[හර්ෂ ගුණසේන]
වර්ණභේදවාදය දකුණු අප්‍රිකාව පුරා කාලාන්තරයක් තිස්සේ පැවති අතර එය එරට ජාත්‍යන්තරව කොන්වීමට ද හේතුවි ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට විරුද්ධ අරගලය මහජන ව්‍යාපාරයක් ලෙස මතු කලේ මහත්මා ගාන්ධි ය. දකුණු අප්‍රිකානු පාලකයන්ට විරුද්ධව අරගල මෙහෙයවා අවුරුදු විසි හතක් සිරබත් කෑ නෙල්සන් මැන්ඩෙලා නිදහස් කිරීමට එවකට සිටි ජනාධිපති බෝතා ප්‍රචණ්ඩකාරී අරගලවල නොයෙදෙන ලෙස කොන්දේසියක් වශයෙන් ඉදිරිපත් කළ විට තමාට නිදහස් වීමට ජනතාවගේ උරුමය විකිණීමට නොහැකි බව මැන්ඩෙලා කියා සිටියේ ය.
කොන්දේසි විරහිතව මැන්ඩෙලා නිදහස් වනවිට බහුතර දකුණු අප්‍රිකානු ජනමතය මෙන් ම බහුතර ලෝක ජනමතය ද තිබුණේ මැන්ඩෙලා වෙත ය. සුළුතරයක් වූ සුදු අප්‍රිකානු ජාතිකයන්ගේ වර්ණභේදවාදය සෑම අතින් ම ප්‍රතික්ෂේප වී තිබිණි. 1994 දී ජනාධිපති වූ පසු මැන්ඩෙලා ගේ අරමුණ වුයේ පීඩිත බහුතරයක් වූ කළු ජාතිකයන් සහ පීඩක සුළුතරයක් වූ සුදු අප්‍රිකානු ජාතිකයන් අතර සංහිඳියාවක් ඇති කිරීම ය. ඔහු බලයට පත්වූ පසු කළු ජාතිකයන්ට කළ දරුණු අපරාධ සම්බන්ධයෙන් එම අපරාධ කළ සුදු ජාතිකයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළේ නම් කිසිවකු ඔහුට විරුද්ධ නොවණු ඇත. මක්නිසා ද යත් එය ලංකාව වැනි රටවල දැනට පවතින ආකාරයේ කැකිල්ලේ ක්‍රියාවලියක් නොව නියම අධිකරණ ක්‍රියාවලියක් බැවිණි. නමුත් දකුණු අප්‍රිකානු රජය ඔවුන් කිසිවකුට විරුද්ධව නඩු පැවරුවේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ වැරදි කළ සියලු දෙනාට සමාව දී කළ වැරදිවල පරිමාව සොයා බැලීමට සත්‍ය සෙවීමේ සහ සංහිඳියාවේ කොමිසමක් පත් කිරීමයි. මෙම කොමිසම හමුවේ පීඩනයට පත් වූ බොහෝ දෙනා සාක්ෂි දුන් හ. එමෙන් ම පීඩකයන් බොහෝ දෙනා පාපොච්චාරණය කළ හ. මෙම අපරාධ ඔවුන් කළේ ඔවුන්ගේ සිතේ පැවති වර්ණභේදවාදය පදනම් කරගෙන මිස පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට නොවේ. එබැවින් ජාතීන් අතර සංහිඳියාවක් ඈති කිරීමට නම් සුදුසු ම ක්‍රමය සමාව දීමයි, දඬුවම් කිරීම නොවේ.
සුදු අප්‍රිකානු ජාතිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව රග්බි වන අතර කළු අප්‍රිකානු ජාතිකයන්ගේ ප්‍රියත ම ක්‍රීඩාව පාපන්දු ය. දකුණු අප්‍රිකාවේ රග්බි ක්‍රීඩාව පීඩනයේ සංකේතයක් විය. බහුතරයක් වන කළු අප්‍රිකානුවන් සහ අප්‍රිකානු කොන්ග්‍රසය රග්බි ක්‍රීඩාවට, ඔවුන්ගේ ජර්සියේ වර්ණවලට විරුද්ධ වෙද්දී සහ එම වර්ණ වෙනස් කිරීමට යෝජනා කරද්දී බහුතරයගේ මතයට විරුද්ධ වෙමින්, රග්බි රට පුරා ජනප්‍රිය කරවමින්, ක්‍රීඩකයන්ගේ අංක 6 දරන ජර්සිය පැළඳ අවසන් මහා තරඟය නැරඹීමට පැමිණෙමින් 1995 දී රග්බි ලෝක ශුරතාවය දිනාගැනී ම හරහා එක ම දකුණු අප්‍රිකානු ජාතියක් (NATION) ගොඩනැංවීමට මැන්ඩෙලා කටයුතු කළේ ය.
වසර ගණනාවක දීර්ඝ සාකච්ඡාවලින් පසු නව රාජ්‍යයට අවශ්‍ය රාජ්‍ය භාෂා 11 කින් සමන්විත ව්‍යවස්ථාවක් ද සම්පාදනය කරන ලදී. 1995 නොවැම්බරයේදී ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීමේ ජනාධිපති නිවේදනයක් ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කිරීමෙන් පසු තීන්දුව පිළිගනිමින් ජාතිය අමතා කථා කළ මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ නීතිය ජනාධිපතිවරයාට ද වඩා ඉහළින් ඇති බව ප්‍රකාශ කළේ ය.
ඔහුට අවශ්‍ය වුණි නම්, ජීවිත කාලය පුරාම දකුණු අප්‍රිකාවේ ජනාධිපති වීමට අවකාශ තිබුණි. කිසිවෙක් එය ප්‍රශ්න නොකරනු ඇත. එනමුත් ඔහු එක් ධුර කාලයක් අවසානයේ ජනාධිපති ධුරයෙන් ඉවත් වී, ඉවත්වී ම ද නායකත්වයේ ලක්ෂණයක් බව ප්‍රකාශ කළේ ය.
සුප්‍රසිද්ධ ලොකර්බි නඩු විභාගයේදී නඩුව එංගලන්තයේ අසනවාට විරුද්ධවෙමින් එක ජාතියක් විසින් චෝදනා කිරීම ද, නඩු පැවරීම ද, නඩු විභාග කිරීම ද නොකළ යුතු බව කියාසිටි ඔහු එම නඩුව එංගලන්තයේ නොව වෙනත් රටක අසන ලෙස ඉල්ලා සිටියේ ය.
ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කළ පසු ලංකාවේ ඇති වූ තත්ත්වය ද දකුණු අප්‍රිකාවේ එවකට පැවති තත්ත්වයට බොහෝ සෙයින් සමාන විය. එනමුත් ලංකාවේ රාජ්‍ය නායකයා විසින් එම තත්ත්වය කළමනාකරණය කළ ආකාරය මැන්ඩෙලා කටයුතු කළ ආකාරයට ද, මීට වසර 2150 කට පමණ පෙර රජ කළ දුටු ගැමුණු විසින් එළාර පරාජය කළ පසු කටයුතු කළ ආකාරයට ද සපුරා පටහැනි ය. දකුණු අප්‍රිකාව තරම් සංකීර්ණ නොවුවත් සිම්බාබ්වේ හි ද සන්නද්ධ අරගලයකින් රොබට් මුගාබේ විසින් රට නිදහස් කර ගැනීමෙන් පසු ඇති වූයේ එවැනි ම තත්ත්වයකි. රොබට් මුගාබේ සුදු ජාතිකයන්ට සලකන ආකාරය සහ මැන්ඩෙලා කටයුතු කළ ආකාරය අහසට පොළොව මෙනි.
මැන්ඩෙලාට සංහිඳියා මාවතේ නොයන ලෙස ඉතා ප්‍රබල බලපෑම් අප්‍රිකානු කොන්ග්‍රසය ඇතුළෙන් ම ඇති විය. එහෙත් මැන්ඩෙලා මෙම බලපෑම් ප්‍රතික්ෂේප කළේ ය. එවැනි ආත්ම ශක්තියක් තිබූ අනෙක් නායකයා නම් මහත්මා ගාන්ධි ය. ඔවුහු එක්තරා ආකාරයකට අත්තනෝමතික නායකයෝ වූහ. ඔවුන් එම අත්තනෝමතිකත්වය පාවිච්චි කළේ ස්වාර්ථය සඳහා හෝ ජනතාව පෙළීම සඳහා හෝ නොවේ, ජනතා අභිවෘද්ධිය උදෙසා ය. නෙල්සන් මැන්ඩෙලා සහ මහත්මා ගාන්ධි දේශපාලන යෝධයන් වන්නේ ද රොබට් මුගාබේ සහ මහින්ද රාජපක්ෂ දේශපාලන අඟුටු මිට්ටන් වන්නේ ද එබැවිනි.
අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳීම පිළිබඳ පවතින තත්ත්වය කෙතරම් බරපතළ ද යත් මහවිරු දිනයේදී මළගිය සහෘදයන් වෙනුවෙන් පහන් පත්තු කිරීම පවා නීති විරෝධී වී තිබේ. නෙල්සන් මැන්ඩෙලා හෝ
දුටුගැමුණු හෝ ක්‍රි.පූ. 5 වන සියවසේ යුද කිරීමේ කලාව ලියූ චීන සෙන්පතියා වූ සුන් සූ හෝ එම මොහොතේ ලංකාවේ රාජ්‍ය නායකයා වූවා නම් සිසුන් හා එක්වී පහන් පත්තු කරන ලෙස සොල්දාදුවන්ට අණ කරනු ඇත. හදවත් දිනා ගැනීම යනු එයයි. සංහිඳියාව යනු එයයි. සංවර්ධනය යනු එයයි. සෞභාග්‍යය යනු ද එය ම වේ.
අධිකරණය තමන්ට විරුද්ධ තීන්දුවක් දුන් පසු එයට මැන්ඩෙලා දුන් ප්‍රතිචාරය ද, ලොකර්බි නඩු විභාගය පිළිබඳ ඔහු දැරූ ස්ථාවරය ද සමඟ දැනට අධිකරණය හා ඇති වී ඇති ගැටලුව සම්බන්ධව මෙරට ජනාධිපතිවරයාගේ ස්ථාවරය සලකා බැ දී ජනාධිපතිවරයාගේ අඟුටුමිටිකමේ තරම ප්‍රත්‍යක්ෂ වේ.
තමන් එක කොටසකගේ නොව සමස්ත ජනතාවගේ ජනාධිපතිවරයා යයි ප්‍රකාශ කළ පුද්ගලයා දැන් ක්‍රියාකරන්නේ සිය පවුලේ සහ අන්තේවාසිකයන් රොත්තකගේ ජනාධිපතිවරයා ලෙස ය. තමන් රටේ භාරකාරයා පමණක් යයි ප්‍රකාශකළ පුද්ගලයා දැන් ක්‍රියාකරන්නේ රටේ අයිතිකාරයා ලෙස ය.
යුදමය තත්ත්වයකින් පසු නායකයන් සංහිඳියා මාවතේ ගමන් කරන විට ජනතාවට දෙයාකාර සහනයක් ඇතිවේ. එනම් සංහිඳියාව මගින් ජන කොටස් අතර සහජීවනය ඇතිවීමත් එම නායකයන් අත්තනෝමතිකව ජනතාව පෙළීමට ඇති ඉඩකඩ අඩුවීමත් ය. සංහිඳියාව පිටුදකින නායකයා ගේ මානසිකත්වය ආක්‍රමණශීලී වෙයි. පරාජිත ජන කොටස වෙත ආක්‍රමණශීලී වන නායකයා එම ආක්‍රමණශීලීත්වය ටික කලකින් තමා අයත් ජන කොටස වෙත ද මුදාහැරීමට ඇති අවකාශය වැඩි ය. ලංකාවේ දැන් සිදු ව ඇත්තේ එයයි. දෙමළ ජනතාව දිගට ම මර්දනය කිරීමට ද ජනාධිපතිතුමා රජතුමා කිරීමට ද අනුබල දුන් පන්ති භේදයකින් තොර විදග්ධ සහ හුදී ජනතාව ද, චිරාත් කාලයක් තිස්සේ රජවරුන්ගෙන් මහජනතාව බලය ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය කරා පැමිණි ලෝක දේශපාලන විකාශය ප්‍රතිවිරුද්ධ අතට හරවා මහජන නියෝජිතයන් විසින් රජුට බලය පැවරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය පැන වූ මුස්ලිම් කොන්ග්‍රස් නායකයා ද ඇතුළු ඊනියා උත්තරීතර පාර්ලිමේන්තුවේ බත් බැලයන් ද, දීන වූ අධිකරණය ද, තමන් විරුද්ධ වුවත් සක්‍රීය ලෙස විරුද්ධ වී මෙම ප්‍රවාහය වැළැක්වීමට නොහැකි වූ මෙම ලියුම්කරු ද ඇතුළු සමස්ත ජනතාව ද දේශපාලන යෝධයකු වීමට හැකියාව තිබූ පුද්ගලයකු දේශපාලන අඟුටු මිට්ටකු කිරීමේ අවර ගණයේ කාර්යයට දායකවී ඇත∎
(2013 දෙසැම්බර් මස සමබිමෙහි පළ කරන ලදී.)
No comments:
Post a Comment