Thursday, May 1, 2014

ආගමකට සිර නොවූ අධ්‍යාපනය – අලස් මහතාගේ ආදර්ශය

[හර්ෂ ගුණසේන]

පසුගිය සතියේ අභාවප්‍රාප්ත වූ මෙරට බිහිකළ විශිෂ්ට අධ්‍යාපනඥයකු වූ ආර්.අයි.ටි.අලස්  විසින් සිදු කරන ලද වටිනා ක්‍රියාවක් වන්නේ ඔහු විසින් ගොඩනගන ලද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මෙරට ප්‍රධාන ආගම් සතර වන බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු සහ මුස්ලිම් යන ආගම් සඳහා සමාන පිළිගැනීමක් ලබාදීමයි. මේ සඳහා ආගම් සතර වෙනුවෙන් එක පෙළට එක සමාන කුටි හතරක් ඉදි කර තිබේ. ඩී.එස්. සේනානායක විදුහල ඉදිකරන විට කොළඹ ප්‍රධාන විදුහල් සියල්ලම ආගම් වශයෙන් බෙදී තිබුණි. එසේ නොතිබුනේ රාජකීය විද්‍යාලය පමණි. ආගම් වශයෙන් බෙදී තිබුණු සියලුම පාසැල්වල පල්ලි හෝ  බුදුමැදුරු හෝ ඉදිකර තිබුණි. අධ්‍යාපනය ඇත්ත වශයෙන්ම ආගමෙන් පරිබාහිර විය යුතුය. බෞද්ධ අධ්‍යාපනය, ක්‍රිස්තියානි අධ්‍යාපනය, හින්දු අධ්‍යාපනය සහ මුස්ලිම් අධ්‍යාපනය යන වචනවල අදාළ ආගම පිළිබඳ අධ්‍යාපනය හැර වෙනත් තේරුමක් නොමැත. යටත් විජිත යුගයේදී ආගම ප්‍රචලිත කිරීම උදෙසා ඉදිවුණු මිෂනාරි පාසැල්වල අභාසයෙන් මෙරට බෞද්ධ පාසල්ද ඇතිවිය. පාසැල අනාගමික කරනු වෙනුවට අලස් මහතා සියලුම ආගම්වලට කුටි ඉදිකිරිම මගින් සියලුම ආගම්වලට එක හා සමාන සැලකිල්ලක් දැක්විය. පසුකාලීනව ඔහු විසින් ඇතිකරන ලද පුද්ගලික පාසැලක් වූ ගේට්වේ ජාත්‍යන්තර පාසැලේද සෑම උත්සවයක් ආරම්භයේදීම ආගම් සතර වෙනුවෙන් කුඩා ආගමික අංගයක් සංවිධානය කරනු ලැබේ. මේ මගින් සියලුම ආගම් අදහන දරුවන් සඳහා පාසැල විවෘත වන අතර කිසිම දරුවකු තමා අදහන ආගම නිසා කිසියම් වෙනස්කමකට භාජනය කරනු නොලැබේ. සියලුම ආගම් අදහන දරුවන් පාසැල තුළ පිළිගැනීමට ලක්වේ. ලංකාවේ පවතින සංස්කෘතික වටපිටාව තුළ ආගම සම්බන්ධයෙන් පාසැලක් තුළ කළ හැකි ප්‍රශස්තම ක්‍රියාව වන්නේ සියලුම ආගම්වලට සම තත්ත්වයේ පිළිගැනීමක් ලබාදීමයි. පාසැල තුළ බෞද්ධ දරුවන් වැඩිපුර සිටීම නිසා බුද්ධාගම වෙනුවෙන් ඉදිවූ කුටිය අනෙක් කුටිවලට වඩා විශාල කිරීම හෝ උත්සවවලදී ඔවුන්ගේ ආගමික අංගය සඳහා වඩා වැඩි කාලයක් වෙන් කිරීම වැනි විකාර වැඩ අලස් මහතාගේ විදුහල් වල සිදු නොවුනි.

ශ්‍රී ලංකා රාජ්‍යයද ආගම සම්බන්ධයෙන් අලස් මහතා පාසැල තුළ කළ දේ රාජ්‍යය තුළ කිරීමට සමත් වෙතොත් එය ආගමික මුලධර්මවාදීන්ගේ ග්‍රහණයට කෙමෙන් නතුවිගෙන යන ශ්‍රී ලංකා රාජ්‍යය වඩාත් සාධාරණ සහ විවෘත රාජ්‍යයක් කිරීමට ඉවහල් වනු ඇත. අපට ලෝකයේ විශිෂ්ටයන් ආදර්ශයට ගැනීමට අවශ්‍ය නැත. විශිෂ්ටයෝ මෙරටම සිටිති

published in Samabima 3rd Dec 2013

No comments:

Post a Comment