බ්‍රිතාන්‍යයේ චාරිකාවක යෙදුන අවුන් සාන් සූ කී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් සමග පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට කැමරුන් සහභාගී විය යුතු දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එහි යායුතු බවද එහි ගොස් හුදු ආණ්ඩුව සමග පමණක් නොව ප්‍රශ්නවලට සම්බන්ධව සිටින සියලුම පාර්ශ්ව සමග සම්බන්ධතා පැවැත්විය යුතු බවද ප්‍රකාශ කළාය. කැමරුන් එයට එකඟ වෙමින් එහි ගොස් ආණ්ඩුවේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සහ යුද්ධයෙන් පසු ක්‍රියාකාරීත්වය ගැන ආණ්ඩුව සමග දැඩි සාකච්ඡා වක නිරත විය යුතු බව කියා සිටියේය. ඔහුගේ කොළඹ සමුළුවට සහභාගිවීම සාධාරණිකරණය කරමින් ඔහු තවදුරටත් මෙසේ කීය. “ අප එහි නොසිටියොත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ට හෝ බ්‍රිතාන්‍ය අගමැතිට කිසිවකු සවන් නොදෙනු ඇත.”
පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව නිසා ශ්‍රී ලංකික පුරවැසියන්ට ලැබෙන යහපත කුමක්දැයි බොහෝ අය ප්‍රශ්න කරති. ආණ්ඩුවේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සහ අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතනවල චර්යා රටාව පොදුරාජ්‍ය මණ්ඩලය උතුම් කොට සලකන වටිනාකම් සමඟ සැසඳීමේදී පුරවැසියන්ට ලැබෙන යහපත කෙසේවෙතත් සමුළුව ලංකාවේ නොපැවැත්විය යුතු බව බොහෝ ලිබරල් බුද්ධිමතුන්ගේ මතයයි. ආණ්ඩුවේ අකටයුතුකම්වලට සුදු හුණු ගාන මහා පරිමාණ රැවටීමේ ක්‍රියා දාමයක් සිදුවන බව පෙන්නා දෙනු ලැබ ඇත. උදාහරණයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන නවී පිල්ලේගේ මෙරට සංචාරයට පෙර ආණ්ඩුව විසින් මුත්තුර් හි දී මරා දමනු ලැබූ ප්‍රංශ සංවිධානයේ සේවකයන් 17 දෙනා සම්බන්ධ නඩුව නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කළ අතර ත්‍රිකුණාමලයේදී මරා දමනු ලැබූ ශිෂ්‍යයන් 5 දෙනා සමබන්ධයෙන් ආරක්ෂක අංශවල පුද්ගලයන් 12 දෙනෙක් අත් අඩංගුවට ගන්නා ලදී. එනමුත් කොමසාරිස්වරියගේ නික්ම යාමෙන් පසු මේ සම්බන්ධ ක්‍රියාකාරීත්වය ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ඇත. හදිසියේ ඉක්මන් කළ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා මරා දැමීම පිලිබඳ නඩුවටද සමුළුව අවසන් වීමෙන් පසු මෙම කලදසාවම යනු ඇතැයි අනුමාන කෙරේ.
ආණ්ඩුවට භාණ්ඩ සහ සේවා සපයන සැපයුම්කරුවෝ මේ දිනවල ආණ්ඩුවේ දෙපාර්තමේන්තු වලින් සහ රාජ්‍ය අනුබද්ධ ආයතන වලින් ලැබිය යුතු ගෙවීම් අවිනිශ්චිතව පමාවීම මගින් සමුළුවේ ප්රතිලාභ අත්විඳිමින් සිටිති. ආණ්ඩුව මගින් කරන ගෙවීම් සාමාන්‍යයෙන් පමා වන අතර වර්තමානයේදී සියලු දෙපාර්තමේන්තු ගෙවීම් පමා වීමට හේතුව වශයෙන් දක්වා සිටින්නේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් කරන වියදම්ය.
මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් නියෝජිතයන් සහ ව්‍යාපාරිකයන් මගින් රටට බොහෝ විදේශ ආයෝජන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ. සමහර ව්‍යාපාරික කටයුතු පිළිබඳ ලියන ලේඛකයන් විසින් සමුළුව සම්බන්ධ කොටගෙන සංචාරක කර්මාන්තය දියුණු කල හැකි යයි යෝජනා කරති. මේ සඳහා හේතු වශයෙන් ලෝන්ලි ප්ලැනට් ආයතනය මගින් 2013 වසරේ හොඳම සංචාරය කළ යුතු ස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව තෝරා ගැනීමත් නැෂනල් ජෝග්රෝෆික් සඟරාව මගින් 2010 වසරේ හොඳම සංචාරක ස්ථාන 25 අතුරෙන් දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව තෝරා ගැනීමත් දක්වනු ලැබේ. ප්‍රගතියක් පෙන්නුම් කළත් බලාපොරොත්තු වූ තරම් සංචාරකයන් මෙරටට පැමිණියේ නැත. සංචාරකයන්ට මෙරට ආරක්ෂා රහිත බව දක්වමින් බ්‍රිතාන්‍යය විසින් සංචාරකයන්ට අනතුරු හැඟවීමක් කර ඇත. දේශපාලන ගැත්තකු විසින් බ්‍රිතාන්‍ය සංචාරකයකු මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කිරීම සම්බන්ධව ආණ්ඩුව කිසිවක් කර නැත. එබැවින් ප්රශ්නය අයහපත් පාලනය සහ නීතිය සහ සාමයේ බිඳවැටීම ලෙස හකුළුවා දැක්විය හැක.
මෙතෙක් කලක් කිසිම රටක් විසින් නොදෙන ලද තරම් බදු ප්රතිලාභ දෙමින් ජාත්‍යන්තර කැසිනෝ ව්‍යාපාරිකයන්ට මෙරටට පැමිණීමට ආණ්ඩුව ආරාධනා කරන්නේ කර්මාන්තවල ආයෝජනය කිරීමට බලාපොරොත්තුවූ තරම් ආයෝජකයන් මෙරටට නොපැමිණෙන බැවිනි. මෙම අවස්ථාවේදී ආණ්ඩුවේ දැතිරෝද කරකැවීමට කළු හෝ සුදු විදේශ ආයෝජන අවශ්‍ය වේ. එබැවින් අභිමත ආයෝජකයන් නොපැමිණෙන්නේ නම් පැවැත්ම සඳහා මෙරට පොදු ජනයාගේ ආත්මය විකුණා හෝ පැමිණෙන කවරකුට හෝ ආරාධනා කිරීමට ආණ්ඩුවට සිදුවේ. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ආණ්ඩුව විසින් කොළඹ සහ නුවර එළියේ තුරඟ තරඟ පිටි වසා දමමින් අශ්ව රේස් මත ඔට්ටු ඇල්ලීම තහනම් කරන ලදී. මෙයට හේතුවුයේ ඔට්ටු ඇල්ලීම බෞද්ධ ප්‍රතිපත්තිවලට පටහැනි වූ බැවිනි. මෙම සාරධර්මවලට පටහැනිව යමින් කැසිනෝ ආයෝජකයන් මෙරටට ගෙන ඒමට ආණ්ඩුව සැරසේ.
ආණ්ඩුව කොතෙකුත් පුරාජේරු ප්‍රකාශ කරමින් සිටියත් විදේශ ආයෝජකයන් බලාපොරොත්තු වූ ලෙස මෙරටට නොපැමිණෙන්නේ ඇයි? බටහිර රටවල් කාලයක් තිස්සේ මුහුණදෙමින් සිටින ආර්ථික අවපාතය මෙයට එක හේතුවක් විය හැක. එනමුත් නියම හේතුව වන්නේ අයහපත් ආණ්ඩුකරණයයි. තමන්ගේ ආයෝජන සුරක්ෂිත වීමට ක්‍රමවේදයක් තිබේ නම් ආයෝජකයන් ආයෝජනය කරනු ඇත. මේ සඳහා වැදගත් ස්වාධීන විනිසුරන්ගෙන් සමන්විත රූකඩ වලින් තොර විශ්වාස කළ හැකි අධිකරණයක් තිබිය යුතු වන අතර පොලීසියද ඇතුළු නීතිය සහ සාමය සුරැකීමේ පද්ධතිය දේශපාලන මැරයන්ගේ ග්රහණයෙන් මිදිය යුතුය. ආණ්ඩුව සතුව වෙනස් නොවන ප්‍රතිපත්ති තිබිය යුතුය. විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන අතර දේශපාලන ඉලක්ක මත පුද්ගලික ආයතන ජනසතු කිරීම විදේශ ආයෝජකයන්ට ව්‍යාකුල සංඥාවක් දීමකි. ආණ්ඩුව ශක්තිමත් කිරීමට ආයෝජකයෝ මෙහි නොපැමිණෙති.
දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල කප්පාදු කරමින් නැවත ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වූයේ ජාත්‍යන්තර බලපෑම් විශේෂයෙන්ම ඉන්දියාවේ බලපෑම නිසාය. රටට සිංහල අන්තවාදීන්ගේ බලපෑම එක්තරා ප්‍රමාණයකට මර්දනය කර ගැනීමට හැකි වූයේත් එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ගික සමගියක් ඇති වීමට මුල පිරී ඇත්තේත් ජාත්‍යන්තර බලපෑම් නිසාය. සුදු හුණු ගෑමේ උපායන්ට යටත්ව වුවත් නිතිය සහ සාමය එක්තරා ප්‍රමාණයකට හෝ ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසාය. වෙනත් ප්‍රඥා සම්පන්න රාජ්‍ය නායකයන් කරන මූලික දේවල් අප විසින් කරනු ලබන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසාය.
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව මෙහි පැවැත්වීම මගින් මෙම ජාත්‍යන්තර බලපෑම් ආණ්ඩුව මත නිතරවම පවත්වා ගැනීමට හැකිවනු ඇත. මෙය පන්තියක දඟකාරයා එම පන්තියේ ශිෂ්‍ය නායකයා කිරීම වැනිය.
මෙම අවස්ථාවේදී ජින් ෂාප් සිය ඒකාධිපතිත්වයෙන් ප්රජාතන්ත්රවාදයට නමැති කෘතියේ විදේශ මැදහත්විම් ගැන කරන ලද සඳහනක් උපුටා දැක්වීමට කැමැත්තෙමි. “…….බාහිර විමුක්තිදායකයකු කෙරෙහි වන මෙම රඳා පැවතීම බරපතල ප්‍රශ්න ඇති කරවයි. මෙම විශ්වාසය මුළුමනින්ම අහෝසි විය හැක. සාමාන්‍යයෙන් විදේශ විමුක්තිදායකයන් පැමිණෙන්නේ නැත. විදේශ රාජ්‍යයක් මැදහත් වන්නේ නම් එරට කෙරෙහි විශ්වාසය තැබිය යුතු නැත…. ජාත්‍යන්තර බලපෑම් මගින් බලවත් අභ්‍යන්තරික යටත් නොවීමේ අරගලයකට සහයෝගය දිය හැකිනම් එම බලපෑම් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.” එබැවින් විපක්ෂයේ සහ සිවිල් සමාජයේ යුතුකම වන්නේ ආණ්ඩුවේ නොමනා ක්‍රියා කලාපයට එරෙහිව ප්‍රචණ්ඩකාරී නොවන විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැංවීමයි.
ආණ්ඩුවේ නායකයෝ කුමන හෝ ජාත්‍යන්තර උත්සවයක් මෙරට පැවැත්වීමට උත්සාහ දරමින් සිටියහ. ජි.එස්.පී සහනය නැතිවීමෙන් රටට පාඩුවක් වන්නේ නැතැයි කී ආණ්ඩුවේ ආර්ථික පණ්ඩිතයන් ගේ ද (එම සහනය නැතිවීමෙන් රටට පාඩුවක් වූ බව ආණ්ඩුව දැන් පිළිගෙන තිබේ.) සහයෝගය ඇතිව විශාල වියදමක් දරමින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවය මෙරට පැවැත්වීමට ආණ්ඩුව ගත් උත්සාහය අසාර්ථක වීම ගැන අප සතුටුවිය යුතුය. අප සාකච්ඡා කල පරිදි පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව මෙරට පැවැත්වීම ආණ්ඩුවේ කටයුතු නිරීක්ෂණ මට්ටමින් තබාගැනීමට ඉවහල් වේ. එබැවින් වෙනත් උත්සවයකට වඩා සමුළුව මෙරට පැවැත්වීම රටට වාසිදායකය.
කැමරුන් සහ සු කි විසින් පෙන්වා දුන් පරිදි අතහැර දැමීමට වඩා බැඳ තබාගැනීම නිර්දේශිතය. ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තරව ගර්හාවට පාත්‍ර වී ඇති රාජ්‍ය නායකයන් බැහැ දැකීමට ගිය ගමන් මගින් පෙන්වා දුන් පරිදි ශිෂ්ට ලෝකය විසින් අතහැර දැමුවහොත් බොහෝවිට සිංහල අන්තවාදීන්ගේද ආශීර්වාදය මැද මෙරටට ජාත්‍යන්තර ගර්ගිත රාජ්‍යයන් සමඟ එක පෙලට සිටීමට සිදුවනු ඇත. එබැවින් ජනවර්ගය හෝ ආගම හෝ නොතකා මෙරට සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් විශාල වියදමක් දරමින් වුවත් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව මෙරට පැවැත්වීම රටට වාසිදායක වනු ඇත.
published in Samabima 4th Nov 2013
No comments:
Post a Comment