මැද පෙරදිග ලාභ ශ‍්‍රමය මත රැදෙන අපේ ආර්ථිකය
හර්ෂ ගුණසේන
පසුගිය දා පැවැති G20 සමුළුවේදී චීනය සිය මුදල් එ්කකය වන යුවානය අඩු අගයක පවත්වාගෙන යන බවට වන ඇමෙරිකානු චෝදනාව අලූත් විය. ඊට ප‍්‍රති උත්තර වශයෙන් ඇමෙරිකාව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ඩොලර් නෝට්ටු අච්චු ගසන බව චීනය කියා සිටියත් මෙම රටවල් දෙකම උත්සාහ කරන්නේ තම මුදලේ අගය අඩු මට්ටමක තබා ගැනීමටය. එයට හේතුව එ් මඟින් තම රටවල්වලින් කෙරෙන අපනයන ජාත්‍යන්තර වෙළඳපොළේ තරගකාරී මට්ටමක තබාගෙන අපනයන ආදායම වැඩිකර ගැනීමට උත්සාහ දැරීමයි.
ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. ආණ්ඩුව රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂව වැඩි අගයක තබා ගැනීමට උත්සාහ කරයි. මේ විෂයභාර බලධාරීන් නුදුරු අනාගතයේදී රුපියලේ අගය වැඩිවන බවට අනාවැකි ප‍්‍රකාශ කර ඇති අතර වෙළඳපොළේ දී අනුක‍්‍රමයෙන් මේ අනාවැකි සනාථ වෙමින් පවතී. මේ ප‍්‍රතිපත්තියෙන් රටේ ආපනයනවලට වන හානිය ගැන ආණ්ඩුවට තැකීමක් නැත. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ අනුක‍්‍රමයෙන් වැඩි වෙමින් පවතින මෙරට ශ‍්‍රමිකයන් පිටරටවල රැකියාව කර මෙරටට එවන මුදල්ය.
2008 වර්ෂය ගතහොත් මෙරට මුළු අපනයන ආදායම රු. බිලියන 878 ක් වන විට ශ‍්‍රමිකයන් උපයා එවා තිබෙන මුදල් ප‍්‍රමාණය රු. බිලියන 316 කි. මෙය මුළු අපනයන ආදායමෙන් 36% ක් වන අතර මෙම ප‍්‍රතිශතය වසරක් පාසා වැඩිවෙමින් පවතී. මෙම රුපියල් බිලියන 316 න් 60% ක් එනම් රු. බිලියන 189 ක් ලැබී ඇත්තේ මැද පෙරදිග රටවලිනි.
2008 වසරේදී
තේ, රබර්, පොල් ඇතුළු සියලූ කෘෂිකාර්මික අපනයනයන් ගෙන් ලද අදායම රු. බිලියන 200 කි.
ඇඟළුම් අපනයනයෙන් ලද ආදායම රු. බිලියන 376 කි. (මෙයින් විශාල ප‍්‍රමාණයක් ඇඟළුම් කර්මාන්තයට අදාළ අපනයන වෙනුවෙන් වැය වේ.)
ආහාර අපනයනය වෙනුවෙන් වැය කර ඇති මුදල රු. බිලියන 123 කි.
මෝටර් රථ, බෙහෙත්, ටයර් ආදී වෙනම පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් වැය කර ඇති මුදල රු. බිලියන 113 කි.
2009 වසරේදී
ආරක්ෂාව වෙනුවෙන් වැය කර ඇති මුදල රු. බිලියන 135 කි.
අධ්‍යාපනය වෙනුවෙන් වැය කර ඇති මුදල් රු. බිලියන 77 කි.
සෞඛ්‍යය වෙනුවෙන් වැය කර ඇති මුදල බිලියන 56 කි.
2008 වර්ෂයේ විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් 67% ක් ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ‍්‍රමිකයන්ගෙන් සමන්විත වේ. මෙම ප‍්‍රතිශතය 2000 වර්ෂයේදී 74% ක් විය. මේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ආර්ථිකයට විදේශගත ගෘහ සේවිකාවන්ගෙන් සහ නුපුහුණු ශ‍්‍රමිකයන්ගේ දායකත්වයේ ප‍්‍රමාණය පැහැදිලි වේ. මේ අව වරප‍්‍රසාදිත කොටස් වෙනුවෙන් රජයේ දායකත්වය පසුගිය වසර ගණනාව තිස්සේ ඉහළ ගියත් එය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි මට්ටමක නොපවතී. සංසන්දනාත්මකව බලතොත් රු. බිලියන 189 ක් මුදල් උපයා මෙරටට එවූ මැද පෙරදිග ශ‍්‍රමිකයන්ට දෙනු ලැබූ රාජ්‍ය දායකත්වය රු. බිලියන 37 ක ආදායමක් ලැබූ සංචාරක කර්මාන්තයට දෙන ලද රාජ්‍ය දායකත්වයට අලගු තැබීමටවත් ප‍්‍රමාණවත් නැත. විදේශගතව සිටින වෘත්තිකයන්ගේ ප‍්‍රතිශතය මුළු විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් 1% කි.
රජයේ දිගු කාලීන වගකීමක් වන්නේ විදේශගත වන ශ‍්‍රමිකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවා රටට වැඩි ආදායමක් ලබා ගැනීමට කටයුතු කිරීමයි. එමෙන්ම රජයේ කෙටි කාලීන වගකීම වන්නේ දැනට විදේශගත වන ශ‍්‍රමිකයන්ගේ සේවා තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම සහ විදේශ ගත වීමේ ක‍්‍රියාවලිය ඔවුන්ට වඩාත් පහසු කිරීමයි.
එනමුත් රජය දැන් කරමින් සිටින්නේ ඉතා අඩු වියදමකින් ලැබෙන මෙම මුදල්ද උපයෝගී කරගනිමින් විනිමය අනුපාතය ඉහළ නැංවීමට කටයුතු කිරීමයි. එමඟින් එම මුදල් එවන ශ‍්‍රමිකයන්ට ලංකාවේදී ලැබෙන රුපියල් ප‍්‍රමාණය අඩුවන අතර රටට විදේශ මුදල් රැගෙන එන අපනයනකරුවන්ට ව්‍යාපාරික වශයෙන් අවාසි සහගත තත්ත්වයක් ඇතිවේ.
අප ආනයනය කරන සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙන එ්මට විශාල දායකත්වයක් සපයන්නේ මැද පෙරදිග වහල් සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ‍්‍රමිකයන් ස්වකීය දහදියෙන්, කඳුළෙන්, සුසුමෙන් සහ ලෙයින් උපයන සොච්චම් මුදල් බව මැද පෙරදිග යන කාන්තාවන් කෙරෙහි අවඥ සහගත ආකල්පයක් දරන ඊනියා සුචරිතවාදීන්ද මෙරට මුදල් ඇමැති ඇතුළු රාජ්‍ය බලධාරීන්ද මෙම ලිපිය කියවන පාඨකයන් ඇතුළු සමස්ත ශ‍්‍රී ලංකාවාසී ජනතාවද සිහියේ තබා ගැනීම වටී.
ආත්ම ගරුත්වයක් ඇති ජාතියකට මෙම තත්ත්වය ඉවසා සිටිය හැකිද? .
(Published in Samabima)
No comments:
Post a Comment