රටක පාලකයන් සිය ආත්මාර්ථය නොව ජනතාවගේ සුබසිද්ධිය පිණිස කටයුතු කරන්නේ නම් රටේ ප්‍රශ්න දෙස පාලකයන් බලන දෘෂ්ටි කෝණය සහ ජනතාව බලන දෘෂ්ටි කෝණය සමපාත විය යුතුය. එසේ නොමැතිව පාලකයන් ජනතා සුබ සිද්ධිය කැප කර සිය ආත්මාර්ථ සාධනය පිණිස කටයුතු කරන්නේ නම් රටේ ප්‍රශ්න දෙස බලන පාලකයන්ගේ දෘෂ්ටි කෝණය සහ ජනතාවගේ දෘෂ්ටි කෝණය වෙනස් විය යුතුය. යම් රටක පාලකයන් ජනතා සුබ සිද්ධිය කැප කර සිය ආත්මාර්ථ සාධනය පිණිස කටයුතු කරන්නේ නම් සහ එරට ජනතාව රටේ ප්‍රශ්න දෙස පාලකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නම් එරට ජනතාව මුග්ධයන් විය යුතුය.
පසුගිය කාලයේ යුරෝපා සංගමය මෙරටට GSP+ බදු සහනය දීර්ඝ කිරීම සඳහා මෙරට ආණ්ඩුව සපුරාලිය යුතු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරන ලදී. ඒවා අතර හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල නොවන වගන්ති ඉවත් කිරීම, එම ජාත්‍යන්තර සම්මුතියට අනුව පුද්ගලයන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට නීති සම්පාදනය කිරීම එකී මානව හිමිකම් කමිටුව විසින් දැනට පුද්ගලයන්ගේ පැමිණිලි විභාග කිරීමෙන් පසුව ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක කිරීම ඒවා අතර ප්‍රධාන වේ.
පාලකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට මෙම යෝජනා ඔවුන්ගේ ස්වෛරීභාවයට නැත්නම් වඩාත් නිවැරදිව කිවහොත් ඔවුන්ගේ අත්තනෝමතිකත්වයට අභියෝග කරන කාරණා වේ. ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් මෙම යෝජනා නිශ්චිත වශයෙන්ම ජනතාවට වාසිදායක වේ. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ජනතාවගේ ස්වෛරීත්වයට කිසිම හානියක් නොවන අතර එම යෝජනාවල අවසාන අරමුණ වූයේ එවකට පාලකයන් විසින් බලහත්කාරයෙන් ඩැහැ ගෙන තිබූ ජනතාවගේ ස්වෛරීත්වය නැවත ප්රතිශ්ඨාපනය කිරීමයි.
පාලකයන්ගේ මතවාදය වූයේ රාජ්‍යයේ ස්වෛරීත්වය මෙමගින් උල්ලංඝනය වන බවයි. රාජ්‍යයේ ස්වෛරීත්වය වඩාත් සමපාත වන්නේ ජනතාවගේ ස්වෛරීත්වයට මිස අත්තනෝමතික ජනතා ද්‍රෝහී පාලකයන් පිරිසකගේ ස්වෛරීත්වයට නොවේ. මෙම නිශ්චිත කාරණයේදී මෙරට ජනතාවගෙන් බහුතරයක් විශේෂයෙන්ම උගත් යයි සම්මත ඉහළ සාක්ෂරතාවයක් සහිත ජනතාවගෙන් බහුතරයක් විශ්වාස කළේ මෙම යෝජනා මගින් රාජ්‍යයේ ස්වෛරීභාවයට හානි වන බවයි. එනම් ඔවුන්ගේ දෘෂ්ටි කෝණය වූයේ පාලකයන්ගේ දෘෂ්ටි කෝණයයි. ජනතාවගේ දෘෂ්ටි කෝණය නොවේ. ඉතා උත්ප්රාසවත් ලෙස ඔවුහු පාලකයන්ගේ කොටසක් නොවූහ. ජනතාවගේ කොටසක් වූහ.
අවසානයේදී මෙරට ජනතාවගේද අනුමැතිය ඇතිව පාලකයන් විසින් මෙම කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වූයේ සමහර අපනයන ව්‍යාපාර මගින් රටට ලැබෙන අත්‍යවශ්‍යය විදේශ විනිමය අඩු වීමත්, එම ව්‍යාපාරවල සේවය කළ යම් පිරිසකට රැකියා අහිමි වීමත්, ජනතාවට නැවත ලබා ගැනීමට හැකියාවක් තිබූ ස්වෛරීත්වය අහිමි වීමත්, මහ බැංකු අධිපතිවරයාගේ පණ්ඩිත කතාවලට සවන් දීමට සිදු වීමත්ය.
ජාතික ප්රශ්නය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මෙරට පාලකයන්ට නිරන්තරව ජාත්‍යන්තර වශයෙන් එල්ලවන බලපෑම්වලද ඇත්තේ මෙවැනිම ක්‍රියාකාරකමකි. මෙම බලපෑම් අනුව ක්‍රියාකිරීම රටේ ජාතික සමගිය සහ මානව නිදහස ඇතිවීමට ඉමහත් රුකුලක් වනු ඇත. මෙම කාරණය නිශ්චිත වශයෙන්ම රටේ දීර්ඝ කාලීන අභිවෘද්ධිය පිණිස හේතුවනු ඇත. ජනතා ද්‍රෝහී පාලකයන් දේශ ප්‍රේමීන් වන, සැබෑ ජනතාවාදීන් දේශ ද්‍රෝහීන් වන, ඉහළ සාක්ෂරතාවයක් සහිත උගත් ජනතාව මෙම ක්‍රියාවලිය අනුමත කරන අරුම පුදුම යුගයක අපි ජීවත් වෙමු∎
හර්ෂ ගුණසේන
Published in Samabima 28th July 2012)
No comments:
Post a Comment