Sunday, February 23, 2014

බටහිර බලපෑම් සහ අපේ ප්‍රතිචාර

එක්සත් ජාතීන් සහ බටහිර රටවල් කොටි හිතවාදීන් බව බහුතර සිංහල ජනතාවගේ හැඟීමයි. බටහිර රටවල් අතරින් ප්‍රථමයෙන්ම කොටි සංවිධානය තහනම් කරන ලද්දේ ඇමරිකාවේය. යුරෝපා රටවල කොටි සංවිධානය තහනම් කිරීමෙහි ලා ඇමරිකාව විසින් විශේෂ කාර්යභාරයක් සිදු කරන ලදී. එසේම කාලයක් තිස්සේ ඇමරිකන් ඔත්තු සේවය විසින් සපයන ලද තොරතුරු මත කොටි සංවිධානයට අයත් ආයුධ ගෙන එන නෞකා යම් ප්‍රමාණයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා හමුදාවට හැකි විය

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට අසමාන තත්ත්වයක් ඇති බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් බටහිර රටවල අදහසයි. මීට අමතරව යුද්ධයේ අවසන් අදියරේදී විශාල ප්‍රමාණයක් සිවිල් වැසියන් ඝාතනය වූ බවත් ශ්‍රී ලංකා රජය විසින් ඔවුන් වෙත හිතාමතාම ප්‍රහාර එල්ල කරන ලද බවත් එම රටවල අදහසයි. මෙම චෝදනා නිවැරදි නොවේ නම් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කර චෝදනා සාවද්‍ය බව පෙන්වන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

මෙම ස්ථාවරයන් දෙක එනම් කොටි සංවිධානයට විරුද්ධ වීමත් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නවලට සංවේදී වන අතර යුද්ධයේ අවසන් අදියරේදී ඔවුන්ට වූවා යැයි සැලකෙන අපරාධවලට විරුද්ධ වීමත් බටහිරට අනුව එකිනෙකට හිලව් කළ නොහැකි ස්ථාවරයන් දෙකකි. සිංහල ජනතාවගේ ආණ්ඩුවත් කල්පනා කරන්නේ බටහිර රටවල් කොටි සංවිධානයට පක්ෂ බවත් තමන්ට විරුද්ධ බවත්ය. මෙය සරල රේඛීය සම්බන්ධතාවයක් බලාපොරොත්තු වීමකි. කොටි සංවිධානය මර්දනය කිරීමට පක්ෂ වන අතර සාමාන්‍ය දෙමළ ජනතාවට එරෙහිව අපරාධ කිරීමට විරුද්ධ වීම සහ එසේ නොවූවා නම් එය පරීක්ෂණයක් මගින් සනාථ කරන ලෙස කීම නැමැති සංකීරණ ස්ථාවරය ලඝු කොට එය කොටි සංවිධානයට පක්ෂ වීමක් ලෙස සිංහල ජනතාව විසින් අර්ථ දක්වනු ලැබේ.

දෙමළ ජනතාව අනෙක් අතට කල්පනා කරනු ඇත්තේ බටහිර රටවල් තමන්ට සිදු වූ අසාධාරණයට සහ කොටි සංවිධානය අමානුෂික ලෙස සමූල ඝාතනයට විරුද්ධ බවත් එයට එරෙහිව ඔවුහු සිංහල ජනතාවගේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන බවත්ය. සිංහල සහ දෙමළ සංස්කෘතික අංගයන් සමග බටහිර සංස්කෘතික අංගයන් සංසන්දනය කර මෙම තත්වය ගවේෂණය කිරීමට ප්‍රථම බටහිර රටවලට ලංකාවට විරුද්ධ වීමට ඇති දේශපාලන අවශ්‍යතාව කුමක්දැයි විමසා බැලීමට කැමැත්තෙමි.

ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ ඔහුගේ බටහිරට පක්ෂපාතී ආර්ථික හා විදේශ ප්‍රතිපත්තීන් තම ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි සිතූ ඉන්දීය රජය කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කර ලංකාණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු කළේය. කාම්බෝජයේ සිහනුක් බලයෙන් පහ කර ඇමරිකන් ගැති ලොන්නෝල් බලයට ගෙන ඒමට සී.අයි.ඒ. සංවිධානය කටයුතු කළේ එවකට එම කලාපයේ ව්‍යාප්ත වෙමින් තිබුණු කොමියුනිස්ට් ව්‍යාපාරය මර්දනය කිරීමටය. ඇමරිකාව ඉරානයේ අයතුල්ලා කොමෙයිනිට විරුද්ධව ඉරාකයේ සදාම් හුසේන්ට සහය දුන්නේ කොමෙයිනිගේ බටහිර විරෝධී ප්‍රතිපත්තිය නිසාය. මේවා ස්වෛරී රාජ්‍යයන්ට එරෙහිව සිදු කළ ගර්හිත ක්‍රියාකාරකම් වුවත් බලවත් රාජ්‍යයන් එසේ හැසිරීමට හේතුව වටහාගත හැකිය.

මෑතක් වන තුරු ලංකාවට අදාළව මෙවැනි තත්වයක් දකින්නට නොතිබුණි. තමන්ට බටහිර රටවල් විරුද්ධ යැයි වැරදි උපකල්පනයකට පැමිණ චීනය, බුරුමය සහ ඉරානය වැනි රටවල් සමග පමණ ඉක්මවා හාදකම් පැවැත්වීම යනු බටහිර රටවලට ඇත්ත වශයෙන්ම ලංකාවට විරුද්ධව කටයුතු කිරීමට මග පාදා දීමකි. ලංකාව වැනි කුඩා රටකට වඩාත් උචිත වන්නේ ජේ.ආර්. ජයවර්ධන අනුගමනය කළ මිතුරන් සමඟ සිටීමේ විදේශ ප්‍රතිපත්තිය නොව බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියයි. ඉතා වැදගත් පූර්වාදර්ශ තිබියදීත් ලංකාව මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම ප්‍රශ්නයකි.

දෙවනුව සංස්කෘතික වෙනස සලකා බැලීමේදී විශේෂයෙන්ම ජාතීන් අතර ඇති සංස්කෘතික වෙනස්කම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් ය.

බොහෝ බටහිර රටවල සංස්කෘතිය පුද්ගලවාදී වේ. මේ පිළිබඳව අධ්‍යයනයක් කළ හර්ට් හොෆ්ෂේඩ් පුද්ගලවාදී බව මෙසේ නිර්වචනය කර ඇත. පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතා දුර්වල සමාජයක පුද්ගලවාදී බව වර්ධනය වේ. බොහෝ දෙනා තමන් ගැන හෝ තමන්ගේ පවුල ගැන පමණක් සංවේදී වෙති. මෙයට ප්‍රතිවිරුද්ධව උපතේ සිට පුද්ගල සම්බන්ධතා ඉතාමත් දැඩි සමාජවල සාමූහිකවාදී බව දක්නට ඇත. මෙම පුද්ගල සම්බන්ධතා පුද්ගලයන් විවිධ කණ්ඩායම්වලට ගොනු කරන අතර මෙම අන්තර් සබඳතා සමහර විට මුළු ජීවිත කාලය පුරාම පවතී. ලංකාව ඇතුළු පෙරදිග රටවල ජනයා බොහෝ විට සාමූහිකවාදී වෙති.

ෆොක්ස් ට්‍රොම්පනාස් නැමැති ලේඛකයා ඔහුගේ පොතක පහත සඳහන් සිද්ධිය ඉදිරිපත් කරයි.

“ඔබගේ සමීප මිතුරකු ඔහු විසින් පදවන ලබන වාහනයකින් ඔබ යම් ස්ථානයකට ඇරලවනු ලබයි. ඔබගේ මිතුරා නියමිත වේගයට වඩා වැඩි වේගයකින් රථය ධාවනය කර පදිකයෙකු අනතුරකට ලක් කරයි. ඔබ හැර වෙනත් සාක්ෂිකරුවෙකු නැත. මිතුරා නියමිත වේගයට වැඩි වේගයකින් රථය ධාවනය කළ බව ඔබ දන්නේ නම් ඔබ එය උසාවියේදී කියා සිටින්නේ ද?”

සාමූහිකවාදී රටවල වැසියන් බොහෝවිට උසාවියේදී තම මිතුරා නියමිත වේගයට වඩා වැඩි වේගයකින් රථය ධාවනය කළ බව නොකියනු ඇත. ඔවුන් බොරු කීමට අකැමැති නම් තමන් ස්පීඩො මීටරය නොදුටු බව කියනු ඇත. එයට ප්‍රතිවිරුද්ධව පුද්ගලවාදී රටවල්වල තම මිතුරාගේ ක්‍රියාව උසාවියේදී අනාවරණය කරනු ඇත.

මෙසේ වන්නේ මිත්‍රත්වය වෙනුවෙන් තමන් වාහනයකින් රැගෙන යාම සහ අනතුරකදී ඇත්ත වශයෙන්ම සිදු වුණු දේ වෙනස් ක්‍රියාවන් දෙකක් ලෙස පුද්ගලවාදියෙකු කල්පනා කිරීමය. සාමූහිකවාදියෙකු මෙම ක්‍රියාවන් දෙක එකිනෙකට හිලව් කිරීමට උත්සාහ දරනු ඇත. අවසාන ප්‍රතිඵලය මිතුරාට තමන් පක්ෂ වන්නේ ද විරුද්ධ වන්නේ ද යන සරල රේඛීය ප්‍රශ්නයට දෙන පිළිතුරකි.

මම ඔබේ අදහසට විරුද්ධ වන අතර එම අදහස ප්‍රකාශ කිරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවට වූ වොල්ටෙයාර්ගේ ප්‍රකාශය පුද්ගලවාදී සංස්කෘතික අංග සංක්ෂිප්ත කර දක්වයි. සාමූහිකවාදී රටවල වැසියන්ට වොල්ටෙයාර්ගේ ප්‍රකාශය දිරවා ගැනීම අපහසුය. සංස්කෘතිය පිළිබඳ මෙම සංක්ෂිප්ත සාකච්ඡාව මා ඉහතින් මතු කළ එක්තරා ආකාරයක ප්‍රශ්නයට පිළිතුරක් වේ යැයි සිතමි.

බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව කෙරෙහි දක්වන ආකල්පය සමාජයක් වශයෙන් අවබෝධ කර ගැනීමට සාමාන්‍ය සිංහල හා දෙමළ ජනතාවට නොහැකි වුවද සිවිල් සමාජයේ ප්‍රබලයන්ට හා ආණ්ඩුව කරවන දේශපාලනඥයන්ට මෙම තත්ත්වය මනාව වැටහී යා යුතුයි. දේශපාලනඥයන් කරන්නේ මෙම තත්ත්වය වැටහුණත් සාමාන්‍ය ජනතාව නොමග යවමින් අප විසින් ඉහත සාකච්ඡා කළ ජනතාවගේ සංස්කෘතියට අනුකූල සරල සමීකරණය ඔවුන්ට ඉදිරිපත් කර ඊනියා දේශප්‍රේමය මතු කරමින් සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමය.∎

හර්ෂ ගුණසේන

(2013 අප්‍රේල් මස සමබිමෙහි පළ කරන ලදී.)

No comments:

Post a Comment