Sunday, February 23, 2014

ආගම රාජ්‍යයෙන් මුදවාගෙන ජනතාවට ලබාදීම

හර්ෂ ගුණසේන-

එක්සත් ජාතික පක්ෂය විසින් නව ව්‍යවස්ථාවක් සඳහා වන මූලික කරුණු පිලිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. මේ ගැන ජනතාව සහ විවිධ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ව්‍යවස්ථාව කෙටුම්පත් කරන බව එම පක්ෂය විසින් ප්‍රකාශ කර ඇති අතර දැනටමත් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ඔවුන් අවංක වේ නම් මෙරට ව්‍යවස්ථා ඇතිවූ ආකාරය පිලිබඳ සලකා බලන කළ මෙය ඉදිරිගාමී පියවරකි. ඉන්දියාවේ හෝ දකුණු අප්‍රිකාවේ හෝ ජනරජ ආරම්භයේදීම සිදුවූ දෙය නිදහස ලබා වසර හැට පහක් ගතවූ තැන විරුද්ධ පක්ෂය විසින් හෝ කිරීමට උත්සාහ කිරීම වටිනා දෙයකි.

මෙම යෝජනාවලියේ අංක 1 II  යෝජනාවේ මෙසේ සඳහන් වේ. “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමෙන අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකුලව අනෙකුත් සියලු ආගම් වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම”

මෙම අංක 1 II යෝජනාව පිලිබඳ සාකච්ඡාවට පුර්විකාවක් වශයෙන් 1815 උඩරට ගිවිසුමේ සිට සෝල්බරි ව්‍යවස්ථාව, 1972 ව්‍යවස්ථාව සහ 1978 ව්‍යවස්ථාවද අනෙකුත් බෞද්ධ රටවල් වන බුරුමයේ 1947, 1974 සහ 2008 ව්‍යවස්ථාවන්ද කාම්බෝජයේ 1993 ව්‍යවස්ථාවද තායිලන්තයේ 2007 ව්‍යවස්ථාවද තුළ බුද්ධාගම පිලිබඳ කෙරෙන සඳහන් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

1815 උඩරට ගිවිසුමෙහි බුද්ධාගම පිළිබඳව මෙසේ සඳහන් වේ. මෙම ඡේදය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලයේ ඇති එහි මුල් සිංහල පිටපතේ ඡායා පිටපතකින් වන අතර එහි අකුරක දෙකක නොපැහැදිලි ගතියක් තිබේ.

“මෙකී රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දෙවාගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑව සහ මෙකී කටයුතු ද සංඝයා ද විහාරස්ථාන ද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩ ඕනෑය.”

1947 සෝල්බරි ව්‍යවස්ථාවේ බුද්ධාගම ගැන සඳහනක් නොමැති අතර 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගම පිළිබඳව වන ඡේදය පහත දැක්වෙන පරිදි මවිසින් සිංහලට පරිවර්තනය කර ඇත.“6. ව්‍යවස්ථා 18 (ඉ) යටතේ ප්‍රදානය කර ඇති අයිතිවාසිකම් සියලුරෑම ආගම් වලට සහතික කරන අතර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් ඒ අනුව බුද්ධාගම ආරක්ෂා කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වගකීම ශ්‍රී ලාංකික ජනරජය විසින් දැරිය යුතු වේ.”

1978 ව්‍යවස්ථාවේ මෙම ඡේදයේ මූලික වෙනසක් නොමැත. එහි බුද්ධාගම වෙනුවට බුද්ධශාසනය ආදේශ වී ඇත. 1947 බුරුම ව්‍යවස්ථාවේ බුද්ධාගම පිලිබඳ ඡේදය පහත දැක්වෙන පරිදි සිංහලට පරිවර්තනය කර ඇත.

“21.1. සංගමයේ විශාල බහුතරයක් පුරවැසියන් අදහන බැවින් බුද්ධාගමට ඇති විශේෂ තත්ත්වය රාජ්‍යය පිළිගනී.

21.2. එමෙන්ම මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවූ දින ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම සහ ජිවවාදය සංගමයේ භාවිතා වූ සමහර ආගම් වශයෙන් රාජ්‍යය පිළිගනී.

21.3.ආගමික ඇදහීම හෝ විශ්වාසය මත රාජ්‍යය විසින් කිසිම බාධකයක් පැනවීම හෝ අගතිගාමී වීම හෝ නොකළ යුතුයි.

21.4. දේශපාලන හේතු මත ආගම අනිසි ලෙස යෙදවීම තහනම් වේ. වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර ප්‍රකෝපකාරිත්වය, වෛරය හෝ අසමගිය වැනි හැඟීම් ඇතිකිරීමේ අරමුණින් හෝ එම හැඟීම් ඇතිවිය හැකි යම් ක්‍රියාවක් කිරීම මෙම ව්‍යවස්ථාවට පටහැනි වන අතර එය නීිතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ.”

1974 සහ 2008 බුරුම ව්‍යවස්ථා වල බුද්ධාගම ගැන සඳහනක් නැත. 1993 කාම්බෝජ ව්‍යවස්ථාවේ බුද්ධාගම පිලිබඳ ඡේදය පහත දැක්වෙන පරිදි සිංහලට පරිවර්තනය කර ඇත.

“43. ස්ත්‍රී පුරුෂ ඛේමර් පුරවැසියන්ට තමන් කැමති ඇදහිල්ලක් දැරීමට අයිතිය තිබේ. ආගමික නිදහස රාජ්‍යය මගින් සහතික කරන අතර එම නිදහස පාවිච්චි කළ යුත්තේ අන් ආගමික නිදහසට අවහිර නොවන ආකාරයට සහ රටේ නීතිය සහ සාමය උල්ලංඝනය නොවන ආකාරයටය. බුද්ධාගම රාජ්‍ය ආගම වන්නේය.”

2007 තායිලන්ත ව්‍යවස්ථාවේ බුද්ධාගම පිලිබඳ ඡේදය පහත දැක්වෙන පරිදි සිංහලට පරිවර්තනය කර ඇත.

“9. රජු බෞද්ධයෙක් වන අතර ආගම්වල ආරක්ෂකයා වේ.

79. බොහෝ කාලයක් මුළුල්ලේ බහුතර තායි ජාතිකයන් විසින් අනුගමනය කළ බුද්ධාගමද අනෙකුත් ආගම්ද රාජ්‍යය විසින් ආරක්ෂා කළ යුතු සහ අනුග්‍රහය දැක්විය යුතු වේ. එමෙන්ම සියලුරෑම ආගම්වල අනුගාමිකයන් අතර මනා අවබෝධය සහ සහයෝගීතාවට අනුබල දීමත් ජිවිතයේ ගුණාත්මක භාවය සහ සුචරිතය වර්ධනය කිරීමෙහි ලා ආගමික මූලධර්ම භාවිතය ධෛර්යමත් කිරීමත් රාජ්‍යය විසින් කළ යුතුය.”

බුද්ධාගම රාජ්‍යය විසින් ආරක්ෂා කිරීම පිලිබඳ සංකල්පය 1815 උඩරට ගිවිසුමේ පැහැදිලිව සඳහන් වේ. උඩරට ගිවිසුම යනු සිංහල ජන ප්‍රධානින් විසින් රටේ පාලනය ඉංග්‍රීසින් වෙත පවරා දෙන ලද අවස්ථාවේ ඔවුන් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුමයි. එම අවස්ථාවේදී උඩරට පළාත් වල බහුතරය අදහන ලද ආගම වූයේ බුද්ධාගමයි. රාජ්‍ය පාලනය භාරගනු ලබන්නේ ක්‍රිස්තියානි පාලකයන් පිරිසක් විසින් වන අතර මීට පෙර පහතරට පලාත් අල්ලාගෙන සිටි වෙනත් යුරෝපීය ආක්‍රමණිකයන් විසින් ඔවුන් ගේ ආගම ප්‍රචාරය කිරීමටත් බුද්ධාගම මැඩ පැවැත්වීමටත් ගනු ලැබූ ක්‍රියාමාර්ග උඩරට ප්‍රධානින් දැන සිටියහ. එබැවින් එම අවස්ථාවේදී බුද්ධාගම ආරක්ෂා කිරීමේ කොන්දේසිය ගිවිසුමට ඇතුලත් කිරීම අනිවාර්ය දේශපාලන අවශ්‍යතාවකි.

ස්වාධීන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු කරුණුත් රටක් යටත් කරගන්නා විට ආක්‍රමණිකයා සහ යටත් වන්නා අතර ඇතිවන ගිවිසුමක අඩංගු කරුණුත් එකිනෙක සංසන්දනය කළ නොහැක. ස්වාධීන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ රටේ ජිවත්වන සියලුම ජනකොටස් ඒකරාශී කිරීමත් ජනකොටස් අතර ආරවුල් ඇතිවීම වැළැක්වීමත් සියලුරෑම ජන කොටස් එක හා සමාන ලෙස සැලකීමත්ය. එක ජන කොටසක් අනෙක් ජනකොටසින් ආරක්ෂා වීමට සැලසුම් කිරීම හෝ එක ජනකොටසකට අනෙක් ජනකොටසට වඩා සැලකීම හෝ නොවේ. 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගම අඩංගු ඡේදය කෙටුම්පත් කරන ලද්දේ යටත් විජිත මානසිකත්වයෙනි. ස්වාධීන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයෙකු සතු මානසිකත්වයකින් නොවේ. එම යටත් විජිත මානසිකත්වය දැන් මෙරට සමස්ත බෞද්ධ ජනතාව වෙත විස්තීරණය වී ඇත.

මෙම කාරණය ඉහත දක්වා ඇති වෙනත් බෞද්ධ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙරට ව්‍යවස්ථාව සමඟ සංසන්දනයෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. මෙරට ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන අතර බුද්ධාගම, 1978 ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය සුරැකීමේ සහ වැඩිදියුණු කිරීමේ වගකීමද රාජ්‍යය සතුය. වෙනත් ආගම් සුරැකීමේ සහ වැඩිදියුණු කිරීමේ වගකීමක් රාජ්‍යයට නැත. එම ආගම් සම්බන්ධයෙන් රාජ්‍යයට ඇත්තේ එම ආගම අදහන්නන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කිරීමේ අවම වගකීමකි.

1947 බුරුම ව්‍යවස්ථාව බුද්ධාගමට විශේෂ තත්ත්වයක් ඇති බව පිළිගන්නේ එම ආගම රටේ බහුතරයක් අදහන බැවිනි. එනමුත් බුද්ධාගම ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමක් නොවේ. වඩාත් වැදගත් කාරණය වන්නේ ආගමික හැඟීම් ඇවිස්සීම නීතියෙන් දඬුවම් කළ යුතු වරදක් බව එම ඡේදයේම දක්වා තිබීමයි. දැන් වාසුදේව ඇමතිවරයා නීතිගත කිරීමට උත්සාහ කරමින් ඇති බවට පුවත්පත් මගින් වාර්තා වන්නේ මෙම කාරණයයි.

කාම්බෝජ ව්‍යවස්ථාවේ බුද්ධාගම ගැන සඳහන් වන්නේ 43 වන ඡේදයේය. එනම් ඡේද 42කට පසුවය. බුද්ධාගම රාජ්‍ය ආගම බව සඳහන් වුවත් එයට පෙර ආගමික නිදහස රාජ්‍යය මගින් සහතික කරන බවත් එම නිදහස අන් අයට හිරිහැරයක් නොවන ලෙස පාවිච්චි කළ යුතු බවත් දක්වා තිබේ.

තායි ව්‍යවස්ථාවේ බුද්ධාගම පමණක් නොව අනෙකුත් ආගම්ද ආරක්ෂා කිරීම රාජ්‍යයේද රජුගේද වගකීම වේ. මෙරට ව්‍යවස්ථාවේ රාජ්‍යයේ වගකීම වන්නේ බුද්ධාගම පමණක් ආරක්ෂා කිරීමය. අනෙකුත් ආගම් ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම නොවේ. මෙම ආරක්ෂාකාරී, ලිංමැඩි එමෙන්ම අසාධාරණ ප්‍රතිපත්තියට ජිවය ලැබෙන්නේ 1815 උඩරට ගිවිසුම මගිනි. ඉහත දැක්වූ පරිදි එය එවකට පැවති දේශපාලන තත්ත්වය අද තත්ත්වයට අනුගත කිරීමේ අමනෝඥ ක්‍රියාවලියකි.
බුරුම සහ තායි ව්‍යවස්ථා වල එන සියලුරෑම ආගම් වලට ගරු කිරීමේ සම්ප්‍රදාය අශෝක රජුද අනුදත් ක්‍රමයයි. ඔහුගේ ගිරිලිපි 14 අතර වන 12 වන ගිරිලිපියේ මේ පිළිබඳව එන සඳහනේ සිංහල පරිවර්තනය මෙසේය.

“අශෝක රජු සියලුම ආගම් වල ගිහියන්ට සහ පැවිද්දන්ට ගරු කරයි……. තමන්ගේ ආගම හුවා දැක්වීමත් අනුන්ගේ ආගම හෙළාදැකීමත් සුදුසු හේතුවක් නොමැතිව නොකළ යුතුය. හේතුවක් තිබුණත් එසේ කළ යුත්තේ මෘදුවය. එනමුත් අනෙක් ආගම් වලට ගරු කිරීම වඩාත් සුදුසුය. එසේ කිරීමෙන් තමන්ගේ ආගමටද අනෙකුත් ආගම් වලටද යහපතක්ම සිදුවේ. එසේ නොකිරීමෙන් තමන්ගේ ආගමටද අනෙකුත් ආගම් වලටද අයහපතක්ම සිදුවේ…… එබැවින් ආගම් අතර සහජීවනය සුදුසුය. තමන් අනෙකුත් ආගම් ධර්මයන්ට ඇහුම්කන්දීම සහ ගෞරව කිරීම සුදුසුය.”

එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ විධායකය විකල්ප 2.4 යටතේ මෙසේ සඳහන් වේ. “රාජ්‍ය සභාවේ තීරණයන් සියලුරෑ සාමාජිකයන්ගේ සම්මුතිය ඇතිව ගත යුතු අතර සම්මුතියකට එළැඹීමට නොහැකිවූ අවස්ථාවකදී පමණක් බහුතර මතය අනුව තීරණ ගැනීම සිදුවිය යුතුය. රාජ්‍ය පාලන ධර්මයන් සම්බන්ධව බුදුන් වහන්සේ දේශනා කළ සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කිරීම, සමගියෙන් විසිර යාම යන මූලධර්ම මෙමගින් තහවුරු කරනු ඇත.”

මෙයින් මතුවන අපගේ සංස්කෘතිය සහ දේශපාලන ක්‍රමවේද පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතුවේ. මවිසින් මෙයට පෙර සමබිම පුවත්පතෙහි මෙය සාකච්ඡා කර ඇත. අප විසින් කළ යුත්තේ සහ අශෝක රජු විසින් කර ඇත්තේ මෙයයි. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කිරීම, සහ සමගියෙන් විසිර යාමට විරුද්ධ විය හැක්කේ කවරකුටද? බුදුදහමේ හෝ වෙනත් ආගමක හෝ දක්වා ඇති හරවත් දෙයක් උචිත පරිදි ව්‍යවස්ථාවට බද්ධ කළ හැකිනම් එසේ කළ යුතුය. නොකළ යුත්තේ බුදුදහම අදහන්නන්ට ව්‍යවස්ථාව හරහා සමාජයේ විශේෂ තැනක් පිරිනැමීමයි.

මෙතෙක් දුර කරන ලද කරුණු දැක්වීම අනුව දැනට ඇති බුද්ධාගම පිළිබඳ ඡේදය ඉවත් කර ඒ වෙනුවට 1947 බුරුම ව්‍යවස්ථාවේ 21.1 සිට 21.4 දක්වා ඡේද සහ තායි ව්‍යවස්ථාවේ 79 වන ඡේදය සුදුසු පරිදි සංස්කරණය කර අප ව්‍යවස්ථාවට එකතු කරන මෙන් යෝජනා කරමි.

බුද්ධාගම පැත්තෙන් ගතහොත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාවක් බුද්ධාගමට හෝ බුද්ධ ශාසනයට අවශ්‍යද? නැත. 1972 සිට ගතවූ අවුරුදු 40 තුළ ශ්‍රී ලංකා රාජ්‍යය විසින් බුද්ධාගමට හෝ බුද්ධ ශාසනයට සපයා ඇති විශේෂ ආරක්ෂාවක් හෝ විශේෂ වැඩිදියුණු කිරීමක් තිබේද? නැත. බුදු දහම යනු කුමක්ද? මේ ආත්ම භාවයේදීම එනම් මරණයට පෙර තමන් පිළිබඳ පූර්ණ අවබෝධය ලැබීම සඳහා කළ යුතු ආර්ය පර්යේෂණයේ පර්යේෂණ ක්‍රමවේදයයි (RESEARCH METHODOLOGY). බුදුදහම අද ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ වළගම්බා රජු දවස මාතලේ අලුරෑවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ නිසාත් විශේෂයෙන්ම බුරුම සහ තායි භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා විසින් පරපුරෙන් පරපුරට රැගෙන ආ විදර්ශනා භාවනා ක්‍රම ගිහියන්ට හඳුන්වා දීමත් නිසාය. ධර්මය සියලු දෙනාටම විවෘතය. යමෙකුට මෙය අනවශ්‍ය නම් බලෙන් දීමේ අවශ්‍යතාවක් නැත. ධර්මයෙන් ප්‍රයෝජන ගත යුත්තේ මනුෂ්‍යයන්ය. රාජ්‍යයන් නොවේ. එබැවින් රාජ්‍යය අනාගමික විය යුතු යයි යෝජනා කරමි. එනම් ආගම පිළිබඳ ඡේදය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ හැක.

මගේ දෙවන යෝජනාව පළමු යෝජනාවේම දිගුවකි. දෙවන යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නම් ප්‍රශස්තය. යටත් පිරිසෙයින් පළමු යෝජනාවවත් ක්‍රියාත්මක කරන්නේ නම් මෙරට බෙදී සිටින ජනයා ඒකරාශී කිරීමේ යුගයේ අවශ්‍යතාවට උපකාරී වනු ඇත. මෙම යෝජනා එක්සත් ජාතික පක්ෂය විසින් අධ්‍යයනය කරන්නේ නම් මැනවි. එමෙන්ම සමබිම පුවත්පත මගින් පාඨකයන්ට ද මේ පිළිබඳව සාකච්ඡා කළ හැක∎

(2013 ජුලි මස සමබිමෙහි පළ කරන ලදී.)

No comments:

Post a Comment