Thursday, May 1, 2014

එහෙන් බැරිම නම් මෙහෙන් ගන්න

අපට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සියවස් ගණනාවක් තිස්සේ විකාශනය වී එරටට උචිත වූ ක්‍රමයක් බවට පරිවර්තනය වී ඇත. පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය මෙම ක්‍රමයේ ප්‍රධාන සාධකයකි.
අප රටේ දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමරිකන් හා ප්‍රංශ ව්‍යවස්ථාවල සහ මෙම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයාගේ අත්තනෝමතික සිතුවිලිවල එකතුවකි. මෙම ක්‍රමයේ ව්‍යවස්ථාවල ප්‍රධාන සාධකය වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයේ සමතුලිතභාවයයි.
මෙම ක්‍රම දෙක අනුව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ආණ්ඩු පිහිටවනු ලබන්නේ බහුතරයේ කැමැත්ත අනුවය. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය වන්නේ සහ රාජ්‍යය ක්‍රියාත්මක වන්නේ වැඩි දෙනාගේ කැමැත්ත අනුවය.
බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මෙලෙස විකාශනය වී ඇත්තේ එම රටවල ජනතාවට ආවේණික වූ සිතුම් පැතුම්වලට අනුකූලවය. බටහිර රටවල ජනතාව ජීවිතය කෙරෙහි දක්වන්නේ පුද්ගලවාදී ආකල්පයකි. මෙම සංස්කෘතීන් තුළ පුද්ගල නිදහස හා පුද්ගලයන්ට විවිධ මත දැරීමේ නිදහස ඉතාමත් අගය කරනු ලැබේ. අනෙකාගේ මතයට එකඟ නොවූවත් එම මතය ඔහුට දැරීමට ඇති අයිතිය වෙනුවෙන් කැප වන බවට වූ වෝල්ටෙයාර්ගේ ප්‍රකාශය මෙම තත්ත්වය සංක්ෂිප්ත කර දක්වයි. පුද්ගලයන්ට විවිධ මත දැරීමේ ඇති නිදහස අගය කරන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය විකාශනය විය හැක්කේ වැඩි දෙනාගේ කැමැත්තට ප්‍රමුඛතාවය දෙන ක්‍රමයක් මගින් පමණි.
ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීක පෞර රාජ්‍යයන්හි පළමුකොටම ඇති වූ බව කියනු ලැබේ. ක්‍රි.පූ. හයවන සියවසේ බුදුන්ගේ කාලයේ ඉන්දියාවේ තිබූ ලිච්ඡවීන්ගේ රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික එකකි. බුදුහු මෙම ආණ්ඩුක්‍රමයට ප්‍රශංසා කළහ. එමතුද නොව ඔවුන් අනුගමනය කරන අපරිහානීය ධර්ම හතක් දක්වා එම ධර්ම අනුගමනය කරන තාක් කල් ඔවුන් නොපිරිහෙන බවද උන්වහන්සේ වදාළහ. මෙම අපරිහානීය ධර්ම මෙසේ දැක්විය හැක.
01. එදිනෙදා පරිපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා නිතර රැස්වීම් පැවැත්වීම
02. එක්ව රැස්වීම, එක්ව වැඩ කිරීම සහ එක්ව විසිර යාම
03. රාජ්‍ය නීතිය උල්ලංඝනය නොකිරීම
04. වැඩිහිටියන්ට ගරු කිරීම
05. ස්ත්‍රීන්ට ගරු කිරීම සහ ඔවුන් ආරක්ෂා කිරීම
06. ආගමික වතාවත් අනුගමනය කිරීම සහ ආරක්ෂා කිරීම
07. පූජකවරුන්ට ගරු කිරීම
මෙම ධර්ම හත කරුණු තුනකට සාරාංශගත කළ හැකිය. එනම් සම්මුතිය, දුබලයන් ආරක්ෂා කිරීම සහ පිදිය යුත්තන් පිදීමය. බටහිර වැඩි දෙනාගේ කැමැත්ත වෙනුවට ලිච්ඡවී රාජ්‍යයේ් සම්මුතිය ආදේශ වී තිබේ.
සම්මුතියේ ප්‍රභවය පෙරදිග රාජ්‍යයන්හි ජනතාවගේ සිතුම් පැතුම් සහ සංස්කෘතීන් තුළ දක්නට ඇත. පෙරදිග ජනතාව සාමූහිකවාදී වෙති. අපරදිග ජනතාව මෙන් පුද්ගලවාදී නොවෙති. මෙම සාමූහිකවාදී බව තුළ විවිධ කණ්ඩායම් ඇතිවිය හැක. සමහර රටවල, සමහර අවස්ථාවන්හි මෙම කණ්ඩායම් පවුල් ඒකකය දක්වා කුඩා විය හැකි අතර සමහර අවස්ථාවන්හි සමස්ත රාජ්‍යයම එක ඒකකයක් වන සේ විශාල විය හැකිය. මෙම කණ්ඩායම්වල පුද්ගල නිදහසට වඩා කණ්ඩායමේ නිදහස සහ අභිවෘද්ධිය වඩාත් වැදගත් කොට සලකනු ලැබේ. එබැවින් පුද්ගලවාදී වන වැඩිදෙනාගේ කැමැත්ත වෙනුවට සාමූහිකවාදී වන සම්මුතිය ඉදිරියට පැමිණ තිබේ.
ජපන් වෙළඳ සමාගම්වල තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ සම්මුතිය දක්නට ඇත. සමාගම විසින් යම්කිසි තීරණයක් ගැනීමේදී අදාළ ක්‍රියාවලියට දායක වන සියලු දෙනාගේම අදහස් විමසා සියලු දෙනාගේම කැමැත්ත අනුව තීරණය ගනු ලැබේ. තීරණය ගැනීම සඳහා බොහෝ කල් ගතවන නමුත් එය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක.
ප්‍රංශ විප්ලවයේ පෙර ගමන්කරුවකු වන රූසෝ ‛රාජ්‍යය කුඩාවන තරමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන’ බව පවසා තිබේ. එනම් කුඩා රාජ්‍යයන්හි සම්මුතිය ක්‍රියාත්මක කිරීම විශාල රාජ්‍යයන්ට වඩා පහසුය.
පුද්ගලවාදී සමාජයන්හි අනෙකාගේ මතය ඉවසීමද අත්‍යවශ්‍ය අංගයකි. එබැවින් වැඩිදෙනාගේ කැමැත්ත මත ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ප්‍රතිවාදී මත දරන්නන් මර්දනය කිරීම අධානග්‍රාහී ක්‍රියාවක් ලෙස සැලකේ. එනමුත් සාමූහිකවාදී සමාජයන්හි තම කණ්ඩායමට ප්‍රතිවිරුද්ධ මත දරන්නන් මර්දනය කිරීම අධානග්‍රාහී ක්‍රියාවක් ලෙස නොසැලකේ. බටහිර පුද්ගලවාදී සමාජයන් තුළ විකාශනය වූ වැඩිදෙනාගේ කැමැත්ත මත පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම පෙරදිග සාමූහිකවාදී සමාජයන්හි ක්‍රියාත්මක කිරීමේදී වැඩිදෙනාගේ කැමැත්ත අධිකාරීභාවය හෝ සාහසිකභාවය දක්වා පරිහානියට පත්වේ.
එබැවින් සාමූහිකවාදී සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් රාජ්‍යය ක්‍රියාත්මක විය යුත්තේ සියලු දෙනාගේ සම්මුතිය මත ලිච්ඡවීන් ක්‍රියාත්මක වූ ආකාරයටය. ප්‍රතිවිරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල සාමාජිකයන් එකම ආණ්ඩුවේ ක්‍රියාත්මක වන සහ මහජනතාව නිරන්තරයෙන් ආණ්ඩුකරණයට ජනමත විචාරණ මගින් සහභාගී වන ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාව ඇතුළු පෙරදිග සාමූහිකවාදී රටවල් විසින් ආදර්ශයට ගත යුතුය∎
හර්ෂ ගුණසේන
(Published in Samabima -27 June 2011)

No comments:

Post a Comment