අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන අරියවංස සූත්‍ර දේශනාව භික්ෂූන්ට පිණ්ඩපාත චීවර, සේනාසන සහ ගිලානෝපත්‍ය යන සතර කාරණයන්හි අල්පේච්ඡ වීමේ අගය මතු කරයි. යම් භික්ෂුවක් මේ එක් එක් පරිෂ්කාරයන්හි දැනට ඇති දේ පිළිබඳ සෑහීමකට පත් වන්නේ ද අලුතින් යමක් නොලැබුණේ නම් නොකැළඹෙන්නේ ද අලුතෙන් යමක් ලැබුණේ නම් එයට නොඇලෙන්නේ ද එම භික්ෂුව පෙර උතුමන් විසින් අනුදත් ආර්ය ප්‍රතිපදාව අනුගමනය කළේ වෙයි.
බුදුන් වහන්සේ වදාළ සූත්‍රයන් අතර සතිපට්ඨාන සූත්‍රය ඉතා වැදගත් ස්ථානයක් ගනියි. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කිරීමට පෙර එම සූත්‍රය විශේෂණ පද පහක් යොදා ගනිමින් වර්ණනා කළහ. මෙම අරියවංස සූත්‍රය දේශනා කිරීමට පෙර එම සූත්‍රය වර්ණනා කිරීම සඳහා උන්වහන්සේ විශේෂණ පද හතක් යොදා ගත්හ. මේ අනුව උන්වහන්සේ මෙම සූත්‍රය සඳහා දක්වා ඇති සැලකිල්ල තේරුම් ගත හැකිය.
ඉතිහාසගත නරපතියන් අතර අග්‍ර ස්ථානයක වැජඹෙන අශෝකගේ එක් ශිලා ලිපියක බුදුන් වදාළ සූත්‍ර හයක් දක්වා එම සූත්‍ර සියලු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසකයන් සහ උපාසිකාවන් විසින් නිතර අසා මතක තබා ගත යුතු බව සඳහන් වේ. මෙම සූත්‍රය බොහෝ විට අරියවංස සූත්‍ර දේශනාව විය හැකි බව උගතුන්ගේ මතයයි.
බුද්ධ ධර්මය ලංකාවට එන විට අශෝකගේ මෙම අර්ථකථනය ද ලංකාවට එන්නට ඇත. පොළොන්නරු යුගයේ රචිත රසවාහිනියේ, සිංහලදීපයේ මාගම මහාවාපී විහාරයේ අවුරුදු පතා මහජන සහභාගිත්වයෙන් සිදු කරන අරියවංස ධර්ම දේශනාව ඇසීමට පැමිණි කුඩ්ඩරජ්ජවාසී තෙරුන් වහන්සේ නමක් සර්පයකු විසින් දෂ්ට කිරීම සම්බන්ධ ඉපැරණි කතා වස්තුවක් එයි. මේ පිළිබඳව සලකා බලන කල පැරණි ලංකාවේ අරියවංස සූත්‍රය පාදක කොටගත් ධර්ම දේශනා නිතර සිදුකර ඇති බව අනුමාන කළ හැකිය.
ඉතා පැරණි යුගයේ මෙම සිරිත ආරම්භ වීමට අශෝක රජුගේ බලපෑම ද හේතුවක් වන්නට ඇත. බුදුන් වහන්සේ මෙම සූත්‍රයට දැක්වූ සැලකිල්ලට ද ප්‍රයෝජනය සලකා පරිෂ්කාර පරිහරණය කිරීමේ වටිනාකම දත් සඟ පරපුරක අනුග්‍රහය ද මෙම සූත්‍රය ජනතාව අතර ප්‍රචලිත වීමට හේතු වන්නට ඇත.
වර්තමාන පාරිභෝගික සමාජය පිළිබඳව සලකා බලන කල ආහාර, ඇඳුම්, නිවාස සහ බෙහෙත් යන මූලික අවශ්‍යතාවන් ප්‍රකාශනය සලකා නොව ප්‍රයෝජනය සලකා පරිහරණය කිරීමේ සහ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ අරියවංස ප්‍රතිපදාව ගිහියන්ට ද බොහෝ සෙයින් අදාළ බව අපට වටහා ගත හැකිය. දැනට පෙර මෙන් නිතර අරියවංස සූත්‍ර දේශනාව අසන්නට නොලැබුණත් මෙරට ජන විඥානයේ අරියවංස සූත්‍රයේ හරය ගැබ් වී ඇත.
බටහිර අධ්‍යාපනය හරහා එන හර පද්ධතීන්ගෙන් සහ විවෘත ආර්ථිකය හරහා එන ගෝලීයකරණයෙන් කුරුවල් නොවූ මනස් ඇති සිංහල ගැමි ජනතාව අතර ඇති ඉතා වැදගත් ගුණයක් වන ලද දෙයින් සතුටු වීමේ ගුණය, චිරාත් කාලයක් තිස්සේ අරියවංස සූත්‍රයෙන් ලද ආභාසය හේතු කොටගෙන ජනිත වන්නට ඇත.
අරියවංස සූත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ මුල් පියවර තැබූ අශෝක, රජු සහ ජනතාව අතර ඇති සම්බන්ධය පියකු සහ දරුවන් අතර ඇති සම්බන්ධයට සමාන කළ අයෙකි. එතුමා විසින් ජනතා සුබ සිද්ධිය සඳහා රාජ්‍ය පාලකයන් විසින් අනුගමනය කළ යුතු බොහෝ කාරණා දක්වා ඇත. ලද දෙයින් සතුටු වන ජනතාවක් සහ පියෙකු මෙන් ඔවුන් රැකබලාගන්නා රජකු ඇති විට රාජ්‍යය සහ ජනතාව අතර සම්බන්ධය ඉතා දැඩි වේ.
වර්තමාන ලංකාවේ තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. බහුතර ජනතාව ලද දෙයින් සතුටු වීමේ උත්කෘෂ්ට ගුණය දායාද කරගෙන ඇත. එනමුත් රාජ්‍ය පාලකයන් ජනතාව රැක බලා ගන්නේ පියකු දරුවන් රැක බලා ගන්නා ආකාරයෙන් නොවේ; පොලිස් නිලධාරියකු රිමාන්ඩ් සිරකරුවකු රැක බලා ගන්නා ආකාරයටය.
දිගින් දිගටම බලයේ සිටීම සඳහා, ඌරාගේ මාළු ඌරාගේ ඇඟේම තබා කපන්නාක් සේ, ජනතාව සතු ලද දෙයින් සතුටු වීමේ ගුණය වංචනික පාලකයන් විසින් උපයෝගී කර ගනු ලැබේ.
‛සමබිම’ ඇතුළු සමාජ ක්‍රියාකාරීන් විසින් අද දවසේ මුහුණ දෙනු ලබන ඉතා බරපතළ අභියෝගය වන්නේ ලද දෙයින් සතුටු වීමේ උත්කෘෂ්ට ගුණය සහිත ජනතාව, පාලකයන් විසින් උදුරා ගෙන ඇති සිය මූලික අයිතිවාසිකම් රැකගැනීම උදෙසා පෙළ ගැස්වීමයි∎
හර්ෂ ගුණසේන
(Published in Samabima 3rd December 2011)
No comments:
Post a Comment