ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ක්‍රියාකරන්නේ අත්තනෝමතිකවය. මෙම ආණ්ඩුව පමණක් නොව මෙයට පෙර පැවතුණු ආණ්ඩුද ක්‍රියාකළේ මේ ආකාරයටමය. එනමුත් දැන් පවතින්නේ වඳුරෙකුට දැලිපිහියක් දුන්විට ඇතිවන තත්ත්වයකි. ආණ්ඩු අත්තනෝමතිකව ක්‍රියා කරන එක් ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාව විසින් තමන්ට උරුම කරදෙන අත්තනෝමතිකත්වයි. ජනතාව ද හිතාමතාම එසේ කරන්නේ නැත. තමන්ගේ සිතුම් පැතුම්,සිරිත් විරිත් සහ හැසිරීම් රටා අනුව එය සිදුවේ.
කෙනෙකු අත්තනෝමතිකව ක්‍රියාකරන්නේ කෙනෙකුට ආරෝපණය වී ඇති බලයේ ප්‍රමාණය අනුවය. කෙනෙකු සහ කෙනෙකුට පහළින් සිටින අය අතර බලයේ පරතරය වැඩි වන විට පුද්ගලයෙකුට ආරෝපණය වන බලයේ ප්‍රමාණය වැඩිවේ. ජාතීන් අතර සංස්කෘතීන් අධ්‍යයනය කර ඇති ප්‍රමාණික උගතුන් බල පරතරය ජාතියෙන් ජාතියට වෙනස් වන බව හඳුනාගෙන ඇත. ගර්ට් හොෆ්ශේඩ් බල පරතරය මෙසේ අර්ථ දක්වයි. බල පරතරය යනු යම් රටක බලවත් නොවන රටවැසියන් බලය අසමාන ලෙස බෙදී ඇතැයි බලාපොරොත්තු වන සහ පිළිගන්නා ප්‍රමාණයයි. මේ අනුව බල පරතරය නිර්මාණය කරනු ලබන්නේ බලවත් රටවැසියන් විසින් නොව බලවත් නොවන රටවැසියන් විසිනි.
ශ්‍රී ලංකාව බටහිර රටවලට සාපේක්ෂව බල පරතරය අධික රටකි. බල පරතරය ඉතා අඩු මට්ටමක පවතින්නේ ස්කැන්ඩිනේවියානු රටවලය. ඇමෙරිකාවේ බල පරතරය ඊට වඩා වැඩිය. බොහෝ දියුණුවන මර්දනකාරී ඒකාධිපති ආණ්ඩු ඇති රටවල බල පරතරය අධිකය.
බල පරතරය අධික සමාජවල දෙමාපියන් සහ දරුවන් අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර, නිලධාරීන් සහ ජනතාව අතර, දේශපාලනඥයන් සහ ජනතාව අතර, විධායකය සහ දේශපාලනික ආයතන අතර බලය පිලිබඳ පරතරයක් පවතී. මෙය දෙමාපියන් සහ දරුවන් අතර කීකරුකම ලෙසද ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර ගෞරවය ලෙසද අර්ථ දැක්විය හැක. කීකරුකම සහ ගෞරවය වැඩි වන විට නිර්මාණශීලීත්වය අඩුවේ. කීකරුකම සහ ගෞරවය වැඩි සමාජවල පවතින තත්ත්වය ප්‍රශ්න කිරීමට සහ එය වෙනස් කිරීමට උත්සාහ කරන දරුවන් සහ ශිෂ්‍යයන් දුලබ වේ. ඔවුන් උත්සාහ කරන්නේ පවතින තත්ත්වයට අනුගත වීමටය. ඔවුහු දේශන ශාලාවේදී ගුරුවරුන් ප්‍රශ්න නොකරති. බල පරතරය වැඩි සමාජවල ගුරුවරු උගන්වති. බල පරතරය අඩු සමාජවල ශිෂ්‍යයෝ ඉගෙන ගනිති. වරෙක විද්ෙයා්දය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති වැලිවිටියේ සෝරත හිමියෝ සරසවි සිසුන් විප්ලවකාරී විය යුතුයයි ප්‍රකාශ කළහ. විප්ලවකාරී වීම යනු කැරලි ගැසීම නොවේ; පවතින තත්ත්වය ප්‍රශ්න කර එය වෙනස් කිරීමයි. විප්ලවකාරීවීමට බල පරතරය අඩු විය යුතුය.
ජනතාව, නිලධාරීන් සහ දේශපාලනඥයන් අතර බල පරතරය බිය ලෙස අර්ථ දැක්විය හැක. බල පරතරය වැඩි රටවල නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් කරනු ලබන අකටයුතුකම්වලට විරුද්ධවීමට ජනතාව බිය වෙති. ජනතාවගේ දැඩි විරෝධයක් නොමැති විට දේශපාලනඥයන් සහ නිලධාරීන් අකටයුතුකම් කිරීමට බිය නොවෙති. තමන්ට විරුද්ධව කටයුතු කරන ප්‍රධාන පුද්ගලයන්ට තර්ජනය කිරීම මගින්ද ඔවුන්ට හිංසා කිරීම, ඔවුන් අතුරුදහන් කිරීම සහ ඔවුන් මරාදැමීම මගින්ද ජනතාව තුළ තමන්ට ඇති බිය සනාථ කිරීමට දේශපාලනඥයෝ කටයුතු කරති. ලංකාවේ දැන් පවතින්නේ මෙම තත්ත්වයයි. මෙයට අමතරව තමන්ට විරුද්ධ අයට නොයෙකුත් වරදාන ලබාදී ඔවුන් තම පැත්තට නම්මා ගැනීමද සිදු කෙරේ.
විධායකය සහ දේශපාලනික ආයතන අතර ඇති බල පරතරය අවනතභාවය ලෙස අර්ථ දැක්විය හැක. විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් වෙත නොයෙකුත් ඇමති පදවි පිරිනැමීම මගින් තමන් වෙත අවනත කරගෙන ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් ආසන්න වශයෙන් සියලුමදෙනා කුමන හෝ ඇමති පදවියක් දරති. විධායකය සහ ජනමාධ්‍ය අතර අවනතභාවයක් වර්ධනය කරගෙන ඇත්තේ නොයෙකුත් වරදාන පිරිනැමීම, තර්ජන කිරීම් සහ චාටු කතා මාර්ගයෙනි.
විධායකය සහ අධිකරණය අතරද මෙවැනි අවනතභාවයෙන් යුතු අවිනිශ්චිත සම්බන්ධයක් පවතී. රටේ පවතින බල පරතරය කුළුගැන්වෙන පරිදි සකස්කර ඇති වර්තමාන ව්‍යවස්ථාවේ එම තත්ත්වය වඩාත් බරපතල කරන ආකාරයේ දායකත්වයක් මෙරට අධිකරණය විසින් කර ඇත. එනම් 1982 ජනමත විචාරණයට අනුමැතිය දීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට හැකියාව සලසාදීම සහ 18 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය දීමයි. මෙම සංශෝධන මුල් ව්‍යවස්ථාවේ අරමුණු අතික්‍රමණය කර ඇත. මෙරට සිටි කීර්තිමත් විනිශ්චයකරුවකු වූ මාර්ක් ප්‍රනාන්දු, බලවත් පාලකයන්ට විරුද්ධව පෙලනු ලැබූ ජනතාවට පක්ෂව අධිකරණ තීන්දු දීම මගින් තමන් ආත්ම තෘප්තියට පත්වූ බව වරෙක පැවසීය. ඉහත අවස්ථා තුනෙහිදී අධිකරණය මාර්ක් ප්‍රනාන්දු ගත් මග ගෙන නැත.
බල පරතරය සහ එයට අනුබද්ධ වූ බිය හෝ අවනතභාවය හෝ ඇතිවීමට මූලික හේතුව තමන්ගේ ආකල්පවල ඇති පසුගාමී සහ නිවට ස්වභාවය බව සමස්ත ජනතාවට අවබෝධ වීම බල පරතරය, අවනතභාවය සහ බිය නැතිවීමේ ආරම්භයයි. මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම දේශපාලන ව්‍යාපාරවල කාර්යභාරය වේ. චිරාත් කාලයක් මුළුල්ලේ ජනතාව තුළ පැවති සංස්කෘතිකාංග වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවේ. එනමුත් මෙය කළ හැකිය. මක්නිසාදයත් බල පරතරය නිර්මාණය කරනු ලබන්නේ බලවත් රටවැසියන් විසින් නොව බලවත් නොවන රටවැසියන් විසින් බැවිනි. මෙම බල පරතරය සහ බිය නැතිවීම මගින් පාලකයන්ගේ අත්තනෝමතික ස්වභාවයට විරුද්ධ වීමට ජනතාවට හැකිවනු ඇත. මේ මගින් පාලකයන් ජනතාවට අවනත වී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වනු ඇත.
මෙම කාර්යභාරය මෙසේ නොවුනහොත් සමාජයට වඩාත් අනර්ථකාරී ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු වේ. නිදහසින් පසුව විනාශකාරී කැරලි තුනකට මෙරට මුහුණදී ඇත. මෙම කැරලිවලට ප්‍රධාන හේතුව වූයේ පාලකයන්ගේ අත්තනෝමතික ස්වභාවයත් එම අත්තනෝමතිකත්වයට විරුද්ධ නොවීමේ ජනතාවගේ නිවට ස්වභාවයත් සහ මෙම අවාසනාවන්ත තත්ත්වයට මෙරට තරුණ පරපුර තුළ වූ විරුද්ධත්වයත් ය. මෙම කැරලි වලට හේතුවූ කරුණු අධ්‍යනයට කොමිෂන් සභා පත්කළද රටේ ආණ්ඩු ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත. එබැවින් මෙම තත්ත්වය තුළ තවත් කැරැල්ලක් මතුවීමේ අනතුරක් පවතී. මෙයට ආණ්ඩුවේ පිළිතුර වන්නේ එයට විරුද්ධව සන්නද්ධ වීමයි. එය දැනට කෙරෙමින් පවතී.
මෙම සමස්ත ක්‍රියාදාමය වැළැක්වීමට ජනතාවට කළහැකි වන්නේ තමන් තුළ ඇති බිය හෝ අවනතභාවය හෝ නැතිකර ගනිමින් රාජ්‍යයේ අත්තනෝමතිකත්වයට විරුද්ධ වීමයි. මෙය බොහෝ ප්‍රතිඵල සහිත වේ. උදාහරණයක් ගතහොත් දැනට කෙරීගෙන යන අගවිනිසුරුවරියට එරෙහි කැකිල්ලේ නඩු විභාගයට විරුද්ධ වී එය වලක්වා ගතහොත් අවම වශයෙන් ලෝකයා ඉදිරියේ අපගේ ජාතිය (Nation) අවමානයට සහ නින්දාවට පත්වීම වලක්වාගත හැක.
හර්ෂ ගුණසේන
(Published in samabima 7th December 2012)
No comments:
Post a Comment