Monday, February 17, 2014

දුටුගැමුණු රජු ගිය මග යමුද?

Jul 2nd, 2013 | By  | Category: LEAD NEWSRECENT ARTICLEදේශපාලන

ඕනෑම ජයග්‍රාහී දේශපාලන ව්‍යාපාරයක් දේශප්‍රේමී විය යුතුය. දේශප්‍රේමී නොවන දේශපාලන ව්‍යාපාරයකට ජයග්‍රාහී විය නොහැක. ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් වන සිංහල බෞද්ධයන් දේශප්‍රේමය යනුවෙන් අර්ථ ගන්වන්නේ සිංහල බෞද්ධ ප්‍රේමයයි. බහුතරයේ හැසිරීම මෙය වනවිට අන්‍ය ආගමිකයන්ට සහ අන්‍ය වාර්ගිකයන්ට සැබෑ දේශප්‍රේමයක් ඇති වීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. දේශප්‍රේමය පිළිබඳව මෙවැනි අසමතුලිත තත්ත්වයක් ඇති විට රටකට ඉදිරියට යාමට ඇති හැකියාව සීමිත වේ.

ආණ්ඩුව සිංහල බෞද්ධ දේශප්‍රේමය උත්කර්ෂයට නංවන්නේ කෙසේද? යුද්ධ ජයග්‍රහණය සිංහල ආත්ම අභිමානය ඉහල නංවන ක්‍රියාවකි. එය සිංහලයන් විසින් දෙමළුන්ට එරෙහිව කළ යුද්ධයක් වශයෙන් සිංහල ජන විඥානයේ තැන්පත්ව ඇත. යුද්ධය පැවති අවදියේදී සහ ඉන් පසුව ඇතිවූ සහ ඇතිවන මානව හිමිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර නීතියට පරිබාහිර ක්‍රියාකාරකම්වලට එරෙහිව එන ජාත්‍යන්තර බලපෑම් යුද්ධ ජයග්‍රහණයට එරෙහි ක්‍රියාකාරකම් ලෙස සිංහලයන් ඉලක්ක කරගෙන අර්ථ ගන්වනු ලැබේ. එබැවින් මෙම බලපෑම්වලට එරෙහි වීම සිංහල දේශප්‍රේමය ආරක්ෂා කිරීමකි. ඉතා උත්ප්‍රාසවත් ලෙස මානව හිමිකම් රැකීම සඳහා වන ජාත්‍යන්තර බලපෑම්වලට නතුවීම මගින් සිංහලයන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් සුරක්ෂිත වනු ඇත.

ආණ්ඩුව දැනට කරමින් සිටින්නේ එසේ සිංහල බෞද්ධ දේශප්‍රේමය උත්කර්ෂයට නැංවීමයි. මෙසේ වන විට ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් වන සිංහල බෞද්ධයන්ගේ සහයෝගය ලබාගැනීම ආණ්ඩුවට පහසු වේ. එබැවින් ආණ්ඩුව ලාභ ජනප්‍රියත්වයක් ලබයි. මෙම ලාභ ජනප්‍රියත්වය නැවත නැවතත් බලයට පත්වීම සඳහා ආණ්ඩුවට උපකාරී වේ. නමුත් මෙම තත්ත්වය රටේ ප්‍රගමනයට අවහිරයකි. රටේ සහ ජනතාවගේ පැත්තෙන් මෙය දුර නොදකින ළඟ දකින ක්‍රියාමාර්ගයකි. පාලකයන්ගේ පැත්තෙන් මෙය දුර දකින එනම් තමන්ට දීර්ඝ කාලීනව බලය රඳවා ගැනීමේ ක්‍රියාමාර්ගයකි.

මෑතක සිට ආණ්ඩුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන බොදුබල සේනා සංවිධානය බෞද්ධ දේශප්‍රේමය උත්කර්ෂයට නැංවීම සඳහා ආණ්ඩුව භාවිතා කරන මෙවලමකි. මුස්ලිම්වරුන්ට එරෙහි සනාථ නොකරන ලද තොරතුරු ප්‍රචාරයට පත් කරමින් මුස්ලිම්වරුන්ටද විශේෂයෙන් මුස්ලිම් ව්‍යාපාර ස්ථානවලට ද එරෙහිව බෞද්ධ භික්ෂූන්ගේ මැර බලය යොදමින් කරගෙන යන මෙම ව්‍යාපාරය මුස්ලිම් බිල්ලකු මවා පෙන්වමින් බෞද්ධ දේශප්‍රේමය උත්කර්ෂයට නංවයි. ඉතා උත්ප්‍රාසවත් ලෙස මෙම ව්‍යාපාරයේ ක්‍රියා පිළිවෙත මගින් සැබෑ බුදුදහම ඇතුළතින්ම විනාශ කිරීම අරඹා තිබේ. ඉතාමත් කනගාටුදායක කාරණය වන්නේ බෞද්ධ නාමධාරීන් මේ පිළිබඳව සැලකිලිමත් නොවීමය.

ගව ඝාතනය නවත්වන ලෙස ඉල්ලමින් පසුගියදා සිය දිවි නසාගත් බෞද්ධ භික්ෂුව බුදුන් දවස ජේතවනාරාමය අසල සූකර ඝාතකාගාරයක් තිබූ බවද බුදුන් එය වසා දමන ලෙස කොසොල් රජුගෙන් ඉල්ලා නොසිටි බවද, දෙව්දත් තෙර තමන්ගේ ඉල්ලීම් අතරට භික්ෂූන් මස් මාංශ අනුභවයෙන් වැළකීම ඇතුළත් කළ විට බුදුන් එය ප්‍රතික්ෂේප කළ බවද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය බුදුන් අනුදැන වදාළ බවද නොදන්නවා විය නොහැක. එමෙන්ම සතර පාරජිකාවෙන් තුන්වන පාරාජිකාව අනුව සියදිවි නසා ගැනීම විනය විරෝධී බවද එම භික්ෂුව නොදන්නවා විය නොහැක. එමෙන්ම සියදිවි නසා ගැනීමට අනුබල දීමද විනය විරෝධී වෙයි. බුද්ධෝත්පාද කාලයක සසරින් එතෙර වීමට වෑයම් නොකර විනය පිටකයට එරෙහිව සියදිවි නසාගැනීම උත්කර්ෂයට නංවන හෙළ උරුමයේද බොදුබල සේනාවේද සිංහල රාවයේද භික්ෂූහු බුදුන් මරා බුදුවීමට තැත්කළ දෙව්දත්ගේ නිකායට ඒකාන්තයෙන්ම අයත් වෙති. එමෙන්ම දහස් ගණනින් යුද භටයන්ද සිවිල් වැසියන්ද කැරලිකරුවන්ද මියගිය සිවිල් යුද්ධයකදී පිරිත් නූල් බැද, පිරිත් කියා, බෞද්ධ දර්ශනය හරය පවා වැරදි ලෙස යොදා ගනිමින් එකී මරණ සාධාරණීකරණය කර, එයට ඉත සිතින්ම අනුබලදී දැන් ගවයන්ට අභය ඉල්ලා සියදිවි නසාගැනීම සහ එය උත්කර්ෂයට නැංවීම කෙබඳු මානව ධර්මයක් යටතේ සාධාරණීකරණය කළ හැකිද? අධර්මය ධර්මය ලෙස ගෙන කටයුතු කරන මෙම මෝඝ පුරුෂයන් අතින් බුදුදහම රැකේ යයි කෙසේ නම් කියමුද?

ආණ්ඩුව තමන්ගේ පිටුපසින් තබාගෙන ඇත්තේ මෙම ව්‍යාජ දේශප්‍රේමයයි. විපක්ෂ දේශපාලන ව්‍යාපාර මගින්ද මෙම ව්‍යාජ දේශප්‍රේමයට අනුගත වීමක් කරනු ලැබේ. තමන්ගේ ඡන්ද පදනම එයින් සුරක්ෂිත වනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා විය හැක. ව්‍යාජ දේශප්‍රේමයේ ගාමක බලවේගය වන වත්මන් ආණ්ඩුවට වඩා වැඩි ඡන්ද පදනමක් විපක්ෂ දේශපාලන ව්‍යාපාර විසින් ව්‍යාජ දේශප්‍රේමයට අනුගත වීම මගින් ලබා ගත නොහැක. එසේනම් විපක්ෂ දේශපාලන ව්‍යාපාර විසින් කළ යුත්තේ කුමක්ද? දැනට පවතින පසුගාමී දේශප්‍රේම සංකල්පය, සුසමාදර්ශීය වෙනසකට (PARADIGMSHIFT) භාජනය කිරීමයි. ව්‍යාජ දේශප්‍රේමයේ නිරුවත හෙළිදරව් කොට සැබෑ දේශප්‍රේමය කරලියට ගැනීමයි. මෙය දීර්ඝ ව්‍යායාමයකි. දැනට පවතින භූ දේශපාලන යථාර්ථය අනුව මේ සඳහාද වඩා විශාල ඡන්ද පදනමක් සඳහාද කෙටි ක්‍රියාමාර්ග නොමැත.

සැබෑ දේශප්‍රේමය යනු දේශයේ ජීවත්වන සියලුම ජනයාට ප්‍රේම කිරීමයි. එකම දේශයක් ලෙස එක්සත් වීමයි. සමස්තය දැකීමයි. එක් ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීමයි. මෙම විශාල කුලකය තුළ මානව හිමිකම් කඩකිරීම සහ බුදු දහම විනාශ කිරීම දේශප්‍රේමය උද්දීපනය සඳහා හේතු නොවනු ඇත.

සැබෑ දේශප්‍රේමයේ අරුත මෙරට විසූ විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ දුටුගැමුණු ඔහුගේ ක්‍රියාකලාපය මගින් කුළුගන්වා තිබේ. යුද්ධයේ අවසන් අදියරේදී දෙපාර්ශ්වයේම (දෙපාර්ශ්වයේම, එම වචනය මම අවධාරණය කරමි. එළාරගේ සේනාවේ විදේශිකයන්ද ස්වදේශිකයන්ද සිටි නමුත් එළාර විදේශිකයෙකි. වර්ෂ 2009 දී අවසන් වූ යුද්ධයේ දෙපාර්ශ්වයේම සිටියේ ස්වදේශිකයන්ය.) යුද භටයන්ගේ අනවශ්‍ය මරණ නැවැත්වීම සඳහා දෙරජුන්ගේ ද්වන්දව යුද්ධයක් පවත්වා එම යුද්ධයෙන් ජයගත් පාර්ශ්වය සමස්ත යුද්ධයෙන්ද ජයගනු ඇති බවට කොන්දේසියකට යටත්ව ඔහු යෝජනාවක් කළේය. මෙම යෝජනාව එවකට මහලු වියේ සිටි ඒ හා සමාන විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ එළාර විසින් පිළිගන්නා ලදී. යුද ජයග්‍රහණයෙන් පසුව දුටුගැමුණු විසින් එළාරගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන ලද අතර කිසිම පුද්ගලයකු විසින් එළාරගේ සොහොන ඉදිරිපිටින් යන විට රථයක නැගී එය පසුකර නොයා යුතු බවට නීතියක්ද පැනවීය. මෙම නීතිය කෙතරම් දුරට මෙරට පාලකයන් විසින් අනුගමනය කෙළේද යත් දුටුගැමුණුගේ සොහොයුරා වූ සද්ධාතිස්සගේ බාල පුත් වළගම්බා, සොළීන් තමන් පසුපස පන්නාගෙන එනවිට එළාර සොහොන ළඟදී රථයෙන් බැස ගමන් කිරීමට ගොස්, සොළීන්ට අසුවීමට ළංව තිබියදී සිය දේවියකගේ ඉල්ලීම පරිදි ඇය බස්වා පලා ගොස් ජීවිතය බේරා ගත්තේය.

දුටුගැමුණුගේ පිළිමළුන් ද ඇතුළුව සමස්ත දේශය පිළිබඳ හැඟීම මගින් ඔහුගේ සැබෑ දේශප්‍රේමය හෙළිදරව් වේ. වර්තමාන සිංහලයන් දුටුගැමුණුගෙන් ලබාගෙන ඇත්තේ ඔහුගේ සැබෑ දේශප්‍රේමය නොවේ. වැරදියට අර්ථකථනය කර ගන්නා ලද ව්‍යාජ දේශප්‍රේමයයි. එමෙන්ම වළගම්බාගේ සහ එළාරගේ (ඔහු සිය පුත්‍රයකුටද මරණ දඬුවම පැනවූ අයෙකි) නීතිගරුක ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන්ගෙන් සන්නද්ධ වූ මෙකල නීතිය අදානග්‍රාහී ලෙස යොදවන මෙරට පාලකයන්ගේ, ඇතැම් විනිසුරන්ගේ හා චෞරයන් නිදහස් කර නිර්දෝෂීන්ට හිරිහැර කරන අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ තුච්ඡ ක්‍රියාකලාපය හා සැසඳීම වටී.

එමෙන්ම දුටුගැමුණුගේ සහ එළාරගේ ද්වන්දව යුද්ධය ඇඟ බේරාගෙන ප්‍රකාශ නිකුත් කිරීමේ සාම්ප්‍රදායික විරෝධයක හිරවී සිටින විපක්ෂ දේශපාලනඥයන්ගේ අමනෝඥ ක්‍රියාකලාපය සමඟද සැසඳිය හැක. මෙයින් පිටස්තර විරෝධයක මෑතකදී නිරත වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත් අසාත් සාලි, එම ක්‍රියාවලියට විරුධත්වය ප්‍රකාශ කිරීම් වස් උපවාසයක් ආරම්භ කිරීම මගිනි.

දෙමළ දේශපාලනඥයන්ගේ කෝකටත් තෛලය වන බලය බෙදීම පිළිබඳ වන ඔවුන්ගේ සාම්ප්‍රදායික විරෝධයට අමතරව ජාතික මට්ටමේ ප්‍රශ්න පිළිබඳව මෙයට වඩා වැඩි මැදිහත්වීමක් මගින් සැබෑ දේශප්‍රේමයට වැඩි ඉඩකඩක් ලැබේ. මේ පිළිබඳ පාවිච්චි නොකළ අගනාම අවස්ථාව 1977 පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක වශයෙන් ඒ. අමිර්තලිංගම්ට ලැබුණු බව අප අමතක නොකළ යුතුය∎

හර්ෂ ගුණසේන

(2013 ජුලි මස සමබිමෙහි පළ කරන ලදී.)

No comments:

Post a Comment