හර්ෂ ගුණසේන
ලිඛිත ව්‍යවස්ථාවල නිශ්චිත වශයෙන් අර්ථ දක්වා ඇතත් නැතත් නූතන රාජ්‍යයන්හි ජනතා පරමාධිපත්‍යය යනු මූලික සංකල්පයකි. මෙය ප්‍රංශ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ෙඡ්දයේ පැහැදිලිව සඳහන් කර ඇත. ලාංකික ව්‍යවස්ථාවේ තුන්වන සහ සතරවන ෙඡ්ද වල මෙය වඩාත් පැහැදිලිව අර්ථ ගන්වා ඇත.
ජනතා පරමාධිපත්‍යය කෙළින්ම ක්‍රියාවට නැගුවහොත් අරාජික තත්ත්වයක් ඇතිවන බැවින් එය ක්‍රියාවට නගන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදය මඟිනි. සංකල්පයක් වශයෙන් පිළිගත්ත ද ක්‍රියාත්මක කිරීමේදී ජනතා පරමාධිපත්‍යය බොහෝ ගැටළු සහගත තත්ත්ව වලට මුහුණ පායි.
බලයට පැමිණීමට පෙර අහෝසි කරන බවට ප්රතිඥ දෙන, බලයට පැමිණි පසු වඩාත් ශක්තිමත් කරනු ලබන අපගේ වර්තමාන ව්‍යවස්ථාව යටතේ මෑත කාලීන ලංකාවේ ජනතා පරමාධිපත්‍යය වනාහි, පාලකයන් විසින් මැතිවරණ වලදී බොහෝ විට සොරකම් කරනු ලබන පාලිතයන්ගේ මනෝභාවයෙන් හෙබි ඇතැම් සරසවි ඇදුරන් ද ඇතැම් විදග්ධයන් ද ඇතුළු අවරගනයේ ඡුන්ද දායකයන් විසින් මැතිවරණ වලදී ස්ව කැමැත්තෙන් දන්දෙනු ලබන මැතිවරණ දෙකක් අතරතුර බලූවන අපූර්ව වූ ප්රපංචයකි.
නූතන රාජ්‍ය වල ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන මූලික අංග තුන හැරුණු කොට භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස සහතික කරනු වස් පුවත්පත්ද ජනතා පරමාධිපත්‍යය විෂයෙහි ලා ඉතා වැදගත් කාර්ය භාර්යයක් ඉටු කරයි. ජුලියන් අසාන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති පරිදි විකීලීක්ස් වෙබ් අඩවියේ පරමාර්ථය භාෂණයේ හා ප්රකාශනයේ නිදහස මුල් කොට ගත් බටහිර පුරුෂාර්ථයන් උත්කර්ෂයට නැංවීමයි. බටහිර අධිකාරිවාදී රාජ්‍යයන් සැබෑ ලෙසම කරමින් සිටින්නේ බටහිර පුරුෂාර්ථයන්ට ප්රතිවිරෝධී ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියට විරුද්ධ වීම බටහිර පුරුෂාර්ථයන්ට පක්ෂවීමකි. එනම් බටහිරට පක්ෂවීමකි. විරුද්ධ වීමක් නොවේ. විකිලීක්ස් වෙබ් අඩවිය පසුගියදා ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු හෙළි කරමින් විශාල ආන්දෝලනයක් ඇතිකර ඇත.
සඳ දෙස බලන්නැයි ඇඟිල්ල දික්කර පෙන් වූ විට සඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බැලීමේ පෘතග්ජන ව්‍යවහාරයට අනුව විකිලීක්ස් මඟින් අනාවරණය කරනු ලැබූ තොරතුරු දෙස නොබලා එම තොරතුරු සන්නිවේදනය කරනු ලැබූ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙස බැලීමට බොහෝ විචාරකයෝ කැමැත්තක් දක්වති. ඇමරිකන් නිලධාරීන් විසින් මේ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් දරන අව්‍යාජ අදහස්ය. මේ අව්‍යාජ අදහස් මඟින් හෙළිවන අදාළ රටවල ප්රමුඛ පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය විශ්ලේෂණය කර බලනු වටී. මීට අමතරව ඇමෙරිකාව විසින් ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ සිදු කර ඇති යුද අපරාධ ගණයේ ලා සැලකිය හැකි නොයෙකුත් ක්‍රියාකාරකම් ද විකිලීක්ස් මඟින් හෙළිදරව් කර ඇත. මේ හෙළිදරව් කිරීම් වලට ප්‍රතික්‍රියා වශයෙන් ජුලියන් අසාන් ට හා මේ තොරතුරු වෙබ් අඩවියට සැපයූ සෙබලාට නොයෙක් වර්ගයේ දඬුවම් නියම කළ යුතු බවට ප්රමුඛ ඇමරිකන් දේශපාලනඥයකු විසින් අදහස් දක්වා ඇත.
මේ මඟින් ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත ඉතා ප්‍රකට ලෙස එළි දැක්වේ. පළමු කොට ලංකාව ඇතුළු වෙනත් රටවල යුද අපරාධ ගැන පරීක්ෂණ කළ යුතු යැයි හඬ නඟන ඇමෙරිකාව තමන් විසින්ම යුද අපරාධ කරන සහ කරවන රටකි. දෙවනුව ඇමෙරිකාව භාෂණය හා ප්රකාශනයේ නිදහස අගය කරන අතරම එම නිදහස තමන්ට එරෙහිව පාවිච්චි කරන විට එයට විරුද්ධ වන රටකි. විකිලීක්ස් විසින් අනාවරණය කරන ලද්දේ රාජ්‍යයන් විසින් ජනතාවට වසන් කළ තොරතුරුය. මෙම අනාවරණය අදාළ පුද්ගලයන්ගේ හෝ රාජ්‍යවල හෝ අනු දැනුම ඇතුව නොකළ බැවින් එය සොරකමකි. එනමුත් මෙම අනාවරණය කිරීම් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සනාථ කෙරෙන සහ එමඟින් ජනතා පරමාධිපත්‍යයද සනාථ කෙරෙන බැවින් මෙම ක්‍රියාව සොඳුරු සොරකමකි. මෙම තොරතුරු දැන ගැනීම මඟින් ලොවපුරා වෙසෙන සාමාන්‍ය ජනතාව වඩාත් බලවත් වී ඇත. එමෙන්ම අනාගතයේදී ලෝක ඉතිහාසය වඩාත් නිවැරදිව සහ විස්තර සහිතව ලියැවීමට මෙය හේතුවක් වනු ඇත.
එමතුද නොව දැනට හෙළි කර ඇති තොරතුරු පාදක කොටගෙන අනාගතයේදී බල රහිත පුද්ගලයන් විසින් බල සහිත පුද්ගලයන්ට අභියෝග කළ නොහැකි වන කල්හි බල සහිත පුද්ගලයන්ගේ නොයෙකුත් අගතිගාමී ක්‍රියා බලරහිත පුද්ගලයන් විසින් විකිලීක්ස් හෝ එ් සමාන වෙනත් වෙබ් අඩවි වලට හෝ මුදා හැරෙනු ඇත. මෙමඟින් අවසාන පරමාධිපත්‍යය හිමි ජනතාව වඩාත් ශක්තිමත් කෙරෙන අතර රාජ්‍යයන්ට වඩාත් වගකීම් සහගතව ක්‍රියා කිරීමට බල කෙරෙනු ඇත. විකීලීක්ස් මඟින් දැනට අනාවරණය කර ඇත්තේ ප්‍රධාන වශයෙන් ඇමෙරිකාවට සම්බන්ධ රහස් තොරතුරුය. අනාගතයේදී ඇමෙරිකාව තරම් විවෘත නොවන අධිකාරී වාදී චීනය සහ වෙනත් එවැනි රාජ්‍යයන්ට සම්බන්ධ රහස් තොරතුරුද අනාවරණය වීමට ඉඩ තිබේ. එමෙන්ම තවත් කාලයක් යනවිට විකිලීක්ස් අනාවරණය කරන්නේ තෝරාගත් තොරතුරු පමණක්ද යන බවද අනාවරණය වනු ඇත.
(published in Samabima)
No comments:
Post a Comment