ඇමරිකන් ව්‍යවස්ථාව මෑත අතීතයේදී රාජ්‍ය බලය සියතට ගත් ජන සමූහයක් විසින් ඇතිකරන ලද ප්‍රථම ඉදිරිගාමී ව්‍යවස්ථාව වේ. මෙම ව්‍යවස්ථාවෙන්ම පුද්ගල ස්වාධිපත්‍යය (LIBERTY) සහතික කර ඇත. චීනය හෝ රුසියාව හෝ වෙනත් ඊනියා විප්ලවකාරී රාජ්‍යයන්හි ව්‍යවස්ථා තුළ හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයේ හෝ පුද්ගල ස්වාධිපත්‍යයට කිසිම පිළිගැනීමක් නොමැත. ‛අත්තාහි අත්තනෝ නාතෝ’ – ‛තමන්ගේ විමුක්තිය තම අතමය’ යනුවෙන් වන බුදුවදන අනුව පුද්ගල ස්වාධිපත්‍යය බුදුදහමේ හරය සමඟද බද්ධ වේ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ගමන පුද්ගල ස්වාධිපත්‍යය සමඟ බද්ධ වී ඇත.
ඇමරිකන් ව්‍යවස්ථාවේ පූර්විකාවේ සිංහල පරිවර්තනය මෙසේය. “එක්සත් ජනපදයේ ජනතාව වන අපි වඩාත් සම්පූර්ණ ඒකාබද්ධ රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා ද සාධාරණත්වය (JUSTICE) තහවුරු කිරීම සඳහා ද දේශීය නිරවුල් බව සහතික කිරීම සඳහා ද සාමූහික ආරක්ෂාව සැලසීම සඳහා ද ජනතා සුභසාධනය ප්‍රවර්ධනය සඳහාද පුද්ගල ස්වාධිපත්‍යයේ (LIBERTY) ආශීර්වාදය අප සියලුරෑ දෙනා වෙත ලැබීම සහතික කිරීම සඳහා ද අපගේ සෞභාග්‍යය සඳහා ද මෙම ව්‍යවස්ථාව ඇමරිකා එක්සත් ජනපදය සඳහා පැනවීම සහ තහවුරු කිරීම කරම්හ.”
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ පුද්ගල ස්වාධිපත්‍යය (LIBERTY – ලිබර්ටි) යන වචනය නිර්වචනය කරන්නේ මේ ආකාරයටය. “බලධාරීන් විසින් තමන්ගේ හැසිරීම හෝ දේශපාලන මතවාදයන් හෝ පිළිබඳව පනවනු ලබන පීඩාකාරී අවහිර කිරීම්වලින් තොරව සමාජයේ නිදහසේ සිටීමට ඇති හැකියාව පුද්ගල ස්වාධිපත්‍යය වේ.”
ඇමරිකානු ව්‍යවස්ථාවේ පූර්විකාව මගින් බලාපොරොත්තු වන අරමුණු අතර සාමූහික ආරක්ෂාව සැලසීම සහ පුද්ගල ස්වාධිපත්‍යයේ (LIBERTY ) ආශීර්වාදය සියලු ජනතාව වෙත ලැබීම සහතික කිරීමද වේ. මෙහි සඳහන් වන ආකාරයට මෙම අරමුණුවල ප්‍රමුඛතා ලැයිස්තුවක් නැත. සියලුම අරමුණු එක හා සමාන වන අතර එකකට වඩා අනෙකක් උසස් හෝ පහත් හෝ නොවේ. එනම් සාමූහික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප කිරීම හෝ පුද්ගල ස්වාධිපත්‍යය වෙනුවෙන් සාමූහික ආරක්ෂාව කැප කිරීම හෝ ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වන්නේ නැත.
ජාතික ආරක්ෂාව ඇමරිකන් ආණ්ඩුවල ප්‍රමුඛතා ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ගනී. එරට විදේශ ප්‍රතිපත්තිය සැකසී ඇත්තේ ජාතික ආරක්ෂාව අරමුණු කරගෙනය. සීතල යුද්ධය පැවති කාලයේ කොමියුනිස්ට් වාදයේ ව්‍යාප්තිය අවහිර කිරීම උදෙසා ලොව පුරා තිබූ නොයෙකුත් ආණ්ඩු පෙරළීම සඳහා ඉතාමත් අසාධාරණ වූ ක්‍රියාමාර්ග එවකට තිබූ ඇමරිකන් ආණ්ඩු මගින් ගන්නා ලදී. බොහෝ සිවිල් මිනිසුන්, ගැහැනුන් සහ දරුවන් ඝාතනය වන දැනට පවතින ඇෆ්ගන් යුද්ධයද ඇමරිකාවට විරුද්ධ ඉස්ලාම් අන්තවාදීන් මැඩ පැවැත්වීම සඳහා කරගෙන යන්නකි. පුද්ගල ස්වාධිපත්‍යය පසෙක තිබියේවා, ජාතික ආරක්ෂාව විෂයයෙහි ලා ඇමෙරිකාව විදේශිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ගැනවත් තැකීමක් නැත. කෙසේ වෙතත් ඇමරිකාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප කරන බව පෙනේ. මෙය ඇමරිකන් ව්‍යවස්ථාවේ මූලික අභිප්‍රායන්ට ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. යුදමය තත්ත්වයක් තුළදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප කිරීම තේරුම් ගත හැක. සාධාරණීකරණය කළ නොහැක්කේ මතුවට ඇති විය හැකි යැයි අනුමාන කරන යුදමය තත්ත්වයක් වෙනුවෙන් වර්තමානයේදී පුද්ගල ස්වාධිපත්‍යය කැප කිරීමය. ජාතික ආරක්ෂාව විෂයයෙහි ලා ඇමරිකාවට මේ තරම් සැලකිලිමත් වීමට සිදුවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලනයෙහි ඇතිකරගත් විශේෂ තත්ත්වය හේතුවෙනි. සීතල යුද්ධයෙන් පසුව ඇමරිකාව තනි ලෝක බලවතා වූ අතර මෙම තත්ත්වයද අනුක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී.
විකිලීක්ස් වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුත්තේ මේ පසුබිම යටතේය. මෑතකදී භාවිතයට ආ විසිල් බ්ලෝවර් සංකල්පය හා විකිලීක්ස් වෙබ් අඩවිය හරහා විවිධ රාජ්‍යවල රහස් හෙළිදරව් කිරීම මගින් එම රාජ්‍යයන් වෙත වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකිරීමට බල කෙරෙමින් පවතී. වෙනත් වචනවලින් කිවහොත් ජාතික ආරක්ෂාව උදෙසා පුද්ගල ස්වාධිපත්‍යය කැප නොකරන ලෙස ලොව පුරා රාජ්‍යයන්ට බල කෙරෙමින් පවතී. මෙම බල කිරීම අදාළ වන්නේ දැනටමත් පුද්ගල ස්වාධිපත්‍යය ස්ථාපිතව ඇති බටහිර රාජ්‍යයන්ටය. පුද්ගල ස්වාධිපත්‍යය කිසිසේත් ස්ථාපිතව නොමැති චීනය හෝ ශ්‍රී ලංකාව හෝ වෙනත් එවැනි රටවලට මෙම බලපෑම අදාළ නොවේ. මෙම බලපෑම හරහා ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් පරිණත වෙමින් පවතී. ලෝකය පුරා සිටින ජනතාවාදීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ යුතුකම වන්නේ ජුලියන් අසාන්ශේ සහ එඩ්වඩ් ස්නොඩන් වැන්නන්ගේ ක්‍රියාකාරිත්වයට ආශීර්වාද කිරීමත් ඔවුන් ආරක්ෂා කිරීමත් වේ.
එඩ්වඩ් ස්නොඩන් කළේ කුමක්ද? සී.අයි.ඒ. සංවිධානයේ සහ ඇමරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවය කළ ඔහු තමා සන්තකයේ තිබූ ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය රජයන් මගින් කළ “සමස්ත ප්‍රජාවගේ චර්යාවන් සහ ක්‍රියාවන් නිරීක්ෂණය” (අවේක්ෂණය – SURVEILLANCE) කිරීමට අදාළ රහස්‍ය තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමයි.
එක්සත් ජාතීන් විසින් 1948 දෙසැම්බර් මස 217 දරණ යෝජනාව මගින් සම්මත කර ගන්නා ලද මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 12 වන වගන්තිය මෙසේය. “කිසිම පුද්ගලයකු ඔහුගේ පුද්ගලිකත්වය, පවුල, නිවස හෝ ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් අත්තනෝමතික මැදහත් වීමකට භාජනය නොවිය යුතුය. එවැනි මැදහත් වීම් සහ ප්‍රහාරවලට එරෙහිව නීතියේ රැකවරණය පැතීමට සියල්ලන්ටම අයිතිය තිබේ.”
දෙවන ලෝක යුද්ධයෙන් පසුව නියුරම්බර්ග් නඩු විභාගයේදී ඇතිකර ගන්නා ලද ජාත්‍යන්තර මූලධර්මවල හතරවන මුලධර්මය මෙසේය. “පුද්ගලයකුට සදාචාරාත්මක තෝරා ගැනීමක් කිරීමට අවකාශ තිබුණේ නම් ඔහු තම ආණ්ඩුවේ හෝ තම ප්‍රධානියෙකුගේ හෝ නියෝගය අනුව කටයුතු කිරීම නිසා ඔහු අන්තර්ජාතික නීතියට ඇති බැඳීමෙන් නිදහස් වන්නේ නැත.”
2008 දී සංශෝධනය කරන ලද 1978 විදේශීය රහස් තොරතුරු අවේක්ෂණ පනත අනුව ඇමෙරිකන් රජයට 2017 දෙසැම්බර් 31 දක්වා විදේශිකයන්ගේ ඉලෙක්ට්‍රෝනික පණිවුඩ හුවමාරු අවේක්ෂණය කිරීමට අයිතිය ඇත. මෙම ඇමරිකානු නීතිය මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 12 වන වගන්තියටද නියුරම්බර්ග් හතරවන මූලධර්මයටද පටහැනිය. එබැවින් එඩ්වඩ් ස්නොඩන් කළ ක්‍රියාවට විරුද්ධ වී ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි වේ.
එඩ්වඩ් ස්නොඩන් සිය හෙළිදරව්වෙන් පසුව හොංකොං වෙත ගොස් පසුව එතැනින් රුසියාවට ගියේය. ස්නොඩන් සිය රටට බාර දෙන ලෙස ඇමරිකාව මේ දෙරටටම බලපෑම් කළේය. මේ දෙරටම මෙම බලපෑම්වලට අවනත වූයේ නැත. ඒ අතර ඔහු ලෝකයේ නොයෙකුත් රටවලට දේශපාලන රැකවරණ පතා අයදුම් කළ අතර සැලකිය යුතු රටවල් ප්‍රමාණයක් එම ඉල්ලීම ඉවත දමා තිබුණි. වෙනිසියුලාව, ඉක්වදෝරය සහ බොලීවියාව ස්නොඩන්ට දේශපාලන රැකවරණ දීමට කැමැත්ත පළකර තිබුණි. රුසියාව, හොංකොං, වෙනිසියුලාව, ඉක්වදෝරය සහ බොලීවියාව යන රටවල් ක්‍රියාකරන්නේ ඇමෙරිකාවට විරුද්ධවය, ස්නොඩන්ට පක්ෂව නොවේ. ස්නොඩන් හෝ අසාන්ශේ වැන්නන්ට සැබෑවටම පක්ෂපාතී විය හැක්කේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප නොකරන රාජ්‍යයකට පමණි. එවැනි රාජ්‍යයන් දැනට ලෝකයේ නැත. ලොව පුරා සිටින ජනතාවාදීන්ගේ අරමුණ විය යුත්තේ ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඒ මට්ටමට පරිණත කරවා ගැනීමයි. කෙසේ නමුත් දැනට පවතින තත්ත්වය අනුව ඉහත රටවල් දැක්වූ සහයෝගය ප්‍රශංසා කටයුතුය.
මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 14 වන වගන්තිය මෙසේය. “හිංසාවෙන් ගැලවීම සඳහා වෙනත් රටක රැකවරණය පැතීමට සහ භුක්ති විඳීමට සැමට අයිතිය තිබේ. දේශපාලනික නොවන අපරාධ සම්බන්ධයෙන් අව්‍යාජව මතුවන්නා වූ චෝදනා සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති සහ අරමුණුවලට පටහැනිවූ ක්‍රියා පිළිබඳව මෙම අයිතිය ඉල්ලා සිටිය නොහැක.”
මේ අනුව ස්නොඩන්ට වෙනත් රටක දේශපාලන රැකවරණ පැතීමට අයිතිය තිබෙන අතර ඇමෙරිකාව ඔහුගේ එම අයිතියට බාධා කරමින් ජාත්‍යන්තර ගුවන් ගමන් අවහිර කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට පටහැනිය.
එබැවින් ස්නොඩන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පරිණත කර ගැනීමට අපේක්ෂා කරන ලොවපුරා සිටින ජනතාවාදීන්ගේ යුතුකම වන්නේය∎
හර්ෂ ගුණසේන
(2013 අගෝස්තු මස සමබිමෙහි පළ කරන ලදී.)
No comments:
Post a Comment