හර්ෂ ගුණසේන -
පසුගියදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් GSP සහනය නැවත ඉල්ලා නොසිටින බව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය සංවිධානය කළ සමුළුවකදී ප්‍රකාශ කර තිබුණි. එයට හේතුව වශයෙන් ඔහු දක්වා තිබුනේ සහනාධාර මත වෙළෙඳපොළ ප්‍රවර්ධනය නොකළ යුතු බවත් අපනයන ප්‍රවර්ධනයේදී අන්තර්ජාතික වශයෙන් තරගකාරී ලෙස අපනයන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට එය බාධාවක් විය හැකි බවත් ය. ඔහු එහිදී මේ අනුසාරයෙන් අපනයනකරුවන්ට දේශනාවක්ද කර තිබුණි. දි අයිලන්ඩ් පුවත්පත ඔහුට තරහ ගිය බව වාර්තා කර තිබූ අතර ඊට පසුදින ඔහු එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන GSP සහනය යනු කුමක්ද? කලකට පෙර සුනාමියෙන් පසු මෙරට අපනයන ආර්ථිකය ප්‍රවර්ධනයට උපකාර කිරීම සඳහා යුරෝපා සංගමය මගින් එහි සාමාජික රටවලට ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අඩු තිරුගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. GSP සහනය යනුවෙන් හඳුන්වන්නේ එයයි. එහි අරමුණ වුයේ සුනාමියෙන් අසරණවූ මෙරට ජනතාවට සහනයක් සලසා දීමයි. කලකට පසු එම සහනය දීර්ඝ කිරීම සඳහා නැවතත් මෙරට ජනතාව වෙනුවෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජය විසින් සපුරාලිය යුතු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරන ලදී. ජනතා හිතවාදී වූ එම යෝජනා අතර හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ පනතේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකුල නොවන වගන්ති ඉවත්කිරීම, එම ජාත්‍යන්තර සම්මුතියට අනුව පුද්ගලයන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට නීති සම්පාදනය කිරීම, එකී මානව හිමිකම් කමිටුව විසින් දැනට පුද්ගලයන්ගේ පැමිණිලි විභාග කිරීමෙන් පසුව ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම, සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක කිරීම ඒවා අතර ප්‍රධාන වේ. මේවා මර්දනකාරී ආණ්ඩුවකට එරෙහි ජනතා හිතවාදී කොන්දේසි වේ. ආණ්ඩුව මෙම කොන්දේසි පිළිගැනීම ප්‍රතික්ෂේප කර GSP සහනය අහෝසිවීමට ඉඩහැරියේ ය. එය දේශපාලන තීන්දුවකි. එනමුත් ආණ්ඩුවේ ආර්ථික පණ්ඩිතයන් විසින් ඉහත දැක්වූ හේතුව දක්වමින් ආර්ථික වශයෙන් එම තීන්දුව සාධාරණිකරණය කිරීමට උත්සහ කරමින් දේශනා පවත්වන ලදී. මේ තීන්දුව නිසා බොහෝ සෙයින් පසුබෑමට ලක්වූ ඇඟලුම් අපනයන ව්‍යාපාරිකයන් ගේ ව්‍යාපාර වැසීගිය පසු ආණ්ඩුව නැවතත් GSP සහනය ඉල්ලා සිටීමට යනබව පසුගියදා පුවත්පත් විසින් වාර්තා කරන ලදී. නැවතත් අපට පැරණි දේශනාව අසන්නට ලැබෙන්නේ මේ පසුබිම යටතේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අපනයන ව්‍යාපාරිකයන් ඉදිරියේ ඉහත දේශනාව කිරීමට පෙර මෙරට අපනයන දිරිගැන්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් ඔහු විසින් සකසා තිබේද? එය ආණ්ඩුවේ වගකීම යයි අපි විශ්වාස කරමු. පසුගිය කාලය තුල මෙරට අපනයන අදායම දිගින් දිගටම අඩුවූ බවත් ආනයන වියදමද අඩුවුවත් අපනයන අදායම සහ ආනයන වියදම අතර පරතරය දිගින් දිගටම වැඩිවූ බවත් අපි දනිමු.
රටක ආර්ථික වර්ධනයේ අඩිතාලම වියයුත්තේ එරට අපනයනයි. රටක අපනයන එරට ආර්ථික වර්ධනයේ ප්‍රමුඛ කාර්යය ඉටුකරන විට එම වර්ධනය ස්ථිර සාර වේ. අපනයන වර්ධනය සඳහා රටක් මුලික වශයෙන් කළ යුත්තේ කුමක්ද? එරට අපනයනවල මිල අන්තර්ජාතික වශයෙන් තරඟකාරී මට්ටමෙන් පවත්වා ගැනීමට උදවු කිරීමයි. රටක අයවැය හිඟය වැඩිවී එරට උද්ධමන අනුපාතිකයද පොලි අනුපාතිකයද වැඩිවන විට අපනයන ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන වියදම වැඩිවේ. මෙම වැඩිවන නිෂ්පාදන වියදම හේතුවෙන් අන්තර්ජාතික වෙළෙඳපොලේ සිය භාණ්ඩවල මිල ඉහල දැමීමට අපනයන ව්‍යාපාරිකයන්ට නුපුළුවන. තරඟකාරී අනෙකුත් රටවල්වල නිෂ්පාදකයන්ටද එම රටවල් තුළ මෙවැනි අවාසිදායක තත්ත්වයන් ඇති නොවේ නම් කෙසේවත් එසේ කළ නොහැක. අපනයන ව්‍යාපාරිකයන් මෙම අලාභය පියවා ගන්නේ පොලි අනුපාතිකය වැඩිවන ප්‍රමාණයට විදේශ මුදලට සාපේක්ෂව අවප්‍රමාණය වන දේශීය මුදල නිසාය. මෙම ආණ්ඩුව උද්ධමන අනුපාතිකය සහ පොලි අනුපාතිකය අඩුවෙන් තබාගැනීමට උත්සාහ කලත් එය දිගටම සාර්ථක වී නොමැත. වඩාත් බරපතල කාරණය වන්නේ අපනයන ව්‍යාපාරිකයන්ට සිය අලාභය අවම කර ගැනීමට හැකිවනසේ රුපියල වෙළෙඳපොළ බලවේග අනුව අවප්‍රමාණය වීමට ඉඩ නොහැරීමයි.
ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාගේ අධීක්ෂණය යටතේ ඇති දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව VAT බදු ආපසු ගෙවීම සම්බන්ධයෙන් අපනයන ව්‍යාපාරිකයන්ට සලකනු ලැබුවේ හොරුන්ට සලකන ආකාරයටය. හොරකම්වලට වගකිවයුතු පුද්ගලයන් ඉහල තනතුරුවලට පත්කර සාමාන්‍ය අපනයන ව්‍යාපාරිකයන්ට හොරුන්ට ලෙස සලකා ඔවුන්ට ආපසු ගෙවිය යුතු මුදල් ආපසු ගෙවීම පමා කිරීම අපනයන ප්‍රවර්ධනයට නිශ්චිත ලෙසම අහිතකර ලෙස බලපායි. වැදගත් කරණය වන්නේ මෙසේ ආපසු ගෙවීම පමා කරන්නේ භාණ්ඩාගාරයෙන් අතින් ගෙවන මුදලක් නොවේ. VAT බදු වශයෙන් අපනයන කරුවන්ට සපයන ලද භාණ්ඩ වෙනුවෙන් එම සැපයුම්කරුවන් විසින් භාණ්ඩාගාරයට ගෙවන ලද මුදල් ය. SVAT ක්‍රමය හරහා යම් සහනදායි මට්ටමක් ඇති නමුත් තත්ත්වය සම්පුර්ණයෙන්ම සමනය වී නොමැත.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අපනයනකරුවන්ට දේශනා කරන අතරතුර ආණ්ඩුව රාජ්‍ය අංශය ශක්තිමත් කරයි. ප්‍රධාන පෙලේ ව්‍යාපාරවල සේවක අර්ථසාධක අරමුදල හරහා රාජ්‍ය සමාගම් විසින් ආයෝජනය කර ඇති අතර රාජ්‍ය නියෝජිතයන් එම අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කර ඇත. හමුදාව ව්‍යාපාරවලට එළඹෙන තත්ත්වයක් උතුරේ මෙන්ම දකුණේද ඇත. රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව අනුක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.
මෙසේ කටයුතු කරන ආණ්ඩුවක මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අපනයන ව්‍යාපාරිකයන් ඉදිරියේ ඉහත සඳහන් දේශනාව කිරීමට ඇති අයිතිය කුමක්ද?
Published in Samabima 23rd July 2013
No comments:
Post a Comment