අද අපේ රටේ සිංහල බෞද්ධ බහුතරයක් මිනිස්සු එක්තරා විදිහක වර්ගවාදී චින්තනයකින් ජීවත් වෙන්නේ.
අපට හමුවන ගොඩක් දෙනා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බෙදුම්වාදී පක්ෂයක් කියලා කියනවා. ඒත් මේ රටේ තියෙන ප්‍රමුඛ බෙදුම්වාදී පක්ෂයක් තමයි හෙළ උරුමය. ඒත් හෙළ උරුමය තමන් බෙදුම්වාදී පක්ෂයක් කියල කියන්නෙ නැහැ.
බෙදුම්වාදය කියලා කියන්නෙ මොකක්ද? බෙදුම්වාදීන් කතා කරන්නෙ, සමස්ත ජාතියම වෙනුවෙන් නෙවෙයි, එක්තරා පිරිසක් වෙනුවෙනුයි. කවුරුහරි මුස්ලිම් හෝ වේවා දෙමළ හෝ වේවා සිංහල හෝ වේවා එක්තරා පිරිසක් ගැන විතරක් කතා කරනවා නම්, ඒක බෙදුම්වාදී එකමුතුවක්. නමුත් මිනිස්සු හිතාගෙන ඉන්නෙ හෙළ උරුමය බෙදුම්වාදී පක්ෂයක් නෙමෙයි, දෙමළ එක්සත් පෙරමුණ නැත්නම් මුස්ලිම් කොංග‍්‍රසය තමයි බෙදුම්වාදී පක්ෂ කියන්නෙ කියලා.
අද රටේ මිනිස්සු බහුතරයක් හිතන්නෙ තමන් සිංහල, නැත්නම් දෙමළ, එහෙත් නැත්නම් තමන් බෞද්ධ තමන් මුස්ලිම් කියලා. බහුතරයකට සමස්තය දිහා බැලීමේ හැකියාව නෑ. ඔවුන්ට ජාතිකවාදී හැගීමක් නෑ. ගුණදාස අමරසේකරල නලින් ද සිල්වල ජාතිකවාදී චින්තනයක් ගැන කතා කරනවා. ඒත් ඒක ජාතිකවාදී චින්තනයක් නෙවෙයි. ඒක සිංහල බෞද්ධවාදී චින්තනයක්. ජාතික චින්තනයක් නම් සමස්තය ගැන කතා කිරීමේ හැකියාවක්, සමස්තය පිළිබද චින්තනයක් තියෙන්න ඕන.
ඉංග්‍රීසි භාෂාවෙ තියෙනවා Nation කියල වචනයක්. සිංහලෙන් ඒ වචනෙට දීල තියෙන තේරුම ‘ජාතිය’. නමුත් සිංහල මිනිස්සු ජාතිය කියල කියන්නෙ ‘සිංහල’. තමුන්ගේ ජාතිය මොකක්ද කියල ඇහුවම ‘ශ්‍රී ලාංකික’ කියල කවුරුත් කියන්නේ නැහැ. Nation කියන ඉංග්‍රීසි වචනය දෙමළට පරිවර්තනය වෙන්නේ ‘තේසියම්’ කියලයි. දෙමළ අයත් ජාතිය මොකක්ද කියල ඇහුවොත් කියන්නෙ දෙමළ කියලා.
නමුත් ඉන්දියාවෙ මේ තත්ත්වය මීට වඩා වෙනස්. ඉන්දියාව අපිටත් වඩා බෙදිච්ච රටක් විදිහට තමයි තිබුණේ. නමුත් ජාතික නිදහස් අරගලයෙදි ඉන්දියානු නායකයින් මේ බෙදිච්ච ජාතිය එකතු කිරීමට කටයුතු කළා. නිදහස් අරගල ව්‍යාපාරය තුළින් මහත්මා ගාන්ධි එක වෙලාවක කිව්වා මේ රටේ තියෙන්නෙ බලවේග දෙකයි. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලවේගය සහ කොංග්‍රසයේ බලවේගය කියලා. ඒ වෙලාවේ මොහොමඞ් අලි ජින්නා කිව්වා, ‘නෑ, බලවේග තුනක් තියෙනවා. තුන්වෙනි බලවේගය තමයි ‘මුස්ලිම්’ කියලා. ජින්නා ඉන්දියාව බෙදීමට කටයුතු කළා.
නමුත් මහත්මා ගාන්ධි විශේෂයෙන්ම ඒ වෙලාවෙ ජින්නාට කිව්වා සමස්ත ඉන්දියාවේම අගමැති පදවිය භාර ගන්න, රට බෙදන්න එපා කියලා. ජින්නා ඒකට එකග වුණේ නැහැ. නමුත් 1947 ජාතිවාදී අරගල වෙලාවෙදි ඒ අරගලයට විරුද්ධව මහත්මා ගාන්ධි තනියම උපවාස කළා. ඒ තනිකර ජාතිවාදයට විරුද්ධවයි. ගාන්ධි කිව්වෙ ‘මගේ උපවාසය නතර කරන්නේ තමුන්නාන්සේලා මේ ජාතිවාදී තත්ත්වය නතර කළොත් විතරයි’ කියලයි. අවසානයේදී ගාන්ධිට සෑහෙන ප‍්‍රමාණයකට ජය ගන්න පුළුවන් වුණා. ඔහුට මරණය අත්වෙන්නත් ඒක හේතු වුණා.
නමුත් ඒ කාරණය සම්බන්ධයෙන්ම ලංකාවේ නායකයන් ගැන සලකා බැලූවොත් සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී තත්ත්වයක් එහි තියෙන්නෙ. අපේ නායකයොත් කටයුතු කරලා තියෙන්නේ සමස්තය වෙනුවෙන් නෙවෙයි, එක්තරා කොටසක් වෙනුවෙන් බෙදුම්වාදීවයි. නමුත් ගාන්ධිලා ඉන්දියාවේ වැඩ කළේ සමස්ත ඉන්දියාවම වෙනුවෙන්. ඔවුන්ට තිබුණේ සමස්තය දැකීමේ හැකියාවක්. ඒ හැකියාව අපේ රටේ සිංහලයන්ටත් නැහැ, දෙමළුන්ටත් නැහැ, මුස්ලිම් අයටත් නැහැ, ජනතා නියෝජිතයන්ටත් නැහැ.
මේ තියෙන දේශපාලන ක්‍රමය, ආයතනික ව්‍යුහය අන්තිම මජර කුණු වෙච්ච ක්‍රමයක්. මේ රටේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා, වංචා දූෂණ තියෙනවා, රටේ ජනාධිපතිගෙ ඉඳන් අන්තිම සුලු නිලධාරියා දක්වා මිනිස්සු පගා ගහනවා. රට හදන්න නම් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා අපට විසදන්න. මේ සියල්ලම හදන්න ඉස්සෙල්ල අපේ රටේ මිනිසුන්ගේ ළග තියෙන මේ ජාතිවාදී හැගීම, වෙන් වෙච්ච හැගීම නවත්වලා සමස්තයක් වශයෙන් මුළු රටම දකින්න ඕන කියන හැගීම ඇතිකර ගන්න ඕන. මෙය අපේ රටේ වෙනසක් ඇති කිරීමේ අත්තිවාරම වෙනවා කියල මම විශ්වාස කරනවා. ඊට පස්සෙයි රට සංවර්ධනය කිරීම ඇතුළු අනික් සියලූ දේම කළ හැකි වෙන්නෙ.
සමබිමට හැකියාවක් තියෙනවා මම ඒ කියපු සමස්තය දකින්න. සමබිම පළකරන ලිපිවල, සමබිමේ මතවාදය සහ ඔවුන් කරන සෑම ක‍්‍රියාවකම එම ගුණය පිහිටලා තියෙනවා. සමබිම මේ වගේ රටක විශේෂයෙන් අගය කළ යුතු කාර්යයක් කරන්නේ. සමබිමේ තියෙන්නේ සුළුතරයකගෙ අදහස්. මේ අදහස් බහුතරය දන්නෙ නෑ. ඒ නිසා සුළුතරයෙ අදහස් ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුන් කරන කාර්යභාරය විශේෂයෙන්ම පැසසුමට හා ගෞරවයට ලක් කළ යුතුයි කියලා මම හිතනවා.
සමබිම පුවත්පත ආරම්භක අවධියේ පටන් ලේඛකයෙක් ලෙස සමබිම සමග නිරන්තර බුද්ධිමය සංවාදයක යෙදෙමින් ලිපි ලියන හර්ෂ ගුණසේන සමබිම පාඨකයන් අමතමින් නගරයෙන් නගරයට යන අසමබිමෙන් සමබිමට සම්මන්ත්‍රණ මාලාවේ ජූනි 16 දා රත්නපුර තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයට සහභාගී විය. ඔහු එහිදී පළකළ අදහස් ඇසුරින් මෙම විශේෂාංගය සමබිමට සකස් කළේ රයිට්ස් නව් 11 වන සීමාවාසික කණ්ඩායමේ දිනුලි ගුණසේකර විසිනි.
(Published in Samabima 29th August 2012)
No comments:
Post a Comment