·         ගැටුමට ආසන්න වශයෙන් සම්බන්ධ වී නොමැති එමෙන්ම  ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට හෝ ඒකාධිපතිත්වයට හෝ දැනටමත් උපකාර කරන හෝ ඉදිරියේදී උපකාර කළ හැකි  තුන්වන පාර්ශ්වයන්ගේ තත්ත්වය කුමක්ද? ඔවුන් එසේ කරන්නේනම් කුමන ආකාර වලින්ද?




උපක්‍රම තෝරාගැනීම
ප්‍රධාන උපායමාර්ග මට්ටමේදී සැලසුම්කරුවන් විසින් ඉදිරියේදී එන ගැටුමේදී භාවිතා කළ හැකි ප්‍රධාන උපක්‍රම තෝරා ගත යුතුය. සම්ප්‍රදායික හමුදාමය සටන්ක්‍රම, ගරිල්ලා සටන් ක්‍රම, දේශපාලන විරෝධතා ව්‍යාපාර සහ වෙනත් ක්‍රම වැනි  විවිධ විකල්ප ශිල්ප ක්‍රමයන්ගේ වාසි සහ සීමාවන් වල වටිනාකම් විනිශ්චය කළ යුතුය.
මෙම තෝරාගැනීම් සිදුකිරීමේදී උපායශිලින් විසින් පහත දැක්වෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතුය. තෝරාගත් අරගල ක්‍රමය පවතින්නේ ප්‍රජාතන්ත්‍ර වාදීන්ගේ ශක්‍යතා සීමාව තුළද? තෝරාගත් ශිල්පීය ක්‍රමය මගින් යටපත් කරනු ලැබූ ජනතාවගේ ප්‍රබලතාවයන් ප්‍රයෝජනයට ගැනෙන්නේද? මෙම ශිල්ප ක්‍රමය ඒකාධිපතිත්වයේ දුර්වලතාවයන් ඉලක්ක කර ගන්නේද? එසේ නොමැතිනම් එය එහි ප්‍රබලම ස්ථාන වලට පහර දෙන්නේද? මෙම උපක්‍රම ප්‍රජාතන්ත්‍රවාදීන්ට තමන් කෙරෙහිම තව දුරටත් රඳා පැවතීමට උපකාරී වන්නේද එසේ නොමැතිනම් ඒවා තෙවන පාර්ශ්වයන් හෝ බාහිර සැපයුම්කරුවන් හෝ මත රඳා පවතීද? ඒකාධිපතිත්වයන් බිඳ දැමීමෙහිලා  තෝරාගත් උපක්‍රමය යොදාගැනීමේ ඉතිහාසය කෙබඳුද? ඉදිරියට එන ගැටුමේදී ඇතිවියහැකි තුවාල කරුවන් සහ විනාශයන් මෙම උපක්‍රමය භාවිතාව මගින් වැඩිවේද එසේ නොමැතිනම් සිමා වේද? ඒකාධිපතිත්වය අවසන් කිරීමේ අරගලයේදී ජයග්‍රහණය ලැබේ යයි අනුමාන කළහොත් අරගලයෙන් පසුව ඇතිවන ආණ්ඩුව සඳහා කුමන ආකාරයේ බලපෑමක් තෝරාගත් උපක්‍රමය මගින් කරනු ලැබේද? ප්‍රධාන උපායමාර්ගය ගොඩනැංවීමේදී  ඵලදායි නොවන උපක්‍රම බැහැර කිරීමට කටයුතු කළ යුතුය.
අරගලය සඳහා වන අනෙකුත් උපක්‍රම වලට වඩා දේශපාලන විරෝධතා ව්‍යාපාර වාසි සහගත වන බව මෙයට පෙර පරිච්ඡේද වලදී අප විසින් කරුණු ගෙනහැර දක්වා ඇත. උපක්‍රමශිලීන්   විසින් ඔවුන්ගේ ගැටුමේ ස්වභාවය පරික්ෂාකර බලා දේශපාලන විරෝධතා ව්‍යාපාර මගින් ඉහත දක්වා ඇති ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දේ දැයි නිශ්චය කළ යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සැලසුම් කිරීම
ඒකාධිපතිත්වයකට එරෙහි ප්‍රධාන උපායමාර්ගයක අරමුණ ඒකාධිපතියන් බලයෙන් පහකිරීම පමණක් නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ නව ඒකාධිපතිත්වයක් ඇතිවීම ඇහිරීමද එම අරමුණු අතර වන බව මතක තබාගත යුතුය. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් සමාජය තුළ ක්‍රියාත්මක බලය බෙදීයාම තෝරාගත් සටන් උපක්‍රම මගින් වෙනසකට බඳුන් කල යුතුය. ඒකාධිපතිත්වය යටතේ ජනතාව සහ සමාජයේ ඇති සිවිල් ආයතන පද්ධතිය බොහෝ දුර්වල වී ඇති අතර ආණ්ඩුව වඩාත් ශක්තිමත් වී ඇත. මෙම අසමතුලිතතාවය වෙනස් නොවන්නේ නම් නව පාලකයන්ටද ඔවුන් කැමැති නම් පැරණි පාලකයන් මෙන් අධිකාරිවාදී විය හැක. එබැවින් “රජගෙදර විප්ලවයක්” හෝ කුමන්ත්‍රණයක් හෝ සාදරයෙන් පිළිගත නොහැක.
අප විසින් පස්වන පරිච්ඡේදයේදී සාකච්ඡා කල පරිදි ඒකාධිපතිත්වයට එරෙහිව ජනතාව ඒකරාශී කිරිම  හරහා වඩාත් සමාන ආකාරයකට ක්‍රියාත්මක බලය සමාජය තුල බෙදී යාමට දේශපාලන විරෝධතා ව්‍යාපාර විසින් දායකත්වය සපයනු ලැබේ. මෙම ක්‍රියාවලිය විවිධ ආකාර වලින් හටගනී. ප්‍රචණ්ඩකාරී නොවන අරගල කිරීමේ හැකියාවේ වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ ප්‍රචණ්ඩකාරී මර්දනය මගින්  බියගැන්වීම සහ යටත්වීමේ මානසිකත්වය ජනතාව තුල පහසුවෙන් ඇතිකිරීමට ඒකාධිපතිත්වයට තව දුරටත් හැකියාවක් නොමැති බවයි. වෑයමින් ක්‍රියාත්මක කරන ඒකාධිපතීන්ගේ බලයට විරුද්ධ වීමට සහ විටෙක එය අවහිර කිරීමට ජනතාව සතුව ප්‍රබල උපක්‍රම ඕනෑතරම් තිබෙනු ඇත. එමෙන්ම දේශපාලන විරෝධතා ව්‍යාපාර මගින් ජන බලය  ඒකරාශී කිරීම හරහා  සමාජයේ ඇති ස්වාධින ආයතන වඩාත් ශක්තිමත් වනු ඇත. එක්තරා කාලයකදී තිබූ ක්‍රියාත්මක බලය පිලිබඳ අත්දැකීම ඉක්මනින් අමතක වී නොයනු ඇත. අරගලයේදී අත් කරගන්නා ලද දැනුම සහ කුසලතාවයන් හේතුවෙන් ඇතිවියහැකි ඒකාධිපතිත්වයකට ජනතාව පහසුවෙන් නතු කරගත නොහැකි වනු ඇත. බල සම්බන්ධතාවයන්ගේ මෙම විතැන් වීම අවසානයේදී බොහෝවිට කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට මග පාදනු ඇත.
බාහිර සහයෝගය
ප්‍රධාන උපාය මාර්ගය සකස් කර ගැනීමේ අංගයක් වශයෙන් අභ්‍යන්තරව අරගලයේදී යටත් නොවන ස්වභාවය සහ බාහිර බලපෑම් ඒකාධිපතිත්වය බිඳ දැමීම සඳහා කුමන ආකාරයේ කාර්ය භාරයක් ඉෂ්ට කරන්නේද යන්න තක්සේරු කිරීම අවශ්‍ය වේ. මෙම විග්‍රහයේදී අරගලයේ ප්‍රධාන බලවේගය රට අභ්‍යන්තරයෙන්ම පැමිණිය යුතු බවට  අප විසින් කරුණු දක්වා ඇත. අභ්‍යන්තර අරගලය මගින් උද්දීපනය කරනු ලබන ප්‍රමාණයට ජාත්‍යන්තර සහයෝගය ලැබෙනු ඇත.
ප්‍රමාණවත් අතිරේක සහායක්  වශයෙන් ඒකාධිපතිත්වයට එරෙහි ලෝක ජන මතය මානවවාදී, සදාචාරාත්මක සහ ආගමික පදනම් යටතේ ඒකරාශී කිරීමට උත්සාහ කළ හැක. ඒකාධිපතිත්වයට එරෙහි රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලන සහ ආර්ථික සම්බාධක, ආණ්ඩු සහ අන්තර් ජාතික ආයතන මගින් පනවා ගැනීමට උත්සාහ කළ හැක. මේවා ආර්ථික සහ යුද්ධායුධ තහනම, රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමේ මට්ටම පහත හෙලීම හෝ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීම, ආර්ථික සහයෝගිතාවය නවත්වා දැමීම සහ ඒකාධිපති රාජ්‍යය තුල ආයෝජන තහනම් කිරීම, විවිධ ජාත්‍යන්තර ආයතන වලින් සහ එක්සත් ජාතීන්ගේ ආයතන වලින් ඒකාධිපති රාජ්‍යය නෙරපා හැරීම වැනි විවිධ ආකාර වලින් සමන්විත විය හැක. එමතුද නොව මුල්‍යමය සහ සන්නිවේදන අනුග්‍රහයන් වැනි ජාත්‍යන්තර ආධාර ද ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් වෙතට  ඍජුව ම ලබා ගත හැක.
ප්‍රධාන උපාය මාර්ගය සකස් කර ගැනීම
පවතින තත්ත්වය පිලිබඳ තක්සේරුවකින්, උපක්‍රම තෝරාගැනීමෙන්, සහ බාහිර සහයෝගිතාවයේ භූමිකාව නිගමනය කිරීමෙන්  පසුව ගැටුම ඉතාමත් ප්‍රශස්ත ලෙස හැසිරවිය හැකි සේ ප්‍රධාන ප්‍රහාරයන්හි දළ සටහනක් ප්‍රධාන උපාය මාර්ගයේ සැලසුම් කරුවන් විසින් සැකසිය යුතුය. මෙම පළල් සැලසුම වර්තමානයේ සිට අනාගත නිදහස දක්වාද ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් ස්ථාපනය කිරීම දක්වාද විහිදිය යුතුය.ප්‍රධාන උපාය මාර්ගය ව්‍යුහගත කිරීමේදී මෙම සැලසුම්කරුවන් විසින් ඔවුන්ගෙන්ම නානා විධ ප්‍රශ්න ඇසිය යුතුය. පහත දැක්වෙන ප්‍රශ්න දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් සඳහා ප්‍රධාන  උපාය මාර්ගයක් ගොඩනැංවීමේදී කුමන ආකාරයේ සැලකිලිමත්වීම් කලයුතුද යන කරුණ (මෙයට ප්‍රථමයෙන් මෙන් නොව වඩාත් නිශ්චිත ආකාරයෙන්) මතු කරයි.
දීර්ඝ කාලීන අරගලය කුමන ආකාරයෙන් පටන් ගත යුතුද? මර්දනය කරනු ලැබූ ජනතාව, ආරම්භයේදී සීමිත ආකාරයකින් පවා, ඒකාධිපතිත්වයට අභියෝග කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ ශක්තිය උපදවා ගන්නේ කෙසේද? සහයෝගය නොදැක්වීම සහ විරෝධතා ව්‍යාපාර වල යෙදීම සඳහා ජනතාවගේ ඇති හැකියාව, අත්දැකීම් සහ කාලය සමඟ අනුක්‍රමයෙන් වැඩිකර ගන්නේ කෙසේද? සමාජය තුල ප්‍රජාතාන්ත්‍රික බලය නැවත ස්ථාපනය කිරීම සඳහාද ඒකාධිපතිත්වය සිමා කිරීම සඳහාද කෙරෙන සීමාසහිත සටන් දාමයක අරමුණු කවරක් විය හැකිද?
නිදහස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරගලයේදී පාවිච්චි කල හැකි ඒකාධිපතිත්වයට ඔරොත්තු දෙමින් පැවති ස්වාධින ආයතන තිබේද? සමාජයේ තිබෙන කවර ආයතන ඒකාධිපතීන්ගේ ආධිපත්‍යයෙන් මුදා ගත හැකිද?  ඒකාධිපතිත්වය පවතින විටම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ස්ථාපනය කිරීම සඳහා මෙන්ම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද  ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් අළුතෙන් ආරම්භ කළ යුතු ආයතන මොනවාද?
අරගලය අතරතුරදී ආයතන වල ශක්තිය වැඩි දියුණු කර ගන්නේ කෙසේද? අරගලයට සහභාගී වන්නන් පුහුණු කරන්නේ කෙසේද? අරගලය පවතින කාලය තුලදී අවශ්‍ය වන සම්පත් ( මුදල්, උපකරණ ආදී ) මොනවාද? ජනතාව ඒකරාශී කිරීමේදී කුමන ආකාරයේ සංකේත භාවිතයක් වඩාත් කාර්යක්ෂම වේද?

ඒකාධිපතින්ගේ බලයේ මූලයන් අනුක්‍රමයෙන් දුර්වල කිරීමට සහ විනාශ කර දැමීමට කවර ක්‍රියාවන් කළ යුතුද සහ ඒවා කළ යුත්තේ කුමන අවධීන් හි දී ද? අරගලයේ යෙදෙන ජනතාව සිය විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුරම එයට අවශ්‍ය කරණ ප්‍රචණ්ඩකාරී නොවීමේ විනය පවත්වාගෙන යන්නේ කෙසේද? අරගලය අතරතුරදී සමාජය සිය මූලික අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේද? ගැටුම අතරතුරදී සමාජයේ පිළිවෙළ පවත්වාගෙන යන්නේ කෙසේද? ජයග්‍රහණය ලංවන විට බලය මාරුවීම හැකිතාක් සුගම ලෙස සිදුවීමට උපකාරී වනසේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන් මගින් නිරතුරුවම ඒකාධිපතිත්වයෙන් පසුව ඇතිවන සමාජයේ ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම කළ හැක්කේ කෙසේද?
ඒකාධිපතිත්වයන්ට එරෙහිව ඇතිවන සෑම විමුක්ති අරගලයකටම සරිලන උපාය මාර්ගික සැලසුමක් නොමැති බව සහ එවැනි සැලසුමක් සකස් කිරීම නොකළ හැකි බව මතක තබා ගත යුතුය. ඒකාධිපතිත්වයක් බිඳ හෙලීම සඳහා සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීම සඳහා කෙරෙන සෑම අරගලයක්ම එකිනෙකට වෙනස්වේ. අවස්ථා දෙකක් සර්වප්‍රකාරයෙන්ම සමාන නොවේ. එක් එක් ඒකාධිපතිත්වයට ආවේණික ලක්ෂණ පවතින අතර නිදහස බලාපොරොත්තුවන විවිධ ජනතාවන් ගේ ශක්‍යතාවයන් වෙනස් වේ.   දේශපාලන විරෝධතා ව්‍යාපාරයක ප්‍රධාන උපාය මාර්ගය සැලසුම් කරුවන්ට ඔවුන්ගේ විශේෂිත ගැටුම පිළිබඳව පමණක් නොව අරගලය සඳහා යොදාගන්නා ක්‍රමවේදයන් පිළිබඳවද ගැඹුරු අවබෝධයක් තිබිය යුතුවේ.13
-------------------------------------------------------------------------------------------------------------------------------13. සම්පුර්ණ දැනුම සඳහා නිර්දේශිත කියවීම්: ජින් ෂාප්, ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාවන්ගේ දේශපාලනය (Boston, MA: Porter Sargent, 1973) සහ පීටර් ඇකර්මාන්  හා ක්‍රිස්ටෝපර් කෘග්ලර්, උපායමාර්ගික ප්‍රචණ්ඩකාරී නොවන අරගලය (Westport, Connecticut: Praeger, 1994) මෙයද බලන්න. ජින් ෂාප්, ප්‍රචණ්ඩකාරී නොවන අරගලය පවත්වාගෙන යාම: විසිවන ශතවර්ෂයේ භාවිතාව සහ විසිඑක් වන ශතවර්ෂයේ ශක්‍යතාව. ඉදිරියට පළවීමට නියමිතයි.
අරගලයේ ප්‍රධාන උපාය මාර්ගය සැලකිල්ලෙන් යුතුව සැලසුම් කළ පසුව ඒ ගැන බොහෝ දෙනා දැනුවත් විය යුතු බවට ප්‍රබල හේතු තිබේ. මුලික සංකල්පය සහ නිශ්චිත උපදෙස් අවබෝධ කර ගත හැකි නම් ජනතාව විශාල වශයෙන්  මෙයට සහභාගී වනු ඇති අතර ඒ මගින් ඔවුන්ට ක්‍රියාත්මක වීමටද හැකියාව ලැබේ. මෙම දැනුම ඔවුන්ගේ චිත්ත ධෛර්යය, සහභාගී වීමට ඇති කැමැත්ත සහ අවස්ථාවෝචිත ලෙස ක්‍රියා කිරීම  කෙරෙහි ඵලදායි ලෙස බලපෑ හැක.   කෙසේ වුවත් ප්‍රධාන උපාය මාර්ගයේ දළ සැලැස්මක් ඒකාධිපතින්ට දැනගන්නට ලැබෙනු ඇති අතර එහි විස්තර දැනගැනීම මර්දනයේදී ඔවුන්ගේ කෘරත්වය අඩුවීමට හේතු විය හැක. මක්නිසාදයත් එහි ප්‍රතිවිපාක දේශපාලන වශයෙන් ඔවුන් කරා ආපසු එන බව ඔවුන් දන්නා නිසාය. ප්‍රධාන උපාය මාර්ගයේ විශේෂ ලක්ෂණ ගැන ඒකාධිපතින් විසින් දැන ගැනීම ඔවුන්ගේ කඳවුර තුළ මතභේද ඇතිවීමටත්  කඳවුර හැරයාම් ඇතිවීමටත් හේතුවිය හැක.
ඒකාධිපතිත්වය බිඳ දැමීමටත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමටත් වන ප්‍රධාන උපාය මාර්ගය සම්මත කරගත් පසු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන කණ්ඩායම් විසින් එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. අරගලය ආරම්භක ප්‍රධාන උපාය මාර්ගයට වෙනස්ව ක්‍රියාත්මක විය හැක්කේ ඉතා කලාතුරකින් ඇතිවන වාතාවරණයකදී පමණි. තෝරාගත් ප්‍රධාන උපාය මාර්ගයට වැරදි දැක්මක් හේතුවී ඇති බවට හෝ අරගලයේ වාතාවරණය මූලික වශයෙන් වෙනස් වී ඇති බවට හෝ පැහැදිලි සාක්ෂි ඇත්නම්  සැලසුම් කරුවන් විසින් ප්‍රධාන උපාය මාර්ගය වෙනස් කළ යුතුය. එසේ වුවත් එය කළ යුත්තේ මුලික කරුණු පිළිබඳව නැවත තක්සේරුවක් කිරීමෙන් පසුව සහ ප්‍රමාණවත් නව උපාය මාර්ගික සැලැස්මක් ප්‍රවර්ධනය කිරීමෙන් හා සම්මත කිරීමෙන් පසුවය.
සටන් උපාය මාර්ගයන් සැලසුම් කිරීම
ඒකාධිපතිත්වය අවසන් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ප්‍රවර්ධනය කරන ලද ප්‍රධාන උපාය මාර්ගය කෙතරම් ඥානාන්විත සහ බලාපොරොත්තු සහගත වුවත් අරගලය ඒ මගින් පමණක් ක්‍රියාත්මකළ නොහැක. ඒකාධිපතින්ගේ බලය දුර්වල කිරීම සඳහා වන ප්‍රධාන සටන් මෙහෙයවීම සඳහා නිශ්චිත උපාය මාර්ග ප්‍රවර්ධනය කළ යුතුය. අනතුරුව මෙම උපාය මාර්ගයන් ඒකාධිපති රෙජීමයට තීරණාත්මක ප්‍රහාර එල්ල කළ හැකි උපායික සටන් දාමයකට ඇතුලත් වී  එම සටන් දාමය හසුරවනු ඇත. එක් එක් නිශ්චිත උපාය මාර්ගය සාක්ෂාත් කර ගැනීම අරමුණු කර  උපායයන් සහ නිශ්චිත සටන් ක්‍රම සැලකිල්ලෙන් තෝරා ගත යුතුය. මෙම සාකච්ඡාව තනිකරම අවධානය යොමු කරන්නේ උපාය මාර්ගයේ මට්ටම කෙරෙහිය.
ප්‍රධාන උපාය මාර්ගය සැලසුම් කළ උපායශිලීන්ට  මෙන්ම ප්‍රධාන සටන් සැලසුම් කරන උපායශිලීන්ට ද ඔවුන්ගේ තෝරාගත් සටන් ශිල්ප ක්‍රමයේ ස්වභාවය සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය. මිලිටරි උපාය මාර්ගයක් සැකසීමේදී හමුදා නිලධාරීන්ට හමුදාවේ සැකැස්ම, උපාය, සංවිධානය, යුද්ධෝපකරණ, භූගෝලීය බලපෑම් සහ තවත් එවැනි දෑ පිලිබඳ මනා අවබෝධයක් තිබිය යුතු  සේ දේශපාලන විරෝධතා ව්‍යාපාර සැලසුම් කරන්නන්ටද ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ ස්වභාවය සහ උපාය මාර්ගික මුලධර්ම පිලිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. එසේ වුවද  ප්‍රචණ්ඩකාරී නොවන අරගලය පිලිබඳ දැනුම, මෙම රචනයෙන් නිර්දේශිත කරුණු පිලිබඳ වන අවධානය සහ මෙහි නගා ඇති ප්‍රශ්ණ වලට දියහැකි පිළිතුරු වලින් පමණක් උපායමාර්ග ගොඩනගා ගත නොහැක. අරගලය සඳහා වන උපායමාර්ගයක් සූත්‍ර ගත කිරීම සඳහා බොහෝ තොරතුරු වලින් සන්නද්ධ වූ නිර්මාණශීලිත්වයක් තව දුරටත් අවශ්‍ය වේ.

නිශ්චිත අරගල ව්‍යාපාර සඳහා ද විමුක්ති අරගලය දීර්ඝ කාලීනව ගොඩනැංවීම සඳහාද  උපායමාර්ග සැලසුම් කිරීමේදී දේශපාලන විරෝධතා ව්‍යාපාර වල උපායමාර්ග සැලසුම් කරන්නන් විසින් විවිධ කරුණු සහ ප්‍රශ්ණ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. ඒ අතර පහත සඳහන් දෑ ද වේ.
·         අරගල ව්‍යාපාරයේ නිශ්චිත අරමුණු සහ ප්‍රධාන උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට ඒවායේ ඇති දායකත්වය තීරණය කිරීම
·         තෝරාගත් උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා පාවිච්චි කළ හැකි වඩාත් සුදුසු නිශ්චිත ක්‍රම සහ දේශපාලන අවි පිළිබඳව සැලකිලිමත් වීම. උපායමාර්ගික අරගල ව්‍යාපාර සඳහා වන සෑම සමස්ත සැලසුමකදීම ඒකාධිපතිත්වයේ බලයේ මූලයන්ට එරෙහිව බලපෑම් සහ සීමාකිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා කුමන කුඩා උපායශීලි සැලසුම් සහ කවර ආකාරයේ නිශ්චිත ක්‍රමවේද භාවිතා කළ යුතුදැයි තීරණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඉතා සැලකිල්ලෙන් තෝරාගන්නා ලද සහ ක්‍රියාත්මක කරන ලද නිශ්චිත කුඩා පියවර වල ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර ගැනීම සිදුවන බව මතක තබා ගත යුතුය.
·         අවශ්‍යයෙන්ම දේශපාලනික වූ සමස්ත අරගලයට ආර්ථික ගැටළු වලට තුඩුදී ඇති විෂයයන් සම්බන්ධ වේද එසේනම් ඒ කෙසේද යන කාරණය නිශ්චය කර ගත යුතුය. ආර්ථික ගැටළු අරගලයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන්නේනම් ඒකාධිපතිත්වය අවසන් වූ පසු ආර්ථික දුක්ගැනවිලි වලට සත්‍ය වශයෙන්ම පිළියම් යෙදිය හැකි සේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍යවේ. එසේ නොමැතිනම් ප්‍රජාතාන්ත්‍රික සමාජයක් සඳහා වන සංක්‍රාන්ති අවදියේදී ඒ සඳහා ක්ෂණික විසඳුම් නොයෙදුවහොත් ජනතාව තුළ ඉච්ඡා භංගත්වය සහ බලවත් කලකිරීම ඇතිවිය හැක. ආර්ථික ගැටළු වලට විසඳුම් පොරොන්දු වෙමින් ඒකාධිපති බලවේග වලට නැවත නැගී සිටීමට මෙම ඉච්ඡා භංගත්වය උපකාරී වනු ඇත.
·         විරෝධතා අරගලය ආරම්භ කිරීමේදී කුමන ආකාරයේ නායකත්ව ව්‍යුහයක් සහ සන්නිවේදන ක්‍රමයක් වඩාත් සුදුසු වේ දැයි කල්තබා නිශ්චය කර ගත යුතුය. අරගල කරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට අරගල කාලය තුළදී සනාතන මග පෙන්වීමක් ලබා දීම සඳහා කුමන ආකාරයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සහ සන්නිවේදනයක් සෑහේද?
·         අරගලය පිලිබඳ ප්‍රවෘත්ති සාමාන්‍ය ජනතාවට, ඒකාධිපතීන්ගේ සේනාවන්ට සහ ජාත්‍යන්තර මාධ්‍යයන්ට සන්නිවේදනය කිරීම. යම් සිද්ධීන්ට හිමිකම් පෑම  සහ ඒ පිලිබඳ වාර්තා කරණය දැඩි ලෙසම සත්‍ය කරුණු මත පදනම් විය යුතුය. අතිශයෝක්තිය සහ අසත්‍ය හිමිකම් පෑම් මගින් අරගලයේ විශ්වාසනීයත්වය පළුදු වනු ඇත.
·         ඉදිරියේදී ඇතිවන ගැටුම අතරතුරදී තමන්ගේම මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා තමන්ටම විශ්වාසනීය වූ ප්‍රයෝජනවත් සමාජයීය, අධ්‍යාපනික, ආර්ථික සහ දේශපාලනික ක්‍රියාකාරකම් සඳහා වන සැලසුම්. මෙවැනි ව්‍යපෘති අරගලයට කෙලින්ම සම්බන්ධ නොවූ පුද්ගලයන් මගින් පාලනය කළ හැක.
·         නිශ්චිත අරගල ව්‍යාපාරයකට හෝ ප්‍රධාන විමුක්ති අරගලයට හෝ සහයෝගයක්  වශයෙන් කුමන ආකාරයේ බාහිර අනුග්‍රහයක් අවශ්‍යවේ දැයි තීරණය කිරීම. අභ්‍යන්තර අරගලය අවිනිශ්චිත බාහිර සාධක මත රඳා නොපවත්වමින් බාහිර ආධාර වඩා ප්‍රශස්ත අන්දමින් එක්රැස් කරගනිමින් භාවිතා කළ හැක්කේ කෙසේද? සහයෝගය ලබාදීමට වඩාත්ම ඉඩ ප්‍රස්ථාවක් තිබෙන සහ වඩාත්ම සුදුසු බාහිර සංවිධාන මොනවාද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. උදාහරණ: රාජ්‍ය නොවන සංවිධාන ( සමාජ ව්‍යාපාර, ආගමික හෝ දේශපාලනික කණ්ඩායම්, වෘත්තීය සමිති යනාදිය) , රාජ්‍යයන්, සහ/හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එයට අනුබද්ධිත ආයතන.
තවද අධිකාරිවාදී මැඩපැවැත්වීම් වලට එරෙහි ජනතා අරගලයේදී සිය බලය පාවිච්චි කිරීම මගින් සාමය රැකීම සඳහාද සමාජයීය අවශ්‍යතා සපුරාලීම සඳහාද සැලසුම් කිරීමට අරගල සැලසුම් කරුවන් විසින් අවශ්‍ය පියවර ගත යුතුය. මෙය විකල්ප නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් උත්පාදනය කරමින් අව්‍යාජ අවශ්‍යතාවයන් සම්පුර්ණ කරනවා පමණක් නොව කලබලකාරී සහ නීතිවිරෝධී හැසිරීම් අනුකම්පා විරහිතව මර්දනය කිරීමක් අවශ්‍යවේ යයි යන මතවාදයේ විශ්වාසනීයත්වයද  පළුදු කරයි. 
සහයෝගය නොදීමේ මතවාදය ප්‍රචාරය කිරීම
සහයෝගය නොදීමේ මතවාදය ජනතාව විසින් ග්‍රහණය කර ගැනීම ඒකාධිපතිත්වයකට එරෙහි ජයග්‍රාහී දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් සඳහා අත්‍යවශ්‍ය වේ. “වඳුරු හිමියා” ගේ කථාව ( තුන් වන පරිච්ඡේදය) මගින් නිදර්ශනය කළ පරිදි මූලික අදහස සරල වේ. යටත් වැසියන් සෑහෙන ප්‍රමාණයක් සෑහෙන කාලයක් මර්දනය නොසලකා සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ හොත් මර්දනකාරී තන්ත්‍රය දුර්වලවී ඉන් පසුව බිඳී යයි.
ඒකාධිපතිත්වයක් යටතේ වෙසෙන ජනයා මෙම අදහස පිළිබඳව විවිධ මාර්ගයන් මගින් දැනටමත් දැනුවත් වී සිටිය හැක. එසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන් විසින් සහයෝගය නොදීමේ අදහස චේතනාන්විතව පතුරුවා හරිමින් එය ජනප්‍රිය කළ යුතුය. “වඳුරු හිමියා” ගේ කථාව හෝ එවැනි වෙනත් කථාවක් සමස්ත සමාජය පුරාම පතුරුවා හළ යුතුය. එවැනි කථාවක් ලෙහෙසියෙන් අවබෝධ කර ගත හැකිය. සහයෝගය නොදීමේ සාමාන්‍ය අදහස ග්‍රහණය කර ගත් පසුව ඒකාධිපතිත්වය සමඟ සහයෝගය නොදැක්වීම ක්‍රියාවේ යෙදවීමට අනාගතයේදී කෙරෙන ඉල්ලීම් වල අදාලත්වය අවබෝධ කර ගැනීමට ජනතාව සමත් වනු ඇත. නව තත්ත්වයන් යටතේ සහයෝගය නොදැක්වීමේ විශේෂිත ක්‍රම ශත සහස්‍ර සංඛ්‍යාවක් එක්ෂණයෙන් උත්පාදනය කිරීමටද ඔවුන් සමත් වනු ඇත.
ඒකාධිපතිත්වයන් යටතේ ජීවත් වන විට අදහස්, ප්‍රවෘත්ති සහ අරගල උපදෙස් සන්නිවේදනය කිරීමේ අපහසුතා සහ අවදානම තිබියදීත් මෙය කළ හැකි බව ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් නිතොරවම සනාථ කර ඇත. නාසි සහ කොමියුනිස්ට් පාලනයන් යටතේ පවා වෙනත් පුද්ගලයන් සමඟ පමණක් නොව නිත්‍යානුකුල නොවන පුවත්පත්, පත්‍රිකා, පොත් සහ මෑත යුගයේදී ශ්‍රව්‍ය හා දෘශ්‍ය කැසට් පටි නිෂ්පාදනය කිරීම මගින් මහා පරිමාණ මහජන ප්‍රේක්ෂකයන් සමූහයකටද  ආමන්ත්‍රණය කිරීමට අරගල කරුවන් සමත්වී තිබේ.    
පුර්ව උපායමාර්ගික සැලසුම් වල වාසිය පාවිච්චි කර අරගලය සඳහා පොදු උපදෙස් සම්පාදනය හා ප්‍රචාරය කළ හැක. ජනතාව විරුද්ධ විය යුත්තේ සහ සහයෝගය නොදැක්විය යුත්තේ කුමණ  කාරණා සහ කුමණ තත්ත්වයන් යටතේද සහ ඒවා කළ හැක්කේ කෙසේද යන්න මේ මගින් ඉස්මතු කර දැක්විය හැක. එවිට ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයෙන් වන සන්නිවේදනය ඇණහිටිය විටෙක දී සහ නිශ්චිත උපදෙස් නිකුත් කර නොමැති හෝ නොලැබුණු විටෙක දී පවා යම් වැදගත් අවස්ථාවන්හිදී ක්‍රියා කළ යුතු අන්දම ගැන ජනතාව දැනුවත් වී සිටිනු ඇත. දේශපාලන පොලිසිය විසින් අපකීර්තියට පත්කිරීමේ ක්‍රියාවන් ඇවිස්සීම සඳහා සැලසුම් කරන ලද ව්‍යාජ ‘අරගල උපදෙස්’ හඳුනා ගැනීමට  මෙම පොදු උපදෙස් මගින්  මානකයක්  සපයනු ලැබේ.

මැඩ පැවැත්වීම් සහ ප්‍රතික්‍රියා
ඒකාධිපතින් විසින් ප්‍රජාතන්ත්‍රවාදී අරගල ක්‍රියාදාමයන්ට එරෙහිව කළහැකි ප්‍රතික්‍රියා සහ  මර්දනයන් විශේෂයෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇරඹීමේ හැකියාව උපාය මාර්ගික සැලසුම් කරුවන් විසින් තක්සේරු කල යුතුය. මෙම වැඩිවිය හැකි මර්දනයට යටත්වීමකින් තොරව මුහුණ දෙන්නේ කෙසේද සහ එයට විරුද්ධව ක්‍රියා කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම අවශ්‍ය වේ. බලාපොරොත්තු විය හැකි මර්දනයන් පිළිබඳව නිශ්චිත අවස්ථා වලදී උපායශීලිව ජනතාවට සහ අරගල කරුවන්ට යෝග්‍ය පරිදි අනතුරු හැඟවීම් කිරීම සුදුසුය.  මක්නිසාද යත් ඒ මගින් අරගලයට සහභාගී වීමේ අවදානම පිළිබඳව ඔවුන් දැනුවත් වන බැවිනි.  මර්දනය බරපතල වන්නේ නම් තුවාල වන අරගල කරුවන්ට වෛද්‍ය ආධාර සැපයීමට කියා කිරීම අවශ්‍ය වේ.
මර්දනය බලාපොරොත්තු වන උපාය මාර්ගික සැලසුම් කරුවන් විසින් අරගල ව්‍යාපාරයක නිශ්චිත අරමුණ හෝ විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා යෙදවිය හැකි උපායයන් සහ ක්‍රම වේදයන් කල්තබා සැලසුම් කිරීමට මනාසේ කටයුතු කරනු ඇත. ඒ මගින් අනුකම්පා විරහිත මර්දනයක් ඇතිවීමේ හැකියාව අඩු කරනු ඇත. උදාහරණයක් වශයෙන් අන්ත ඒකාධිපතිත්වයකට එරෙහිව මහා මාර්ගයන්හි පෙළපාලි යාම නාටකීය වනු ඇති නමුත් ඒ මගින් පෙළපාලි කරුවන් දහස් ගණනින් මියයාමේ අවදානමක් ඇති කරයි.  ජනතාව නිවෙස් වලට වී සිටීම මගින් හෝ වැඩ වර්ජනයක් මගින් හෝ සිවිල් සේවකයන් විසින් කල හැකි මහා පරිමාණ සහයෝගය නොදීමේ ක්‍රියාවලියක් මගින් හෝ ඇතිකළ හැකි තරම් පීඩනයක් පෙළපාලි කරුවන්ට වන මේ මහා විනාශය මගින් ඒකාධිපතින් වෙත ඇති කිරීමට නොහැකි විය හැක.
තුවාල කරුවන් සහ මරණ බොහෝ සංඛ්‍යාවක් ඇති කල හැකි ප්‍රකෝපකාරී අරගල ක්‍රියා මාර්ගයක් උපාය මාර්ගික අරමුණක් සඳහා අවශ්‍ය යයි යෝජනාවක් කරනු ලැබුව හොත් යම් කිසිවකු විසින් යෝජනාවේ වාසි සහ අවාසි පිළිබඳව සුපරික්ෂාකාරිව අධ්‍යයනය කල යුතුය. අරගලය අතරතුරදී ජනතාව සහ අරගල කරුවන් විනය ගරුකව සහ ප්‍රචණ්ඩකාරී නොවන අන්දමින් හැසිරීමට ඉඩ තිබේද? ප්‍රචණ්ඩකාරිත්වය සඳහා වන ප්‍රකෝප කිරීම් වලට අවනත නොවීමට ඔවුන්ට හැකියාව තිබේද? ප්‍රචණ්ඩකාරී නොවන විනයක් පවත්වා ගැනීම සඳහාද දරුණු මර්දනයන් නොසලකා අරගලය ඉදිරියට පවත්වා ගැනීම සඳහාද ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව සැලසුම් කරුවන් විසින් සැලකිලිමත් විය යුතුය. මේ සඳහා ඇති ක්‍රියා මාර්ග අතර වන විවිධ පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ, විනය නීති පත්‍රිකා, පෙළපාලි සඳහා කණ්ඩායම් නායකයන් පත්කිරීම සහ ප්‍රචණ්ඩත්වයට නැඹුරු පුද්ගලයන් සහ කණ්ඩායම් ඈත් කර තැබීම වැනි දෑ කල හැකිද සහ ඒවායින් ප්‍රතිඵලයක් ලැබේද? පෙළපාලි කරුවන් ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමේ අභිප්‍රාය සහිත  ප්‍රකෝපකිරීමේ ඒජන්ත වරුන්ගේ ආගමනය පිළිබඳව නායකයන් සැම විටම සැලකිලිමත් විය යුතුය.
උපාය මාර්ගික සැලසුමට අනුගත වීම
ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සතුව ප්‍රබල උපාය මාර්ගික සැලැස්මක් ඇතිවිට ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාකාරකම් නොවැදගත් කාරණා කෙරෙහි යොමු කිරීමට මග පාදන සහ   ප්‍රධාන උපාය මාර්ගයෙන් හා යම් නිශ්චිත අරගල ක්‍රියාදාමයක් සඳහා වන උපාය මාර්ගයෙන් බැහැර වීමට ඔවුන් පොළඹවන ඒකාධිපතින්ගේ කුඩා ක්‍රියාකාරකම් කෙරෙහි  ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් අවධානය යොමු නොකළ යුතුය. එමෙන්ම එම අවස්ථාවේදී ඇතිවන චිත්ත වේගයන් (සමහර විට මේවා ඒකාධිපතින්ගේ නව කෘර ක්‍රියා කෙරෙහි ඇතිවන ප්‍රතික්‍රියා විය හැක) මගින්   ප්‍රජාතාන්ත්‍රික අරගලය ප්‍රධාන උපාය මාර්ගයෙන් සහ නිශ්චිත අරගල ක්‍රියාදාමයක් සඳහා වන උපාය මාර්ගයෙන් බැහැර වීමට ඉඩ නොතැබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදීන් ඔවුන්ගේ මනා කොට සැලසුම් කරන ලද ක්‍රියාවලියෙන් බැහැර වීමට පොළඹවා ඔවුන් ලවා ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරවීමටද එමගින් ඔවුන් පහසුවෙන් පැරදවිමටද පහසු වනසේ මෙම කෘර ක්‍රියා ඒකාධිපතින් විසින් නිශ්චිතව සැලසුම් කරනු ලැබිය හැක.
මූලික විශ්ලේෂණය සම්පුර්ණ බව නිශ්චය කර ගෙන ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල කාර්ය භාරය වන්නේ පියවරෙන් පියවර ඉදිරියට යාමයි. ඇත්ත වශයෙන්ම උපායයන්ගේ සහ අතරමැදි අරමුණු වල වෙනස්වීම් ඇතිවිය හැකි අතර හොඳ නායකයන් සැම විටම නව ඉඩ ප්‍රස්ථා ප්‍රයෝජනයට ගැනීමට සුදානමින් සිටිනු ඇත. මෙම වෙනස් කිරීම් ප්‍රධාන උපාය මාර්ගයේ අරමුණු  හෝ නිශ්චිත අරගල ක්‍රියාදාමයක් සඳහා වන උපාය මාර්ගයේ අරමුණු සමඟ පටලවා නොගත යුතුය. තෝරාගත් ප්‍රධාන උපාය මාර්ගය  සහ නිශ්චිත අරගල ක්‍රියාදාමයක් සඳහා වන උපාය මාර්ගය සැලකිල්ලෙන් ක්‍රියාත්මක කිරීම ජයග්‍රහණය සඳහා බොහෝ සෙයින් උපකාරී වනු ඇත.


No comments:

Post a Comment