Thursday, May 1, 2014

නරුමබවේ උරුමය

රොබට් නොක්ස් විසින් ක්‍රි.ව 1681 දී රචිත ‛ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් සිලෝන්’ නැමැති ග්‍රන්ථයේ මෙම දිවයිනෙහි වාසීන් පිළිබඳ කොටසේ සිංහලයින් ගැන ඔහු මෙසේ කියයි.

“ඔවුහු ඉතා සටකපට, කිසිම ප්‍රකාශයක් කෙරෙහි විශ්වාසය නොතැබිය හැකි පිරිසක් වෙති. ඔවුන් කතා කරන ප්‍රසන්න සහ ආචාරශීලී ස්වභාවය අනුව ඔවුන්ගේ ගති පැවතුම් සහ චරිත ස්වභාවය නොදන්නා අයෙක් ඉතා පහසුවෙන් රැවටීමට ඔවුන්ට පුළුවන. බොරු කීම සහ ඒ බව අනුන් දැන ගැනීම සම්බන්ධයෙන් කිසිම වගවීමක්, හෘදය සාක්ෂියක්, ලජ්ජාවක් හෝ නින්දාවක් ඔවුන්ට නැත. එය සාමාන්‍ය දෙයකි.”

එංගලන්ත ජාතිකයෙකු වූ රොබට් නොක්ස් පැමිණි නැව මුහුදුබත් වීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා උඩරට රජ කළ දෙවන රාජසිංහ රජු යටතට පත්වුහ. ඔහු මෙරට සිරකරුවෙක් වශයෙන් රජයේ අධීක්ෂණය යටතේ ජිවත් වී පසුව එංගලන්තයට පළා ගියේය. ඔහුගේ සටහන් ලංකාවේ එදා පැවති තත්ත්වය යථා ස්වභාවයෙන් විදහා දැක්වෙන බව සාමාන්‍ය පිළිගැනීමයි. නොක්ස් ගේ කාලයේ පමණක් නොව අදටත් මෙම චරිත ලක්ෂණ ලාංකික සමාජය තුළ තිබේ.

එංගලන්තයේ සහ ලංකාවේ ඇති සංස්කෘතික වෙනස නොක්ස් ගේ ඉහත ප්‍රකාශය කෙරෙහි බොහෝ සෙයින් බලපාන්නට ඇත. පුද්ගලවාදී එංගලන්ත සංස්කෘතිය එහි එක් එක් පුද්ගලයා සමස්ත සමාජය සමඟ ගනුදෙනු කිරීමේදී මතුවන ප්‍රශ්න කෙරෙහි සැළකිලිමත් වෙයි. මේ අනුව සමාජයේ හැසිරීමේදී නීති රීති අනුගමනය කිරීම සහ වේලාවට වැඩ කිරීම වැනි දේ එංගලන්ත සංස්කෘතියේ අවශ්‍ය අංගයන්ය. කණ්ඩායම්වාදී ලාංකික සංස්කෘතිය තුළ කණ්ඩායම ඇතුළේ හැසිරීම ඉතාමත් නිදහස් සහ ලිහිල් වෙයි. මේ අනුව නීති රීති අනුගමනය කිරීම සහ වේලාවට වැඩ කිරීම ලාංකික සංස්කෘතිය තුළ අත්‍යවශ්‍ය අංගයන් නොවේ. යම් හැසිරීම් රටාවක නිශ්චිත ස්වභාවය ඉවත්ව යාම හේතුකොටගෙන බොරු කීම, අනුන් රැවටීම වැනි දේ එම සංස්කෘතිය තුළ සාමාන්‍ය දේ බවට පත්විය හැක. එනමුත් කණ්ඩායම්වාදී සංස්කෘතියක යම් කණ්ඩායමක් තුළ සිටින සාමාජිකයන් අතර එකිනෙකා රැවටීම සිදුනොවේ. එසේ වන්නේ කණ්ඩායමේ සාමාජිකයන් කණ්ඩායමෙන් පිට සාමාජිකයන් සමඟ ගනුදෙනු සිදුකරන අවස්ථා වලදී පමණය. නොක්ස් කණ්ඩායමෙන් පිට පුද්ගලයෙකි. එහෙයින් ඔහු බොහෝවිට රැවටීමට භාජනය වන්නට ඇත. ලංකාවේ පමණක් නොව කණ්ඩායම්වාදී සංස්කෘතික ලක්ෂණ ඇති බොහෝ ආසියාතික රටවල මිනිසුන් තුළ මෙම චරිත ලක්ෂණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත.

ඉහත සංස්කෘතික තත්ත්වයන් සමඟ ගැලපීමේදී නොක්ස්ගේ ප්‍රකාශය වඩාත් පුළුල් ලෙස අවබෝධ කර ගැනීමට හැකියාව අපට ලැබේ. එනමුත් පන්සිල්වල හතරවන සිල්පදය රැකීම ලාංකික සංස්කෘතිය තුළ අපහසු කටයුත්තක් වන අතර එය එංගලන්ත සංස්කෘතිය තුළ පහසු කටයුත්තක් වන බව අවධානයට ගත යුතුය. කෙසේ නමුත් මෙරට ජනතාව සතු මෙම නින්දිත, නරුමවාදී චරිත ලක්ෂණය සංස්කෘතියට මුවාවී සාධාරණීකරණය කළ නොහැක. එමෙන්ම මෙම චරිත ලක්ෂණය නොමැති බොහෝ මිනිසුන් මෙම සමාජයේ ජිවත් වෙති.

එදිනෙදා කටයුතු වලදී සාමාන්‍ය ජනතාව මෙසේ හැසිරුනත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී රාජ්‍ය තාන්ත්‍රිකයන් හැසිරිය යුත්තේ කියන දේ කරන සහ කරන දේ කියන මිනිසුන් ලෙසය. මෙම ඍජු ස්වභාවය නොමැති නම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වශයෙන් අවමානයට පත්විය හැක. ජාත්‍යන්තර තලයේදී බොරුකාරයකු වීම මුළු රටටම නින්දාවකි.

පසුගිය දිනවල ජනාධිපතිගේ සිට මෙරට ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනාම හැසිරුනේ නොක්ස් ගේ ප්‍රකාශය සනාථ කරමිනි. ඔවුන් කරන්නේ කියන දේ නොවන අතර කියන්නේ කරන දේ නොවේය. ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් පිළිබඳ ජිනීවා සැසි වාරයේදී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් රොබට් නොක්ස් මතු කළ චරිත ලක්ෂණ විදහා දැක්වීම සුපුරුදු පරිදි සිදුකරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය පිළිබඳ යුද්ධය අවසන් වූ විගස සහ ඉන් පසුව ජාත්‍යන්තර ප්‍රජාවට ජනාධිපතිවරයා දුන් පොරොන්දු, කළ ප්‍රකාශ සහ ඔහුගේ ක්‍රියා කලාපය අතර බරපතල වෙනසක් පවතී.

වරෙක නොබැඳි ව්‍යාපාරයේ නායකත්වය හෙබවූ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකත්වය අතින් මෙතරම් නින්දිත අඩියකට වැටුණු යුගයක් ඉතිහාසයේ තිබී නොමැත. කණගාටුවට කාරණය වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සිය නායකයන් වෙත කරන බලපෑම් වලට, සිය නායකයන් ඇට්ටි හැලෙන්නට ප්‍රතිචාර දක්වන්නේ යැයි කණ්ඩායම්වාදී සංස්කෘතික ලක්ෂණ සහිත මෙරට සාමාන්‍ය ජනතාව සිතාගෙන සිටීමයි. සිය පාලකයන් විසින් ජාත්‍යන්තර ප්‍රජාව රැවටීම පාලකයන් සතු සුපිරි දක්ෂතාවක් ලෙස මෙම ජනතාව සිතා සිටින බව පෙනේ. ආණ්ඩුවේ රඳා පැවැත්ම ඇත්තේ චීනය සහ රුසියාව කෙරෙහිය. යම් හෙයකින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ආණ්ඩුවේ වංචනික ක්‍රියා කලාපය හෙළිදරව් වුවහොත් චීනයට සහ රුසියාවට කියන්නට දෙයක් ඉතුරු නොවනු ඇත. එසේ වුවහොත් විදේශ සම්බන්ධතා පිළිබඳ අර්බුදයකට මුහුණ දුන් ඡේ.ආර්. ජයවර්ධන යුගයේදී ආණ්ඩුවේ සියලු මිතුරන් ආණ්ඩුව හැර ගොස් ආණ්ඩුවට ඉන්දියාව ඉදිරියේ දන නමන්නට සිදු වූවාක් මෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේදී ද වත්මන් ආණ්ඩුවට දණ නැමීමට සිදුවනු ඇත. එසේ නොවන්නේ නම් කලකට පෙර බුරුම මිලිටරි ජුන්ටාව ගත් මාර්ගය ආණ්ඩුව ඉදිරියේ පුළුල්ව විවෘතව ඇත. ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ අධීක්ෂණය යටතේ සිටිය යුතු සිරකරුවන් සාහසික ලෙස ඝාතනය කිරීම මගින්ද, උගන්ඩාව සහ කසකස්ථානය වැනි අධිකාරිවාදී රාජ්‍යවල සහාය පැතීම මගින්ද, අගවිනිසුරුවරියට එරෙහි කැකිල්ලේ නඩු විභාගය මගින්ද ආණ්ඩුව පෙන්නුම් කරන්නේ එම ගර්හිත මාර්ගයේ යාමට ඇති සිය කැමැත්තයි. දෙමළාට විරුද්ධව පාවිච්චි කල අසීමිත බලයම සිය ආදරණීය ආණ්ඩුව තමන්ට විරුද්ධවද පාවිච්චි කරන බව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සහාය දක්වන ජනතාවට දැනෙන විට ඔවුන් පමාවූවා වැඩි විය හැක∎

හර්ෂ ගුණසේන

(Published in Samabima 30th December 2012)

No comments:

Post a Comment