Thursday, May 1, 2014

ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති

හර්ෂ ගුණසේන

රාජ්‍ය අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ කතාවකදී අයවැය පිළිබඳ වූ විවේචනයන්ට පිළිතුරු දෙමින් රජයේ ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂණවාදී නොවන බව ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කිරීමට හේතුවූයේ මෙම අයවැය මගින් ඇතැම් ආනයනික භාණ්ඩ මෙරටෙහිම නිපදවා ගැනීමට අනුබල දීමක් වශයෙන් එම භාණ්ඩ කෙරෙහි වන ආනයනික බදු වැඩිකිරීම නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය 1970 යුගය දක්වා ආපසු රැගෙන යන බවට වූ චෝදනාවට පිළිතුරු වශයෙනි.

බොහෝ කලක සිට මෙරට වෙළෙඳ ශේෂ ප්‍රශ්නයක් තිබේ. එනම් මෙරටින් පිටරටට පටවන භාණ්ඩ සඳහා මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායමට වඩා ඉතා වැඩි විදේශ විනිමය වියදමක් මෙරටට ගෙන්වන භාණ්ඩ සඳහා ගෙවීමට සිදුවී ඇති බැවිනි. එසේ වන්නේ මෙරටට ගෙන්වන භාණ්ඩ ප්‍රමාණය මෙරටින් පිටරට යවන භාණ්ඩ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි බැවිනි. මෙයට පිළියම් දෙකක් තිබේ. එකක් පිටරට යවන භාණ්ඩ සහ සේවා සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමයි. අනෙක මෙරටට ගෙන්වන භාණ්ඩ සඳහා ගෙවන මුදල් ප්‍රමාණය අඩුකර ගැනීමයි. ආදායම වැඩිකර ගැනීම සඳහා ආක්‍රමණශීලි විය යුතුය. වියදම අඩු කර ගැනීම සඳහා ආරක්ෂණවාදී විය යුතුය. ආණ්ඩුව වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ දෙවන පියවරටයි.

වෙළෙඳාමේදී හෝ ක්‍රීඩාවේදී හෝ යුද්ධයේදී හෝ දේශපාලනයේදී හෝ ජයගැනීම සඳහා ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ තම ආරක්ෂාවද සහතික කර ගනිමිනි. එවිට ඔහු ආරම්භයේදීම ජයග්‍රාහකයෙකි. ඔහු ක්‍රියා කළ යුත්තේ සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමටය. එසේ නොමැතිව යමෙක් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට මුල්තැන දෙමින් ඉඩක් ලද විට ආක්‍රමණශීලී වන්නේ නම් ඔහු ආරම්භයේදීම පරාජිතයෙකි. ඔහු ක්‍රියා කළ යුත්තේ සිය පරාජය ජයග්‍රහණයකට පෙරළා ගැනීම සඳහාය. දැනට වසර හතර හමාරකට පෙර අවසන්වූ යුද්ධය වෙනුවෙන් ආණ්ඩුව සහ හමුදාපතිවරු අනුගමනය කළේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියකි. ආණ්ඩුව යුද්ධය ජයගැනීමට ඉවහල්වූ ප්‍රමුඛතම කාරණය එයයි.

ආණ්ඩුව ක්‍රියාකරන්නේ රාජ්‍ය අංශයට වැඩි බරක් තබමිනි. පසුගිය යුගයේ පැවති පුද්ගලික අංශය ආර්ථිකයේ ගාමක බලවේගය වන බවට වූ සටන් පාඨය තවදුරටත් වලංගු නැත. රාජ්‍ය අංශයේ ව්‍යාපාරික ආයතන වඩාත් ශක්තිමත් කරමින් පවතින අතර උපාධිධාරීන් වඩවඩාත් රාජ්‍ය අංශයට අනුයුක්ත කරගනිමින් පවතී. පුද්ගලික අංශයේ රැකියා අවස්ථා පිළිබඳව තරුණ උපාධිධාරීන්ගේ වැඩි කැමැත්තක් නොමැති අතර ඔවුන්ගේ සුදුසුකම් සහ හැකියාවන් පුද්ගලික අංශයේ අවශ්‍යතාවලට නොගැලපෙන බවට මතවාදයක් පවතී. ආණ්ඩුව පුද්ගලීකරණය කළ සමහර ව්‍යාපාර නැවත අත්පත් කරගත් අතර කොටස් වෙළෙඳපොළ තුළ සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන හරහා විශේෂයෙන්ම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවල කොටස් මිලදී ගැනීම සහ එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීම මගින් ඒවායේ කළමනාකාරිත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකර ඇත.

ලංකාවේ ආණ්ඩු බොහෝ කාලයක සිට අය වැය හිඟයක් පවත්වාගෙන එයි. මේ මගින් උද්ධමනය සහ දේශීය පොලී අනුපාත වැඩි වීම හරහා දේශීය භාණ්ඩවල මිල ඉහළ යාම මගින් අපනයන ව්‍යාපාරිකයන්ට අවාසි සහගත තත්ත්වයක් ඇතිවේ. මෙම දේශීය වියදම් ඉහළ යාම අපනයන ව්‍යාපාරිකයන් විසින් රුපියලේ අගය අන්තර්ජාතිකව අඩුවීම මගින් පියවා ගන්නා ලදී. අපනයන ව්‍යාපාරිකයන්ට වන අවාසි සහගත තත්ත්වය මෑත කාලයේදී වඩාත් උත්සන්න වී ඇත්තේ ආණ්ඩුව විසින් රුපියලේ අගය ඉහළ මට්ටමක තබා ගැනීමට කෘතිම ලෙස කටයුතු කරමින් සිටින නිසාය.
මේ රටේ අපනයන ව්‍යාපාරද බොහෝවිට තවදුරටත් අමුද්‍රව්‍ය අපනයනය කිරීමේ යෙදී සිටිනු දක්නට ලැබේ. වඩාත් පුළුල් දැක්මක් සහිත අපනයන ව්‍යාපාරිකයන් සිටින්නේ අතළොස්සකි. ආණ්ඩුව අපනයන ව්‍යාපාර සඳහා වන ආදායම් බද්ද 12% මට්ටමේ තබාගෙන සිටී. මෙය ප්‍රසංශා කටයුතුය. වාණිජ බැංකු අපනයන ව්‍යාපාර සඳහා සහනශීලී පොලී අනුපාත පවත්වාගෙන යන්නේ නැත. ආණ්ඩුව විසින් දීර්ඝ කාලීන ණය ව්‍යාපාරිකයන්ට දීමට වාණිජ බැංකු ධෛර්යමත් කළත් වාණිජ බැංකුවල අභිප්‍රාය කෙටිකාලීන ණය දීමටයි. වාණිජ බැංකු ණය දීමේදී සලකා බලන ප්‍රධාන කාරණය වන්නේ ණය ගන්නා අයට තැබිය හැකි සුරකුමේ වටිනාකමයි; ණය ගන්නා කාරණය සාර්ථක කර ගැනීමට ණය ගන්නා අයගේ ඇති හැකියාව නොවේ. රටක ඉතාම ඉහළ මට්ටමේ සමාගම් අතර භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන සමාගම් නොව වාණිජ බැංකු සිටී නම් එරට සංවර්ධනය අසමබර එකක් විය යුතුය. ලංකාවේ සිදුව ඇත්තේ එයයි.

රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් ආණ්ඩුව බොහෝවිට කරමින් සිටින්නේ ආනයන ආදේශක ශක්තිමත් කිරීමයි. අපනයන සඳහා බොහෝවිට සුළු ව්‍යාපාරිකයන් ද ඇතුළු පුද්ගලික අංශය ශක්තිමත් කළ යුතුය.

රටේ අපනයන හැරුණු විට අනෙක් ලැබීම වන්නේ මෙරටින් රැකියා සඳහා පිටරට යන පුද්ගලයන් විසින් එවන මුදල්ය. මෙම ලැබීම් අනුක්‍රමයෙන් වැඩි වෙමින් පවතින නමුත් මෙම මුදල් එවන පිරිස් වෙනුවෙන් ප්‍රමාණවත් යමක් කිරීමට ශ්‍රී ලාංකික ආණ්ඩු බොහෝ කාලයක සිට අසමත්ව ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමද ඒ වෙනුවෙන් රජය විසින් දරන පිරිවැය ද රැකියා සඳහා පිටරට යන පුද්ගලයන් විසින් එවන මුදල් ද ඔවුන් වෙනුවෙන් රජය විසින් දරන පිරිවැය ද සංසන්දනය කිරීමේදී වෙනස පැහැදිලිව පෙනේ. ඔවුන් රජයට දැඩි බලපෑමක් කළ නොහැකි දුප්පතුන් පිරිසක් වීම එයට හේතුවයි. පොහොසතුන්ද ඇතුළු මුළු රටම අධික ආනයන වියදම් වෙනුවෙන් මොවුන් කෙරෙහි රඳා පැවතුණත් වර්තමාන ආණ්ඩුවේ විදේශ විනිමය ප්‍රතිපත්තිය ද මොවුන් කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. රටේ අධ්‍යාපනය හරහා පිටරට සේවා නියුක්තිය වඩාත් ඵලදායි කිරීමට ගතහැකි පියවර ගැනීම ආණ්ඩුව අතපසු කරමින් සිටී.

මෙරට පුද්ගලික අංශය ආණ්ඩුව කෙරෙහි ප්‍රමාණවත් අන්දමින් බලපෑමක් කිරීමට සමත්වී නැත. තමන්ට සහ තමන්ගේ ව්‍යාපාරවලට ලැබෙන අල්ප වූ වරදාන වෙනුවෙන් ඔවුහු ආණ්ඩුවට ප්‍රශංසා කරමින් සිටිති. ආණ්ඩුවේ ආර්ථිකය පිළිබඳ සමස්ත ක්‍රියාකාරීත්වය ගැන විග්‍රහයක් සහ විවේචනයක් කිරීමට ඔවුහු අසමත් වී ඇත.

2012 වර්ෂය සඳහා ආසියානු රටවල් කිහිපයක ආර්ථික දත්ත මෙහි ඇති වගුවේ දක්වා ඇත. ආණ්ඩුව විසින් මහත් අභිරුචියෙන් වර්ණනා කරන ආර්ථික ජයග්‍රහණ වෙනත් රටවල් විසින්ද අත්පත් කරගෙන ඇති බව මෙම වගුවෙන් පෙනී යයි.

chart1

පකිස්ථානය හැරුණු කොට අනෙකුත් සියලුම රටවල ආර්ථික වර්ධනය 5% ඉක්මවා ඇත. ඉන්දුනීසියාවේ, තායිලන්තයේ මෙන්ම බංගලිදේශයේද අය වැය හිඟය සාපේක්ෂව අඩු මට්ටමක් ගනී. උද්ධමනය අඩු ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේය. ඉන්පසුව උද්ධමනය අඩු ශ්‍රී ලංකාවේය. වාණිජ බැංකුවල පොලී අනුපාතය නැවතත් ඉහත දෙරටේ අඩු මට්ටමක් ගන්නා අතර ඉන් පසුව ඉන්දියාව සිටී. රැකියා විරහිත ප්‍රතිශතය තායිලන්තයේ ඉතා අඩු අතර ඉන්පසුව එය අඩු මට්ටමක් ගන්නේ වියට්නාමයේය. අපනයන දළ දේශීය නිෂ්පාදිතයට දායක වන ප්‍රමාණය වියට්නාමයේ සහ තායිලන්තයේ ඉතා වැඩි මට්ටමක් ගනී. එමෙන්ම එම දෙරටේ අපනයන සහ ආනයන අතර පරතරය ඉතාම අඩු අතර ආනයනවලට වඩා අපනයන වැඩිය. රාජ්‍ය ණය ඉතාම වැඩි අගයක් ගන්නේ ශ්‍රී ලංකාවේය. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරවද බිය එලවන සුළු අන්දමේ ඉහළ මට්ටමක සිටී. රටක් සංවර්ධනය සඳහා ණය ගැනීම අවශ්‍ය වන නමුත් ප්‍රශ්නය වන්නේ ලැබෙන ණය හිතකර කොන්දේසි යටතේ ලබා ගන්නවාද යන්නත් ලැබෙන මුදල්වලින් නිසි ප්‍රයෝජනය ගන්නවාද යන්නත්ය.

වැඩි ජිනී අනුපාතයකින් කියැවෙන්නේ ආදායම බෙදී යාමේ විෂමතාවය වැඩි බවයි. තායිලන්තයේ හැරුණු විට මෙය වැඩි ශ්‍රී ලංකාවේය. තායිලන්තයේ සිදුවන දේශපාලන කැළඹීම්වලට මෙයද හේතුවක් වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පසුගිය වසරවල අය වැය මගින් දුප්පතුන්ට වැඩි බරක් දමා ඇති අතර පොහොසතුන් පාවිච්චි කරන සමහර භාණ්ඩවලට බදු අඩුකර තිබේ. රටේ බදු ආදායම අඩුවී ඇති අතර වැඩි ආදායම් ලබන්නන් වෙනුවෙන් ඔවුන්ගේ ධනය මත බද්දක් අයකරන බවට රාවයක් පැතිර ගියමුත් එවැන්නක් අය වැය යෝජනා තුළ තිබුණේ නැත. බදු ආදායමෙන් ඉතාම වැඩි දායකත්වය වැට් බද්ද ඇතුළු වක්‍ර බදු මගින් ලබා දෙන අතර ඍජු බදුවල දායකත්වය අනුක්‍රමයෙන් පහළ බසිමින් පවතී. මේ අනුව බදුවලට දුප්පතුන්ගේ දායකත්වය වැඩි වෙමින් පවතින අතර ධනවතුන්ගේ දායකත්වය සාපේක්ෂව අඩු වෙමින් පවතී. මෙම තිත්ත පෙත්ත ජනතාවට ලබා දෙන්නේ සිංහල බෞද්ධ වර්ගවාදයේ දවටාය.

mm

ඉහත රටවල් අතරින් අධ්‍යාපනයට අඩුම ප්‍රතිශතයක් වෙන් කරන්නේ ශ්‍රී ලංකාව වන අතර වැඩිම ප්‍රතිශතයක් වෙන් කරන්නේ වියට්නාමයයි.
මේ අනුව යුද්ධයෙන් පසුව ආර්ථිකය දියුණු කිරීමට ලැබුණු අගනා අවස්ථාව ප්‍රශස්ත අන්දමින් ශ්‍රී ලංකාව විසින් පාවිච්චි කර නොමැති අතර ආඩම්බර වීමට හැකි තත්ත්වයක් අපට නැත. රාජ්‍ය ණය ගැන සලකා බැලීමේදී බිය විය යුතු තත්ත්වයක් ඇත. රටේ දීර්ඝ කාලීන ආර්ථික යහපත වෙනුවෙන් අපනයන ආදායම වැඩි කිරීම අනිවාර්ය වේ. මේ ගැන ප්‍රමාණවත් අන්දමේ බලපෑමක් කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති අතර පුද්ගලික අංශය ද වාණිජ බැංකු ද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද මේ පිළිබඳව දක්වන ආකල්පය ඵලදායක නොවේ∎

Published in Samabima 24th Feb 2014

No comments:

Post a Comment