[හර්ෂ ගුණසේන]
නුතන පාලන ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් හෝ ජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන් මගින් හෝ කරනු ලබන පාලනයයි. නුතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වී ඇත්තේ පුද්ගල ස්වාධිපත්‍යය (ලිබර්ටි – LIBERTY), සමානතාව (ඊක්වැලිටි - EQUALITY) සහ සාධාරණත්වය (ජස්ටිස් – JUSTICE) පදනම් කරගෙනය. මේවා පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළ විශේෂයෙන්ම ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සංස්කෘතීන් තුළ ඇති වටිනාකම් (VALUES) වේ. ප්‍රජාතන්ත්‍රවාදය ඊට පෙර තිබූ රාජාණ්ඩු ක්‍රම සමඟ සසඳා බලන විට විශාල ඉදිරි පිම්මකි. එනමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි දෙනාගේ පාලනයයි. එමගින් පුද්ගල ස්වාධිපත්‍යයට හානි නොපැමිණවීමට ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදකයෝ වගබලා ගත්හ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංග තුනෙහි බලතල වෙන වෙනම දක්වා ඒ එකම ආයතනයකටවත් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට නොහැකි වන සේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ද ඊටත් එහා ගිය පුද්ගල ස්වාධිපත්‍යය ද සුරැකීමට ඔවුහු කටයුතු කළහ. ඉන් පසුව ඇතිවූ ප්‍රංශ ව්‍යවස්ථාවේ ද නුතන වෙනත් ව්‍යවස්ථාවලද පුද්ගල ස්වාධිපත්‍යය මූලික අංගයක් වී තිබේ.
අපගේ වර්තමාන ව්‍යවස්ථාවේ ද මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටස මෙම පුද්ගල ස්වාධිපත්‍යය සුරැකීමට කෙළින්ම අදාළ වේ. ඊට අමතරව පුද්ගල ස්වාධිපත්‍යය සුරැකීම සඳහා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංග තුනෙහි බලතල වෙන වෙනම දක්වා ඇත.
ව්‍යවස්ථාවේ මෙසේ තිබුණද කණ්ඩායම්වාදී වන අපගේ සංස්කෘතිය තුළ පුද්ගල ස්වාධිපත්‍යයට වටිනාකමක් නොමැත. ලිබර්ටි යන ඉංග්‍රීසි වචනයට සරිලන සිංහල වචනයක්ද නැත. ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ ලිබර්ටි වචනය නිර්වචනය කරන්නේ මේ ආකාරයටය. “බලධාරීන් විසින් තමන්ගේ හැසිරීම හෝ දේශපාලන මතවාදයන් හෝ පිළිබඳව පනවනු ලබන පීඩාකාරී අවහිරකිරීම්වලින් තොරව සමාජයේ නිදහසේ සිටීමට ඇති හැකියාව පුද්ගල ස්වාධිපත්‍යය” වේ. මේ ආකාර පුද්ගල ස්වාධිපත්‍යයක අවශ්‍යතාවක් අපේ සමාජයේ නැත. අපේ සමාජයේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවයි.
වරින් වර තමන්ට කැමති පුද්ගලයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් හෝ ජනාධිපති වශයෙන් හෝ තෝරා පත්කර ගැනීමේ අවශ්‍යතාව මෙරට ජනතාවට ඇත. තමන් විසින් තෝරා පත්කර ගත් තමන්ගේ මිනිහා වන පුද්ගලයා විසින් කරනු ලබන දේ අපේ ජනතාව අනුමත කරති. තමාගේ මිනිහා තමන්ට එපා වීමට ඒ පුද්ගලයා විසින් වැරදි බොහෝ ගණනක් කළ යුතුය. එකම වරද වුව සෑහෙන වාර ගණනක් කළ යුතුය. එතෙක් තමන් තෝරා පත්කර ගත් පුද්ගලයා හෝ පුද්ගලයන් ඔහුගේ හෝ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඡන්ද දායකයෝ ක්‍රියා කරති. තමන් තෝරා පත්කර ගත් නියෝජිතයා යම්කිසි වැරැද්දක් කළත් නීතිඥයකු නඩුවක කතා කරන්නා සේ එය සාධාරණීකරණය කිරීමට ඡන්ද දායකයෝ උත්සාහ කරති.
කණ්ඩායම්වාදී සංස්කෘතිය තුළ සමානතාව සහ සාධාරණත්වය යන ගුණාංගවලට ලැබෙන්නේ පුද්ගලවාදී සංස්කෘතියක් තුළ ලැබෙන වටිනාකම්වලට වඩා වෙනස් වටිනාකම්ය. කණ්ඩායම්වාදී සංස්කෘතිය තුළ සමානතාව සහ සාධාරණත්වය කණ්ඩායම තුළ පමණය. කණ්ඩායමෙන් පිට සමානතාව සහ සාධාරණත්වය පවතින්නේ බොහෝ අඩු මට්ටමකිනි. දෙමළ ජනතාවට වන අසාධාරණකම්වලට සිංහල ජනතාව අඩු සැලකිල්ලක් දක්වන්නේත් එම අසාධාරණකමම සිංහල ජනතාවට සිදුවූ විට එයට බලවත් සැලකිල්ලක් දක්වන්නේත් ඒ නිසාය. එමෙන්ම ජනාධිපතිවරයා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී කිසිම ලැජ්ජාවක් නොමැතිව තමන්ගේ මිනිහාට වෙනස්ව සලකන අන්දම ප්‍රසිද්ධියේ කියා සිටින්නේත් ඒ නිසාය.
බුදු දහමට අනුව බලන විට පුද්ගල ස්වාධිපත්‍යය අගය නොකරන සමාජයක කෙනෙකුට මේ භවයේදීම නිවන් දැකීම සඳහා සමාජයීය වශයෙන් පෙළඹවීමක් ලැබෙන්නේ නැත. දියුණු වීමට උත්සාහ කරන පුද්ගලයකුට තනිවම බුදු වීමට උත්සාහ කරන්නේ යැයි සරදම් කරන්නේ එබැවිනි. බුදු වන්නේ තනිවමය. සිය අඹු දරුවන්ද සමඟ නොවේ. නිවන් දැකීම යනු පූර්ණ අවබෝධයයි. එය ලැබිය යුත්තේ දැන්ය. තනිවමය. පසුව බජාර් පිටින් නොවේ. බුදු දහමේ හරය වඩාත් ස්ථාපිත විය හැක්කේ පුද්ගල ස්වාධිපත්‍යය අගය නොකරන කණ්ඩායම්වාදී ආසියාතික සංස්කෘතීන්වල නොව පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළය.
ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් වනවිට බොහෝවිට කණ්ඩායම්වාදී ගුණාංග යටපත් වී පුද්ගලවාදී ගුණාංග ඉස්මතු වේ. යම් කරුණකට සමාජයේ ඉහළ ස්ථර එක් ආකාරයකට ප්‍රතික්‍රියා දක්වන්නේත් බහුතර ජනතාව ඊට වෙනස් ආකාරයකට ප්‍රතික්‍රියා දක්වන්නේත් මේ නිසා විය හැක.
පසුගිය දා අග විනිසුරුවරියට එරෙහිව ක්‍රියාත්මක වූ නින්දා සහගත එමෙන්ම නීති විරෝධී දෝෂාභියෝග ක්‍රියාවලිය විමසා බැලිය යුත්තේ මේ පසුබිම තුළය. පුද්ගල ස්වාධිපත්‍යය අගයන සමාජයක නම් මෙම ක්‍රියාවලිය මෙසේ සිදුවීමට ජනතාව ඉඩ නොතබනු ඇත. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව තම අණසක යටතට ගෙන බොහෝ කල්ය. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට නොයෙකුත් ඇමැති තනතුරු ජනාධිපතිවරයා විසින් පිරිනමා ඇත. ඔවුන් ක්‍රියා කරන්නේ විධායකයේ බත් බැලයන් මෙන්ය.
මෙරට අධිකරණයේ ක්‍රියාකලාපය ද සෑම විටම ප්‍රශස්ත මට්ටමක තිබුණේ නැත. අධිකරණ තීන්දුවලදී විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණයේදී සහ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අණ පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි විමසා බැලීමේදී අධිකරණය පාලකයාගේ අභිමතාර්ථ සාධනය නොව ජනතා සුබසිද්ධිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. සරත් ෆොන්සේකාගේ සාධාරණ අයිතිවාසිකම් අහිමි කළේද තිසෙයිනායගම්ට කොටි සංවිධානයට පක්ෂ ලිපියක් ලිවීමේ වරදට අවුරුදු 20කට සිර දඬුවම් නියම කළේද අපගේ අධිකරණය විසිනි. මෑත අතීතයේදී සරත් සිල්වා අධිකරණය විටෙක විධායකයේ අන්තේවාසිකයකු මෙන්ද විටෙක විධායකයේ විරුද්ධවාදියකු මෙන්ද තවත් විටෙක අත්තනෝමතිකව සරත් සිල්වාගේ පුද්ගල අභිමතාර්ථ සාධනය වෙනුවෙන්ද ක්‍රියා කළේය. මොහාන් පීරිස් අධිකරණය අනාගතයේදී විධායකයට අවනතවී ක්‍රියාකරනු ඇත. මක්නිසාද යත් එසේ නොමැතිනම් දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවන නිසාය.
මෙම පසුබිම තුළ පුද්ගල ස්වාධිපත්‍යය අනුක්‍රමයෙන් අභාවයට යනු ඇත. ජනතාවට එය අවශ්‍ය වනු ඇත්තේ එය නැත්තටම නැතිවී ගිය පසුය. එවිට එය නැවත ලබා ගැනීම සඳහා විශාල අරගලයක් කිරීමට අවශ්‍ය වනු ඇත. එම අරගලයට මුහුණ දීමටද ආණ්ඩුව සූදානම් බව ජනතාව මතක තබා ගත යුතුය∎
(2013 පෙබරවාරි මස සමබිමෙහි පළ කරන ලදී.)
No comments:
Post a Comment