බුරුමයේ මිලිටරි ජුන්ටාවේ ආධිපත්‍යය කෙමෙන් ලිහිල් වෙමින් පවතී. බුරුම ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණවලට ඉඩ දෙමින් දැඩි මතධාරී උප ජනාධිපතිවරයා පසුගිය දා ඉල්ලා අස්විය. චීනය සමඟ වූ දැඩි සබඳතා ලිහිල් කරමින් ඉන්දියාව සහ බටහිර රටවල් සමඟ වන සබඳතා තර කර ගැනීමට බුරුම රජය උනන්දුවක් දක්වයි. මෑතදී කළ අවුන් සාන් සුකීගේ විදේශ සංචාර සහ එම විදේශ සංචාරවලදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇය ලද අති මහත් වූ ගෞරවය බටහිර රටවල් බුරුමය සමඟ ඇති සබඳතාවලට හිතකර අන්දමින් බලපා ඇත. මේ අනුව ජාත්‍යන්තර ආයෝජකයන්ට බුරුමයේ ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා විවර වෙමින් පවතී.
බුරුමයේ දැඩි පාලනයක් තිබූ යුගයේ සුකීගේ අහිංසාවාදී විරෝධතා ව්‍යාපාර බෞද්ධ ජනරාල්වරුන්ට විරුද්ධ බටහිර ආධාර ලබන ක්‍රිස්තියානි කුමන්ත්‍රණකාරී ව්‍යාපාරයක් බව හුවා දක්වමින් බෞද්ධ මූලධර්මවාදීන් විසින් ලිපි ගණනාවක් මෙරට පුවත්පත්වල පළ කර තිබුණි. ඊනියා බෞද්ධ ජනරාල්වරුන්ට විරුද්ධ බෞද්ධ භික්ෂූන්ගේ විරෝධතා ව්‍යාපාරය පවත්වන ලදුව එය මර්දනය කරන ලද්දේ ඊට පසුවය.
බුරුමයේ එම අඳුරු යුගයේදී ශ්‍රී ලංකාවේ පාලකයන් විසින් බුරුමය සමඟ සම්බන්ධතා තර කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වන ලදී. එම විශේෂ උනන්දුව දැනට ක්‍ෂය වෙමින් පවතින සෙයක් දක්නට ලැබේ.
එම දැඩි පාලනයක් තිබූ යුගයේ ද වර්තමානයේ ද බුරුම පාලකයන් ජාත්‍යන්තර ප්‍රජාව අමතන්නේ එකම භාෂාවකිනි. ජාත්‍යන්තර ප්‍රජාවට එක දෙයක් කරන බව දන්වා දේශීය වශයෙන් තවත් දෙයක් කිරීමේ රැවටිලිකාර ප්‍රතිපත්තියක් බුරුම පාලකයන් අනුමත කරන බව පෙනෙන්නට නැත. මේ අනුව ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට බුරුමය සමත්ව ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. බුරුමයේ මෙන් නොව ශ්‍රී ලංකාවේ ජ්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව ඇත. බුරුමය කලකට පෙර දැඩිව තිබූ ඉන්දියානු සම්බන්ධතා අඩු කර ගනිමින් චීනය වෙතට වඩාත් සමීප වී දේශීය වශයෙන් මිලිටරිමය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන යමින් ජාත්‍යන්තරයෙන් කොන් වී ගියේය. ශ්‍රී ලංකාවද කාලයක සිට ගමන් කිරීමට උත්සාහ කරන්නේ බුරුමය ගමන් කළ එම විනාශකාරී මාර්ගයේමය. සුළු වෙනසකට තිබෙන්නේ බුරුම පාලකයන් ජාත්‍යන්තර වශයෙන්ද දේශීය වශයෙන්ද එකම ස්ථාවරයක සිටි නමුත් ශ්‍රී ලාංකික පාලකයන් ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට උත්සාහ කිරීමයි. මෙම තත්ත්වය ඉන්දියාව සම්බන්ධ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන අතර බටහිර රටවල් සමඟ වන ප්‍රතිපත්තියේද ඇත්තේ අඩු වශයෙන් එම තත්ත්වයමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඇති කරන ලද ප්‍රතාපවත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටීම ඉතාම කනගාටුදායකය. තෙල් ජනසතුව වැනි දැඩි තීරණ ගත් අවස්ථාවලදී එම තීරණවල ප්‍රතිවිපාක කෙසේ වෙතත් බණ්ඩාරනායක මැතිණිය ඇමරිකාව ප්‍රමුඛ ධනපති රටවලට එකක් කියා, දේශීය වශයෙන් වෙනකක් කීවේ නැත. ඇයට තිබුණේ එකම ස්ථාවරයකි. වත්මන් ජනාධිපතිවරයා මුලසිටම අනුගමනය කළේ රැවටිලිකාර ප්‍රතිපත්තියකි. ඔහු ප්‍රථම වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට හෙළ උරුමය සමඟද ජනතා විමුක්ති පෙරමුණ සමඟද ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට ගිවිසුම්වලට පැමිණියේය.
වර්තමාන පාලකයන් අනුගමනය කරන මෙම රැවටිලිකාර ප්‍රතිපත්තිය නිසා ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත.
ආර්ථික තලයේදී ද ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ මෙම රැවටිලිකාර ප්‍රතිපත්තියයි. විදේශ ආයෝජන උනන්දු කරවන අතර මෑතකදී කළ පුද්ගලික සමාගම් රජයට පවරා ගැනීමේ මංකොල්ලය මගින් විදේශ ආයෝජකයන්ට එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංඥා නිකුත් කරන ලදී. එබැවින් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට වඩා බුරුමයට යාමට උනන්දුවක් දක්වනු ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රම ක්‍රමයෙන් වැඩි වන ගෙවුම් ශේෂ පරතරයට අනුව විදේශ ආයෝජනවලින් තොරව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම සිහිනයක් පමණක් වනු ඇත.
රොබට් මුගාබේ සිම්බාබ්වේහි නිදහස් අරගලය මෙහෙයවූ ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායමේ නායකයාය. එම කීර්තිමත් අතීත ක්‍රියාකාරකම්වලට පටහැනිව ඔහු දැනට සිම්බාබ්වේහි ඒකාධිපති පාලනයක් ගෙන යමින් එරට ජාත්‍යන්තරව කොන් කිරීමේ ව්‍යාපාරයක නිරත වී සිටී. රාජපක්ෂ ජනාධිපතිවරයා ද යුද්ධය ජය ගැනීමෙන් පසුව රොබට් මුගාබේ අනුගමනය කරමින් සිටී. ඔහුට කිරීමට ඇත්තේ බුරුමයේ අඳුරු යුගයේදී බුරුමය අනුගමනය කළාක් මෙන් වර්තමානයේදී ද බුරුමය අනුගමනය කිරීමයි∎
හර්ෂ ගුණසේන
(Published in Samabima 2nd October 2012)
No comments:
Post a Comment