Thursday, May 1, 2014

උපාසකම්මලා දානය පිළියෙළ කිරීමේදී මුරුංගා කපන්නේ ඉතාම කොටට ය.

හර්ෂ ගුණසේන-

පසුගියදා පැවති ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට වර්ධනය වන වර්ගවාදය සම්බන්ධයෙන් වැදගත් නිරීක්ෂණ ගණනාවක් කර තිබුණි.ඔහුගේ කථාවේ අදාල කොටසේ සිංහල පරිවර්තනය මෙසේය.

“වර්ධනය වන වර්ගවාදය

විවිධ ජනවර්ග අතර වර්ගවාදී හැඟීම් වර්ධනයවීම සැලකිල්ලට බඳුන් විය යුතු තවත් කාරණයකි. දශක තුනක් තිස්සේ පැවතී ජනවාර්ගික අර්බුදය තුළ ජනවර්ග තුළ  පටු මානසිකත්වයක්  දෘශ්‍යමාන විය. දැනට පවතින සාමය සහ ස්ථාවරත්වය යටතේද  මෙම වෙන්වීමේ හැඟීම තවදුරටත් පැවතීම සැලකිල්ලට බඳුන් විය යුතු කාරණයකි. ශ්‍රී ලංකික අනන්‍යතාවය වාර්ගික සහ ආගමික වශයෙන් මෙසේ කැඩී යාම  අවාසනාවන්ත වනවා පමණක් නොව මෙය දීර්ඝ කාලින වශයෙන් වෙනත් ප්‍රශ්න ඇතිකිරීමට මග පාදයි. උදාහරණයක් වශයෙන් දෙමල ප්‍රජාව තුළ සිටින සමහරු මෙරට සිටින අනෙකුත් ශ්‍රී ලාංකික පුරවැසියන් සමග අනන්‍ය වීමට වඩා තමිල්නාඩුවේ සිටින දෙමල ප්‍රජාව  සමග අනන්‍යවීමට වඩා රුචිකත්වයක් දක්වති.

එමෙන්ම ලාංකික මුස්ලිම් ප්‍රජාව ලෝක මුස්ලිම් ප්‍රජාව සමඟ වඩාත් අනන්‍යවීමට  සහ  ඔවුන් මෙරට අනෙකුත් පුරවැසියන් සමඟ සංකලනය වීම පහත හෙලීමට රුකුල් දෙන විදේශ බලවේග පවතින බව නිරීක්ෂණය කර ඇත. මුස්ලිම් මුලධර්මවාදය ලොව පුරා සහ මෙම කලාපය තුළ ප්‍රචලිත වන බව ප්‍රකට කාරණයකි. විශේෂයෙන්ම අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් රටවල් අතර සංසරණය වන විට ලංකාවේදී අත්අඩංගුවට ගෙන අදාල බලධාරීන් වෙත බාරදී ඇති බැවින් මෙම තත්ත්වය අපගේ නිතිය සහ සාමය සුරැකීමේ ආයතන සහ ආරක්ෂක හමුදා විසින් සැලකිල්ලට බඳුන් කර ඇති කාරණයකි.   මෙම අන්තවාදී කණ්ඩායම් මුස්ලිම් අන්තවාදය මෙරට තුළ ප්‍රචලිත කිරීමට ඇති ඉඩකඩ අප විසින් සැලකිල්ලට ගත යුතුය.

සුළු ජන කොටස් අතර පටු මානසිකත්වයක් වර්ධනය වීමේ ප්‍රතිවිපාකය නම් මහජාතිය තුළ දැඩි මතධාරී කණ්ඩායම් ඇතිවීමයි. මෙය නැවත වරක් අනෙකුත් ජන වර්ග අතර අවිනිශ්චිත තාවයක් ඇතිකිරීමට හේතුවෙයි. මෙය ශ්‍රී ලංකික අනන්‍යතාවය තවදුරටත් කැඩී යාමේ විෂම චක්‍රයකට හේතුවෙයි. අවසානයේදී ජනවර්ග අර්බුදයකට තුඩුදුන් නොයෙකුත් බෙදීම් මෙරට තුළ අප අත්දැක ඇත. මෙම පසුගිය අත්දැකීම් වලින් ඉගෙනගෙන ඉතිහාසය නැවත ඇති නොවීමට අප විසින් අධිෂ්ඨාන කරගත යුතුවේ. සමස්ත ජාතිය අද මුහුණදෙන බරපතල  අභියෝගය මෙයවේ.”

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා  සඳහන් කරන විෂම චක්‍රය නම් සුළු ජන කොටස් අතර පටු මානසිකත්වයක් එනම් වර්ගවාදී හැඟීම් වර්ධනය වීම, මහජාතිය තුළ දැඩි මතධාරී කණ්ඩායම් ඇතිවීම, අනෙකුත් ජනවර්ග අතර අවිනිශ්චිතතාවයක් ඇතිවීම සහ ඒ මගින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය කැඩීයාමයි. ඔහු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් එනම් සියලුම ජනවර්ගවල සංකලනයෙන් යුතු එක ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳව අදහස් ඇත්තකු වීම සතුටට කාරණයකි. මක්නිසාද යත් අප සිතා සිටියේ ඔහුගේ අදහස ශ්‍රී ලංකාව තුළ  සිංහල බෞද්ධ ජාතියක් ඇතිකිරීම බවයි. එම වැරදි අදහසට හේතුවුයේ උතුරේ දෙමල ජනතාව පදිංචි ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන ඇතිකිරීම සහ බොදුබල සේනා වැනි ඔහුගේ වචන වලින් දැඩි මතධාරී කණ්ඩායම් වලට ඔහු විසින් දක්වන ලද අනුග්‍රහය වැනි ක්‍රියාකාරකම් ය.  ඉතාම කණගාටුදායක කාරණය වන්නේ බෞද්ධ නොවන ප්‍රදේශවල බුදු පිළිම ඉදිකිරිම සහ බොදුබල සේනා සංවිධානයේ  ක්‍රියාකාරීත්වය  සැබෑ බුදුදහම විනාශ කිරීමට හේතුවිමයි.   දේශපාලන හේතුන් මත සිද්ධස්ථාන ඉදිකිරිම අදාල ආගමට කරන නිග්‍රහයකි. බුදුන් අනුදත් මග ගන්නාවූ භික්ෂුහු කෝටියක් සංවර ශිලය රකිති. සරල උදාහරණයක් ගතහොත් අපගේ පැරණි උපාසකම්මලා දානය පිළියෙළ කිරීමේදී මුරුංගා කපන්නේ ඉතාම කොටට ය. මක්නිසාදයත් භික්ෂුව එක්වරක් කටට දමාගත් දෙය කටින් පිටතට ගෙන නැවත කටට දමා නොගන්නා බැවිනි. එසේ නොකරන්නේ එය අසංවර බැවිනි. බුදුන් භික්ෂුන්ගෙන් බලාපොරොත්තු වුයේ එවැනි වූ සංවර කමකි. බොදුබල සේනාවේ සහ තවත් එවැනි අන්තවාදී සංවිධානවල මැර භික්ෂුන්ගේ ක්‍රියාකලාපය සහ බුදුන් ඔවුන්ගෙන් බලපො‍රොත්තු වූ දෙය අතර පරතරය අහසට පොලොව මෙනි. බුදුදහම රකිතියි ඔවුහු බුදුදහම විනාශකරති. එය කරන්නේ රාජ්‍ය අනුග්‍රහයද සහිතවය.

ලේකම් වරයා සඳහන් කරන විෂම චක්‍රයේ අනුපිලිවෙල ගැන අපගේ එකඟත්වයක් නැත. එම විෂම චක්‍රයේ අවසාන ප්‍රතිඵලය ඉතාම කනගාටුදයක ලෙස අප සියලුදෙනාටම අත්විඳීමට සිදුවී තිබේ.මේ පිළිබඳව අප නොයෙක් විට කරුණු දක්වා ඇත. එමෙන්ම මේ ගැන දැනටමත් විවාදයක් ඇතිවී තිබේ. එනමුත් මෙම විෂම චක්‍රය යහපත් චක්‍රයක් බවට හැරවීමේ ක්‍රමවේදයක් තිබේ. එමගින් එක ශ්‍රී ලාංකික ජාතියක් ඇතිකරගැනීමේ ඔහුගේ මෙන්ම අපගේ ද සිහිනය සාක්ෂාත් කරගත හැකිවනු ඇත.

1.       මහජාතියේ දැඩි මතධාරී කණ්ඩායම්වලට දෙන රාජ්‍ය අනුග්‍රහය  නැති කළ යුතුය. එනම් ඔවුන් පවතින නීතියට අනුකුලව කටයුතු නොකරන්නේනම් ඔවුන් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියා කිරීමයි.

2.       මේ මගින් රාජ්‍යය මධ්‍යස්ථ තත්ත්වයකට පත්වේ. සුළු ජාතීන්ගේ රාජ්‍යය කෙරෙහි විශ්වාසයක් ඇතිවේ. වඩාත් වැදගත් කාරණය නම් ඒ මගින් බුදුදහම සුරක්ෂිත වීමයි.

3.       මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මෙරට තුළ නීති විරෝධිව ක්‍රියාත්මක වේනම් ඔවුන්ට විරුද්ධව රාජ්‍යය විසින් නීති මගින් කටයුතු කළ යුතුය.

4.       මෙසේ කටයුතු කරන්නේ මධ්‍යස්ත බවට විශ්වාසයක් දිනාගෙන ඇති රාජ්‍යයක් විසින් බැවින් මුස්ලිම් ප්‍රජාව එයට විරුද්ධ නොවනු ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙම ක්‍රියාව කළහැකි ය. මෙම ආණ්ඩුව විසින් සැබෑවටම යුද්ධයෙන් පරාජය කළේ කොටි සංවිධානය වුවද එයින් පසුව ආණ්ඩුවේ ක්‍රියාකලාපය මගින් සමස්ත දෙමල ජනතාවද යුද්ධයෙන් පරාජය කරනු ලැබ ඇත. එසේ කර ඇත්තේ මධ්‍යස්ත නොවන ආණ්ඩුවේ ක්‍රියා කලාපය මගිනි. රාජ්‍යය මධ්‍යස්ථව කටයුතු කිරීම එක ශ්‍රී ලංකික ජාතියක් ඇතිකර ගැනීමේ පළමු පියවර වනු ඇත. රාජ්‍යයක් කටයුතු කළ යුත්තේ ප්‍රඥාවන්ත වය. ඊනියා දැඩි මතධාරී කණ්ඩායම් මෙන් මුග්ධ ලෙස නොවේ.

Published in Samabima 9th September 2013

No comments:

Post a Comment