පාර්ලිමේන්තුව
එහි ආයු කාලය වසර හතර හමාරක් ඉකුත්වීමට ප්‍රථම විසුරුවා හරිමින් ජනාධිපතිවරයා
නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමඟ ධුරය
දරනලද අගමැති ඉවත් කිරීමෙන්ද පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය නොමැති අයකු අගමැති
ලෙස පත් කිරීමෙන්ද එම පත් කිරීමෙන් පසු අයුතු බලපෑම් යොදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ
විශ්වාසය එම පත්කරන ලද අගමැතිවරයාට ලබා ගැනීමට උත්සාහ කිරීමෙන්ද එම ව්‍යායාමය
සාර්ථක කර ගැනීම සඳහා අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන්ද මන්ත්‍රීවරුන්ගේ
විශ්වාසය දිනා ගැනීමට නොහැකි වූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්ද එම විසුරුවා
හැරීම තාවකාලිකව අවලංගු කරමින් අධිකරණය දුන් අතුරු තහනම් නියෝගයෙන් පසුව
පාර්ලිමේන්තුව රැස්වී පත් කරණ ලද අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසය නොමැති බව
ප්‍රකාශකිරීමෙන් පසුව එම තීන්දුව නොපිලිගනිමින්ද කටයුතු කළ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ලෙස රාජ්‍ය
බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය පරාජය වී ඇත. මෙම කුමන්ත්‍රණයේ අනෙක් පාර්ශ්ව කරුවා
මහින්ද රාජපක්ෂය. ඔහු 2015 ජනවාරි 8 වනදා රාත්‍රියේ ජනාධිපතිවරණය පරාජය
වීමෙන් පසුව ඇඳිරි නිතිය පනවා ජනාධිපතිවරණ ප්‍රතිඵල නොපිළිගනිමින් ඔහුගේ
අන්තේවාසික අගවිනිසුරු ගේ ද අනුග්‍රහය ඇතිව දිගටම බලයේ රැඳී සිටීමේ උත්සාහයක් එවකට
සිටි නීතිපති, හමුදාපති සහ පොලිස්පතිහේ විරෝධයෙන් වැළකුණු බව වාර්තා වී තිබේ. 2018 ඔක්තෝබර් 26 වන දින සන්ධ්‍යාවේ
දියත් කරණ ලද කුමන්ත්‍රණය තුළ මෙරට රාජ්‍ය නිලධාරින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද
ජනතාවද හැසිරුණ ආකාරය සලකා බැලීම මෙම කෙටි
ලිපියේ අරමුණ වේ.
මෙම
අර්බුදය තුලදී කථානායක වරයා නීතිපති ගෙන් උපදෙස් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු එම
උපදෙස් ලබාදීම ප්‍රතික්ෂේප කළේය. රට මුහුණ දුන් මෙම බරපතල අවස්ථාවේදී ඔහු
ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය. නිතිපති සහ ප්‍රති තර්ක ඉදිරිපත් කළ
තවත් නීතිඥයන්ගේ දියාරු තර්ක අධිකරණය විසින් නිෂ්ප්‍රභා කරණ ලදී. නීතිපති ඉදිරිපත්
කළ ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම් ජනාධිපති දෝෂාභියෝගයකට ලක් කළ හැකි
බවත් එබැවින් අධිකරණයට මෙම පෙත්සම් විභාග කිරීමට බලයක් නොමැති බවටත් ඔහු ගෙන ආ
තර්කයද කරුණු සහිතව නිෂ්ප්‍රභා කර ඇත. ඔවුන්ගේ ප්‍රමුඛ තර්කය වූ 33(2)
(ඇ) ව්‍යවස්ථාව
වෙනම සලකා බලා ජනාධිපතිට ඕනෑම අවස්ථාවක
පාර්ලිමේන්තුව විසුරවිය හැකිය යන්න අධිකරණය නිෂ්ප්‍රභා කලේ මෙම ව්‍යවස්ථාවේ
විසුරවන කාර්ය පටිපාටිය සඳහන්ව නැති බවත් එය සඳහන්ව ඇත්තේ 70 (1) ව්‍යවස්ථාවේ බැවින් ඒ දෙක එකට ගෙන සලකා බැලිය
යුතු බවත් ය. එමෙන්ම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට සීමාරහිත අභිමතයක් කිසිම විටක
නොමැති බවත් අධිකරණය පෙන්වා දී ඇත.
පසුගියදා
නිර්ලජ්ජිත ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා තමන් නීතිඥයකු නොවන බවත් තමන් කටයුතු කලේ සත් භාවයෙන් බවත් තමන් ගේ
ක්‍රියාව වෙනුවෙන් උසාවියේ පෙනී සිටි දිවයිනේ ප්‍රකට නීතිඥවරු මේ බව සනාථ කළ බවත්
කීය. ජනාධිපති චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ පසු සහ එය අධිකරණයෙන් සනාථ වූ
පසු ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ හැකියාවක් තිබේ. මෙයින් ගැලවීම සඳහාද
තමා වෙනුවෙන් උසාවියේ පෙනී සිටීම සඳහාද
ඔහු සිය නීතිඥයා වන නීතිපති පාවිච්චි කරයි. එබැවින් මෙම අවස්ථාවේදී නීතිපතිගේ
භූමිකාව පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුය. ජනාධිපතිවරයාට තමා වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයාට කීමට
අයිතියක් තිබිය යුතුය. මෙම මුළු ක්‍රියාවලිය සඳහාම ජනාධිපතිවරයා නීතිපතිගේ උපදෙස්
ලබාගෙන තිබුනේ නම් ජනාධිපතිවරයා දෝෂාභියෝගයකට ලක්විය හැකි මේ අවස්ථාවේදී
නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු නොවේද? එසේ නොමැතිව සමස්ත ක්‍රියාවලියෙන්
පසුව තමා වෙනුවෙන් පෙනී සිටින ලෙස ඔහු
නීතිපතිට කිවේනම් නීතිපතිට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් තිබුනේද? එසේනම්
ජනාධිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්නේ කවුද? එමෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය
අතර නීතිමය ආරවුලක් ඇතිවිට ඔහු ගත යුත්තේ කාගේ පැත්තද? මක් නිසාද යත් ඔහුට දෙපැත්තටම නීති උපදෙස්
නොදිය හැකි බැවිනි. එසේ එක් පැත්තක් ගැනීමේදී ඔහු මුහුණ දෙන ගැටළු මොනවාද? රාජ්‍යය යනු
ජනාධිපතිද? මේ
අවස්ථාවේදී මෙම ප්‍රශ්ණ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.
ජනාධිපති
ව්‍යවස්ථා විරෝධිව මැතිවරණයක් සඳහා නියෝග දෙන විට මැතිවරණ කොමිසමේ සභාපති ඒ
පිළිබඳව අර්ථ නිරුපනයක් ඉල්ලා උසාවි ගියේ නැත. නියුරන්බර්ග් අධිකරණ තීන්දුව අනුව
තමන්ට දෙන නීති විරෝධී තීන්දු පිළිපැදීම සඳහා රාජ්‍ය නිලධාරීන් බැඳී නැත. මේ
අවස්ථාවේදී මැතිවරණ කොමිසම නින්දා සහගත
ලෙස විධායකයට අවනත වී තිබේ. මැතිවරණ කොමිසමේ ගෞරවය ආරක්ෂා කරණ ලද්දේ මෙයට එරෙහිව
අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජිවන් හුල් ය.
තීරණාත්මක අවස්ථා වලදී බොරු කථා නොව වැඩ අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති අවබෝධ
කරගත යුතුය.
කථානායක
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කර තිබේ. ආණ්ඩුවක්
පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔහුගේ කාර්යයක් නොවේ. එනමුත් තීරණාත්මක අවස්ථාවකදී
විශේෂයෙන්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අවස්ථාවකදී සම්මත ක්‍රියාදාමයෙන් පිටතට
පැමිණ වඩාත් පළල් වූ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම අත්‍යවශ්‍ය
කාර්යයකි. පාර්ලිමේන්තුවේ බහුතරය කථානායක ගෙන් නියෝජනය වේ. පාර්ලිමේන්තුවේ බහුතරය
කුමන පැත්තේ දැයි තේරුම්ගත් මොහොතේ සිට ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියේය. විරුද්ධ
වාදීන් සඳහන් කරණ ඔහුගේ යූ ටර්න් එක එයයි.
මෙරට
බිහිවූ තාවකාලික නීති විරෝධී ආණ්ඩුවට පක්ෂපාත මන්ත්‍රීවරුද ඔවුන්ට පක්ෂපාත ජනතාවද
මෙය දේශපාලන මෙන්ම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් වුවත් එය රටේ දීර්ඝ කාලීන ප්‍රජාතන්ත්‍රවාදයට
එරෙහි වුවත් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලට පක්ෂ වූහ. කුමාර වෙල්ගම එක් ව්‍යතිරේකයකි.
බොහෝ උගත් පුද්ගලයන්ද එ.ජා. ප. යට සහ එහි නායකයාට තිබූ විරෝධය නිසා කුමන්ත්‍රණයට
පක්ෂ වූහ. මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 8 වනදා මේ බව දැන සිටියේ නම් දිගටම
බලයේ රැඳී සිටිනු ඇත. මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් නිසියාකාර ලෙස ස්ථාපිතව
නොමැති බවට එක් සාධකයකි. කෙසේ වෙතත් නින්දා සහගත තත්ත්වයක් රටේ ඇතිව තිබියදී ජනතාව
සාමකාමීව සිටීම ඔවුන්ගේත් විශේෂයෙන්ම අගතියට ලක්වූ දේශපාලන පක්ෂයේ නායකයා ගේත්
පරිණත බවේ ලක්ෂණයකි.
ව්‍යවස්ථා
විරෝධී මැතිවරණ පැවැත්වීම ජනතා පරමාධිපත්‍යය ප්‍රකාශ වීමක් නොවන බව අධිකරණ
තීන්දුවේද පැහැදිලිව සඳහන් වේ. මෙම අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා මැතිවරණයක්
අවශ්‍ය යයි කීම ප්‍රලාපයකි. මක්නිසාද යත් අර්බුදය ඉබේ ඇතිවුවක් නොව ජනාධිපතිවරයා
විසින් හිතා මතා කුමන්ත්‍රණකාරී ලෙස ඇතිකරන ලද්දක් බැවිනි. එමෙන්ම පෙනෙන්නට ඇති
පරිදි අර්බුදයේ හේතුව දේශපාලනික එකකට වඩා පෞද්ගලික එකකි. සමහර විට ජනාධිපතිවරයාගේ
ලේකම් වරයා අල්ලස් දැලට හසු වීමද මෙයට හේතුවක් වන්නට ඇත.
අනිද්දා පුවත් පත 2018 12 23
No comments:
Post a Comment