Thursday, May 1, 2014

ප්‍රභාකරන් සහ මහින්ද

ප්‍රභාකරන් ශ්‍රී ලාංකික සහ ලෝක දෙමළ ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය නායකයෙකි. ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවට ලැබිය යුතු සාධාරණ අයිතිවාසිකම්වලින් ඔබ්බට ගොස් ඔවුන් සඳහා වන වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා ඔහු සටන් කළේය. ඔහුගේ සටන පරාජය වූයේ ලබා ගැනීමට නොහැකි ඉලක්කයක් තබා ගැනීම සහ සටන මෙහෙයවීමේදී ඔහු අනුගමනය කළ අත්තනෝමතික ක්‍රියා මාර්ගය නිසාය.
රජිව් ගාන්ධි ඝාතනය ඔහුගේ අත්තනෝමතික ස්වභාවය පෙන්නුම් කරන එක් සාධකයකි. මේ මගින් ඔහු තමා වෙත ලැබෙමින් තිබු ඉන්දීය රජයේ සහාය නැති කර ගත්තේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමඟ කළ සාකච්ඡා වටයේදී ඇන්ටන් බාලසිංහම් අභ්‍යන්තර ස්වයංනිර්ණ අයිතිය සඳහා එකඟ වූ විට ප්‍රභාකරන් එය නොපිළිගත්තේය. එම අවස්ථාව මෙරට දෙමළ ප්‍රජාවගේ පැත්තෙන් බලන විට ගිලිහී ගිය අගනා අවස්ථාවකි. යුද්ධය නවත්වන්නේ කොතැනද, සාකච්ඡා ආරම්භ කරන්නේ කොතැනද යන බව ඔහු නොදැන සිටියේය. යුද්ධයේ මධ්‍යම අදියරට එන විට තමන් ක්‍රමයෙන් පරාජය වන බව අවබෝධ කර ගැනීමේ ශක්තියක් ඔහුට නොතිබුණි. එම අවස්ථාවේදී සාම්ප්‍රදායික යුද්ධෝපක්‍රමවලින් බැහැරව නැවත ගරිල්ලා සටනක් ආරම්භ කළේ නම් ඔහුගේ පැවැත්ම තවදුරටත් දීර්ඝ වන්නට ඉඩ තිබුණි.
ඔහුගේ අත්තනෝමතික ස්වභාවය දෙමළ ජනතාවගේ අරගලය තීරණාත්මක ලෙස යුදමය පරාජයකට පත් කිරීමට ආණ්ඩුවට උපකාරී විය. මේ සියලු දුර්වලකම් තිබියදීත් ප්‍රභාකරන් බහුතර දෙමළ ජනතාවගේ වීරයෙකි. එසේ වන්නේ ආණ්ඩුවට ඔහු කළ දැවැන්ත අභියෝගය නිසාය. එම අභියෝගය නිශ්චිත අවසානයක් කරා ගෙන යාමට ඔහුගේ තිබූ නොහැකියාව ඔහුගේ ජනප්‍රියතාව අඩු වීමට හේතුවක් ලෙස දෙමළ ප්‍රජාව සලකන්නේ නැත.
බාලසිංහම් විසින් එකඟ වූ අභ්‍යන්තර ස්වයංනිර්ණ අයිතියට එකඟ නොවීමට ප්‍රභාකරන් විසින් තීරණය කරනු ලැබුවේ ඔහුගේ තිබූ අත්තනෝමතික ස්වභාවයට අමතරව ඔහු විසින් දෙමළ ප්‍රජාව සහ ඔහුගේ කාඩර්වරුන් වෙත ලබා දී තිබුණු වෙනම රාජ්‍යයක් යන සංකල්පයට පටහැනිව යාමට ඔහු තුළ තිබූ අකමැත්ත හේතුවෙනි.
දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව වෙනම රාජ්‍යයක් ප්‍රතික්ෂේප කරන මට්ටමක සිටියේ නම් සාකච්ඡා මගින් විසඳුමක් ලබා ගැනීම සඳහා ප්‍රභාකරන්ගේ එකඟත්වය ලැබීමට තිබූ ඉඩකඩ වැඩිය. අවසාන වශයෙන් බලන විට අන්තවාදී දෙමළ ප්‍රජාවගේ ද අත්තනෝමතික වූ ඔවුන්ගේ නායකත්වයේ ද සාමූහික එකඟත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ ප්‍රජාවගේ අරගලය පරාජයට පත් විය.
මහින්ද රාජපක්ෂ සිංහල ජනතාවගේ වීරයෙකි. තමන් නිරන්තරයෙන්ම මුහුණ දුන් දෙමළ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජයට පත් කළේ මහින්ද රාජපක්ෂ බව ඔවුන්ගේ පිළිගැනීමයි. යුද්ධය සාමූහික ප්‍රයත්නයක් වුවත් ඒ සඳහා විශාල බරක් තැබුවේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාය. යුද්ධය ජය ගැනීමට විනා ජයගත් යුද්ධයෙන් පසුව කළ යුතු දේශපාලන කාර්යභාරය පිළිබඳව ඔහුට මනා අවබෝධයක් නොතිබුණි. එම අවබෝධය හිටපු සෙන්පතිවරයෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවට තිබුණි.
යුද්ධය ජයගත් පසුව ජාතික ප්‍රශ්නය විසඳීමෙහිලා ඉදිරි සැලැස්මක් මහින්දට තිබුණේද නැත. බහුතර සිංහල ජනයා මෙන්ම ඔහුද කල්පනා කළේ ප්‍රශ්නය එතෙකින් අවසන් වූ බවය. දෙමළ ප්‍රජාවගේ සාධාරණ ප්‍රශ්නවලට නිසි විසඳුමක් ලබා දීමෙන් තොරව යුද ජයග්‍රහණය අර්ථ ශූන්‍ය වන බව අන්තවාදී සිංහල බෞද්ධයන්ටවත් ඔවුන්ගේ නායකයන්ටවත් පෙනී ගියේ නැත. යුද ජයග්‍රහණයෙන් පසුව ජාතික ප්‍රශ්නය සම්බන්ධව හොරගල් අහුලන ප්‍රතිපත්තියක් ද මරියකඩේ විදේශ ප්‍රතිපත්තියක් ද පවත්වාගෙන යාමේ අනිසි ප්‍රතිඵලවලට අද රටට මුහුණ දීමට සිදුවී ඇත.
මහින්ද රාජපක්ෂ ද ප්‍රභාකරන් මෙන්ම ක්‍රියා කරන්නේ අත්තනෝමතික ආකාරයටය. ශ්‍රී ලංකා ආණ්ඩුව ලබා ගත් යුද ජයග්‍රහණය තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට ඔහු අසමත්වී ඇත. දෙමළ ප්‍රජාව වෙනම රාජ්‍යයක් සඳහා කැමැත්තෙන් සිටියාක් මෙන් සිංහල ප්‍රජාවද ජාතික ප්‍රශ්නය සඳහා කිසිම විසඳුමක් දීම ප්‍රතික්ෂේප කර ඇත. සිංහල ප්‍රජාවගේ මේ අන්තවාදී ස්වභාවය ඔවුන්ගේ නායකයා වෙත බලපා ඇත.
ප්‍රභාකරන් සාකච්ඡාවලට අවතීර්ණ වන ප්‍රශස්ත අවස්ථාව මග හැරියාක් මෙන් මහින්ද ද ප්‍රශස්ත අවස්ථාවේදී දෙමළ ජනතාවට සාමයේ හස්තය දිගු කළේ නැත. මහින්ද ගමන් කරමින් සිටින්නේ ද ප්‍රභාකරන් ගමන් කළ අන්තවාදී සහ විනාශකාරී මාර්ගයේමය. මෙම මාර්ගයේ දිගටම ගමන් කළහොත් දෙමළ අරගලයට වුණ දේ ලංකාවටද වනු ඇත.
අපගේ විදේශ විනිමය ප්‍රතිපත්තිය සහ ජාතික ප්‍රශ්නය සඳහා වන ප්‍රතිපත්තිය නිවැරදි නොවන බව පෙන්වා දීමට පිළිවෙළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට සිදු විය. මෙම ආයතන දෙකම පෙන්වා දී ඇත්තේ කළ යුතු දේය. අප විසින් කළ යුතු දේ වෙනත් බලවතෙකු විසින් පෙන්වා දීම නින්දා සහගත වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සැලකූ ආකාරයටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට සැලකීමට ආණ්ඩුව කටයුතු කළොත් එය රටේ අනාගතයට යහපත් වනු ඇත. දෙමළ අරගලයට සිදු වූ දේ ලංකාවට සිදු නොවීමට එය හේතුවක් වනු ඇත.
ලෝකයේ ප්‍රථම මිනිස් බෝම්බය නිර්මාණය කළේත්, සන්නද්ධ රාජ්‍ය නොවන ව්‍යාපාරයක් මගින් ලෝකයේ ප්‍රථම වරට යුද, නාවික සහ ගුවන් හමුදා බලය අත්පත් කර ගත්තේත්, එම බිහිසුණු වූද ඉන්දීය හමුදාවට ද පරාජය කිරීම අසීරු වූද ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පරාජය කරනු ලැබුවේත් මේ පොළොවට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් විසිනි. මේ සියලු දෙනා උරෙන් උර ගැටී සිට ගතහොත් මේ රට ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම ආශ්චර්යයක් බවට පත් කිරීම එතරම් අසීරු කටයුත්තක් නොවනු ඇත
හර්ෂ ගුණසේන
(Published in Samabima on 3rd may 2012)

No comments:

Post a Comment