Thursday, May 1, 2014

හේතුව වෙනුවට ඵලය පාලනය කිරීම

යම් ආයතනයක ලාභය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් එහි හිමිකරු විසින් කළ යුත්තේ ආදායම වැඩි කර ගැනීම සහ වියදම අඩු කර ගැනීමයි. මක්නිසා ද යත් ලාභය යනු ඵලයක් බැවිනි. හේතුවක් නොවන බැවිනි. ඵලය වන ලාභයට බලපෑමක් කර ලාභය වැඩි කරගත හැක්කේ ඉලක්කම් සංශෝධනය කිරීමෙන් පමණි. ආදායම වැඩි කර ගැනීම තවදුරටත් විග්‍රහ කළහොත් එය ද ඵලයක් බවත් හේතුව වනුයේ ආයතනයේ ගනුදෙනුකරුවන් තෘප්තිමත්ව තබා ගැනීම බවත් පෙනී යනු ඇත. ඒ අනුව ආයතනයක ලාභය වැඩි කර ගැනීම සඳහා කළ යුත්තේ ගනුදෙනුකරුවන් තෘප්තිමත්ව තබාගැනීම සහ වියදම් අඩු කර ගැනීමයි.
කේවට්ට උපදෙස් ලබන වත්මන් ආණ්ඩුවේ බොහෝ ප්‍රතිපත්ති ඉලක්ක කොට ගෙන ඇත්තේ හේතුව නොව ඵලයයි. ආණ්ඩුවේ විදේශ විනිමය ප්‍රතිපත්තිය මෙහෙයවනු ලබන්නේ දේශපාලනඥයකු වූ මහබැංකු අධිපතිවරයා විසිනි. ඔහු ආණ්ඩුවේ අනුදැනීම නොමැතිව ක්‍රියා කරනු ඇතැයි සිතිය නොහැක. විදේශ විනිමය අනුපාතය යනු හේතුවක් නොවේ ඵලයකි. රටක විදේශ විනිමය අනුපාතය තීරණය වන්නේ එරට අපනයන ආදායම්, ආනයන වියදම්, ඍජු ලැබීම්, ඍජු ගෙවීම් සහ පිටරටවලට සාපේක්ෂව එරට පොලී අනුපාතය, උද්ධමන අනුපාතය ආදී නොයෙකුත් හේතූන් මතය. ආණ්ඩුවට විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමට අවශ්‍ය නම් ඉහත හේතූන් පාලනය කිරීමට නොයෙකුත් උපායමාර්ග ගත හැකිය. එසේ නොමැතිව කෙළින්ම ඵලය පාලනය කිරීමට යාම ඉලක්කම් සංශෝධනය කිරීමෙන් ලාභය පාලනය කිරීමට උත්සාහ කරන ගණකාධිකාරීවරයාගේ අඥාන ක්‍රියාව වැනිය.
රුපියල වැඩි අගයක පවත්වාගෙන යාමට නම් අපනයන සහ විදේශ ආයෝජන දිරි ගැන්විය යුතුය. මෙම ආණ්ඩුවේ ආර්ථික පණ්ඩිතයන් විසින් අපනයන දිරිගැන්වීමට පසුගිය කාලය මුළුල්ලේම කළ විශේෂ දෙයක් නැත. පසුගිය යුගයේ වැට් බද්ද අපනයන ව්‍යාපාරිකයන්ට ආපසු ගෙවීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට සලකන ලද්දේ සොරුන්ට සලකන ආකාරයටය. යුද්ධය අවසාන වීමෙන් පසුව ක්‍රියාත්මක වූ විදේශ ප්‍රතිපත්තිය මඟින් විදේශ ආයෝජන පැමිණීම බොහෝ සෙයින් සීමා කරන ලදී.
ඉතාම ඉහළ පෙර නොවූ විරූ පොලී අනුපාතවලට ගත් විදේශ ණය ආපසු ගෙවීමේදී විදේශ ණය ගන්නා අවස්ථාවේදී තිබූ විදේශ විනිමය අනුපාතයට වඩා අඩු එනම් වටිනාකම වැඩි රුපියලක් තිබේ නම් ගෙවන්නට වන පොලිය රුපියල්වලින් අඩුවේ. මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා මහබැංකුව විසින්, ණයට ගත් මුදල් ද ඇතැම් විදේශ විනිමය සංචිත වෙළඳපොළට නිකුත් කර රුපියලේ අගය වැඩි වටිනාකමක තබා ගැනීමට උත්සාහ කරන ලදී. හේතුව නොව ඵලය පාලනය කිරීමේ මෙම ක්‍රියාවලිය අවසාන වූයේ ඉතා කෙටි කලක් තුළදී රුපියල අවප්‍රමාණය වී ආර්ථිකයට විශාල බරක් දෙමින් එකවර ආනයන භාණ්ඩවල මිල ඉහළ යාම මඟිනි.
ආණ්ඩුවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධ ප්‍රතිපත්තිය තුළ ද ඇත්තේ හේතුව නොව ඵලය පාලනය කිරීමේ උපක්‍රමයයි. යුද්ධයෙන් පසුව දෙමළ ජනතාව කොන් කිරීමේ උපක්‍රම අනුගමනය නොකර ඔවුන් ප්‍රධාන දේශපාලන ධාරාවට අනුයුක්ත කර ගැනීමේ උපක්‍රම අනුගමනය කළා නම් එය හේතුව පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයයි. මේ සඳහා බලය බෙදීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර රට බෙදීම අවශ්‍ය නොවේ. මෙම හේතුව පාලනය නොකර එය හරහා එන නොයෙකුත් විදේශ බලපෑම් චීනය, රුසියාව හෝ ඉරානය වැනි රටවල ආධාරයෙන් පාලනය කිරීමට උත්සාහ දැරීම ඵලය පාලනය කිරීමකි.
නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙනුවට ඉන්දියානු අභිලාසයන්ට එරෙහිව චීනය පාවිච්චි කිරීම කෙටි කාලීනව උපායශීලී මාර්ගයක් ලෙස පෙනුණත් දීර්ඝ කාලීන මනෝඥ ක්‍රියාමාර්ගයක් නොවේ. එමෙන්ම, අපගේ අපනයනවලට ප්‍රධාන පෙළේ ගැනුම්කරුවන් ද වන බැවින් ඇමරිකානු සහ යුරෝපීය අභිලාසයන්ට එරෙහිව නැවතත් චීනය හා රුසියාව පාවිච්චි කිරීම ද මනෝඥ ක්‍රියාමාර්ගයක් නොවේ. මෙම හේතූන්ගේ අයථා කළමනාකාරිත්වයේ ඵලවලට නුදුරු අනාගතයේදී රටට මුහුණ දීමට සිදුවනු ඇත.
රටක් හෝ ආයතනයක් හෝ පාලනය කිරීමට ශක්තිමත් ඉදිරි දැක්මක් සහ ප්‍රඥාවක් අවශ්‍ය වේ. ප්‍රඥාවන්ත පාලකයා, පාලනය කිරීමට උත්සාහ ගන්නේ හේතුව මිස ඵලය නොවේ. හේතූන් සහ ඵල මත පදනම්ව සමස්ත මානව පැවැත්ම විග්‍රහ කරන දහමක් වූ බුදුදහම රාජ්‍ය ආගම වූ ලංකාවේ හේතූන් සහ ඵල පිළිබඳ පාලකයන්ගේ දැනුම අනුව වන ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ එහිම ඵලයක් වූ ඔවුන්ගේ ජනප්‍රියතාවයේ මට්ටම, සියුම් උත්ප්‍රාසයක් දනවයි
හර්ෂ ගුණසේන
(published in Samabima on 18th April 2012)

No comments:

Post a Comment