කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් කිරීමෙහි ලා ආරක්ෂක ලේකම්වරයා යුද හමුදාපතිවරයා සහ රජයේ හමුදාපතිවරු උපායශීලී යුද සැලසුම් මඟින් අතිවිශාල කාර්යභාරයක් ඉටු කළහ. ක්‍රි.පූ. 5 වන සියවසේ විසූ චීන සෙන්පතියකු වූ සුන් සු (Sun Tzu) ‛යුද කිරීමේ කලාව’ යන මැයෙන් අගනා පොතක් ලියා ඇත. ඔහු එම පොතේ යුද්ධ උපක්‍රම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරයි. සුන් සුගේ පොත අද දවසේ යුද්ධය මතු නොව අලෙවිකරණය, කළමනාකරණය, ක්‍රීඩා සහ රාජ්‍යතාන්ත්‍රිකත්වය යනාදී විෂයන්හි අත්පොතක් ලෙස භාවිත කරනු ලැබේ.
රටක් විනාශ නොකර අල්ලා ගැනීමට හැකි නම් සහ සතුරු හමුදාව විනාශ නොකර යටත් කර ගැනීමට හැකි නම්, එනම් යුද්ධයක් නොකරම රටක් යටත් කර ගැනීමට හැකි නම්, විශිෂ්ටතම ජයග්‍රහණය එය බව ඔහු ප්‍රකාශ කරයි. සටන් කළ යුත්තේ කුමන අවස්ථාවේදී ද සටන් නොකළ යුත්තේ කුමන අවස්ථාවේදී ද යන්න සහ තමාට වඩා ප්‍රබලයා සහ තමාට වඩා දුබලයා හැසිරවිය යුතු ආකාරය දන්නා සෙන්පතියා ජයග්‍රහණය කරන බව ඔහු පවසා ඇත.
සුන් සු යුදකාමියෙක් නොවේ. යුදකාමියා යුද්ධ කිරීමට කැමතිය. සුන් සුගේ අභිලාසය වන්නේ සතුරා යටත් කරගැනීමයි. එම අරමුණ යුද්ධයෙන් තොරව සපුරා ගැනීමට හැකි නම් ඔහු වඩාත් කැමති වේ.
යුද්ධයේ අවසන් කාලයේදී සහ යුද්ධයෙන් පසුව විදේශ ප්‍රතිපත්තියට අදාළව ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය යුදකාමී මුහුණුවරකින් යුතු විය. හමුදාපතිවරු උපායශීලී ලෙස යුද්ධය මෙහෙයවන විට රාජ්‍යය යුදකාමී ලෙස විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වීය. මෙය උපායශීලීත්වයෙන් සහ රාජ්‍යතාන්ත්‍රිකත්වයෙන් තොර ක්‍රියාවලියකි. ක්‍රියාවලිය යුදකාමී වන විට අවසාන අරමුණ පරාජයට පත් වේ. ශ්‍රී ලංකා රජය තමාට වඩා ප්‍රබලයන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙන ආකාරය දන්නා බවක් පෙන්නුම් කර නැත. සුන් සු මනාව පැවසූ ආකාරයට මෙය පරාජිතයෙකුගේ ස්වභාවයයි.
යුද්ධයේ අවසන් සමයේදී ඉන්දියාව හොඳින් හැසිර වූ බව ආණ්ඩුව උජාරුවෙන් කියන නමුත් ඉන්දියාවේ හැසිරවිය යුතු දෙයක් තිබුණේ නැත. ඉන්දියාවට ද අවශ්‍ය වූයේ කොටි සංවිධානය විනාශ කර දැමීමටය. එතැනට උපායශීලීත්වයක් අවශ්‍ය නැත. උපායශීලීත්වයක් අවශ්‍ය වනුයේ ආණ්ඩුවේ ස්ථාවරයට විරුද්ධ අප රටට වඩා බලවත් එමෙන්ම ආර්ථික වශයෙන් රටේ පැවැත්මට තීරණාත්මක ලෙස බලපාන බටහිර රටවල් සමඟ වන සම්බන්ධතාවයන්හිදීය.
යුද්ධයේ මුල් අවස්ථාවලදී ඉන්දියාව අප රටට විරුද්ධ ස්ථාවරයක් ගත් බැවින් එරට උපායශීලී ලෙස හැසිරවිය යුතු මට්ටමක සිටියේය. වඩමාරච්චි සටනේදී ඉන්දියාව සහනාධාර හෙළීමක් දක්වා තල්ලු වූයේ එම ගැටලුව මතු වූ අවස්ථාවේදී එවකට අගමැති ප්‍රේමදාසගේ රාජ්‍යතාන්ත්‍රික නොවන යුදකාමී ක්‍රියා කලාපය හේතුවෙනි.
සිංහලයන්ගේ වීරයකු වන දුටුගැමුණු යුදකාමී නරපතියෙකු නොවේ; උපායශීලී සෙන්පතියෙකි; විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙකි. ඔහු කෙතරම් උපායශීලියෙක් වූයේ ද යත් රණබිමට භික්ෂූන් වහන්සේ ද රැගෙන ගියේය. දිනා ගන්නා ප්‍රදේශවල හමුදාව රඳවා තබනවාට වඩා භික්ෂූන් වහන්සේ රඳවා තැබීම, යටත් කරගන්නා ජනතාවගේ මානසික තත්ත්වය කෙරෙහි යහපත් ලෙස බලපාන අතර යුද්ධය සඳහා සෙබළුන් නිදහස් කර ගැනීමේ සෙන්පතියන්ගේ අවශ්‍යතාවය ද සපුරාලයි. දුටුගැමුණුගේ මෙම ක්‍රියාව වර්තමාන ආණ්ඩුවේ උතුර හමුදාකරණය කිරීමේ අමනෝඥ ක්‍රියාව හා සංසන්දනය කර බැලීම වටී.
ලංකා ඉතිහාසයේ තවත් ශ්‍රේෂ්ඨයෙකු වන පළමුවන විජයබාහු ද උපායශීලී සෙන්පතියෙකි; විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඔහු සොළීන් තීරණාත්මක ලෙස පරදවා රට එක්සේසත් කිරීමෙන් පසු දෙමළ ජනතාව සිටින ප්‍රදේශවල දෙමළ සෙල්ලිපි පිහිටුවීය; හින්දු ආගම කෙරෙහි අනුග්‍රහය දැක්වීය. පළමුවන විජයබාහුගේ මෙම ක්‍රියාකලාපය උතුර සිංහලකරණය සහ බෞද්ධකරණය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ සංසන්දනය කර බැලීම වටියි.
උපායශිලී ලෙස යුද සැලසුම්වල යෙදුණු ආරක්ෂක ලේකම්වරයා විසින්ම යුදකාමී රාජ්‍ය ප්‍රතිපත්තිවලද කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම දෛවෝපගත සිදුවීමකි.
රජයේ දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති මඟින් ගම්‍ය වන ආකාරයට අප මේ ගමන් කරමින් සිටින්නේ කලකට පෙර බුරුම හමුදා ජුන්ටන් ගමන් ගත් භයානක මාර්ගයේම බව සිහි නුවණ ඇති සියලු දෙනාට වැටහී යා යුතුය.
රජයේ දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති මඟින් ගම්‍ය වන ආකාරයට අප මේ ගමන් කරමින් සිටින්නේ කලකට පෙර බුරුම හමුදා ජුන්ටන් ගමන් ගත් භයානක මාර්ගයේම බව සිහි නුවණ ඇති සියලු දෙනාට වැටහී යා යුතුය.
විදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතුවල ආණ්ඩුවේ යුදකාමී ස්වභාවය, පුද්ගලික දේපළ මංකොල්ලකෑම සඳහා වන පනත මඟින් ආර්ථික ක්ෂේත්‍රයට ද ව්‍යාප්ත කර ඇත. යුද්ධය අවසන් වී වසර දෙකක් ගත වී ඇතත් ලංකාවට එන විදේශ ආයෝජන ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක පවතියි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා තැනින් තැන අවලාද නඟමින් ගිය ආකාරයට මෙය ආයෝජන මණ්ඩලයේ අදක්ෂකම නිසා සිදුවන්නක් නොවේ. ආයෝජකයන්ට මෙහි එන ලෙස ඉල්ලා සිටින අතර හිස දෙපසට වනා ව්‍යංගයෙන් මෙහි නොඑන ලෙස කියන ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි. එය අනෙක් අතට බටහිර ආර්ථික අවපාතයේ ද අතුරු ප්‍රතිඵලයකි.
රට තුළ වන මානව හිමිකම් කඩ කිරීම්, රාජ්‍ය තාන්ත්‍රික නොවන විදේශ ප්‍රතිපත්තිය දෙමළ ජනතාවට නිර්දය ලෙස සැලකීම යනාදී ආණ්ඩුවේ යුදකාමී ප්‍රතිපත්ති විදේශ ආයෝජනයන් සීමා කරයි. මෙම පනත නිසා විදේශ ආයෝජන ඉදිරියේදී දැඩි ලෙස සීමා වනු ඇති අතර රටේ ආර්ථික වෘද්ධියට ද එය බලපානු ඇත. දැනටමත් ජාත්‍යන්තර ණය ප්‍රමාණ කිරීමේ ආයතන මේ පිළිබඳව අනතුරු අඟවා ඇත.
රට තුළ වන මානව හිමිකම් කඩ කිරීම්, රාජ්‍ය තාන්ත්‍රික නොවන විදේශ ප්‍රතිපත්තිය දෙමළ ජනතාවට නිර්දය ලෙස සැලකීම යනාදී ආණ්ඩුවේ යුදකාමී ප්‍රතිපත්ති විදේශ ආයෝජනයන් සීමා කරයි. මෙම පනත නිසා විදේශ ආයෝජන ඉදිරියේදී දැඩි ලෙස සීමා වනු ඇති අතර රටේ ආර්ථික වෘද්ධියට ද එය බලපානු ඇත. දැනටමත් ජාත්‍යන්තර ණය ප්‍රමාණ කිරීමේ ආයතන මේ පිළිබඳව අනතුරු අඟවා ඇත.
බණ්ඩාරනායක ආණ්ඩු විසින් අනුදත් ඉවක් බවක් නැති ජනසතුවත් ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් රාජ්‍ය දේපළ කුණු කොල්ලයට ගජ මිතුරන්ට විකිණීමත් මහින්ද රාජපක්ෂගේ පුද්ගලික දේපළ මංකොල්ලයත් ජාතික ආර්ථිකයට හානිකරය. රට අද මුහුණ දී තිබෙන තත්ත්වය අනුව පුද්ගලික දේපළ මංකොල්ලය ජාතික ආර්ථිකයට වඩාත් හානිකරය. සිංහාසනාරූඪ කළ යුත්තේ අන්තවාදීන් නොව චින්තකයන්ය; අත්තනෝමතිකයන් නොව සම්මුතිවාදීන්ය; යුදකාමීන් නොව රාජ්‍යතාන්ත්‍රිකයන්ය; මුග්ධයන් නොව ප්‍රඥාවන්තයන්ය∎
හර්ෂ ගුණසේන
(Published in Samabima 28th December 2011)
No comments:
Post a Comment