Wednesday, January 2, 2019

Translation of the second chapter of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


සාකච්ඡා කිරීමේ අවදානම  
පළමුවන පරිච්ඡේදයේදී විමර්ශනය කල පරිදි ඒකාධිපතිත්වයකට අභියෝග කිරීමේ බරපතල ගැටළුවට මුහුණ දෙන විට සමහර ජනයා අකර්මන්‍ය ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් දක්වා පසුබැසීමට ඉඩ ඇත. අනෙකුත් අය ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීමේ කිසිම බලාපොරොත්තුවක් නොමැති බව පෙනුණු කල්හි නොබිඳිය හැකි බව පෙනෙන ඒකාධිපතිත්වය සමඟ  ‘සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම’, ‘යමක් කැපකර එකඟතාවයකට පැමිණීම’ සහ ‘සමාදානයකට එළඹීම’ මගින් සාධනීය අංග බේරාගනිමින් කෘරත්වය අවසන්කිරීමට තමන්ට හැකිවනු ඇතැයි  නිගමනය කිරීමට ඉඩ ඇත.   යථාර්තවාදී විකල්ප නොමැති බව මතුපිටින් පෙනෙන විට මේ ආකාරයේ චින්තන රටාවකට ආකර්ශනයක් තිබේ.
කෘර ඒකාධිපතිත්වයකට එරෙහිව බරපතල අරගලයක් කිරීම සුන්දර අපේක්ෂාවක් නොවේ. එම මාර්ගයේ යාමට ඇති අවශ්‍යතාව කුමක්ද? ඒකාධිපතිත්වය අනුක්‍රමයෙන් අවසන් කිරීම සඳහා සියලු දෙනාම සාධාරණ වී සංවාද  කිරීමට සහ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට නොහැකි ඇයි?  ඒකාධිපතින්ගේ මනුෂ්‍යත්වය කෙරෙහිවන දයාන්විත හැඟීමට ආයාචනය කර ඔවුන්ගේ ආධිපත්‍ය අනුක්‍රමයෙන් අඩුකරන ලෙස සහ සමහරවිට අවසානයේදී මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය  කරන ලෙස ඔවුන්ට ඒත්තු ගන්වන්නට  ප්‍රජාතන්ත්‍රවාදීන්ට නොහැකි ඇයි?
සත්‍යය සෑමවිටම එකම පැත්තක නොමැති බවට සමහරවිට තර්ක කරනු ලැබේ. සමහරවිට ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් අසීරු අවස්ථා වලදී යහපත් අභිප්‍රායයන් වෙනුවෙන් ක්‍රියා කළ ඒකාධිපතින් වරදවා වටහාගෙන තිබිය හැක. රාජ්‍යය මුහුණදෙන අසීරු අවස්ථාවෙන් තමන් සතුටින් ඉවත්වීමට ඒකාධිපතින් ක්‍රියා  කරන්නේ අනුබලදීමක් සහ පෙළඹවීමක් ඇතිවිට පමණක් බව සමහරු සමහර විට සිතනු ඇත. සියලුදෙනාටම යමක් ලැබෙන දෙපාර්ශ්වයම ජයග්‍රාහී වන විසඳුමක් එකාධිපතින් වෙත  ඉදිරිපත් කිරීමට හැකි යයි තර්ක කළ හැක. ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය සාමකාමිව සාකච්ඡා මගින් (මේ සඳහා ඇතැම් විට නිපුණ පුද්ගලයන් හෝ වෙනත් ආණ්ඩුවක් හෝ සහාය දීමට ඉදිරිපත් විය හැක.) ගැටුම විසඳාගැනීමට කැමැත්තේ නම් පමණක් අරගලය තවදුරටත් ගෙනයාමේ අවදානම සහ හිරිහැරය අනවශ්‍ය බවට තර්ක කළ හැක. ආයුධ සන්නද්ධ අරගලයක් හෝ ප්‍රචණ්ඩකාරී නොවන අරගලයක් හෝ වුවත් අසීරු අරගලයකට වඩා සාකච්ඡාව සතුටුදායක නොවන්නේද?
සාකච්ඡාවේ වාසි  සහ අවාසි
සමහර ගැටුම් තුළ ඇතිවන මතභේදයන් නිරාකරණය කර ගැනීමේදී සාකච්ඡාව බොහෝ වටිනා මෙවලමක් වන අතර එය සුදුසු අවස්ථාවේදී ප්‍රතික්ෂේප කිරීම හෝ නොසලකා හැරීම හෝ නොකළ යුතුය. සමහර අවස්ථා වලදී මූලික කරුණු කිසිවක් අවදානම් සහගත නොවන විට සහ එබැවින් යමක් කැපකර එකඟතාවකට පැමිණීම පිළිගත හැකි වන විට සාකච්ඡාව ගැටුමක් නිරාකරණය සඳහා වටිනා ක්‍රමවේදයක් වනු ඇත. වැඩි වැටුප් සඳහා සේවක වැඩ වර්ජනයක් ඇතිවිට සාකච්ඡා කිරීම ගැටුමකදී සාකච්ඡාව සුදුසු ලෙස පාවිච්චි කිරීම පිලිබඳ මනා උදාහරණයකි. සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම මගින් සමහරවිට දෙපක්ෂය මගින් යෝජනා කරන ලද වැටුප් අනුපාත වලට වඩා වැඩි යමක් දිනා ගත හැකි වනු ඇත. නිත්‍යානුකුල වෘත්තීය සමිති මැදහත් වී ඇති කම්කරු ආරවුල්, දීර්ඝ කාලීන කෘර ඒකාධිපතිත්වයක් ඇතිවිට හෝ දේශපාලන නිදහස තහවුරු කර ගැනීම අනතුරේ ඇතිවිට හෝ ඇතිවන ගැටුම් වලට වඩා බොහෝසෙයින් වෙනස් වේ.
අනතුරට පත්වී ඇතිකරුණු ආගමික මුල ධර්මයන්ට හෝ මානව නිදහස සම්බන්ධ කරුණු වලට  හෝ සමාජයේ   සම්පුර්ණ අනාගත දියුණුවට හෝ හානි වන ආකාරයේ නම් සාකච්ඡා කිරීම මගින් දෙපාර්ශ්වයටම සෑහීමකට පත් විය හැකි විසඳුමකට පැමිණිය නොහැක. මූලික කාරණා සම්බන්ධයෙන් ඒවා කැපකර එකඟත්වය කට පැමිණීම නොකළ හැක. බල සම්බන්ධතා ප්‍රජාතන්ත්‍ර වාදීන්ට වාසි සහගත වනසේ විතැන් වේ නම් පමණක් අනතුරට පත්වී ඇති මූලික කරුණු ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කරගත හැක. එවැනි විතැන් වීමක් සිදුවන්නේ අරගලයකින් පමණි. සාකච්ඡාමගින් නොවේ. මෙයින්  අදහස් කරනු ලබන්නේ සාකච්ඡාව කිසිසේත් භාවිතා නොකළ යුතු බව නොවේ. මෙයින් ඉස්මතු කරනු ලබන්නේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වයක් නොමැතිවිට ප්‍රබල ඒකාධිපතිත්වයක් අවසන් කිරීම සඳහා සාකච්ඡාව ප්‍රතිඵල දායක නොවන බවයි.
සාකච්ඡාව කිසිසේත්ම විකල්පයක් නොවිය හැක. ස්ථිර ලෙස තහවුරු වී ඇති තමන් ආරක්ෂා සහිත බව හැඟෙන ඒකාධිපතීන් ප්‍රජාතන්ත්‍ර වාදී විරුද්ධවාදීන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ තිබේ. එසේ නොමැතිනම් සාකච්ඡා ආරම්භ වූ පසුව ප්‍රජාතන්ත්‍රවාදී  සාකච්ඡා කරුවන් අතුරුදහන් වී ඔවුන් ගැන කිසිම ආරංචියක් නැවත නොලැබීමට ඉඩ තිබේ.
සාකච්ඡාව මගින් යටත් වීම
ඒකාධිපතීන්ට විරුද්ධවන සහ සාකච්ඡා සඳහා සහාය දක්වන පුද්ගලයන්ට  සහ කණ්ඩායම් වලට  බොහෝවිට යහපත් අභිප්‍රායන් ඇත. විශේෂයෙන්ම කෘර ඒකාධිපතිත්වයකට එරෙහිව අවසාන ජයග්‍රහණයක් නොමැතිව දීර්ඝ කාලීන සන්නද්ධ අරගලයක යෙදී සිටින විට කුමන දේශපාලන දෘෂ්ටියක පිහිටියත් සියලුම ජනයා සාමයට කැමතිවීම අවබෝධ කරගත හැක. ඒකාධිපතීන්ට තමන්ට වඩා  ප්‍රබල හමුදා බලයක් තිබෙන විට සහ තම ජනයා  විනාශවීම සහ මරාදමනු ලැබීම තවදුරටත් දරා ගැනීමට නොහැකි වන විට සාකච්ඡා කිරීම ප්‍රජාතන්ත්‍ර වාදීන් අතර මතභේදයට තුඩුදෙන කාරණයක් බවට පත්වීමට ඉඩ තිබේ. එවිට ප්‍රචණ්ඩත්වයේ  සහ ප්‍රති ප්‍රචණ්ඩත්වයේ චක්‍රය අවසන්කරමින් ප්‍රජාතන්ත්‍ර වාදීන්ගේ ඉලක්ක වෙත ළඟා වීමට හැකි වෙනත් ක්‍රියා මාර්ගයක් පිලිබඳ සොයා බැලීමට බලවත් පෙළඹවීමක් ඇති වනු ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ වාදීන් සමඟ වන සාකච්ඡාවක් මගින් ඒකාධිපතිත්වයක් විසින් “ සාමය” පිරිනමනු ලැබීම ඒකාන්තයෙන්ම අනතුරුදායක වනු ඇත. තමන්ගේම ජනයා සමඟ යුද්ධ කිරීම නවත්වා දැමුවහොත් පමණක් ප්‍රචණ්ඩත්වය වහාම නවතා දැමීමට ඒකාධිපතීන්ට හැකිවනු ඇත. ඔවුන්ට තවකෙකු සමඟ කේවල් කිරීමකින් තොරව තමන් විසින්ම ක්‍රියාත්මක වී  මානව ගරුත්වය සහ හිමිකම් නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමද දේශපාලන හිරකරුවන් නිදහස් කිරීම ද වධ හිංසා නැවැත්විමද හමුදාමය මෙහෙයුම් නැවැත්විමද ආණ්ඩුකරණයෙන් ඉවත්විමද ජනතාව ගෙන් සමාව අයැදීමද කළ හැක.
ඒකාධිපතිත්වය ප්‍රබල වන විට සහ නිතර කෝපකරවන සුළු විරෝධයක් ඇතිවිට ඒකාධිපතින් විසින්  “සාමය” උදෙසා විරුද්ධවාදීන් සමග ඔවුන් යටත් වනතෙක් සාකච්ඡා කරනු ඇත. සාකච්ඡාව සඳහා වන ආරාධනය සිත් ඇදගන්නා සුළු වුවත් සාකච්ඡා මේසය තුළම බරපතල උවදුරු සැඟව තිබිය හැක.
අනෙක් අතට විරුද්ධවාදීන් බලාපොරොත්තු රහිත ලෙස ප්‍රබල වී ඇති විට සහ ඒකාධිපතිත්වය සැබෑ ලෙසම තර්ජනයට ලක් වී ඇති විට ඔවුන්ගේ ධනය සහ බලය හැකිතාක් රැක ගැනීම උදෙසා ඒකාධිපතින් සාකච්ඡාව සඳහා උත්සුක වනු ඇත. මේ අවස්ථා දෙකෙන් එකකදීවත් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ඒකාධිපතීන්ට ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය සඳහා ඉඩ නොදිය යුතුය.
ඒකාධිපතින් විසින් සාකච්ඡා ක්‍රියාදාමය තුළට හිතා මතාම ඇතුල් කරන ලද  උගුල් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීන් පරික්ෂාකාරී විය යුතුය.ඒකාධිපතින් විසින් ප්‍රජාතන්ත්‍රවාදීන්ට දේශපාලන ස්වාධිපත්‍යය අඩංගු මූලික කරුණු සම්බන්ධ සාකච්ඡාවකට ආරාධනා කිරීම ඒකාධිපතිත්වයේ ප්‍රචණ්ඩත්වය පවතින අතරතුරම ප්‍රජාතන්ත්‍රවාදීන්ට යටත්වීම සඳහා පෙළඹවීමක් සඳහා වන උත්සාහයක් වනු ඇත.  මෙවැනි ගැටුම් වලදී සාකච්ඡාවේ උචිත කාර්ය භාරය වනු ඇත්තේ තීරණාත්මක අරගලය අවසානයේදී නිශ්චිත ලෙස ඒකාධිපතින්ගේ බලය විනාශ කළ පසු ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරා නිරුපද්‍රිතව යාමට ඔවුන්ට පහසුකම් සැලසීමයි.
සාකච්ඡාවේ බලය සහ සාධාරණත්වය
මෙම විනිශ්චය සාකච්ඡාව පිලිබඳ රළු විවරණයක් ලෙස හැඟේ නම් එය පිළිබඳව ඇති විචිත්‍ර අදහස් සමනය කල  යුතුය. සාකච්ඡාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි දැක්මක් තිබිය යුතුය. සාකච්ඡාව යනු පාර්ශ්වයන් දෙකක් සමානාත්මතාව මත එකට හිඳගෙන තමන් අතර ගැටුමක් ඇති කිරීමට ඉවහල් වූ  වෙනස් මතවාද නිරාකරණය කරගැනීමට සංවාදයක යෙදීම නොවේ. කරුණු දෙකක් මතක තබා ගත යුතුය. පළමුවෙන්ම සාකච්ඡාවකදී ඇතිවන එකඟතාවයකට අඩංගු වන්නේ විරුද්ධ මතවාද සහ අරමුණු වල ඇති සාපේක්ෂ සාධාරණත්වය නොවේ. දෙවනුව සාකච්ඡාවකදී ඇතිවන එකඟතාවය බොහෝවිට තීරණය කරනු ලබන්නේ දෙපාර්ශ්වයට බලය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මතය.
බොහෝ අමාරු ප්‍රශ්ණ සලකා  බැලිය  යුතුය. එක් පාර්ශවයක් සාකච්ඡා මේසයේදී එකඟතාවකට ඒමට අසමත් වුවහොත් පසුව අනෙක් පාර්ශ්වය සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කළයුත්තේ කුමක්ද?  එකඟතාවයකට පැමිණීමෙන් පසු එක් පාර්ශවයක් එකඟතාව  කඩකර සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එකඟතාවයට පටහැනිව බලය පාවිච්චි කළ හොත් අනෙක් පාර්ශ්වය කළ යුත්තේ කුමක්ද?
සාකච්ඡාවකදී විසඳුමකට පැමිණෙන්නේ විසඳා ගැනීමට ඇති ප්‍රශ්ණ වල වැරදි නිවැරදි භාවය මත නොවේ. එම කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කළත් සාකච්ඡාවේ නියම ප්‍රතිඵලය ලැබෙන්නේ විරුද්ධ පාර්ශ්වයන්ගේ සාපේක්ෂ සහ නිරපේක්ෂ බලයේ ප්‍රමාණය පිළිබඳව කරනු ලබන තක්සේරුව මගිනි. ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඔවුන්ගේ අවම ඉල්ලිම් ප්‍රතික්ෂේප නොවන බවට වගබලාගත හැක්කේ කෙසේද? ඒකාධිපතින්ට බලයේ සිටිමින්ම ප්‍රජාතන්ත්‍රවාදීන්  බල රහිත කළ හැක්කේ කෙසේද? වෙනත් වචන වලින් කිවහොත් එකඟතාවයකට එළඹේ නම් එය බොහෝවිට එක් එක් පාර්ශ්වය දෙපාර්ශ්වයේම බලයේ ප්‍රමාණය පිලිබඳ සංසන්දනාත්මක තක්සේරුවකට එළඹ විවෘත අරගලය අවසන් කරන්නේ කෙසේදැයි ගණන් බැලීමේ ප්‍රතිඵලයකි.
එක් එක් පාර්ශ්වය එකඟතාවකට එළඹීම සඳහා කැප කරන්නේ කුමක්ද යන්න ද අනිවාර්යයෙන්ම  අවධානයට ලක් විය යුතුය. සාර්ථක සාකච්ඡාවකදී වෙනස්කම් පුපුරුවා හැර බොහෝ දේ කැපකර එකඟතාවකට පැමිණිය හැක. එක් එක් පාර්ශ්වයට තමන්ට අවශ්‍ය දෙයින් කොටසක් ලැබෙන අතර ඔවුන්ට තමන්ගේ අරමුණු වලින් කොටසක් කැප කිරීමට සිදුවනු ඇත.
සීමාන්තික ඒකාධිපතිත්වයන් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍ර වාදයට නැඹුරු බලවේග විසින් ඒකාධිපතින් වෙනුවෙන් කැපකළ යුත්තේ මොනවාද? ප්‍රජාතන්ත්‍ර වාදයට නැඹුරු බලවේග විසින් බාරගත යුත්තේ ඒකාධිපති න් ගේ කුමන අරමුණුද? අනාගත ආණ්ඩුවක ව්‍යවස්ථාපිතව තහවුරු කරන ලද කාර්ය භාරයක් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ඒකාධිපති න් ට (දේශපාලන පක්ෂයක් හෝ කුමන්ත්‍රණ කාරී හමුදා කල්ලියක්) පැවරීය යුතුද? එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද?
සාකච්ඡාවකදී සියළුම දේ සාර්ථකව සිදු වේ යයි අනුමාන කළත්,  මතු දැක්වෙන ප්‍රශ්ණ ඇසීම අවශ්‍ය වේ. ප්‍රතිඵලය වන්නේ කුමන ආකාරයේ සාමයක්ද?   ජීවිතය වඩාත් පහසු වන්නේ හෝ අසීරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීන් නව ආරම්භයක් ඇති කළ විටද නැතහොත් අරගලය ඉදිරියට ගෙන ගිය විටද?
“සම්මුතිකාමී” ඒකාධිපතීන්
ඒකාධ්පතින්ට බලය, තනතුරු , ධනය, සමාජය නැවත සකස්කිරීම වැනි ඔවුන්ගේ ආධිපත්‍යයේ මතුපිටට නොපෙනෙන  බොහෝ යටි අරමුණු සහ පෙළඹවීම් තිබිය හැක.ඔවුන් සිය අධිකාරි තනතුරු අත හැරියහොත් මේ කිසිවක් ඔවුන්ට නොලැබෙන බව අප විසින් මතක තබා ගත යුතුය. සාකච්ඡාවක් ඇති වුවහොත් ඒකාධිපතින් ඔවුන්ගේ අරමුණු සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරනු ඇත.
සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමේදී ඒකාධිපතින් විසින් සිය ප්‍රජාතාන්ත්‍රික විරුද්ධවාදීන් ගේ යටත්වීම සහතික කිරීමත් එළඹ ගත් සම්මුතීන් පසුව  නිර්ලජ්ජිතව බිඳ දැමීමත් උදෙසා  කුමන හෝ පොරොන්දුවක් දිය හැකි බව කිසිවකු විසින් අමතක නොකළ යුතුය.  
අරගලය මර්දනය කිරීම අත් හිටවීමේ වාසිය  උදෙසා  ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් අරගලය නවත්වා දැමුවහොත් එම ක්‍රියාව ඔවුන්ගේ පසුතැවීමට හේතු වනු ඇත. අරගලය නැවැත්වීම නිසා මර්දනයේ අඩුවක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මර්දනයට එරෙහි දේශීය සහ ජාත්‍යන්තර විරුද්ධත්වය අවසන් වූ පසු ඒකාධිපතින් විසින් ඔවුන්ගේ දුෂ්ට පාලනය සහ හිංසාව වඩාත් කෘර අන්දමින් තවදුරටත් කරගෙන යනු ඇත. ජනප්‍රිය අරගලයේ බිඳ වැටීම මගින් ඒකාධිපතිත්වයේ කෘරත්වය සහ අධිකාරිත්වය තුලනය කළ හැකි අන්දමේ ප්‍රතිබලයක පැවැත්ම ඉවත් කරයි.  එවිට ප්‍රජා පීඩක පාලකයන්ට තමන් කැමති දෙයක් කළ හැක. ක්‍රිෂ්නලාල් ශ්‍රීධරණි 5  මෙසේ කියා ඇත. “ ප්‍රජා පීඩක පාලකයන්ට අපට හානි කිරීමට බලය ඇත්තේ එයට විරුද්ධ වීමට අපට ශක්තිය නැතිතාක් පමණි.”
මූලික කරුණු වල එකඟතාවයක් නොමැති විට ගැටුමේ වෙනසක් සඳහා සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම නොව අරගලයේදී යටත් නොවීම අත්‍යවශ්‍ය වේ. ආසන්න වශයෙන්  සියළුම අවස්ථා වලදී ඒකාධිපතින් බලයෙන් පහ කිරීම සඳහා යටත් නොවන අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යා යුතුය. ජයග්‍රහණය බොහෝවිට තීරණය කරනු ලබන්නේ අරගලය දිගටම පවත්වා ගෙන යාමේ වඩාත් උචිත සහ ප්‍රබල ක්‍රම සහ විධි ප්‍රඥාවන්තව යොදා ගැනීම මගිනි. සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම මගින් නොවේ. වඩාත් විස්තරාත්මකව පසුව විමර්ශනය කරන පරිදි අපගේ උත්සාහය වන්නේ නිදහස සඳහා කෙරෙන අරගල වලදී දේශපාලන විරෝධතා ව්‍යාපාර සහ ප්‍රචණ්ඩකාරී නොවන අරගල අප ඉදිරියේ ඇති වඩාත් ප්‍රබල ක්‍රියා මාර්ග වන බවයි.
5 ක්‍රිෂ්නලාල් ශ්‍රීධරණි, හිංසාවෙන් තොර යුද්ධය :ගාන්ධිගේ ක්‍රමය සහ එහි ජයග්‍රාහිත්වය  පිලිබඳ අධ්‍යයනයක් (New  York: Harcourt,  Brace, 1939 and reprint New York and London: Garland Publishing, 1972) 260 වන පිට

කුමන ආකාරයේ සාමයක් ද?
ඒකාධිපතින් සහ ප්‍රජාතන්ත්‍රවාදීන්  සාමය අරමුණු කරගෙන සාකච්ඡා කරන්නේ නම් අතිශයින්ම පැහැදිලි චින්තන රටාවක් අවශ්‍ය වේ. මක්නිසාද යත් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති අනතුරු හේතුවෙනි.සාමය යන වචනය පාවිච්චි කරන සියළු දෙනාටම සාමය සමඟ නිදහස සහ සාධාරණත්වය අවශ්‍ය වන්නේ නැත. කුරිරු වූ දුෂ්ට පාලනයට යටත් වීම සහ   සිය ගණන් සහ දහස් ගණන් ජනතාව වෙත කෘර අපරාධ මුදාහළ අනුකම්පා විරහිත ඒකාධිපතින්ගේ ක්‍රියා අනියම්ලෙස අනුමත කිරීම නියම සාමය වන්නේ නැත. හිට්ලර් බොහෝ අවස්ථාවලදී සාමය සඳහා ආයාචනා කර තිබේ. එනමුත් ඔහු එයින් අදහස් කළේ ඔහුගේ අභිලාෂයන්ට අනුගත වීමය. ඒකාධිපතියකුගේ සාමය බොහෝවිට සිර මැදිරියක ඇති සාමයට හෝ සොහොන් ගැබක ඇති සාමයට වඩා වැඩි වන්නේ නැත.
මෙහි වෙනත් අනතුරුද තිබේ. සමහර අවස්ථාවලදී සාකච්ඡා කරුවන් විසින් සාකච්ඡාවේ අරමුණු සහ සාකච්ඡා ක්‍රියා දාමය හිතාමතාම අවුල් කරනු ලැබේ. එයට අමතරව ප්‍රජාතාන්ත්‍රික සාකච්ඡා කරුවන් හෝ සාකච්ඡා සඳහා සහාය දීමට එකඟවූ විදේශ විශේෂඥයන් විසින් සිය ප්‍රථම ක්‍රියාවෙන්ම රාජ්‍යය බලහත්කාරයෙන් අල්ලා ගැනීම මගින්ද මානව හිමිකම් උල්ලංඝනය හා වෙනත් කෘර ක්‍රියා මගින්ද ජාත්‍යන්තර සුජාතභාවය අහිමිවූ ඒකාධිපතියන්ට එම සුජාතභාවය නැවත ලබා දෙනු ඇත. කෙසේ හෝ ලබාගතයුතු එම සුජාතභාවය නොමැතිව ඒකාධිපතියන්ට සිය පාලනය දිගටම පවත්වාගත නොහැකි වේ. සාමයේ ප්‍රකාශනයන් මගින් එම සුජාතභාවය ඔවුන්ට ලබාදිය යුතු නොවේ.
අපේක්ෂාවන්ට  හේතු
ඉහත සඳහන් කළ පරිදි ප්‍රජාතාන්ත්‍රික අරගලයේ අපේක්ෂා රහිත ස්වභාවය නිසා  විපක්ෂ නායකයන්ට සාකච්ඡා ඇරඹිය යුතු යයි බලවත් හැඟීමක් ඇතිවිය හැක. කෙසේනමුත් එම බලවිරහිතභාවයේ හැඟීම වෙනස් කළ හැක. ඒකාධිපතිත්වයන් නිත්‍ය නොවේ.ඒකාධිපතිත්වයන් යටතේ වෙසෙන ජනතාව දිගටම දුර්වලව නොසිටිය යුතු අතර ඒකාධිපතින්ට දිගටම බලයේ සිටීමට ඉඩදිය යුතු නැත. බොහෝ කලකට පෙර ඇරිස්ටෝටල් විසින් මෙසේ කියා ඇත.”..... වෙනත් කිසිම ව්‍යවස්ථාවකට වඩා අඩු ආයුෂ රදළ ආණ්ඩුවලට සහ දුෂ්ට පාලනයන්ට ඇත.” 6  නවීන ඒකාධිපතිත්වයන්ද අනතුරට භාජනය විය හැක. ඒකාධිපතීන්ගේ දුර්වලතා වඩාත් බලවත් විය හැකි අතර ඔවුන්ගේ බලය විසිරී යා  හැකිය. (මෙම දුර්වලතා හතරවන පරිච්ඡේදයේදී වඩාත් විස්තරාත්මකව විමර්ශනය කරනු ඇත.)
මෑත ඉතිහාසය ඒකාධිපතිත්වයන්ගේ අනතුරට භාජනය වීමේ හැකියාව පෙන්වාදෙන අතර ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් විනාශ විය හැකි බව මතුකර දක්වයි.පෝලන්තයේ කොමියුනිස්ට් ඒකාධිපතිත්වය අවසන් කිරීමට ගතවුයේ දස වසරකි-1980-1990. නැගෙනහිර ජර්මනියේ සහ චෙකොස්ලෝවැකියාවේ 1989 දී එය සිදුවූයේ සති කිහිපයකිනි. එල් සැල්වදෝරයේ සහ ගෞතමාලාවේ  ආරක්ෂා සහිතව විසූ හමුදා ඒකාධිපතියන් 1944 දී බලයෙන් පහ කිරීමට අරගල කරුවන්ට ගතවූයේ දල වශයෙන් සති දෙකක කාලයක් බැගිනි. හමුදා බලයෙන් ශක්තිමත්වූ ඉරානයේ ෂා නිෂ්ක්‍රිය කරන ලද්දේ මාස කිහිපයකිනි. පිලිපීනයේ මාකෝස් ගේ ඒකාධිපතිත්වය 1986 දී ජනතා බලය ඉදිරියේ බිඳ වැටුණි. විපක්ෂ බලය පැහැදිලිව පෙනෙන විට එක්සත් ජනපද ආණ්ඩුව විසින් ජනාධිපති මාකෝස් ඉක්මනින් අතහැර දමන ලදී. සෝවියට් දේශයේ 1991 දී ඇති වූ දැඩි මතධාරීන්ගේ කුමන්ත්‍රණය දේශපාලන විරෝධතා ව්‍යාපාර මගින් දින කිහිපයක් තුළ නවත්වා දමන ලදී. ඉන්පසුව සෝවියට් දේශය විසින් යටත් කරගෙන සිටි ජාතීන් දින, සති සහ මාස ගණනක් තුළ නිදහස ලබා ගන්නා ලදී.
ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන අතර ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාවන් ගේ ප්‍රතිඵල ලැබීමට බොහෝ කාලයක් ගතවන බවට වූ පැරණි පූර්ව නිගමනය තව දුරටත් වලංගු නොවේ. ඒකාධිපතිත්වයට පාදකවූ තත්ත්වය සහ සමාජය වෙනස් වීමට සැළකියයුතු කාලයක් ගතවිය හැකි නමුත් ඒකාධිපතිත්වයට එරෙහි ප්‍රධාන සටන සමහර විට ප්‍රචණ්ඩකාරී නොවන අරගලයක් මගින් සාපේක්ෂව කෙටි කාලයකදී අවසන් කළ හැක.
සමුලඝාතනය කිරීමේ කල්පවතින යුද්ධයට හෝ කොන්දේසි සහිතව යටත් වීමට හෝ සාකච්ඡාව එකම විකල්පය වන්නේ නැත. දැන් දැක්වූ සහ පළමු පරිච්ඡේදයේදී ලැයිස්තු ගත කළ උදාහරණ මගින් පෙන්වා දෙන්නේ සාමයට සහ නිදහසට කැමති අයට වෙනත් විකල්පයක් ඇති බවයි. එනම් දේශපාලන විරෝධතා ව්‍යාපාර වේ.
6 ඇරිස්ටෝටල්, දේශපාලනය, පරිවර්තනය ටි. ඒ.සින්ක්ලෙයාර් (Harmondsworth, Middlesex, England and Baltimore, Maryland: Penguin Books 1976(1962)) පස්වන පොත දොළොස්වන පරිච්ඡේදය - 231, 232 පිටු  
---------------------------------------------------------------------------------------------------------------------------


No comments:

Post a Comment