උතුරු පළාත් සභා මැතිවරණය ජයගැනීමෙන් පසුව එහි මහ ඇමතිවරයා වන සී.වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලැස්වීම මගින් සිංහල අන්තවාදීන්ගේ බලාපොරොත්තුවලට පටහැනිව තමන් සංහිඳියා මාවතේ ගමන් කිරීමට සූදානම් බවට වන ප්‍රබල දේශපාලන පණිවුඩයක් දෙමළ ජාතික සන්ධානය විසින් ලබා දී තිබේ. සිය නායකයා වන ආර්. සම්පන්දන්ගේ යෝජනාවක් අනුව බොහෝ සේ විවාද කිරීමෙන් පසුව කොළඹ ජීවත්වන විග්නේෂ්වරන් මහ ඇමති අපේක්ෂකයා ලෙස නම් කිරීම මගින්ද දෙමළ ජාතික සන්ධානය විසින් මෙම පණිවුඩය දී තිබුණි. මේවා ප්‍රබල දේශපාලන ඉඟි වේ. යුද්ධය අවසන්වූ පසුව එක්තරා උත්සවයකදී ජාතික කොඩිය එසවීමට සැලැස්වීමෙන්ද ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයනා කිරීමට සැලැස්වීමෙන්ද සම්පන්දන් විසින් මෙම පණිවුඩය කල් තබාම දී තිබුණි. එනමුත් ආණ්ඩුව විසින් එය නොසලකා හැරියාට අමතරව බලය ඇති පුද්ගලයන් විසින් නිරන්තරවම උල්ලංඝනය කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම වරදක් බව දක්වමින් එසේ කිරීමද තහනම් කරන ලදී.
ඊනියා එල්.ටී.ටී.ඊ. පාලන සමය තුළදී ජාතික ගීය ගැයීම හෝ ජාතික කොඩිය එසැවීම හෝ තහනම් කොට තිබූ බව අප මතක තබා ගත යුතුය. එබැවින් කළ යුතුව තිබුණේ සම්පන්දන්ගේ ක්‍රියාවට අනුබල දීම විනා එය තහනම් කිරීම නොවේ.
සම්පන්දන් විසින් මෙම කාර්යයන් කරනු ලබන්නේ පහසුවෙන් නොවේ. සිංහල බහුතරයක් සහිත ලංකා ආණ්ඩුවෙන් ලබාගත හැකි දේශපාලන සහන ඉතා අල්ප බවට වන මතවාදයක් දරණ දෙමළ අන්තවාදීන්ගේ සහාය ලබන දෙමළ ජාතික සන්ධාන සාමාජිකයන්ගේ බලවත් විරෝධතා මධ්‍යයේය. මෙම මතවාදය බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ සිට ඉතිහාසය පුරා නැවත නැවතත් ඔප්පු වී තිබේ. එබැවින් බොහෝ දේශපාලන විචාරකයන් විසින් පෙන්වාදී ඇති පරිදි සම්පන්දන්-සුමන්තිරන්-විග්නේෂ්වරන් ත්‍රිත්වයට සහයෝගය දීම මධ්‍යස්ථ මත දරණ දකුණේ ජනතාවගේ යුතුකම වන්නේය.
ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව විග්නේස්වරන් මෙසේ කියා සිටියේය. “විවිධ ජන කොටස්වල සිතුම් පැතුම්වලට කාන්දුවී ඇති සැක සංකා සහ වරදවා වටහාගැනීම් ඉවත් කිරීමට අප විසින් කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යතාවය වන්නේය. සිංහල ජනතාව තමන්ගේ භාෂාවට සහ සංස්කෘතියට ගෞරව කරන සහ ඒවා පෝෂණය කරන පමණටම දෙමළ ජනතාවද තමන්ගේ භාෂාවට සහ සංස්කෘතියට ගෞරව කරමින් ඒවා පෝෂණය කරන බව වටහා ගත යුතු යයි මම සිංහල ජනතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙම වටහා ගැනීම තුළ හිංසාවට කිසිම ඉඩක් නැත. කිසිම කෙනෙකුට සිංහල ජනතාව විසින් මෙය වටහා ගත යුතු යයි බල කළ නොහැක. අප සියලුරෑ දෙනාම සාමයේ සහ සහෝදරත්වයේ මාවත දිගේ කැඳවාගෙන යා හැක්කේ මෙම වටහා ගැනීම මගිනි. එබැවින් අද දවසේ සිදු කළ මගේ මෙම සංකේතමය කාර්යය අපගේ දිවයිනේ සිටින ප්‍රධාන ජන දෙවර්ගය අතර සමගිය වර්ධනය වීමට හේතුවේවායි ප්‍රර්ථනා කරමි.”
ජනාධිපතිවරයා යෝජනා කළ පරිදි ක්‍රමයෙන් විවෘතවූ සංහිඳියාවේ ගමන් මගට සහයෝගය දිය යුතුය. මෙම මාර්ගය දිගේ යාමට කෙනෙකුට විශාල ධෛර්යයක් අවශ්‍ය වේ. එළාර සමඟ කළ යුද්ධයෙන් පසුව මරා දමන ලද නායකයා වෙනුවෙන් ස්මාරක සොහොනක් ඉදිකිරීමට දුටුගැමුණු නියෝග කළේය. ඉන් පසුව එම සොහොන පසුකර යන ඕනෑම කෙනෙකු රථයකින් නොව පා ගමනින් එම ස්ථානය පසු කළ යුතු යයි ඔහු නියෝග කළේය. දුටුගැමුණුගේ බාල සහෝදරයා වූ සද්ධාතිස්ස රජුගේ බාල පුත් වළගම්බා ආක්රමණික සොළීන් තමා පසුපස පන්නාගෙන එද්දීත් එළාර සොහොන අසලදී රථයෙන් බැස පා ගමනින් ගියේය. ප්‍රතිඵලය ලෙස සොළීන් ළං වීම නිසා රජුගේ දේවිය වූ සෝමා සිය කැමැත්තෙන්ම රථයෙන් බැස රථයේ බර අඩුකර රජුට බේරී යාමට ඉඩ සැලසුවාය. වළගම්බා බේරී ගියේ විශාල කැපකිරීමක් මගිනි. එසේ වූයේ දුටුගැමුණුගේ නියෝගයේ ප්රබලත්වයත් පසුව බලයට පත්වන නායකයන් ඇතුළු ජනතාව එම නියෝගය පිළිගත් අන්දමත් නිසාවෙනි. දුටුගැමුණුගේ මෙම සංකේතාත්මක ක්‍රියාව හෙවත් දේශපාලන පණිවුඩය එවකට අවශ්‍ය වූ ජනතා සංහිඳියාවට මග පෑදීය. එළාර විදේශිකයකු වුවත් ඔහු යටතේ දෙමළ සහ සිංහල ජනයා සේවය කළහ. එළාරගේ පාලනය තුළ නීතිමය ආරවුල් ඇතිවූ කල්හි සතුරාට ද මිතුරාට ද ඔහු එකසේ සාධාරණය ඉෂ්ට කළ බව මහාවංශය කියයි. මහාවංශයට අනුව එක අවස්ථාවකදී සිය රථයට යටකර වසු පැටවකු මරාදැමු සිය එකම පුතුටද මරණ දඬුවම පැනවීමට එළාර කටයුතු කර ඇත. ලංකාව බිහිකළ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දුටුගැමුණු සිය ක්‍රියාව මගින් එළාරට ගරු බුහුමන් කළ ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් විය.
මෑත උදාහරණයක් ගන්නේ නම් විමුක්ති අරගලයක යෙදීම හේතුවෙන් අවුරුදු 27 ක දීර්ඝ සිර දඬුවමක් ගෙවීමෙන් පසු දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති වූ නෙල්සන් මැන්ඩෙලා සත්‍යයේ සහ සංහිදියාවේ කොමිසම ඇති කිරීමට ක්‍රියා කළේය. මෙය උසාවියක් වැනි ආයතනයක් වූ අතර වධහිංසා හෝ අසාධාරණයට ලක්වූ තැනැත්තන්ට තම අත්දැකීම් පිළිබඳව ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. සාපරාධි ක්‍රියා කළ අයටද තම ක්‍රියාවන් ගැන පාපොච්චාරණය කර සමාව ඉල්ලා නඩු පවරනු ලැබීමෙන් නිදහස් වීමට ඉඩ සලසන ලදී. අපරාධකරුවන්ට සමාව පමණක් ඉල්ලා සියලුරෑ අපරාධවලින් නිදහස වීමට ඉඩ සලසන මෙම ක්‍රියාදාමයට ස්වදේශික කළු ජාතිකයන්ගේ බලවත් විරෝධය එල්ල විය. එනමුත් දකුණු අප්‍රිකාවේ එදිනෙදා ජන ජීවිතයට කාවැදී තිබුණු වෛරය නැති කිරීමට හේතුවන්නේ මෙවැනි ක්‍රියාවක් පමණක් බව පසුව දේශීයව සහ ජාත්‍යන්තරව මැන්ඩෙලාට ලැබුණු ප්‍රසංශා මගින් ඔප්පු වේ. ජේ.ආර්. ජයවර්ධන මෙරට මුදල් ඇමතිවරයා වශයෙන් ලංකාව නියෝජනය කරමින් දෙවන ලෝක යුද්ධයට පසුව පැවති සැන් ප්රුන්සිස්කෝ සමුළුවේදී වෙනත් රටවල් යුද්ධ අපරාධ වෙනුවෙන් ජපානයෙන් වන්දි ඉල්ලද්දී ලංකාවට ජපානයෙන් කිසිම වන්දියක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීම මැන්ඩෙලාගේ දේශපාලන ක්‍රියා මාර්ගයට සමාන්තර වේ. මැන්ඩෙලා තමා ඉතා දක්ෂවූ දීර්ඝ දේශන පවත්වනවා වෙනුවට දේශපාලන ක්‍රියා සහ පණිවුඩ මගින් බෙදීගිය දේශය නැවත එක්සත් කිරීමට කටයුතු කළේය. වරෙක සුදු ජාතිකයන්ගෙන් සමන්විත වූ ඒ නිසාම සංකේතාත්මකව කළු ජාතිකයන් විසින් විරුද්ධවූ දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමට මුළු රටේම අනුග්‍රහය ලබන ජාතික සංකේතයක් ලෙසින් මතුවීමට ඉඩ සලසමින් දකුණු අප්‍රිකාව විසින් සංවිධානය කළ ජාත්‍යන්තර රග්බි තරගාවලියේ අවසන් තරගයේදී නවසිලන්තයට එරෙහි තරගයට දකුණු අප්‍රිකානු රග්බි ජර්සියක් පැළඳ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් තරගය ජයගැනීම මගින් මුළු රටම එකට පෙළගැස්වීමට මැන්ඩෙලා කටයුතු කළේය.
අවාසනාවකට මෙන් යුද්ධයෙන් පසුව ශ්‍රී ලාංකික නායකත්වය විසින් අනුගමනය කරන ලද්දේ සිංහල අන්තවාදීන් විසින් අනුබල දුන් ජනවර්ග අතර සහයෝගිතාව අඩපණ කරන අදූරදර්ශී ප්රතිපත්තියකි. දෙමළ ජාතිකයන්ට සමානව සැලකීම සහ ඔවුන්ට යුද්ධයේ තුවාල සුව කර ගැනීමට ඉඩ සැලැස්වීම ආර්ථික හෝ යටිතල පහසුකම් වර්ධනයට වඩා වැදගත් බව උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල මගින් සනාථ කර තිබේ. ආණ්ඩුව අවුරුද්දෙන් අවුරුද්ද යුද ජයග්‍රහණය සැමරීම වැනි ක්‍රියා මගින් යුද්ධයෙන් කොටි සංවිධානය පමණක් නොව සමස්ත දෙමළ ජනතාවම පරාජය කර ඇති බවට හැඟීමක් ඇති කර තිබේ. ආණ්ඩුව උතුරේ ජනයාගේ එදිනෙදා සිවිල් කටයුතුවලට බාධකයක් වෙමින් අනවශ්‍ය තරම් විශාල හමුදාවක් උතුරේ රඳවා ගෙන සිටියි. දුටුගැමුණු තමන් අල්ලා ගත් ප්‍රදේශවල බෞද්ධ භික්ෂූන් රැඳවීම මගින් එයට සමාන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමත් විය. සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ වූ මෙම ක්‍රියා දෙක අතර වෙනස හුදු අහංකාරකම සහ පැසුණු රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි.
ආණ්ඩුව යුද්ධයෙන් පසුව සංහිඳියා මාවතේ ගමන් කළේ නම් ආණ්ඩුව මත වන ජාත්‍යන්තර පීඩනය මෙයට වඩා අඩු වී දැනට චීනය මත වන රඳාපැවැත්මද බොහෝ සෙයින් අඩු වීමට ඉඩ තිබුණි. මෙහිදී ජාත්‍යන්තර සබඳතා සරල සමීකරණ මගින් විස්තර කළ නොහැකි බවද අප මතක තබා ගත යුතුය. එබැවින් දෙමළ ජාතික සන්ධානයේ සහ එහි මහ ඇමතිවරයාගේ දේශපාලන ක්‍රියා සහ පණිවුඩවලට ආණ්ඩුව යහපත් ප්‍රතිචාර දැක්විය යුතුය. සිය රටවල්වල ජනතාවගේ අභ්‍යන්තර විරසක සමනය කර ගැනීමට මෙරට සහ පිටරට ප්‍රබල නායකයන් විවිධ දේශපාලන ක්‍රියා සහ පණිවුඩ පාවිච්චි කර තිබියදී සහ යුද්ධයෙන් පසුව එවැනි ක්‍රියාමාර්ගයක් ලංකාණ්ඩුව විසින් ගෙන නොතිබියදී ප්‍රාදේශීය පළාත් සභා මැතිවරණයක් ජයගත් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය අප විසින් පැසසුමට ලක් කළ යුතුය∎
Published in Samabima 4th December 2013
No comments:
Post a Comment