Thursday, May 1, 2014

දෑත ශක්තිමත් කර ජනතාවට බනින හකීම් තියරිය

ප්‍රථම පන්තියේ අවස්ථාවාදියකු වන රවුෆ් හකීම් විසින් ඔක්තෝබර් 21 වනදා ‘දී අයිලන්ඩ්’ පුවත්පතට අනුව පහත සඳහන් ප්‍රකාශය කර තිබේ. වාර්තා කරන්නේ කල්මුනේ වාර්තාකරු එම්. ඒ. කලීල් ය. මේ එහි සිංහල පරිවර්තනයයි.

උපුටා ගැනීම

….ශ්‍රී ලංකාව මුහුණදුන් නරකම ශාපය වන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මග පෑදූ තුනෙන් දෙකේ බහුතර බලයයි.  මෙම ජනවරම කෙනෙකුගේ මතිභ්‍රමයන් සහ මනෝ විකාරයන් අනුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මගපාදා ඇති අතර  මේ සම්බන්ධයෙන් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇත්තේ සුළුජන කොටස්වලට බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක සහ අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා ඊයේ පැවසීය.

හිටපු වාණිජ කටයුතු පිලිබඳ ඇමති ඒ. ආර්. එම්. මන්සුර් පිළිගැනීම සඳහා පැවැති උත්සවයකදී කථාකළ  හකීම් මෙම ජනවරම සුළු ජාතික අයිතිවාසිකම්වලට එරෙහිව යෙදවීමට විරුද්ධව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වර්තමාන ආණ්ඩුවේ සන්ධාන පාර්ශ්වකරුවකු වශයෙන් හැකි සියලුදෙයම කරමින් සිටින බව කියා සිටියේය. “ අපි යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට තදබල ලෙස විරුද්ධ වූ අතර දැන් එය හමස් පෙට්ටියට දමා ඇත.”

හකීම් ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වීම කරමින් පොදුජන එක්සත් පෙරමුණ තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීම වැළැක්වීම සඳහා පසුගිය මහා මැතිවරණයේදී  පොදු සලකුණක් යටතේ තරඟ කරන ලෙස  එක්සත් ජාතික පක්ෂයේ බලවතුන්ට කියාසිටි අන්දම කරු ජයසුරිය මන්ත්‍රීවරයාගේ අවධානයට ලක්කර සිටියේය.

ඇමති හකීම් එම ස්ථාවරයෙන් ප්‍රකාශවන්නේ හුදු අහංකාරකම බව කියා සිටියේය. මුස්ලිම් කොන්ග්‍රසයට ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වීමට අවස්ථාවක් ලබා නොදීම ගැන ඔහු කණගාටුව ප්‍රකාශ කළේය….

උපුටා ගැනීම  අවසානයි.

පසුගිය මහා මැතිවරණයේදී පොදු පෙරමුණට තුනෙන් දෙකේ බලයක් හෝ ජනවරමක් මහජනතාව විසින් ලබාදුන්නේ නැත. දැන් තිබෙන තුනෙන් දෙකේ  බලය ඔවුන්ට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ සන්ධානය යටතේ තරඟ කර දැනට කාලයක් තිස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අභිලාෂයන්ට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දු වලට මුවාවී ජනතා කැමැත්තට පටහැනිව ආණ්ඩු පක්ෂයට එකතු වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු රවුෆ් හකීම් වැනිම වූ  අවස්ථාවාදීන් රැළකගෙන් සමන්විත මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී අහින  මගිනි. මෙම මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී අහිනේ සහයෝගය නොලබුනේ නම් ජනාධිපතිවරයාට සීමාවක් නොමැතිව මැතිවරණ තරඟ කිරීමට ඉඩ සලස්වන නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අභිලාෂයන්ටපටහැනි  18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අධිකරණයේ සහයෝගය තිබුනේ වුවද ආණ්ඩුවට නොහැකිවනු ඇත. මෙවැනි ජනතා ද්‍රෝහී නිර්ලජ්ජිත පාවාදීමක් කිරීමෙන් පසු  තමන් විසින් ලබාදුන් තුනෙන් දෙකේ බලය ජනතාව විසින් ලබාදුන්නක් සේ සලකා කරුණු වශයෙන් අසත්‍ය වූ ප්‍රකාශ කිරීම සහ මේ මගින් සුළුජන කොටස් වලට සිදුවන අපහසුතා ගැන කිඹුල් කඳුළු හෙලීම අධම ක්‍රියාවකි. ජාතික ප්‍රශ්නය විසඳීම වැනි බැරෑරුම් කටයුත්තක් සඳහා  මෙවැනි හිස් මිනිසුන්ගෙන් ලබාගත හැකි සහයෝගය කුමක්ද?

හර්ෂ ගුණසේන

published in Samabima 25th October 2013

No comments:

Post a Comment