ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග
මෙම ලිපිය පළවන විට මෙම ආණ්ඩුවේ 2013 වර්ෂය සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනු ඇත. මෙම වර්ෂයේ අයවැයත් පසුගිය වර්ෂ දෙක තුළ අයවැය මගින් ඉදිරිපත් කළ සංවර්ධන උපායමාර්ගම ඉදිරියට ගෙන යනු ඇති බවට අනුමාන කළ හැකිය.
සංවර්ධනය වන ලංකාව වැනි රටවල සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ පොහොසතුන් අත මුදල් සංකේන්ද්‍රණය වීමට ඉඩ සලස්වා ඔවුන්ගේ මුදල් නැවත ආයෝජනය කිරීමට ඔවුන් පෙළැඹවීමයි. මේ සඳහා රාජ්‍ය බදු ප්‍රතිපත්තිය යොදා ගනු ලැබේ.
දුප්පතුන්ට ආයෝජනය කිරීමට ඇත්තේ තම ශ්‍රමය පමණකි. පොහොසතුන් විසින් මුදල් ආයෝජනය කර ව්‍යාපාර අරඹන විට දුප්පතුන්ට එම ව්‍යාපාරවල රැකියා අවස්ථා උත්පාදනය වේ. ඒ මගින් ඔවුන්ගේ දුප්පත්කම ක්‍රමයෙන් අඩුවේ. එසේ නමුත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන විට රටක් සංවර්ධනය වන අවස්ථාවේදී එරට ආදායම් බෙදී යාමේ විෂමතාවක් ඇති විය හැක, එනම් දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය වැඩි විය හැක.
ශ්‍රී ලංකාව වැනි රටක, රට සංවර්ධනය වන අවස්ථාවේදී වුවද දුප්පතුන් සහ පොහොසතුන් අතර ධනය පිළිබඳ පරතරය වැඩි වීම ඉතාමත් අහිතකර ප්‍රතිඵලවලට හේතු වනු ඇත. මක්නිසාද යත් නිදහසින් පසු සන්නද්ධ කැරලි තුනකට රට මුහුණපා තිබීමත් එම කැරලි තුනෙන් කිසිම පාඩමක් ඉගෙනගෙන නොතිබීමත් පාඩම් ඉගෙන ගැනීම සඳහා පත්කළ කොමිෂන් සභාවල නිර්දේශ ආණ්ඩු මගින් ක්‍රියාත්මක නොකිරීමත් නිසාය.
ආදායම් බෙදීයාමේ විෂමතාව අඩුකර ගනිමින්, සංවර්ධනය වූ සහ සංවර්ධනය වන රටවල් ලෝකයේ තිබේ. ඉන්දියාව මේ සඳහා උදාහරණයකට ගත හැකිය. මේ සඳහා පාවිච්චි කළ හැකි දර්ශක මෙහි සඳහන් වගුවේ දක්වා ඇත. මෙම අගයන් ලබාගෙන ඇත්තේ නොයෙකුත් මූලාශ්‍ර මගිනි. එක් එක් මූලාශ්‍රවල එකම අගය සුළු වෙනස්කම් සහිතව දෙයාකාරයකට දැක්වේ. එබැවින් එක් එක් අගයන්වල නිරවද්‍යතාව සහතික නොකළ හැකි අතර ආසන්න වශයෙන් අගයන් නිරවද්‍ය වේ. මෙහි සියලුම අගයන් ප්‍රතිශතයන්ය.
අංක 1 වගුවේ ඍජු බදු තීරුවේ දැක්වෙන්නේ මුළු බදු ආදායමෙන් ඍජු බදු සඳහා වන ප්‍රතිශතයයි. සෘජු බදු යනු පුරවැසියන්ගේ ආදායමෙන් ප්‍රතිශතයක් වශයෙන් කෙළින්ම ඔවුන්ගේන් අයකර ගන්නා බදු වේ. එය බොහෝ විට පුරවැසියාට කෙළින්ම, පැහැදිලිව දැක ගත හැකිය. ඉලක්කම් වශයෙන් ප්‍රමාණාත්මකව ගණන් කර ගැනීමට පහසුය. වක්‍ර බදු තීරුවේ දැක්වෙන්නේ මුළු බදු ආදායමෙන් වක්‍ර බදු සඳහා වන ප්‍රතිශතයයි. වක්‍ර බදු යනු පුරවැසියන් භාණ්ඩ සහ සේවා මිල දී ගන්නා විට එම භාණ්ඩ සහ සේවාවල අගයට එකතු කර ඇති බදුය. මෙය තමන් විසින් රජයට ගෙවන බව පුරවැසියාට කෙළින්ම, පැහැදිලිව නොපෙනෙන, ප්‍රමාණාත්මකව තමන්ටවත් ගණනය කර ගැනීමට අපහසු බදු වර්ගයකි. රාජ්‍යයන් වක්‍ර බදු ගැනීමට වඩාත් කැමැත්තක් දක්වන්නේ වක්‍ර බදු පදනම වඩාත් පළල් වීමත් බදු එකතු කර ගැනීමේ යාන්ත්‍රණය ඍජු බදුවලට වඩා සරල වීමත් නිසාය. වර්ධන අනුපාතය යනු රටේ දළ දේශීය ආදායම පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමේ ප්‍රතිශතයයි. ජිනි අගය යනු රටේ ආදායම් බෙදීයාමේ ප්‍රවණතාව මැනෙන අගයකි. මෙම අගය 0 සිට 100 දක්වා ගතහොත් 0 යනු එරට ආදායම රටේ සියලුම දෙනා අතර සමසේ බෙදී යන තත්ත්වයයි. 100 යනු එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි. මෙම සියලුම අගයන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වෙන වෙනම දක්වා ඇත.
ඉන්දියාවේ ආර්ථිකය විවෘත වන්නේ 90 දශකයේ මුල් භාගයේ වර්තමාන ඉන්දියානු අගමැතිවරයා මුදල් ඇමති වශයෙන් සිටි කාලයේය. එවකට ඍජු බදු ඉන්දියාවේ මුළු බදු ආදායමෙන් සියයට 16 ක් වූ අතර වක්‍ර බදු සියයට 84 ක් විය. මෙම තත්ත්වය 2010 වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඍජු බදු සියයට 55 දක්වා වැඩි වී ඇති අතර වක්‍ර බදු සියයට 45 දක්වා අඩු වී ඇත. මෙම කාලය තුළ ඉන්දියාව ඉතාමත් ප්‍රශස්ත වර්ධන අනුපාතයක් පවත්වා ගෙන යාමට සමත් වී ඇත. මෙම කාලය තුළ ජිනි අගය අනුක්‍රමයෙන් වැඩි වුවත් ශ්‍රී ලංකාවට සාපේක්ෂව එය අඩු අගයක් ගනී. මේ අනුව ඉන්දියාව ආදායම් බෙදී යාමේ විෂමතාව අඩු මට්ටමක තබාගෙන ඉතා වැඩි ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත. එනමුත් ජිනි අගය 32 සිට 40 දක්වා මෙම කාලය තුළ වැඩි වී ඇත. ඉන්දියාවේ ඍජු බදු ප්‍රතිශතය වැඩිවීම මෙම කාලය තුළ දක්නට ලැබෙන කැපී පෙනෙන තත්ත්වයකි. එනම් ඉන්දියාව ගෙවීමට හැකියාවක් ඇති අයගෙන් වැඩිපුර බදු අයකර ගෙන ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන විට ඍජු බදු ප්‍රමාණය 2009 දී 1990 ට සාපේක්ෂව 11 කින් වැඩිවී ඇත. මෙම කාලය තුළ ශ්‍රී ලංකාව ආදායම් බෙදී යාමේ විෂමතාවයේ වෙනස අඩු මට්ටමක තබා ගැනීමට සමත් වී ඇත.
මෙම දත්ත අනුව සිය ආර්ථික මොඩලය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට අවකාශ තිබෙන බව පෙනී යයි. ඍජු බදු සඳහා බදු පදනම පුළුල් කර ගැනීම එතරම් බරපතළ කාර්යයක් නොවේ. ප්‍රශ්නය ඒ සඳහා ප්‍රබල අවශ්‍යතාවක් නොමැති වීමයි. ඊට වඩා පහසුවෙන් පාන් ගෙඩියෙන් බදු අය කර හැක. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීමත් බස්නාහිර නොවන අනෙකුත් පළාත් සංවර්ධනය කිරීමත්, අධ්‍යාපනය හරහා ශ්‍රම බලකාය සන්නද්ධ කිරීමත්, ආදායම් බෙදී යාමේ විෂමතාව අඩුකිරීමට ගත හැකි පියවරයන්ය. ආණ්ඩුව තුළ සිටින වාමාංශිකයන් කළ යුත්තේ මේ සඳහා බලපෑම් කිරීම විනා පුද්ගලික දේපළ, දේශපාලන අවශ්‍යතාවන් සඳහා රාජ්‍ය සන්තක කර, ඒවායින් පාඩු ලබා එම බරද ජනතාවට පැවරීමට ආණ්ඩුවට අනුබල දීම නොවේ∎
හර්ෂ ගුණසේන
(Published in Samabima 21 Nov 2012)
No comments:
Post a Comment