Thursday, May 1, 2014

බුදුන් වදාළ ධර්මය අනතුරේ

ආගම සම්බන්ධයෙන් කාර්ල් මාක්ස් මෙසේ කියා තිබේ. “ආගම වනාහි පීඩිතයාගේ සුසුමයි. හදවතක් නොමැති ලෝකයේ හදවතයි.  ආත්මයක් නොමැති තැන ආත්මයයි. ජනතාවගේ මත්ද්‍රව්‍යයයි.” බොහෝ අවස්ථාවලදී මෙම සම්පූර්ණ ප්‍රකාශය උපුටා නොදක්වා ආගම අබිං යනුවෙන් මාක්ස් ප්‍රකාශ කළ බව දක්වනු ලැබේ.

මාක්ස් ආගම විවේචනය කිරීමට එතරම් කාලයක් ගතකර නොමැත. ඔහුගේ ප්‍රධාන විවේචනය ඇත්තේ සමාජ ක්‍රමය කෙරෙහිය. අසාධාරණ සමාජ ක්‍රමයෙන් බැටකන ජනතාවට එම සමාජ ක්‍රමය පෙරළා දැමීමකින් තොරව සන්තුෂ්ටියක් ලැබිය නොහැක. ආගමෙන් කරන්නේ අද ලැබිය නොහැකි සන්තුෂ්ටියක් අනාගතයේදී ලැබිය හැකි බව ජනතාවට දැනුම් දීමයි. මෙය මායාකාරී ස්වභාවයකි. එය ජනතාවගේ මත්ද්‍රව්‍යය වන්නේ එබැවිනි. මාක්ස් ආගම හදවතක් නොමැති ලෝකයේ හදවත ලෙසද ආත්මයක් නොමැති තැන ආත්මය ලෙසද හඳුන්වාදී ඇත. මෙම ප්‍රසංශාව විවේචකයන් විසින් බොහෝවිට අමතක කර දමනු ලැබේ.

පසුගිය ශත වර්ෂයේ විසූ  දකුණු ඉන්දියාවේ උපත ලද කීර්තිමත් චින්තකයකු වූ ජේ. ක්‍රිෂ්ණමූර්ති ආගම සම්බන්ධයෙන් මාක්ස්ට වඩා විවේචනාත්මක ස්වරයෙන් කතා කර තිබේ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමියන් විසින්  ක්‍රිෂ්ණ මූර්තීන්ගේ ප්‍රකාශනයන් බුදුන් වදාළ සූත්‍ර ධර්මයන් අතර අග්‍ර ස්ථානයක ඇති සතිපට්ඨාන සූත්‍රයට ලියූ අටුවාවක් වැනි යයි ප්‍රකාශ කර තිබේ.

ක්‍රිෂ්ණ මූර්තීන්ට අනුව ආගමෙන් කෙරෙන ප්‍රධාන කාර්යය මිනිසුන් බෙදීමයි. එදිනෙදා ජීවිතයේ කටුක වූ යථා ස්වභාවය අමතක කිරීමෙහි ලා මිනිසා පාවිච්චි කරන මෙවලම් අතර නොයෙකුත් විනෝදාස්වාද ක්‍රම, ආගම සහ මත්ද්‍රව්‍ය ඇති බව ක්‍රිෂ්ණ මූර්ති හඳුනාගනී. එදිනෙදා ජීවිතයේ යථා ස්වභාවය අමතක කිරීමේ සන්දර්භය තුළ ආගම, මත්ද්‍රව්‍ය හෝ විනෝදාස්වාද ක්‍රම අතර වෙනසක් ක්‍රිෂ්ණ මූර්ති නොදකියි. මේ අර්ථයෙන් ක්‍රිෂ්ණ මූර්ති සහ මාක්ස් ආගම සම්බන්ධයෙන් දරන්නේ එකම අදහසකි. ක්‍රිෂ්ණ මූර්තිට එයටත් වඩා දැඩි වූ විවේචනයක් ආගම කෙරෙහි ඇත.

වඩාත් ගැඹුරු ආගමික කාර්යයක් වන භාවනාවේදී ක්‍රමයක් හෝ ගුරුවරයකු හෝ අනුගමනය කිරීම ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහු එය දකින්නේ ආධ්‍යාත්මික අධිකාරීවාදයක් ලෙසිනි. තමන්ගේ අභ්‍යන්තරය නිදහස්ව ගවේෂණය කිරීමෙන් ලොව යථා ස්වභාවය අවබෝධ කරගත යුතු බව ඔහු පවසයි. මෙම ක්‍රියාවලිය එක් එක් පුද්ගලයා විසින් නිදහස්ව කළ යුතු අතර ඒ සඳහා වන ආගමික අධිකාරීවාදය ඔහු විසින් සපුරා බැහැර කරයි. මෙම ගවේෂණය අවසානයේදී තමන් සමස්ත මනුෂ්‍ය වර්ගයාගෙන් වෙන්වූ පුද්ගලයකු ලෙස වන හැඟීම වංචාකාරී බව පුද්ගලයා විසින් අවබෝධ කරගනු ඇති බවට ක්‍රිෂ්ණ මූර්ති ඉඟි කරයි. වෙනත් වචනවලින් කිවහොත් අප ‛සත්‍ය මිනිසුන්’ නොව ‛රොබෝවරුන්’ විය හැකිය.

බුදුන් වදාළ ධර්මයට අනුව තමන් වෙන්වූ පුද්ගලයකුය යන හැඟීම හෙවත් පෘථග්ජන ස්වභාවය හෙවත් මමායනය අහෝසි වන්නේ නිවන් මගෙහි ප්‍රථම අදියර වන සෝවාන් වන අවස්ථාවේදීය. එම මගෙහි ඉදිරියට යන විට රාග ද්වේශ ආදී තවත් බොහෝ බන්ධන අහෝසි වේ. කෙනකු තුළ වන ආගම කෙරෙහි වන බැඳීමද  මුල් අවස්ථාවේදීම අතහැරිය යුතුය. එය දැඩිව අල්ලා ගැනීමක් හෙවත් උපාදානයක් වූ පසු එය අතහැරීම අපහසු වනු ඇත. මෙම හැඟීම සමඟ නිවන් දැකීම නොකළ හැක්කකි.
කීර්තිමත් බෞද්ධ නරපතියකු වූ අශෝක බුදුන් වදාළ ධර්මය ලොව නන් දෙස ප්‍රචලිත කිරීමට උත්සුක වූ අතර කිසියම් ආගමකට අයත් අයකු තමාගේ ආගම උසස් කොටත් අනෙකාගේ ආගම පහත් කොටත් සැලකීම මගින් තමාගේ ආගමට හානි කරන බව සිය ශිලා ලිපිවල ලියා තැබීය. සියලුම ආගම් ආරක්ෂා කිරීම, ඒවායේ  අභිවෘද්ධිය සහ  ආගම් අතර සහජීවනය රාජ්‍යයේ වගකීමක් ලෙස ඔහු සැලකීය.

මේ අනුව මෙකල මෙරට ප්‍රචලිත හෙළ උරුමය වැනි අන්තවාදී කණ්ඩායම් විසින් අනුදත් මැර ක්‍රියා වන කුඩා ක්‍රිස්තියානි නිකායන්වල පල්ලිවලට පහරදීම, දඹුල්ලේ මුස්ලිම් පල්ලියට හානි කිරීම  සහ මුන්නේශ්වරම් දේවාලයේ සත්ව ඝාතනය බලහත්කාරයෙන් වැළැක්වීම වැනි ක්‍රියා බුදුන් වදාළ ධර්මයේ මූලික පදනමට පටහැනි වනවා පමණක් නොව ඒවා ආගමික මූලධර්ම වාදයක් කරා අප රැගෙන යන බව සියලු දෙනාට වැටහී යා යුතුය. බුදුන් වැළැක්වූ සත්ව ඝාතනය සහ මොවුන් වැළැක්වූ සත්ව ඝාතනය පරමාර්ථ වශයෙන් අහසට පොළොව මෙනි.

කාලාම සුත්‍ර දේශනාව මගින් නොයෙකුත් දර්ශන සහ ආගමික මතවාද පිළිගැනීම පිළිබඳව ඉතාම නිදහස් සහ විවෘත අවකාශයක් සලසා දුන් බුදුන්ගේ නාමයෙන් මෙවැනි දේ කිරීම මුග්ධ ක්‍රියාවකි.

බුද්ධාගමට ප්‍රමුඛත්වය ලැබිය යුතු බවට උඩරට ප්‍රධානීන් 1815 උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට බලකර සිටියේ ඉංග්‍රීසීන් සහ ඔවුන්ට පෙර මෙරට පාලනය කළ පෘතුගීසින් සහ ලන්දේසීන් විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ බුද්ධාගම මර්දනය කිරීමට පියවර ගත් බැවිනි. එම සන්දර්භය තුළ එය දේශපාලන අවශ්‍යතාවයකි. වර්තමානයේ ව්‍යවස්ථාවෙන්   බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දීම දේශපාලන අවශ්‍යතාවයක් නොවේ; ඡන්ද ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයකි. එය තමාගේ රට වැසියන්ගෙන් කොටසක් නොව සියලු දෙනාම තමාගේ දරුවන් ලෙස සැලකූ ශූර පාලකයකු වූ අශෝක විසින් අනුදත් රාජ්‍ය පාලන ක්‍රමවේදයට ඉඳුරා පටහැණිය∎

හර්ෂ ගුණසේන

(Published in Samabima 24th October 2012)

No comments:

Post a Comment